ජූලි මස 01 වැනි දා සිට යාපනයේ 1 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා සිසුන්ට සිකුරාදා හා ඉරිදා දිනවලදී උපකාරක පන්ති තහනම්

ජූලි මස 01 වැනි දා සිට යාපනයේ 1 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා සිසුන්ට සිකුරාදා හා ඉරිදා දිනවලදී උපකාරක පන්ති තහනම්


ජූලි මස 01 වැනි දා සිට යාපනයේ 1 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා සිසුන්ට සිකුරාදා හා ඉරිදා දිනවලදී උපකාරක පන්ති තහනම්

(11.06.2023 – 18:45 +0530 – hirunews.lk/sinhala)

ජූලි මස 01 වැනි දා සිට යාපනයේ පළවෙනි (1) ශ්‍රේණියේ සිට නමවෙනි (9) ශ්‍රේණිය දක්වා සිසුන්ට සිකුරාදා හා ඉරිදා දිනවලදී උපකාරක පන්ති පැවැත්වීම යාපනය දිසාපති අම්බලවානර් සිවපාලසුන්දරම් විසින් තහනම් කොට තිබෙනවා.

මෙම ශ්‍රේණීවලට අයත් සිසුන්ට පෞද්ගලික නිවාස වලද සිකුරාදා හා ඉරිදා දිනවලදී පන්ති නොපවත්වන ලෙසද දිසාපතිවරයා දැනුම් දී තිබෙනවා.

යාපනය දිස්ත්‍රික්කයේ පෞද්ගලික අධ්‍යාපන ආයතනවල හිමිකරුවන්, අධ්‍යාපනඥයින් සහ සමාජ ක්‍රියාකාරිකයින් කැදවා දිසාපතිවරයා විසින් කළ සාකච්ඡාවකින් අනතුරුවයි මෙම තීරණය ගෙන ඇත්තේ.

නවවන (9) ශ්‍රේණියෙන් ඉහල සිසුන්ට පෞද්ගලික පන්ති සිකුරාදා හා ඉරිදා දිනවලදී පැවැත්වෙන්නේ නම් එම පන්ති වල අවම වශයෙන් එක් විෂයක් පැවැත්වෙන කාලයේදී අමතර මිනිත්තු 30 ක කාලයක් තුළ කලාව, සෞන්දර්ය හා සදාචාරය පිළිබදව ඉගැන්වීම් කළ යුතු බවද දිසාපතිවරයා පවසනවා.

ඊට අමතරව යාපනයේ නව වන (9) ශ්‍රේණියෙන් පහළ සිසුන්ට සිකුරාදා හා ඉරිදා දිනයන් නොවන දිනවලදී පෞද්ගලික පන්ති පවත්වන්නේ නම් පහත සදහන් කාරණා හයට (6) යටත් වන අන්දමට පන්ති පැවැත්විය යුතු බවටද යාපනය දිසාපතිවරයා නිර්දේශකර තිබෙනවා.

එම කොන්දේසි මෙසේය :

  1. දෙමාපියන් දැනුවත් කිරීමේ පළමු සැසි පෞද්ගලික අධ්‍යාපන ආයතන ආශ්‍රිතව පැවැත්විය යුතුය. මේ සඳහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් පූර්ණ සහයෝගය අවශ්‍ය වේ.
  2. 9 වැනි පන්තිය දක්වා සිසුන් සඳහා විශේෂ අධ්‍යාපන කටයුතු ඉරිදා දිනවල සම්පූර්ණයෙන්ම නතර කළ යුතුය.
  3. අධ්‍යාපන ආයතන සෞඛ්‍ය පහසුකම්, පන්ති කාමර පහසුකම් වලින් සමන්විත විය යුතු අතර රජයේ ගොඩනැගිලි පෞද්ගලික පන්ති සදහා යොදා නොගත යුතුය.
  4. පෞද්ගලික අධ්‍යාපන ආයතනයේ නිර්වචනය අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ආණ්ඩුකාරවරයා සමඟ සාකච්ඡා කර නිකුත් කරනු ලැබේ. අධ්‍යාපන ආයතන පළාත් පාලන ආයතනයේ, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කිරීම අනිවාර්ය වේ.
  5. පෞද්ගලික අධ්‍යාපන ආයතන ආධ්‍යාත්මික හා සමාජීය ප්‍රශ්න ගැන සාකච්ඡා කිරීමට විනාඩි 15 ත් 30 ත් අතර කාලයක් වැය කළ යුතුය.
  6. පෞද්ගලික අධ්‍යාපන ආයතන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව, ආගමික නියෝජිතයන්, ළමා සුබසාධන නිලධාරීන්, අධ්‍යාපන දෙපාර්තමේන්තුව සමඟ සංගමයක්පි හිටුවාගෙන මෙම කටයුතු නිසි ලෙස සිදුවන බව නිරීක්ෂණය කරවා ගත යුතුය ෴

මැණික්වල අගය වැඩි කිරීමට ව්‍යාපෘතියක්

(11.06.2023 – 15:37 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ මැණික් සඳහා අතීතයේ පටන් පවතින්නේ ඉහළ ඉල්ලුමක්.

ඒ ලක් පොළොවෙන් මතුවන මැණික් ඉතා ඉහළ වටිනාකමකින් සහ විවිධත්වයකින් යුක්ත වීම හේතුවෙන්.

ලක් පොළොවෙන් මතුවන මැණික්වල අගය වැඩි කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව කැපීම සහ ඔප දැමීමේ ව්‍යාපෘතියක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය මඟින් ආරම්භ කර තිබෙනවා.

ඒ, මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ ඉල්ලීමකට අනුවයි.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ සාමාජිකයින් පසුගිය දා රැස්වුණා ෴


දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ සිටින ‘ලසඳා’ කෙනෙරගේ වම් ඇස පුර්ණ අන්ධභාවයට ලක්වීමේ අවදානමක්

(11.06.2023 – 16:02 +0530 – hirunews.lk/sinhala)

මාතර – දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ සිටින ‘ලසඳා’ නමැති කෙනෙරගේ වම් ඇස පුර්ණ අන්ධභාවයට ලක්වීමේ අවදානමක් ඇති බව සත්ව ගවේෂක ලලිත් නානායක්කාර පවසනවා.

ඇසට අවශ්‍ය ඖෂධ නිසි කලට නොයෙදීම සහ රැකබලා ගැනීමේ දුර්වලතා හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

පින්නවල අලි අනාථාගාරයේ සිටි ලසඳා මාතර – දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයට හිමිවන්නේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ලද පරිත්‍යාගයක් ලෙසයි.

අවුරුදු 29 ක් පමණ වයසැති ලසඳාගේ වම් ඇසේ සුද තත්වයක් හටගෙන ඇති බව සත්වවේදීන් පෙන්වා දෙනවා.

ඇසට අවශ්‍ය ඖෂධ නිසි කලට නොයෙදීම සහ රැකබලා ගැනීමේ දුර්වලතා හේතුවෙන් ලසඳාගේ වම් ඇස පුර්ණ අන්ධභාවයට ලක්වීමේ අවදානමක් පවතින බවයි සත්ව ගවේෂක ලලිත් නානායක්කාර පවසන්නේ.

+


ගව රෝගය ත්‍රිකුණාමලය හා පොළොන්නරුවටත් පැතිරිලා

(11.06.2023 – 16:08 +0530 – hirunews.lk/sinhala)

ගවයින් අතර පැතිර යන බවට හඳුනාගෙන ඇති චර්ම රෝගය මේ වන විට ත්‍රිකුණාමලය හා පොළොන්නරුව දිස්ත්‍රික්කවල ප්‍රදේශ ගණනාවකින් ද වාර්තා වනවා.

මෙම චර්ම රෝගය වැලඳී දින 15 ක් පමණ ගත වන විට ගවයින් මිය යාම සිදුවන බවයි ගොවීන් පවසන්නේ.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පල්ලියගොඩැල්ල, පඹුරාන, අහමඩ්පුර සහ මහතලාකොළවැව ආදි ගම්මානවල වැඩි පිරිසක් සිය ජීවිකාව ලෙස සිදුකරනු ලබන්නේ කුඹුරු ගොවිතැන් සහ කිරි ගව පාලනයයි.

දැනට මසකට (1) පමණ පෙර සිට මෙම ප්‍රදේශයේ එළ ගවයින් අතර සුළු වශයෙන් දක්නට ලැබුණු චර්ම රෝගයක් මේ වන විට ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වී තිබෙනවා.

ගවයින්ගේ ශරීරය පුරා කුඩා ගෙඩි හට ගන්නා අතර රෝගය වැලඳී දින 15 ක් පමණ ගත වන විට තුවාලවල පණුවන් බෝවී ගවයින් මිය යාම සිදුවන බවයි ගොවීන් පවසන්නේ.

රෝගය වැලඳුනු ගවයින් දහවල් කාලයේදී අධික හිරු රශ්මිය ඇති ස්ථාන වෙත ගොස් ආහාර නොගෙන රැඳී සිටින බව ද ගොවීන් නිරීක්ෂණය කර තිබෙනවා.

කිරි ගොවීන් මැදිරිගිරිය පශු වෛද්‍ය කාර්යාලයට ගොස් රෝගයට ප්‍රතිකාර විමසූ විට ඔවුන් පවසා තිබුණේ මෙම රෝගී තත්ත්වයට මෙතෙක් නිශ්චිත ප්‍රතිකාරයක් නොමැති බවයි.

දෛනිකව කිරි ලීටර 500 ක් පමණ ලබා ගන්නා කිරි ගොවීන්ට මේ වන විට කිරි ලීටර 100 ක්වත් ලබාගැනීමට නොහැකි වී ඇති අතර ගොවීන් ඉල්ලා සිටින්නේ මියගිය සතුන් වෙනුවෙන් වන්දි මුදලක් ලබාදෙන ලෙසයි.

මේ අතර ගවයින්ට වැලඳෙන මෙම චර්ම රෝගය නිසා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කිරි ගොවීන් ද දැඩි පීඩාවට පත්ව සිටිනවා.

කන්දලෙයි, මුල්ලිපොතාන, තඹලාගාමම්, වාඇළ, අග්බෝපුර සහ රජඇළ ආදී ප්‍රදේශ රැසක ගවයින් ද මේ හේතුවෙන් මිය යාමට පටන් ගෙන තිබෙනවා.

ගවයින් 100 කට අධික ප්‍රමාණයකට වැලඳී ඇති මෙම රෝගය සඳහා කඩිනමින් ප්‍රතිකාරයක් ලබාදෙන්නැයි ගොවීන් ඉල්ලා සිටිනවා.

+


අක්මීමනදී පොලිසියට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සහ කළ සිද්ධියේ සැකකරුවන් රිමාන්ඩ්

(11.06.2023 – 16:13 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල – අක්මීමන ප්‍රදේශයේදී පොලිසියට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ලකිරීමට උත්සහ කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා (2) මේ මස 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ ඔවුන් අද (11) ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සැකකටයුතු ස්කූටි වර්ගයේ යතුරුපැදියක් මාර්ගයේ නවතා තිබෙනු දැක පොලිස් නිලධාරීන් දෙදෙනා (2) එම ස්ථානයට ගොස් ඇති අතර, එම අවස්ථාවේ එහි සිටි පුද්ගලයින් දෙදෙනා (2) පලායාමට උත්සහ කර තිබුණා.

පසුව ඔවුන් පලායෑම වැළැක්වීමට උත්සහ කිරීමේදී පොලිස් නිලධාරීන් සමඟ පොරබැදීමක් සිදුව ඇති අතර, එක් පුද්ගලයෙකු පොලිස් නිලධාරීන් දෙසට අත්බෝම්බයක් විසි කිරීමට උත්සහ කළ බවයි පොලිසිය සඳහන් කළේ.

එහිදී එක් පොලිස් නිලධාරියෙකු සිදුකළ වෙඩි තැබීමකින් එක් සැකකරුවෙකු තුවාල ලබා රෝහල්ගත කෙරුණා.

පසුව අනෙක් සැකකරු අත්අඩංගුවට ගත් අතර එහිදී ඔවුන් සතුව තිබී ටී 56 උණ්ඩ සහිත පාර්සලයක් සහ විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සොයා ගෙන තිබෙනවා.

+


මත්ස්‍ය කිලෝ තිස්දාහකට (30,000) අධික ප්‍රමාණයක් සොරකම් කළ පුද්ගලයින් සොයා පොලිස් විමර්ශන

(11.06.2023 – 16:21 +0530 – hirunews.lk/sinhala)

බහාලුම් පහක (5) තිබූ මත්ස්‍ය කිලෝ තිස්දාහකට (30,000) අධික ප්‍රමාණයක් සොරකම් කළ පුද්ගලයින් සොයා ජා-ඇළ පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඔරුගොඩ වත්ත ප්‍රදේශයේ සිට මදුරන්කුලයේ පිහිටි පෞද්ගලික ආයතනයකට මෙම මත්ස්‍ය බහාලුම් ප්‍රවාහනය කිරීමේ දී මෙම සොරකම සිදු වී ඇති බවයි පොලිසිය පවසන්නේ ෴


පොලිස් කොස්තාපල්වරිය රවටා අයුතු ප්‍රයෝජන ගත් පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට

(11.06.2023 – 16:27 +0530 – hirunews.lk/sinhala)

තම පෙම්වතිය වූ පොලිස් කොස්තාපල්වරිය විවාහ කර ගන්නා බවට පොරොන්දු වී රුපියල් ලක්ෂයක (100,000) මුදලක් ලබා ගෙන ඇයව රවටා වෙනත් තරුණියක් සමග විවාහ වූ පොලිස් කොස්තාපල්වරයෙකු වවුනියාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වවුනියාව නෙදුන්කේණී පොලීසියේ සේවය කරමින් සිටියදී ඔවුන් දෙදෙනා පෙම්වතුන් බවට පත් වී කාලයක් ගත වූ පසුව පොලිස් කොස්තාපල්වරයාගේ පෞද්ගලික අවශ්‍යතාවයකට පොලිස් කොස්තාපල්වරියගෙන් රුපියල් ලක්ෂයක මුදලක් ඉල්ලා ඇති බවට තොරතුරු වාර්තා වූ බවයි අප වාර්තාකරු පවසන්නේ.

මුලදී එම මුදල ලබා දීමට ඇය අකැමති වූවත් ඔහු විවාහ කරගන්නේ පොලිස් කොස්තාපල්වරිය මිස වෙනත් අයෙකු නොවන බව පැවසීමෙන් පසුව ඇය රුපියල් ලක්ෂයක මුදල මෙම සැකකාර කොස්තාපල්වරයාට ලබා දී තිබෙනවා.

කාලයකට පසුව පොලිස් කොස්තාපල්වරයා වෙනත් පොලීසියකට ස්ථාන මාරුවීමක් ලබා ගෙන ගොස් ඇති අතර කාලයක්ම ඔහු ගැන තොරතුරක් නොමැති නිසා පොලිස් කොස්තාපල්වරිය ඔහු ගැන සොයන විට මෙම පුද්ගලයා ටික කාලයකට පෙර වෙනත් විවාහයක් කරගෙන ඇති බවට තොරතුරු හෙළි වී තිබෙනවා.

පොලිස් කොස්තාපල්වරිය මේ පිළිබදව වවුනියාව පොලිසිය පැමිණිලි කිරීමෙන් පසුව විශ්වාසය කඩ කිරීම මුදල් වංචාව හා තරුණියක් රවටා අයුතු ප්‍රයෝජන ගැනීම යන චෝදනා යටතේ ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙන අතර වවුනියාව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබයි ෴


පොලිස් කොස්තාපල්වරයෙකුගේ බෑගයක් සොරකම් කරයි

(11.06.2023 – 16:33 +0530 – hirunews.lk/sinhala)

පොලිස් කොස්තාපල්වරයෙකු රස පරීක්ෂක කාර්යාලය වෙත ගෙන යනු ලැබූ නඩු භාණ්ඩ සහිත බෑගයක් පිටකොටුව බස් නැවතුම්පොළේ දී කිසියම් අයෙකු විසින් සොරා ගෙන ඇති බව පොලීසිය පවසනවා.

නීති විරෝධී මත්පැන් සාම්පල බෝතල් තුනක් (3), ගෝඩා සාම්පල සහිත බෝතලයක් එම බෑගයේ ඇසුරුම් කර තිබූ බවයි මහවිලච්චිය පොලීසිය පවසන්නේ ෴


කෝවිලේ පූජාව මැද පූජකවරු දෙපිරිසක් අතර ගුටි කෙළියක්

(11.06.2023 – 17:25 +0530 – hirunews.lk/sinhala)

යාපනයේ වන්නයි ප්‍රදේශයේ පිහිටි වීර කාලි අම්මාන් කෝවිලේ වාර්ෂික පූජාව පැවැත්වීමට යාමේදී පාර්ශ්ව දෙකක් අතර පූජකවරුන් දබර කරගැනීම නිසා පොලීසියට එම පූජාවට පෙර එම තත්ත්වය පාලනය කිරීමට සිදුවුණා.

මෙම කෝවිලේ පාර්ශ්ව දෙකක පූජකවරු සේවය කරන අතර මීට පෙරද මෙහි ඇති වූ අර්බූදයක් යාපනය අධිකරණය දක්වා යාම නිසා අවසානයේදී අධිකරණය තීරණය කොට ඇත්තේ කාලි කෝවිලේ වාර්ෂික මංගල්ලය පාර්ශ්ව දෙකේම පූජකවරු විසින් මාරුවෙන් මාරුවට සිදු කල යුතු බවටයි.

එහෙත් මෙවර කාලි කෝවිලේ වාර්ෂික පූජාව ආරම්භ කරමින් කොඩි සිටුවීමේ මංගල්ලය පැවති අවස්ථාවේදී දෙපාර්ශ්වයේම පූජකවරු එම අවස්ථාවට සහභාගී වූ අතර ඔවුන් දෙපිරිස විසින් මුලින් ආරම්භ කරන ලද බහින් බස් වීම අවසානයේදී ගුටි කෙළියක් බවට පත්ව ඇති බව‍යි අප වාර්තාකරු පවසන්නේ.

බැතිමතුන් දහස් ගණනක් මැද පූජකවරු එකිනෙකාට ගුටි ඇන ගැනීම නිසා කොඩි සිටුවීමේ මංගල්ලය ඉබේම නතර වී ඇති අතර පොලීසිය පැමිණ තත්ත්වය සමථයකට පත් කොට අධිකරණමය තීන්දුවට අනුව කටයුතු කිරීමට එක් පූජක පාර්ශ්වයකට ඉඩ සලසා දීමෙන් පසුව කෝවිලේ කොඩි එසවීමේ මංගල්ලය පවත්වා වාර්ෂික මංගල්ලය ආරම්භ කොට තිබෙනවා.

මෙම සිද්ධියෙන් පසුව එම කාලි කෝවිලේ වාර්ෂික මංගල්ලය හමාර වන තුරු කෝවිලට දැඩි ආරක්ෂාව සපයා දීමටද පොලිසිය පියවර ගෙන තිබෙනවා ෴


මෙරට විශ්වවිද්‍යාල පද්ධතියේ ප්‍රමිතිය සහ කීර්තිනාමය යළි ලෝකය හමුවේ තහවුරු කළයුතුයි – ජනපති

(11.06.2023 – 19:18 +0530 – hirunews.lk/sinhala)

+

[වෙබ් පිටුව]

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *