මාලබේ වැඩබිමකදී මියගිය දරුවාගේ අවසන් කටයුතු අද (11)

මාලබේ වැඩබිමකදී මියගිය දරුවාගේ අවසන් කටයුතු අද (11)


මාලබේ වැඩබිමකදී මියගිය දරුවාගේ අවසන් කටයුතු අද (11)

(11.06.2023 – 14:06 +0530 – hirunews.lk/sinhala)

මාලබේ හල්බරාව ප්‍රදේශයේ වැඩබිමකදී මියගිය පස් හැවිරිදි (5) දරුවාගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති දරුවාගේ සීයා අධිකරණය හමුවට අද (11) ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

දරුවාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකෙරෙන්නේ තලාහේන පොදු සුසාන භූමියේදීයී.

මාලබේ හල්බරාව ප්‍රදේශයේ වැඩබිමක ක්‍රීඩා කරමින් සිටි පස් හැවිරිදි (5) ජොනතන් මියගොස් තිබුණේ ඉකුත් 08 වැනිදා පස්වරුවේයි.

තණකොළ කපන යන්ත්‍රයක තලය වැදීමෙන් දරුවා මිය ගොස් තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තණකොළ කපන්නා ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා ඊයේ (10) නියෝග කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජොනතන්ගේ 63 හැවිරිදි සීයාව ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුව අද (11) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පුංචි ‍ජොනතන්ගේ දේහය මාලබේ 8 කණුව ප්‍රදේශයේ මල් ශාලාවක තැන්පත් කර තිබෙන අතර අවසන් ගෞරව දැක්වීමට විශාල පිරිසක් පැමිණෙමින් සිටිනවා.

ජොනතන් සමඟ එකම පන්තියේ ඉගෙනුම ලැබූ පුංචි මිතුරන් ද ඔහුගේ නිසල සිරුර දැකගැනීමට පැමිණ සිටියා.

ජොනතන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (11) පස්වරුවේ තලාහේන පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.

+++++++++

මුල්ලේරියාවේදී පස් හැවිරිදි (5) දරුවා මියයාමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සීයා ඇප මත මුදාහැරේ

(11.06.2023 – 15:31 +0530 – hirunews.lk/sinhala)

මුල්ලේරියාව – හල්බරාව ප්‍රදේශයේ වැඩබිමකදී පස් හැවිරිදි (5) දරුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දරුවාගේ සීයා ඇප මත මුදාහැර තිබෙනවා.

ඒ අලුත්කඩේ අංක 06 මහේස්ත්‍රාත් තේමින්ද පෙරේරා හමුවට අද (11) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

63 හැවිරිදි දරුවාගේ සීයා ලක්ෂ 03 බැගින් වූ ශරීර ඇප 02 ක් මත මුදාහරින ලෙසටයි එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

දරුවාට නිසි අවධානයක් යොමු නොකිරීම ඔහුට එරෙහිව එල්ලවී ඇති චෝදනාවයි.

ඒ අනුව දරුවාගේ සීයාට මේ මස 15 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද නියෝගයක් කර තිබෙනවා.

මීට පෙර සිද්ධියට අදාළව 51 හැවිරිදි තණකොළ කැපීමේ නිරතවූ පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර කෙරුණා.

119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද ඇමතුමකට අනුවයි මීට දින තුනකට (3) පෙර මුල්ලේරියාව – හල්බරාව ප්‍රදේශයේ වැඩබිමක් තුළ කැපුම් තුවාල සහිතව මියගොස් සිටි මෙම දරුවාගේ දේහය සොයා ගනු ලැබුවේ.

එහිදී මියගොස් තිබුණේ ජොනතන් මාර්ක් නමැති එම ප්‍රදේශයේම පදිංචි පස් හැවිරිදි (5) දරුවෙක්.

දරුවා තම සීයා සමඟ අදාළ වැඩබිමේ සෙල්ලම් කරමින් සිට ඇති අතර පසුව අවමංගල්‍යයකට සහභාගි වීමට සීයා සහ මිත්තණිය නිවසින් පිටව ගොස් ඇත්තේ එම වැඩබිම අසල තණකොළ කපමින් සිටි තවත් පුද්ගලයෙකුට දරුවා භාර කරමින්.

කෙසේ වෙතත් එහිදී තණකොළ කපන යන්ත්‍රයේ තලය අත් වැරදීමකින් දරුවාගේ උදරයේ වැදී දරුවා මියගිය බවටයි තණකොළ කැපූ පුද්ගලයා පොලිසියට පාපොච්චාරණය කර ඇත්තේ.

ජොනතන්ගේ මව සහ පියා වෙන්ව ජීවත්වන අතර ඔහු හැදී වැඩී ඇත්තේ මව, සීයා සහ මිත්තණිය භාරයේයි.

මේ අතර දරුවාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (11) තලාහේන පොදු සුසාන භූමියේදී සිදුකෙරුණා.

එම අවස්ථාවට දරුවාගේ සීයා ද එක්ව සිටි බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ ෴

+

තේක්ක වගා භූමියක ගින්නක්

(11.06.2023 – 11:41 +0530 – hirunews.lk/sinhala)

මොනරාගල, හොරම්බුව ප්‍රදේශයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් තේක්ක වගා භූමියක හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.

මොනරාගල පොලිසිය විසින් මොනරාගල ප්‍රාදේශීය සභා ගිනි නිවන ඒකකය, කුඹුක්කන හා මාලිගාවිල යුද හමුදා කඳවුරු දැනුම්වත් කර එම නිලධාරීන්ගේ සහාය ඇතිව ගින්න මැඩපැවැත්වීමට මේ වන විට කටයුතු කර තිබෙනවා.

ගින්න හේතුවෙන් ජීවිත හානි කිසිවක් සිදු වී නොමැති අතර අක්කර 30 ක පමණ භූමි ප්‍රදේශයක ගින්න පැතිරගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන මොනරාගල පොලිසිය විසින් සිදු කරනු ලබනවා ෴


ශ්‍රී ලංකා තුන්පිම්ම ශූර ග්‍රේෂන් ධනංජය අතුරුදන්

(11.06.2023 – 13:10 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ තුන් පිම්ම පැනීමේ ඉසව්වේ ජාතික ශූරයා වන ග්‍රේෂන් ධනංජය ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන මළල ක්‍රීඩා තරගාවලියක් අතරතුර අතුරුදන්වී ඇති බව වාර්තාවනවා.

මොහු මෙම තරගාවලියට සහභාගිවී තිබුණේ දුර පැනීමේ ඉසව්ව නියෝජනය කරමින්.

‘හිරු ප්‍රවෘත්ති අංශය’ කළ විමසීමකදී ශ්‍රී ලංකා මළල ක්‍රීඩා සංගමයද මේ බව තහවුරු කළා ෴


ආණ්ඩුව විකාශන නියාමන පනත් කෙටුම්පත ගේන්නේ මාධ්‍ය හීලෑ කර ගන්න

(11.06.2023 – 14:25 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩුව විසින් විකාශන නියාමන පනත් කෙටුම්පත ගෙන එන්නේ මාධ්‍යවේදියා සහ මාධ්‍ය ආයතන හීලෑ කර ගැනීම සඳහා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

‘හිරු ටීවි’ සමඟ පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

ආගම් දේශපාලන ආයුධයක් බවට පත් කර ගැනීම තුළ ආගම්වලට ලැබිය යුතු නිසි වටිනාකම නොලැබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

+++++++++

+


සොහොන් බිමක වාසය කරනා කුරුණෑගල අසරණ පවුලක් සරණක් ඉල්ලයි

(11.06.2023 – 14:51 +0530 – hirunews.lk/sinhala)

තම එදිනෙදා ආහාර වේල පවා නිසි ලෙස සොයාගත නොහැකිව ඉතාමත් අසරණව දිවි ගෙවන පවුලක් පිළිබඳව පුවතක් අපට කුරුණෑගල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

නිසි පරිදි නිවෙසක් සාදා ගැනීමට ඉඩමක් පවා නොමැති නිසා ඔවුන් තාවකාලිකව තම නිවස සාදා ගෙන තිබෙන්නේ එම ප්‍රදේශයේ සුසාන භූමියට අයත් ඉඩමකයි.

කුරුණෑගල වැල්ල පුබ්බෝව ප්‍රදේශයේ දිවි ගෙවන මේ පවුලේ සිටින්නේ මව, පියා සහ දියණියන් තිදෙනෙක් (3).

මේ පවුලේ බර දරන පියා ආදායමක් උපයාගන්නේ පොල් කැඩීමේ රැකියාවෙන්.

ස්ථිර වාසස්ථානයක් නොමැති මේ පවුල ප්‍රදේශයේ පිහිටි සොහොන් බිමකට අයිති ඉඩමක තාවකාලිකව රැඳී සිටිනවා.

දරුවන්ගේ මවටද රැකියාවක් නොමැති අතර පවුලේ වැඩිමහල් දැරිය මෙම බාධක මධ්‍යයේ සාමාන්‍ය පෙළ විභාගයටද පෙනී සිටි බවයි වාර්තා වන්නේ.

වැඩිමහල් දියණියගේ අධ්‍යාපන කටයුතු සලකා උපකාරයක් ලෙස සොහොන් භූමියේ ඇති තවත් ඉඩමක තාවකාලිකව පදිංචි වීමට එහි හිමිකරු අවසර දී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

සනීපාරක්ෂක කටයූතු සඳහා අවශ්‍ය ජලය සොයා කිලෝමීටරයකට ආසන්න දුරක් යාමට සිදුව ඇති අතර මෙම නිවසට විදුලිය පවා නොමැති බව සඳහන්.

තම දරුවන් සමඟ ආරක්ෂිතව ජීවත් වීමට හැකි වන අයුරින් නිවසක් සාදා ගැනීමට උපකාර කරන ලෙසයි මෙම පවුල ඉල්ලා සිටින්නේ.

+


පෞද්ගලික බස් රථයකට පහරදුන් පාසල් සිසුන් තුන්දෙනකු (3) අත්අඩංගුවට

(11.06.2023 – 14:54 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර නගරයේ නවතා තිබූ පෞද්ගලික බස් රථයකට ගල් මුල්වලින් පහරදී බස් රථයට හානි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පාසල් සිසුන් තුන්දෙනෙකු (3) පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර – පරසන්ගස්වැව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 14 ත් 17 අතර වයස්වල පසුවන සිසුන් තුන්දෙනෙක් (3).

පෞද්ගලික ආරවුලක් මුල් කරගනිමින් ඔවුන් අද (11) අලුයම මෙම බස් රථයට පහරදී ඇති අතර, අත්අඩංගුවට ගත් සිසුන් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


ලබන කන්නයේදී පොහොර මිල රුපියල් 5,000 ට වඩා අඩු කරනවා

(11.06.2023 – 14:54 +0530 – hirunews.lk/sinhala)

ලබන කන්නය වන විට පොහොර මිල රුපියල් 5,000 ට වඩා අඩු අගයකට ගෙන එම තම ඉලක්කය බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ, තිස්සමහාරාමයේ පැවති තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩසටහනේ සමාරම්භක උළෙල අමතමින්.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ තෝරා ගත් ගම්මාන කිහිපයක තරුණයින් කෘෂි කර්මාන්තය සඳහා යොමු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩසටහනේ ඊයේ (10) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

+


මිහින්තලේ විහාරාධිපති හිමිගෙන් කප්පම් ඉල්ලූ සිද්ධිය ගැන විධිමත් විමර්ශනයකට අධිකරණයෙන් නියෝග

(11.06.2023 – 15:27 +0530 – hirunews.lk/sinhala)

වීඩියෝ පටයක් සහ හඬ පටයක් ප්‍රසිද්ධ කරන බවට තර්ජනය කරමින් මිහින්තලය රජමහා විහාරාධිපති පූජ්‍ය වළවාහැංගුණුවැවේ ධම්මරතන හිමියන්ගෙන් රුපියල් කෝටියක මුදලක් කප්පම් ඉල්ලීමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදුකර එහි ප්‍රගතිය දන්වන්නැයි අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මිහින්තලේ පොලිසියට නියෝග කර තිබෙනවා.

මෙම කප්පම් ඉල්ලීමේ සිද්ධියට යොදාගෙන ඇති දුරකථන අංකය පිළිබඳව විශ්ලේෂණ වාර්තාවක් ද මිහින්තලේ පොලිසියට ලබාදෙන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් අදාළ දුරකථන සමාගමේ කළමනාකාරීත්වයට නියෝග කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ ෴


කෘෂිකාර්මික නිෂ්පාදනයේ අඩුවීමක්

(11.06.2023 – 15:36 +0530 – hirunews.lk/sinhala)

පසුගිය වසරට (2022) සාපේක්ෂව තේ, පොල් සහ රබර් යන කෘෂිකාර්මික නිෂ්පාදනවල අඩුවක් දක්නට ලැබෙන බව මහ බැංකුව පවසනවා.

ඒ අනුව පසුගිය වසරේ (2022) ජනවාරි සිට මාර්තු දක්වා කාලයට සාපේක්ෂව මෙම වසරේ (2023) මුල් කාර්තුවේදී එම නිෂ්පාදන සියයට 6.5 කින් අඩුවී ඇති බවයි මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වෙන්නේ.

ඒ අනුව මෙම වසරේ (2023) තේ කිලෝග්‍රෑම් මිලියන 59.2 ක් නිපදවා තිබූ අතර, පසුගිය වසරේ (2022) එම ප්‍රමාණය කිලෝග්‍රෑම් 63.3 ක්. රබර් කිලෝග්‍රෑම් මිලියන 19.2 ක් පසුගිය වසරේ (2022) නිපදවා තිබූ අතර එය මෙම වසරේ (2023) කිලෝග්‍රෑම් මිලියන 18.7 ක් බව සඳහන්.

එසේම පොල්ගෙඩි මිලියන 837.4 ක පසුගිය වසරේ (2022) ලැබී තිබූ අතර, මෙම වසරේ (2023) එම සංඛ්‍යාව මිලියන 790.3 ක් බවයි වාර්තා වන්නේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *