කොළඹ කැම්පස් එකෙන් පිළිකා මැඩලීමට කැප්සියුලයක් සොයාගනී

කොළඹ කැම්පස් එකෙන් පිළිකා මැඩලීමට කැප්සියුලයක් සොයාගනී


කොළඹ කැම්පස් එකෙන් පිළිකා මැඩලීමට කැප්සියුලයක් සොයාගනී

(10.06.2023 – 20:33 +0530 – hirunews.lk/sinhala)

පිළිකා සෛල විනාශ කළ හැකි පෝෂක ඖෂධයක් කොළඹ විශ්ව විද්‍යාලයේ ජෛව රසායන, අණුක ජීව විද්‍යා සහ ජෛව තාක්ෂණ ආයතනය විසින් සොයාගෙන තිබෙනවා.

මෙම සොයා ගැනීම වසර 14 ක පරීක්ෂණවල ප්‍රථිඵලයක් බවයි එම පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානී මහාචාර්ය සමීර ආර්. සමරකෝන් මහතා ප්‍රකාශ කළේ.‍

අසාමාන්‍ය ලෙස සෛල වර්ධනය වීම හා ජාන විකෘති වීම මිනිස් සිරුර තුළ පිළිකා රෝගය වර්ධනය වීමට බලපාන ප්‍රදාන සාධකයක්.

2009 වසරේ සිට දේශීය වෙදකම සහ ස්වාභවික ද්‍රව්‍ය යොදා ගනිමින් කොළඹ විශ්ව විද්‍යාලයේ ජෛව රසායන, අණුක ජීව විද්‍යා සහ ජෛව තාක්ෂණ ආයතනය විසින් සිදු කළ පරීක්ෂණවල ප්‍රථිඵලයක් ලෙස පිළිකාවට එරෙහි පෝෂක ඖෂධයක් සොයාගෙන තිබෙනවා.

වසර 14 ක් පුරා සිදු කළ විද්‍යාත්මක පරීක්ෂණ වලින් පසුව මහාචාර්ය සමීර ආර්. සමරකෝන් මහතා ප්‍රමුඛ කණ්ඩායමක් විසින් මෙම පෝෂක ඖෂධය සොයා ගෙන ඇති අතර එය කැප්සියුලයක් ලෙස මේ වන විට වෙළෙඳපොළටද නිකුත් කර තිබෙනවා.

මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ මෙම ඖෂධය පිළිකා රෝගීන්ට, පිළිකා රෝගය වැළඳී සුව වෙමින් සිටින රෝගීන්ට සහ පිළිකා රෝගය වැළඳීමේ අවදානමක් පවතින අයටද ලබා ගත හැකි බවයි.

මෙම නව පෝෂක ඖෂධය තුළින් පෙනහළු පිළිකා, පියයුරු පිළිකා ඇතුළු පිළිකා වර්ග පහළොවක (15) පමණ පිළිකා සෛල විනාශ කළ හැකි අතර ඉදිරියේදී මේ සඳහා ජාත්‍යන්තර පිළි ගැනීමක් ලබා ගැනීමටද නියමිතයි ෴


තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කරලා

(11.06.2023 – 7:11 +0530 – hirunews.lk/sinhala)

දෙහිවල ප්‍රදේශයේදී ඊයේ (10) පුද්ගලයකු විසින් තවත් පුද්ගලයකුට තියුණු ආයුධයකින් පහර දී බරපතළ තත්ත්වයෙන් කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 69 ක් වූ දෙහිවල ඕබන් පෙදෙසේ පදිංචිකරුවෙක්.

මෙම ඝාතනය සිදු කළ සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා දෙහිවල පොලිසිය විමර්ශන සිදු කරනු ලබනවා ෴


රුපියල් කෝටි 8 ක් දී මිලට ගත් රොබෝ යන්ත්‍ර දිරාපත් වී යයි

(11.06.2023 – 07:32 +0530 – hirunews.lk/sinhala)

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය රොබෝ තාක්ෂණය සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානය ආරම්භ කිරීමට රුපියල් කෝටි අටක (8) වියදමින් 2020 වර්ෂයේදී මිලදී ගෙන ඇති රොබෝ යන්ත්‍ර හතරක් (4) ඇතුළු උපකරණ එම මධ්‍යස්ථානය ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් දිරාපත්වෙමින් පවතින බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වනවා.

ඇතැම් මෘදුකාංග සඳහා රහස් පද ඇතුළත් කර ඇති හෙයින් ඒවා ක්‍රියාත්මක කිරීමට නොහැකිවී ඇති බවද එම වාර්තාවේ දැක්වෙනවා.

මෙම මධ්‍යස්ථානය පවත්වාගෙන යෑමට බඳවාගෙන ඇති විධායක නිලධාරියාට වසර දෙකක (2) කාලයක් සඳහා මසකට රුපියල් හත්ලක්ෂ විසි පන් දහසක් (7,25,000) බැගින් රුපියල් කෝටියකට වැඩි මුදලක් ගෙවා ඇති බවයි ජාතික විගණන කාර්යාලය පවසන්නේ ෴


අක්මීමනදී පලායාමට උත්සහ කළ සැකකරුවෙකුට පොලිසියෙන් වෙඩි

(11.06.2023 – 08:36 +0530 – hirunews.lk/sinhala)

අක්මීමනදී පොලිසිය කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.

ඊයේ (10) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ 21 හැවිරිදි අක්මීමන වංචාවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඊයේ (10) රාත්‍රියේ 11:30 ට පමණ අක්මීමන පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනෙකු (2) පොලිස් යතුරුපැදියකින් ගමන් කරමින් සිට තිබෙනවා.

එහිදී සැකකටයුතු ස්කූටි වර්ගයේ යතුරුපැදියක් මාර්ගයේ නවතා තිබෙනු දැක පොලිස් නිලධාරීන් දෙදෙනා (2) එම ස්ථානයට ගොස් ඇති අතර, එම අවස්ථාවේ එහි සිටි පුද්ගලයින් දෙදෙනා (2) පලායාමට උත්සහ කර ඇති බව සඳහන්.

ඔවුන් පලායෑම වැළැක්වීමට උත්සහ කිරීමේදී පොලිස් නිලධාරීන් සමඟ පොරබැදීමක් සිදුව ඇති අතර, එක් පුද්ගලයෙකු පොලිස් නිලධාරීන් දෙසට අත්බෝම්බයක් විසි කිරීමට උත්සහ කර තිබෙනවා.

එහිදී එක් පොලිස් නිලධාරියෙකු වෙඩි තැබීමක් සිදුකර ඇති බවයි වාර්තාවන්නේ. තුවාල ලැබූ සැකකරු මේ වනවිට කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පසුව අනෙක් සැකකරු ද අත්අඩංගුවට ගෙන ඇති අතර, මොවුන් සතුව තිබූ ටී 56 උණ්ඩ සහිත පාර්සලයක් සහ විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ ෴


පාසල් සිසුන්ගේ කළහකාරී හැසිරීම්වලට හේතුව සමාජ ප්‍රචණ්ඩත්වය බව මනෝවිශේෂඥයන් පවසයි

(11.06.2023 – 08:43 +0530 – hirunews.lk/sinhala)

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි ඇතැම් සිසුන් ප්‍රචණ්ඩකාරි ලෙස හැසිරීම තුළින් පිළිඹිබු වන්නේ සමාජය තුළ පවතින ප්‍රචණ්ඩකාරී මානසිකත්වය බව මනෝ විශේෂඥ වෛද්‍යවරුන් පවසනවා.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් පාසල්වල සම්පත්වලට සහ රජයේ දේපලවලට හානි කිරීම මෙන්ම ගැටුම්කාරි තත්ත්වයන්ට මැදිවූ අවස්ථාවන් කිහිපයක් ද පසුගිය දිනවල වාර්තා වුණා.

දිඹුලාගල ප්‍රදේශයේ පාසලක සිසුන් පිරිසක් පන්ති කාමරවල විදුලි පංකා සහ දොරවල් කඩා බිඳදමා ගොස් තිබූ අතර, එහි විදුහල්පතිවරයා සිද්ධිය සම්බන්ධයෙන් මනම්පිටිය පොලීසියට පැමිණිලි කර තිබුණා.

එසේම, කටුගස්තොට ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් පිරිසක් පසුගියදා සිසුවෙකුට විකට් පොල්ලකින් පහරදීම හේතුවෙන් සිසුවා රෝහල් ගත කළ අතර, අත්අඩංගුවට ගත් සිසුන් 6 දෙනෙකු පසුව ඇප මත මුදා හැර තිබෙනවා.

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට නිවෙස බලා යමින් සිටි සිසුවියකට ඇගේ පෙම්වතා තියුණු ආයුධයකින් පහර දී තිබූ සිද්ධියක් ද මහනුවර දැන්පිටිගම ප්‍රදේශයෙන් වාර්තා වුණේ එවන් පසුබිමකයි.

විභාගය නිම වී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි මරදන්කඩවල ප්‍රදේශයේ සිසුවෙකු අනතුරකින් ජිවිතක්ෂයට පත්ව තිබූ අතර, විභාගය නිම වූ පසු පාසලට වැඳ නමස්කාර කළ සිසු සිසුවියන් පිරිසක් පිළිබදව ද සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් ප්‍රචාරයක් හිමිවුණා.

කෙසේ වෙතත් ලංකා ගුරු සංගමය ඊයේ (10) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී එහි ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් කියා සිටියේ දරුවන්ගේ ප්‍රචන්ඩත්වයට අධ්‍යාපන බලධාරීන් කඩිනම් විසඳුම් ලබාදිය යුතු බවයි ෴


‘වන්ගෝල්ෆේස්’ සිද්ධියේ සුරාබදු නිලධාරීන් ක්‍ෂේත්‍ර රාජකාරිවලින් ඉවතට

(11.06.2023 – 08:52 +0530 – hirunews.lk/sinhala)

කොළඹ – ‘වන් ගෝල්ෆේස්’ සංකීර්ණයේ පීට්සා අවන්හලක සේවකයෙකුට පහරදීමේ සිද්ධියට සම්බන්ධ සුරාබදු නිලධාරින්, ක්ෂේත්‍ර රාජකාරිවල යෙදීම අත්හිටුවීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දින දෙකක් (2) තුළ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් දී ඇත්තේ.

‘වන් ගෝල්ෆේස්’ සංකීර්ණයේ හය (6) වන මහලේ පිහිටි පීට්සා අවන්හලකදී මෙම ගැටුම ඇති වුණේ පසුගිය 05 වනදා රාත්‍රියේයි.

සේවය අවසන් කර නිවසට යාමට සූදානම් වූ අවන්හල් සේවකයෙකු තම හෙල්මටය මේසයක් මත තබා ගොස් තිබුණා.

ඒ අතරතුර එහි පැමිණෙන සුරාබදු නිලධාරීන් පිරිසක් එම හෙල්මටය රැගෙන යාමට උත්සහ කර යළිත් එය එහි තබා ඇති බවටයි සීසීටීවී දර්ශනවලින් අනාවරණ වී ඇත්තේ.

එම අවස්ථාවේදී සුරාබදු නිලධාරීන්, අවන්හලේ කළමනාකාරවරයා සහ ප්‍රධාන සූපවේදියා සමග බහින්බස් වීමක් ඇතිකරගෙන තිබුණා.

එහිදී සුරාබදු නිලධාරීන් ප්‍රධාන සූපවේදියාට පහර දෙන ආකාරයද සීසීටීවී දර්ශනවල දැක්වෙන බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරුව තවත් සුරාබදු නිලධාරීන් කණ්ඩායමක්ද එහි පැමිණ අවන්හලේ සේවකයින්ට පහර දී තිබුණා.

එහිදී ඇතිවූ ගැටුමෙන් තුවාල ලැබූ අවන්හලේ ප්‍රධාන සූපවේදියා සහ සුරාබදු නිලධාරියෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.

එම අවස්ථාවේ සුරාබදු නිලධාරීන් බීමත්ව සිට ඇති බවටද තොරතුරු වාර්තා වුණා. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් සිදුකරන අතර සුරාබදු දෙපාර්තමේන්තුවද වෙනමම පරීක්ෂණයක් ආරම්භ කළ අතර මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පාර්ලිමේන්තුවේදී ද සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් කැදවන බවයි.

මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව සිදුකළ මූලික විමර්ශනයේ වාර්තාව රාජ්‍ය අමාත්‍යවරයාට ලබා දුන් බවයි එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ පවසා සිටියේ ෴


මුළු ඩෙංගු රෝගීන්ගෙන් 25% ක් පාසල් ළමයින්

(11.06.2023 – 08:54 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් වාර්තාවන මුළු ඩෙංගු රෝගීන් අතරින් සියයට විසි පහක් (25%) පාසල් ළමයින් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව ඩෙංගු උවදුරින් ළමයින් ආරක්ෂාකර ගැනීම සදහා පාසල් පිරිසිදු කිරීමේ වැඩසටහනක් ඊයේ (10) සිදුකළ අතර එය අද (11) දිනයේද එය ක්‍රියාත්මකයි.

මේ වසරේ ගෙවුණු කාලය තුළ ඩෙංගු රෝගීන් 42,184 ක් වාර්තාවන අතර ඩෙංගු අධි අවදානම් කලාප ලෙස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශ සංඛ්‍යාව 61 ක් හඳුනාගෙන ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ සඳහන් කළේ ෴


පේරාදෙණිය සරසවිය ජනතාවට විවෘත වේ

(11.06.2023 – 09:31 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ කීර්තිමත් මෙන්ම සුන්දර ස්වභාවික පරිසර පද්ධතියකින් සමන්විත පේරාදෙණිය විශ්වවිද්‍යාලය ජනතාවට නැරඹීම සඳහා ජූලි 01 වනදා විවෘත දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එය නම් කර ඇත්තේ ‘ඕපන් ඩේ 2023’ ලෙසයි.

මහනුවර දිස්ත්‍රික්කයේ පේරාදෙණිය නගරයට ආසන්නව හන්තාන කඳු පන්තියේ බටහිර බෑවුම සහ මහවැලි ගංඟාව අතර මනරම් පරිසරයකයි පේරාදෙණිය විශ්වවිද්‍යාලය පිහිටා ඇත්තේ.

වසර 80 කට පෙර ආරම්භ කළ පේරාදෙණිය විශ්වවිද්‍යාලය මෙලෙස ජනතාවට නැරඹීම සඳහා විවෘත වන්නේ පළමු වරටයි.

එදිනට විශ්වවිද්‍යාලයේ සියළුම පීඨයන් ජනතාව වෙනුවෙන් විවෘතව තැබෙන අතර, ඒ තුළ විද්‍යා ප්‍රදර්ශනයන් සහ සංස්කෘතිකාංගයන්ද දැක බලාගැනීමට අවස්ථාව හිමිවනු ඇති.

එමෙන්ම උසස් අධ්‍යාපනය පිළිබඳ පවතින ගැටළු නිරාකරණය කරගැනීමට හැකියාව ලබාදී ඇති බව සඳහන් ෴


ටෙලිනාට්‍ය අධ්‍යක්ෂක සුධර්මා නෙත්තිකුමාරගේ නිවසේ යළි සොරකමක්

(11.06.2023 – 10:46 +0530 – hirunews.lk/sinhala)

ටෙලිනාට්‍ය අධ්‍යක්ෂක සුධර්මා නෙත්තිකුමාරගේ නිවසේ තිබූ රුපියල් ලක්ෂ 19 කට අධික රන් භාණ්ඩ, සුවඳ විලවුන්, රූපලාවන්‍ය භාණ්ඩ අස්ථානගත වී ඇති බවට ඇය විසින් වැලිකඩ පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

සේවිකාවක් වශයෙන් සිටි කාන්තාවක් විසින් මෙලෙස භාණ්ඩ සොරාගෙන ඇති බව‍යි ඇය පොලීසියට පවසා තිබෙන්නේ.

මීට පෙර ද ඇයගේ නිවසේ රන් භාණ්ඩ නොමැති වූ බවට සැක කරමින් වැලිකඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගත් කාන්තාවකට පහර දුන් බව කියන හේතුවකින් රෝගාතුරවී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේ දී ඇය මියගොස් තිබෙනවා.

එම සිදුවීමට අදාළව වැලිකඩ පොලිස් ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් නිලධාරින් පිරිසකට ස්ථාන මාරු ලබා දීමටයි පොලිස් මූලස්ථානය කටයුතු කළේ.

කුරේ මාවත රාජගිරිය ප්‍රදේශයේ නිවසේ තිබී මෙම භාණ්ඩ අස්ථානගත වී ඇති බව ඇය වැඩිදුරටත් පොලිසියට පවසා තිබෙන අතර මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන වැලිකඩ පොලීසිය විසින් සිදු කරනු ලබනවා ෴


බ්‍රිතාන්‍යයේ වැහෙන පල්ලිවල දැන් හැදෙන්නෙ පන්සල් (06.06.2023)

+


සැබෑවටම ගීතයේ අයිතිය මෙයාලටද – ජූලි 8 නෙළුම් පොකුණේදී විසඳාගනිමු (11.06.2023)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *