බාල වයස්කාර දරු දැරියන් අපයෝජනය කළ පුද්ගලයන් දෙදෙනකු (2) අත්අඩංගුවට

බාල වයස්කාර දරු දැරියන් අපයෝජනය කළ පුද්ගලයන් දෙදෙනකු (2) අත්අඩංගුවට


බාල වයස්කාර දරු දැරියන් අපයෝජනය කළ පුද්ගලයන් දෙදෙනකු (2) අත්අඩංගුවට

(10.06.2023 – 18:56 +0530 – hirunews.lk/sinhala)

බාල වයස්කාර දරු දැරියන් අපයෝජනය කළ පුද්ගලයන් දෙදෙනකු (2) නිවිතිගල සහ සියඹලාණ්ඩුව පොලිසිය විසින් ඊයේ (09) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නිවිතිගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති විසි නව (29) හැවිරිදි සැකකරු දස (10) හැවිරිදි සිසුවියක් අපයෝජනය කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.

සියඹලාණ්ඩුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් 48 හැවිරිදි සැකකරු දොළොස් (12) හැවිරිදි පාසල් සිසුවෙකු අපයෝජනය කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි ෴


ආනයනකරුවන් පවසන පරිදි ජංගම දුරකථන මිල අඩු කළ නොහැකි බව, කොමියුනිකේෂන් හිමිකරුවන් කියයි

(10.06.2023 – 19:00 +0530 – hirunews.lk/sinhala)

ජංගම දුරකථන මිල සියයට 20 කින් අඩු කළ හැකි බවට ඇතැම් සංගම් පැවසුව ද එම සහනය මේ මොහොතේ පාරිභෝගිකයින්ට ලබාදීම අපහසු බව සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමය පවසනවා.

පවතින තොග අවසන් වීමෙන් පසු ජංගම දුරකථන සහ උපාංග වල මිල සියයට 20 කින් පමණ අඩු කිරීමට තීරණය කර ඇති බවයි ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන සහ විකුණුම්කරුවන්ගේ සංගමය ඊයේ (09) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ.

රුපියල ශක්තිමත් වීමේ වාසිය ජනතාවට ලබාදීම සඳහා මෙම පියවර ගන්නා බව එම සංගමයේ සභාපති සමිත් සෙනරත් එහිදී කියා සිටියා.

කෙසේ වෙතත්, සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා අද (10) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ තමන් වැඩි මිලට මිලදී ගත් නිෂ්පාදන එලෙස අඩු මිලට පාරිභෝගිකයාට ලබාදිය නොහැකි බවයි.

තවමත් තමන්ට අඩු වූ ඩොලරයේ වාසිය හිමිවී නොමැති බව ද ඔහු එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළා.

මේ අතර, මෙරට ආර්ථිකය බලහත්කාරයෙන් සංකෝචනය කර ඇති බවටයි ලාංකීය එක්සත් ව්‍යවසායකයින්ගේ සංගමයේ සභාපති ටානියා අබේසුන්දර මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ.

ජාතික ඉදිකිරීම් සංගමයේ ලේකම් සුපුන් අබේකෝන් ද අද (10) පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කරමින් කියා සිටියේ රුපියල් 300 කින් සිමෙන්ති මිල ගණන් අඩුවන බවට ප්‍රකාශ කළ ද සිමෙන්ති මේ වනවිට අඩු කර ඇත්තේ රුපියල් 150 කින් පමණක් බවයි.

මේ අතර, කුකුළු මස් සහ බිත්තර අඩු මිලට ජනතාවට ලබාදීම සඳහා ඉදිරියේදී නීතිරීති පැනවීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ මාළු මිල ඉහළ යාම හේතුවෙන් කුකුළු මස් ව්‍යාපාරිකයන් අනිසි ලාභයක් ලැබීම සඳහා මිල ඉහළ දමා ඇති බවට නිරීක්ෂණය වී ඇති බවයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කුකුළු මස් සහ බිත්තර කර්මාන්තකරුවන් සමඟ ඊයේ (09) පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

එමෙන්ම, අමාත්‍යවරයා කියා සිටියේ කුකුළු මස් මිල ඉහළ යෑම පාලනය කිරීම සහ දැනට පවතින බිත්තර හිඟය අවම කරලීම සඳහා දේශීය කුකුළු කර්මාන්තකරුවන්ගේ එකඟතාව සහිතව යෝජනාවලියක් ලබන සතියේ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවයි.

ආහාර ද්‍රව්‍ය, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සහ විදුලි උපකරණ ඇතුළු භාණ්ඩ වර්ග 286 ක ආනයන සීමා ලිහිල් කිරීමට රජය පියවර ගත් අතර, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අත්සනින් ඊට අදාළව ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා.

+


ආගමික ස්ථාන සහ පුන්‍යායතන සදහා විදුලි බිල අඩු වෙයි

(10.06.2023 – 19:09 +0530 – hirunews.lk/sinhala)

ලබන ජූලි මාසයේ සිදුකිරීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනයෙන් විදුලි බිල අඩුවන ආකාරය පිළිබඳ ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති යෝජනාවලිය මහජන උපයෝගිතා කොමිසම මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

අදාළ යෝජනාවේ දැක්වෙන්නේ ඒකක 0-30 දක්වා කාණ්ඩය පරිභෝජනය කරනු ලබන පාරිභෝගිකයින්ගේ විදුලි බිල සියයට 26.9 කින් අඩුවන බවයි

ඒකක 31-60 දක්වා පරිභෝජනය කරන පාරිභෝගිකයින්ගේ විදුලි බිලෙහි අඩුවීම සිදු වන්නේ සියයට 10.8 කින්. ඒකක 61-90 දක්වා පරිභෝජනය කරන පාරිභෝගිකයින්ගේ විදුලි බිල සියයට 7.2 කින් අඩු කිරීමට ද යෝජිතයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ යෝජනාවට අනුව වැඩිම පිරිසක් පරිභෝජනය කරනු ලබන ඒකක 91-180 දක්වා කාණ්ඩයේ විදුලි බිල අඩුකිරීම සිදු වන්නේ සියයට 3.4 කින්. ඒකක 180 ට වැඩියෙන් පරිභෝජනය කරන විදුලි පාරිභෝගිකයින්ගේ විදුලි බිලේ අඩුවීම සිදුවන්නේ සියයට 1.3 කින්.

එමෙන්ම යෝජිත විදුලි ගාස්තු සංශෝධනයට අදාළව ආගමික ස්ථාන සහ පුණ්‍යායතන සඳහා විදුලි බිලෙහි අඩුවීම සියයට 3.2 ක්. කර්මාන්ත අංශය, පොදු කාණ්ඩය, වීදි ලාම්පු සහ රාජ්‍ය ආයතන කාණ්ඩයේ විදුලි බිලෙහි කිසිඳු වෙනසක් සිදුවන්නේ නැහැ.

කෙසේ වෙතත්, හෝටල් ක්ෂේත්‍රයේ විදුලි බිලෙහි අඩු වීම සියයට 12.6 ක්. ඒ අනුව ලබන ජූලි මාසයේ සිදුකිරීමට නියමිත විදුලි ගාස්තු සංශෝධන යෝජනාවට අනුව සමස්තයක් ලෙස විදුලි බිල අඩුවන්නේ සියයට 3 කින්.

+


‘බූරුපොඩී’ ගෙන් මල් ශාලාවකට මැර ප්‍රහාරයක්

(10.06.2023 – 19:19 +0530 – hirunews.lk/sinhala)

අම්පාර ප්‍රදේශයේ මල් ශාලාවකට අද (10) අලුයම මැර ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

මැර ප්‍රහාරයෙන් තුවාල ලැබූ මල් ශාලාවේ හිමිකරු සහ ඔහුගේ පුත්‍රයා මේ වනවිට ප්‍රතිකාර සඳහා රෝහල්ගතකර තිබෙනවා.

ප්‍රහාරයෙන් මල් ශාලාවේ හිමිකරුගේ පුත්‍රයාගේ පාදයට බරපතළ තුවාල සිදුව ඇති බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරනවා.

‘බූරුපොඩී’ නමැති අයෙකු සමඟ පැමිණි පිරිසක් විසින් මෙම පහරදීම සිදුකර ඇති බවට පොලීසිය සැකපළ කරනවා.

මේ අතර අදාළ ප්‍රහාරය සිදුවන අවස්ථාවේ පහරකෑමට ලක්ව ඇති තරුණයාගේ වැඩිමහල් සොහොයුරා පැමිණිල්ලක් කිරීම සඳහා පොලීසිය ගොස් සිටි බවද වාර්තාවනවා.

මේ වනවිට පහරදීම සිදුකළ පිරිස ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවට තොරතුරු වාර්තා වී වනවා.

+


තල්පේ මුහුදේ සිසුන් හය (6) දෙනෙක් මුහුදු රළ පහරට හසුවෙයි

(10.06.2023 – 19:45 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල, හබරාදුව තල්පේ මුහුදේ දියනාමින් සිටි සිසුන් හය (6) දෙනෙක් මුහුදු රළ පහරට හසුවී ගසාගෙන ගොස් තිබෙනවා.

අද (10) පස්වරුවේ එම සිදුවීම සිදුව තිබුනා.

ඉන් සිසුන් 5 දෙනෙක්ව ප්‍රදේශවාසීන් සහ පොලීසිය එක්ව බේරාගෙන ඇති අතර එක (1) සිසුවෙක් අතුරුදන්ව තිබෙනවා.

දියේ ගිලී අතුරුදන්වී ඇති සිසුවා කුරුණෑගල පොතුහැර ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි අයෙක්.

කුරුණෑගල ප්‍රදේශයේ උපකාරක පන්තියක් මගින් සංවිධානය කර තිබූ විනෝද චාරිකාවක් සඳහා පැමිණ සිටි සිසු සිසුවියන් පිරිසක් තල්පේ මුහුදුතීරයේ දී එම සිද්ධියට මුහුණදී තිබෙනවා ෴


හසලක රක්ෂිතයක නාඳුනන මළ සිරුරක්

(10.06.2023 – 20:00 +0530 – hirunews.lk/sinhala)

හසලක මකුල්ල රක්ශිතයේ ගෙල වැලලාගත් නාඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක් හසලක පොලිසිය විසින් ඊයේ (09) සොයාගෙන තිබෙනවා.

එම නාදුනන පුද්ගලයාගෙ වයස අවුරුදු 60 ක් පමණ වන බවට පොලිසිය සැක කරනවා.

දින 15 කට පමණ පෙර එම පුද්ගලයා සියදිවි නසාගෙන ඇති බව විමර්ශන වලදී හෙලි වී ඇති බව පොලිසිය පවසනවා.

හසලක පොලිසිය පවසන්නේ මළසිරුර හඳුනාගත නොහැකි තරමට නරක් වී ඇති බවයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් හසලක පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියත්මක කරනු ලබයි ෴


අළුබෝමුල්ලේ නිවසකට වෙඩි තැබීමට මුල මත්ද්‍රව්‍ය ජාවාරමක් දැයි පොලිස් විමර්ශන

(10.06.2023 – 20:48 +0530 – hirunews.lk/sinhala)

අළුබෝමුල්ලේ නිවසකට වෙඩි තැබීම මත්ද්‍රව්‍ය ජාවාරමක අවුලක් දැයි සෙවීමට පොලිසිය මේ වන විට පියවර ගනිමින් සිටිනවා.

පෙරේදා(08) යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු (2) මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව එහි තිබූ සීසීටීවී දර්ශන වලින් අනාවරණය කර ගැනීමට පොලීසිය සමත් වී තිබෙනවා.

වෙඩි තැබීමෙන් කිසිවෙකුට තුවාල සිදුවී නොමැති අතර නිවසට සුළු හානියක් සිදුවී ඇති බවයි පොලිසිය පවසන්නේ.

දැනට බන්ධනාගාරගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියකගේ දියණියකගේ නිවසට මෙලෙස වෙඩි පහර එල්ල වී ඇති බව වැඩිදුරටත් පොලිස් විමර්ශනවලදී හෙළිවී තිබෙනවා ෴


කාලගුණය සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

(10.06.2023 – 21:45 +0530 – hirunews.lk/sinhala)

ගිනිකොණදිග අරාබි මුහුදු ප්‍රදේශයේ පවතින ඉතා චණ්ඩ බිපොජෝයි සුළි කුණාටුව පිළිබඳ කාලගුණ විදහා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අරාබි මුහුදේ ගැඹුරු මුහුදු ප්‍රදේශවල යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහායි.

එහි දැක්වෙන්නේ මධ්‍යම අරාබි මුහුදු ප්‍රදේශයේ පැවති බිපොජෝයි සුළි කුණාටුව අද (10) පෙරවරු 11:30 වන විට උතුරු අක්ෂාංශ 16.8 ත් නැගෙනහිර දේශාංශ 57.4 ත් ආශ්‍රිතව ස්ථානගතව පවතින බවයි.

එය ඉදිරි පැය 24 තුලදී තවත් උතුරට බරව ඊසාන දෙසට ආසන්නව ගමන් කරනු ඇති බව එම නිවේදනයේ සඳහන්.

ඉදිරි පැය 24 තුළ මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් උතුරු අක්ෂාංශ 10 ත් 20 ත් සහ නැගෙනහිර දේශාංශ 52 ත් 72 ක් අතර මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 140 ක් 150 ක් පමණ වන අතර වටින් විට පැයට කිලෝමීටර් 160 ක් 170 ක් පමණ දක්වා වැඩි විය හැකියි.

ඉහත මුහුදු ප්‍රදේශ රළු වන අතර විටින් විට තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ද ඇතිවීමේ හැකියාවක් පවතින බවද සඳහන්.

මේ හේතුවෙන් උතුරු අක්ෂාංශ 10 ත් 20 ත් අතර සහ නැගෙනහිර දේශාංශ ත් 72 ත් අතර මුහුදු පුදේශයට නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙසටයි ධීවර සහ නාවික පුජාවන්ට දැනුම් දෙන්නේ.

දැනට මෙම මුහුදු ප්‍රදේශවල ධීවර් කටයුතුවල යෙදී සිටින පිරිස වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.

එමෙන්ම එම දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධයෙන් නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ අවධානය යොමු කරන ලෙසටයි ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්නේ ෴


විවාහ මංගල්‍යයට ගොස් පැමිණෙමින් තිබූ ත්‍රීරෝද රථය පෙරලී අනතුරක

(10.06.2023 – 22:16 +0530 – hirunews.lk/sinhala)

අධික වේගයෙන් ධාවනය වු ත්‍රිරෝද රථයක් අද (10) දින ප්‍රධාන මාර්ගයෙන් ඉවත පැන අතුරු මාර්ගයකට පෙරලිමෙන් අනතුරක් සිදු වි ඇති බව හැටන් පොලිසිය පවසනවා.

කොටගල ප්‍රදේශයේ පැවති විවාහ මංගල්‍යය උත්සවයකට සහභාගි වි ආපසු වටවල දක්වා ත්‍රිරෝද රථය ධාවනය කරන අවස්තාවේ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ හැටන් කුඩාගම ප්‍රදේශයේ දී මෙම අනතුර සිදු වී තිබෙනවා.

ත්‍රිරෝද රථය අනතුරට පත් වන අවස්තාවේ රියදුරා පමණක් ගමන්ගෙන ඇති බවත්, අනතුරෙන් රියදුරාට සුළු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.

රියදුරාට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදු වි ඇති බවත්, අනතුරෙන් ත්‍රිරෝද රථයට දැඩි අලාභ හානි සිදු වි ඇති බවත් හැටන් පොලිසිය පවසනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *