කොච්චිකඩේ පල්ලියට මුස්ලිම් ඇඳුමෙන් යන්න හැදූ පුද්ගලයෙක් අත්අඩංගුවට

කොච්චිකඩේ පල්ලියට මුස්ලිම් ඇඳුමෙන් යන්න හැදූ පුද්ගලයෙක් අත්අඩංගුවට


කොච්චිකඩේ පල්ලියට මුස්ලිම් ඇඳුමෙන් යන්න හැදූ පුද්ගලයෙක් අත්අඩංගුවට

(10.06.2023 – 07:02 +0530 – hirunews.lk/sinhala)

කොච්චිකඩේ පල්ලියට මුස්ලිම් ඇඳුමෙන් යන්න හැදූ පුද්ගලයෙක් පෙරේදා (08) වෙරළබඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ පුද්ගලයා මාතලේ අගලවත්ත ප්‍රදේශයේ ස්ථීර පදිංචියක් සහ කොළඹ – මට්ටකුලිය ප්‍රදේශයේ තාවකාලික පදිංචිව සිටින 46 හැවිරිදි පුද්ගලයෙක්.

මෙම පුද්ගලයා සතුව හැදුනුම්පත් දෙකක් (2) තිබී ඇති අතර එක් හැදුනුම්පතක නම ‘ඇන්ටන්’ ලෙසත් අනෙක් හැදුනුපතේ ‘ඉමිතියාස්’ ලෙසත් සඳහන්ව තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.

පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ මෙම සැකකරු පොලිසිය සමඟ බහින්බස් වීමක්ද ඇති කර ගත් බවයි.

පියා කිතුනු භක්තියෙකු බවත් පියාගේ වියෝවෙන් පසු මව වෙනත් කසාදයක් කර ගත් බවයි සැකකාර පුද්ගලයා පොලිසිය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ ෴


භාණ්ඩ කිහිපයක ආනයන සීමා ඉවතට

(10.06.2023 – 07:02 +0530 – hirunews.lk/sinhala)

භාණ්ඩ කිහිපයකට ආනයන සීමා ඉවත්කර ඇති බව ආනයන අපනයන පාලක ජනරාල්වරයා ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිනවා.

ඒ අනුව ජුනි 09 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම සීමා ඉවත්වනු ඇති.

ඉලෙක්ට්‍රොනික ද්‍රව්‍ය, සනීපාරක්ෂක උපකරණ සහ ආහාර ද්‍රව්‍ය ඇතුළු ද්‍රව්‍ය 300 කට අධික ආනයන සීමා ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ ෴


ප්ලොට් සංවිධානයේ හිටපු නායකයාට මරණ දඬුවම

(10.06.2023 – 07:17 +0530 – hirunews.lk/sinhala)

වවුනියාව මහ රෝහලේ නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරයාට වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වූ ප්ලොට් සංවිධානයේ වවුනියාවේ හිටපු නායකයා වන එස්. නැඳුමාරන්ට වවුනියාව මහාධිකරණ විනිසුරු එම්. ඉලන්චෙලියන් පසුගිය 08 වැනිදා මරණ දඬුවම නියම කර තිබෙනවා.

2000 වසරේ අප්‍රේල් මස 20 වැනිදා විශේෂඥ වෛද්‍ය මොහොමඩ් සුල්තාන් මිරා මොහිදීන් මහතා වවුනියට මහ රෝහලේ සිය රාජකාරි කටයුතු නිමවා නිවසට යන්නට සූදානම් වූ අවස්ථාවේදී රෝහලේ ගෙට්ටුව අසලදී පිස්තෝලයකින් වෙඩි තබා ඔහු ඝාතනය කර තිබුණා ෴


වව්නියාව නගරයේදී අත්අඩංගුවට පත් කාන්තාවන් 07 දෙනාටම සමාජ රෝග

(10.06.2023 – 07:24 +0530 – hirunews.lk/sinhala)

ලිංගික ශ්‍රමිකයන් වශයෙන් කටයුතු කරමින් සිටියදී වවුනියාව නගරයෙන් අත්අඩංගුවට ගත් කාන්තාවන්ගෙන් හත්දෙනෙකුට (7) සමාජ රෝග වැළදී ඇති බව වවුනියාව රෝහල් ආරංචි මර්ග සදහන් කරනවා.

ඒ, අනුව එම කාන්තාවන් සමඟ ලිංගික සබදතා පැවැත්වුවන් සිටිනවා නම් වහාම වෛද්‍ය පරීක්ෂණ සදහා යොමු වන ලෙසයි වවුනියාව සෞඛ්‍ය නිලධරින් දැනුම් දී සිටින්නේ.

මෙහිදී අදාළ කාන්තාවන්ට ‘ගොනොරියාව’ හා ‘හර්පිස්’ වැනි සමාජ රෝග පවතින බව වෛද්‍ය පරීක්ෂණ වලින් අනාවරණය වී තිබෙනවා ෴


දුම්රියේ ගැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

(10.06.2023 – 08:42 +0530 – hirunews.lk/sinhala)

කොළඹ සිට දෙහිවල දක්වා ධාවනය වූ දුම්රියේ ගැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (09) සවස් කාලයේ මෙම අනතුර සිදුව තිබෙනවා.

මරණයට පත් පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බව සඳහන් ෴


බිරිඳ පළාගිය දුකට ස්වාමියා වස බීලා

(10.06.2023 – 08:31 +0530 – hirunews.lk/sinhala)

විදෙස්ගතව සිට පැමිණි බිරිද සහෝදරයා සමග හොර රහසේ පලා යෑම නිසා සිත් වේදනාවට පත්වූ බව කියන ස්වාමියා වස පානය කිරීමෙන් පසු ඔහුගේ අවුරුදු 12 ක් වයසැති පුතාද වස පානය කිරීම නිසා දෙදෙනාම රෝගාතුර වී හලාවත රෝහලට පෙරේදා (08) ඇතුළත් කර තිබෙනවා.

පියාත් පුතාත් දෙදෙනා මුලින්ම උඩප්පුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා හලාවත රෝහලට ඇතුළත් කළ බවයි පොලිසිය සඳහන් කළේ.

වසර කිහිපයක් මැදපෙරදිග සේවිකාවක ලෙස සේවය කර අදාළ පුද්ගලයාගේ බිරිද මීට දින කිහිපයකට ඉහත දී උඩප්පුව ප්‍රදේශයේ පිහිටි නිවෙසට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

මෙම තැනැත්තියගේ විවාහක සැමියාගේ මල්ලී ද මෙම නිවසේ ජීවත්ව සිට තිබෙනවා.

විදෙස්ගතව සිට පැමිණි ඇය මෙම දින කිහිපය තුළ විවාහක සැමියාගේ මල්ලී සමග අනියම් ඇසුරක් ගොඩනගාගෙන ඔහු සමග රහසේ නිවසින් පලාගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මෙයින් සිත් වේදනාවට පත්ව සිටි බව කියන එම තැනැත්තියගේ සැමියා මුලින්ම වස පානය කර තිබෙන අතර පියා වස පානය කරන අයුරු දුටු පුතාද වස පානය කර ඇති බවයි මුලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ ෴


මහියංගන – හසලක මාර්ගයේ මාරක අනතුරක්

(10.06.2023 – 08:40 +0530 – hirunews.lk/sinhala)

මහනුවර – මහියංගණය මාර්ගයේ ගුරුලුපොත ප්‍රදේශයේ සිදු වූ බස් රථ අනතුරකින් මාස 06 ක් වයසැති බිළිඳෙකුට දිවි අහිමි වුණා.

අනතුරින් තුවාල ලැබූ තවත් 18 දෙනෙකු මහියංගණය රෝහලට ඇතුළත් කෙරුණු අතර දරුවන් දෙදෙනෙකු (2) සහ කාන්තාවන් 10 දෙනෙකුද ඒ අතරට අයත්.

වන්දනා ගමනක් ගොස් නැවත නිවෙස් බලා යමින් සිටි වන්දනාකරුවන් පිරිසක් රැගත් බස් රථයක් ඊයේ (09) රාත්‍රියේ මෙම අනතුරට මුහුණ පෑවේ මහනුවර – මහියංගණය මාර්ගයේ ගුරුළුපොත ප්‍රදේශයේදී යී.

බස් රථයේ තිරිංග ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මෙම අනතුරුව සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

තිරිංග ක්‍රියාත්මක නොවීමත් සමග රියදුරු බස්රථය මාර්ගය අයිනේ පස්කන්ද දෙසට යොමු කර ඇති අතර එහි ගැටුණු බස් රථය පෙරළීයාමෙන් මෙම අනතුර සිදු වුණා.

අනතුර සම්බන්ධයෙන් හසලක පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

+


පොලිස් ජීප් රථයකට පහරදුන් තිදෙනෙකු (3) අත්අඩංගුවට

(10.06.2023 – 08:44 +0530 – hirunews.lk/sinhala)

ඩයගම – නැගෙනහිරවත්ත තුන්වන කොටසේදී පොලිස් ජීප් රථයකට පහරදුන් පුද්ගලයන් තුන්දෙනෙකු (3) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (09) රාත්‍රියේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 22 ත් 25 ත් අතර පසුවන එම ප්‍රදේශයේම පදිංචිකරුවන් බව සඳහන්.

පසුගිය මැයි මස 25 වනදා ඩයගම පොලිසිය විසින් නීතිවිරෝධී මත්පැන් වැටලීමක් සිදුකර සැකකරුවන් පස්දෙනෙකු (5) අත්අඩංගුවට ගෙන රැගෙන එමින් සිටියදියි මෙම සැකකරුවන් ජීප් රථයට පහරදී තිබුණේ.

ඔවුන් විසින් මත්පැන් සමඟ අත්අඩංගුවට ගත් පිරිස මුදාගැනීමේ අරමුණින් ගල් ප්‍රහාර එල්ල කර තිබූ බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය ප්‍රකාශ කළේ.

නුවරඑළිය කොට්ඨාස අපරාධ නිලධාරීන්, පොලිස් නිල සුනඛ ඒකකය සහ ඩයගම පොලිස් ස්ථානයේ නිලධාරීන් සිදුකළ විමර්ශනයකින් අනතුරුව ඊයේ (09) අත්අඩංගුවට ගත් සැකකරුවන් ලබන 16 වනදා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ ෴


මැදිරිගිරියේ ජනතාවගෙන් චෝදනාවක්

(10.06.2023 – 09:09 +0530 – hirunews.lk/sinhala)

ගවයන් අතර පැතිර ගිය සමේ ගැටිති රෝග සඳහා ඖෂධයක් නොමැති වීම හේතුවෙන් තම ගවයන් විශාල ලෙස මියයන බව පොළොන්නරුව – මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ප්‍රදේශ රැසක ජනතාව චෝදනා කරනවා.

දැනට මාසයකට පමණ පෙර පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් සුළු වශයෙන් වාර්තා වූ මෙම රෝගය මේ වනවිට පල්ලියගොඩැල්ල, පඹුරාන, අහමඩ්පුර ආදී ප්‍රදේශවලින්ද වාර්තා වනවා.

ගොවීන් ඉල්ලා සිටින්නේ මෙම තත්ත්වය මගහරවා ගැනීමට කඩිනමින් ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි ෴


වැලිපැන්නේදී පොලිස් නිලධාරියෙකුගේ නිවස කොල්ලකෑ දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(10.06.2023 – 09:19 +0530 – hirunews.lk/sinhala)

පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් බව පවසමින් වැලිපැන්න ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකුගේ නිවසකට ඇතුලුවී ගිනි අවි පෙන්වා දේපළ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය වසරේ (2022) දෙසැම්බර් මස 03 වනදා මොවුන් තවත් පිරිසක් සමඟ පොලිස් නිලධාරියාගේ නිවසට ඇතුලුවී නිවැසියන් බිය ගන්වා දේපළ කොල්ලකා තිබුණා.

මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් ලද තොරතුරක් මත ඊයේ (09) මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ මොරටුව සහ පානදුර ප්‍රදේශවල පදිංචි අවුරුදු 32 සහ 39 යන වයස්වල පසුවන්නන් බවයි වාර්තා වන්නේ ෴


මාධ්‍ය ආයතන නියෝජිතයින්ගෙන් ඉල්ලීමක්

(10.06.2023 – 09:27 +0530 – hirunews.lk/sinhala)

විද්‍යුත් මාධ්‍ය ආයතන විකාශන අධිකාරී පනත් කෙටුම්පත පිළිබද පුළුල් අධ්‍යයනයක් සිදුකොට අවසන් කෙටුම්පත සකස් කිරීම සඳහා තවත් සීමිත කාලයක් අවශ්‍ය බව මාධ්‍ය ආයතන නියෝජිතයින් ඉල්ලීමක් කර තිබෙනවා.

ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ, විද්‍යුත් මාධ්‍ය ආයතන නියෝජිතයින් සමග පැවති සාකච්ඡාවක දී අදාළ පනත් කෙටුම්පතේ සිංහල පිටපතක් ලබාදීමට ද අදාළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව එකගතාව පළ කළ බවයි ෴


යාපනයේ ජුලි 01 වැනිදා සිට සිකුරාදා හා ඉරිදා දිනවල පෞද්ගලික පන්ති නොපවැත්වීමට තීරණය කෙරේ

(10.06.2023 – 09:38 +0530 – hirunews.lk/sinhala)

ජුලි 01 වැනි දා සිට සිකුරාදා හා ඉරිදා දිනවල පෞද්ගලික පන්ති නොපවැත්වීමට තීරණය කළ බව යාපනය දිස්ත්‍රික් ලේකම් ඒ . සිවබාලසුන්දරන් පවසනවා.

ඔහු ප්‍රකාශකර සිටියේ, 9 ‍ශ්‍රේණියෙන් පහළ පන්ති සඳහා සිකුරාදා පස්වරුවේ හා ඉරිදා දිනයේ පෞද්ගලික පන්ති නොපවැත්වීමට තීරණය කළ බවයි.

ළමුන්ගේ මානසික සුවතාවය වෙනුවෙන් එම තීරණය ගත් බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශකර සිටින්නේ.

යාපනය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය, පොලිස්, පෞද්ගලික පන්ති හිමිකරුවන්, ගුරුවරුන් හා ළමා සංවර්ධන නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවේදී එම තීරණය ගෙන තිබෙනවා.

දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවේ, ඒ සම්බන්ධයෙන් දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේදී ද සාකච්ඡා කරන බවයි.

සෑම පෞද්ගලික පන්තියක්ම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ලියාපදිංචි විය යුතු බව ද යාපනය දිස්ත්‍රික් ලේකම්වරයා පවසා සිටින අතර සෑම පෞද්ගලික පන්තියක්ම පවත්වාගෙන යාමේදී ඒ සඳහා අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් සම්පූර්ණ කර තිබිය යුතු බවයි ෴


කුකුළු මස් සහ බිත්තර මිල සම්බන්ධයෙන් ඇමතිගෙන් ප්‍රකාශයක්

(10.06.2023 – 10:43 +0530 – hirunews.lk/sinhala)

කුකුළු මස් මිල ඉහළ යාම වැළැක්වීම සඳහා ලබන සතියේ අමාත්‍ය මණ්ඩලය වෙත යෝජනාවලියක් ඉදිරිපත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

කුකුළු මස් හා බිත්තර මිල ඉහළ යාම හමුවේ මාළු වර්ග ආහාරයට එක් කරගැනීමට ජනතාව අවධානය යොමු කර තිබුණත් මාළු මිල ගණන් පවතින්නේ ඉහළ අගයයි.

වෙළෙඳපොළේ එළවළු මිල ගණන්වල සැලකිය යුතු අඩුවක් තවමත් දක්නට ලැබෙන්නේ නැහැ.

ඒ අනුව පිටකොටුවේ බෝංචි රුපියල් 350 ක්, ගෝවා රුපියල් 300 ක්,තක්කාලි රුපියල් 240 ක්, වම්බටු රුපියල් 200 ක්, වට්ටක්කා රුපියල් 120 ක් වශයෙන් කිලෝග්‍රෑමයක සිල්ලර මිල දැක්වුණා.

මේ අතර කුකුළු මස් හා බිත්තර මිල ඉහළ යාම හමුවේ මාළු වර්ග ආහාරයට එක් කරගැනීමට ජනතාව අවධානය යොමු කර තිබුණත් මාළු මිල ගණන් පවතින්නේ ඉහළ අගයකයි.

පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ පරව් රුපියල් 1,600 ක්, බලයා හා ලින්නා රුපියල් 1,300 ක් මෙන්ම හුරුල්ලා රුපියල් 1200 ක් වශයෙන් කිලෝග්‍රෑමයක සිල්ලර මිල දැක්වුණා.

මේ අතර කුකුළු මස් මිල ඉහළ යාම වැළැක්වීම සඳහා සකස් කළ යෝජනාවලියක් ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

මේ අතර තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය වෙත පැමිණෙන ගැනුම්කරුවන්ගේ අඩුවක් දක්නට ලැබෙනවා.

මේ හේතුවෙන් එළවළු විකුණාගත නොහැකි තත්ත්වයක් මතුව ඇති බවයි ගොවීන් පවසන්නේ.

මේ අතර රත්නපුර දිස්ත්‍රික්කයේ කරවිලයාය, ගල්පාය, කරමැටිආර, තිත්තවැල්පොල, පුහුල්යාය ආදී ගම්මානවල වට්ටක්කා ගොවීන් සිය අස්වනු අලෙවිකරගත නොහැකිව පත්ව ඇත්තේ දැඩි අසීරුතාවකටයි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *