ටෙලිකොම් ගැන අධීක්ෂණ කාරක සභාවේ කතාව සම්බන්ධයෙන් රජයේ අවධානය

ටෙලිකොම් ගැන අධීක්ෂණ කාරක සභාවේ කතාව සම්බන්ධයෙන් රජයේ අවධානය


ටෙලිකොම් ගැන අධීක්ෂණ කාරක සභාවේ කතාව සම්බන්ධයෙන් රජයේ අවධානය

(09.06.2023 – 18:58 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බවට ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ මෙම වාර්තාව මෙන්ම තොරතුරු සහ සන්නිවේදන ක්ෂේත්‍රයේ නිර්දේශ, සැලකිල්ලට ගෙන ඉදිරි කැබිනට් මණ්ඩල රැස්වීමකදී අවසන් තීරණයක් ගන්නා බවයි.

ජාතික ආරක්ෂාවට අදාළ සංවේදී තොරතුරු නිරාවරණය වන බැවින් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකකරණයට, සිය කමිටුව නිර්දේශ නොකරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අදාළ වාර්තාවෙන් දක්වා තිබුණා.

එම කාරක සභාව පෙන්වා දී ඇත්තේ ත්‍රස්තවාදීන්ට අන්තවාදීන්ට කුමන ආකාරයකින් හෝ උපකාර කළ කිසිවෙකුට, අසාදු ලේඛන ගත කළ සංවිධානයකට මෙහි කිසිදු කොටසක් මිලදී ගැනීමට සහ ජාතික වත්කම් පාලනයට ඉඩ ලබානොදිය යුතු බවයි.

කෙසේ වෙතත්, ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ අදාළ වාර්තාව කරුණු රැසකින් සමන්විත වුව ද අවධානය යොමුකර ඇති විෂය ක්ෂේත්‍රය පිළිබඳව තාර්කික හෝ විද්‍යාත්මක දත්ත විශ්ලේෂණයක් පදනම් නොවී ඇති බවයි.

ජාතික ආරක්ෂාවට රජයේ මෙම ප්‍රතිපත්තිමය තීන්දුවෙන් බලපෑමක් එල්ල නොවන බවට වන තහවුරුව ද රජය සතු බව එහි වැඩිදුරටත් දැක්වෙනවා ෴


පාසල් සිසුන්ට දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර ලබා ගැනීම ජුනි 16 දක්වා දීර්ඝ කෙරේ

(09.06.2023 – 19:50 +0530 – hirunews.lk/sinhala)

පාසල් ළමුන් සඳහා දුම්රිය වාර ප්‍රවේශපත්‍ර ලබාගත හැකි කාලසීමාව දීර්ඝකර තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ එම කාලසීමාව ජූනි 16 වනදා තෙක් දීර්ඝ කළ බවයි.

ඒ සම්බන්ධයෙන් සියලුම දුම්රිය ස්ථාන දැනුවත් කර ඇති බවද නිවේදනයක් නිකුත් කරමින් දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා ෴


කිරින්ද වෙරළේදී තරුණියන් දෙදෙනෙකු රළ පහරට හසුවෙයි

(09.06.2023 – 20:13 +0530 – hirunews.lk/sinhala)

කිරින්ද විහාරය ආසන්නයේදී මුහුදු රළ පහරට හසුවීමෙන් තරුණියක් අතුරුදන්ව තවත් තරුණියක් මියගොස් තිබෙනවා.

අතුරුදහන් වූ තරුණියගේ සිරුරද සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අද (09) උදෑසන කාලයේදී මෙම අවාසනාවන්ත අනතුර සිදුව ඇති බව පොලීසිය පවසන අතර මියගිය තරුණියන් දෙදෙනාම (2) 18 හැවිරිදි වියේ පසුවන බිබිල ප්‍රදේශයේ පදිංචිකාරිනියන් බව සඳහන්.

මොවුන් කිරින්ද ප්‍රදේශයේ විනෝද චාරිකාවක් පැමිණි අවස්ථාවක මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ ෴


ශ්‍රී ලංකාවේ පානීය ජලයේ ගුණාත්මක බාවය ඉහල නැංවීම් සඳහා චීන රජයෙන් සුවශේෂී අනුග්‍රහයක්

(09.06.2023 – 20:16 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ භූගත ජලයේ පවතින ගුණාත්මක භාවය ප්‍රතිශතයක්‌ ලෙස සැලකිය යුතු මට්ටමකින් අඩු වීම හේතුවෙන් ඒ ආශ්‍රිතව ජන ජීවිතයේ උද්ගතවන සෞඛ්‍ය හා සනීපාරක්ෂක ගැටලු හඳුනා ගැනීම සඳහා වන පර්යේෂණ කටයුතු, රට තුළ වඩාත් පුළුල් කිරීම සහ ඒ සඳහා අවශ්‍ය විසදුම් ලබාදීම මෙන්ම, ශ්‍රී ලංකා රජයේ ජාතික ප්‍රයත්නය ශක්තිමත් කිරීම සහ එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක යටතේ ජලය සහ සනීපාරක්ෂාව ප්‍රශස්ත මට්ටමින් රට තුළ ක්‍රියාත්මක කිරීම සඳහා රජයට සහ ඒ හා සම්බන්ධ වගකිවයුතු ආයතනයන්ට සහාය දැක්වීම අරමුණුකොට, චීන පර්යේෂණ හා විද්‍යා ඇකඩමිය මගින් විශේෂ වැඩසටහන් කීපයක් රට තුළ ක්‍රියාත්මක කිරීම සඳහා වන විශේෂ සාකච්ඡාවක් 2023 ජූනි මස 09 දින රත්මලාන ජල සම්පාදන මණ්ඩලයේ Cewas නව ගොඩනැගිල්ලේ ශ්‍රවණාගාරයේදී ජලසම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුණා.

මෙම අවස්ථාව සඳහා විශේෂ ආරාධිතයින් වශයෙන් චීන පර්යේෂණ හා විද්‍යා ඇකඩමියේ මහාචාර්ය Min Yang මහතා මහාචාර්ය Wei Yuansong මහතා සහ ආචාර්ය Yawei Wang, ප්‍රධාන නියෝජිත කණ්ඩායමක් සහභාගි වුනා.

ශ්‍රී ලංකාවේ පානීය ජලයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා වන ලෝකයේ ඉහළම තාක්ෂණය හඳුන්වා දෙමින් ඒ සඳහා වන සියලු පහසුකම් වලින් සමන්විත පර්යේෂණාගාර සහ නව පර්යේෂණ උපාංග, පිරිපහදු යන්ත්‍ර, පරිත්‍යාග ලෙස ශ්‍රී ලංකාවට ලබාදෙමින් මේ සිදු කරනු ලබන සමාජ මෙහෙවර ඉතාමත් ගෞරවයෙන් යුතුව මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා රජය වෙනුවෙන් අගය කරන බව ජලසම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොන්ඩමන් මෙහිදී කියා සිටියා.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා :

චීන ශ්‍රී ලංකා ඒකාබද්ධ ජල පර්යේෂණ ආයතනය සමග එක්ව අපේ රටේ ජලසම්පාදනය සම්බන්ධයෙන්, භූගත ජලය සම්බන්ධයෙන් මේ කරන්නා වූ පර්යේෂණ වැඩපිළිවෙල සඳහා අප රජයෙන් මගින් ලබා දිය හැකි සියලුම සහයෝගය ලබාදීමට කටයුතු කරන බවද විශේෂයෙන් ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය, ජාතික ප්‍රජා ජල සැපසුම් දෙපාර්තමේන්තුව මගින් මහජනතාවට ලබා දෙන සේවා කටයුතු වඩාත් පහසුවෙන්, නව තාක්ෂණික ක්‍රමයන් උපයෝගී කරගනිමින් ඉදිරියට සාර්ථකව කරගෙන යෑම සඳහා ඔබ විද්‍යාඥයින්ගේ දැනුම සහ තාක්ෂණික සහයෝගය ද අපට විශේෂයෙන් වැදගත් බවද ඇමතිතුමා පෙන්වා දුන්නා.

එසේම ශ්‍රී ලංකාවේ පානීය ජලයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට සහ ඒ සඳහා පහසුකම් සපයා දීම වෙනුවෙන් ද සමස්ත ජනතාව වෙනුවෙන් ස්තුති කරන බව ද ජීවන් තොණ්ඩමන් ඇමැතිතුමා කියා සිටියා ෴


තවත් ලාංකිකයින් පිරිසකට ඊශ්‍රායලයේ රැකියා වරම්

(09.06.2023 – 20:25 +0530 – hirunews.lk/sinhala)

සාත්තු සේවා රැකියා වරම් ලැබූ ශ්‍රි ලාංකිකයින් දසදෙනෙකු (10) වෙත ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාරගේ ප්‍රධානත්වයෙන් අද දින (2023.06.09 දින) විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී සිදු කරනු ලැබුවා.

60 වන ශ්‍රමික කණ්ඩායම ලෙස එම පිරිස 2023.06.13 දින ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිතයි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ඊශ්‍රායලයේ ජනගහන හා සංක්‍රමණ අධිකාරිය අතර 2020 වසරේ ඇතිකර ගත් ගිවිසුම ප්‍රකාරව ශ්‍රි ලාංකිකයින්ට ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා හිමිවන අතර 2022 අප්‍රේල් 28 දින සිට මේ දක්වා ශ්‍රී ලාංකික සාත්තු සේවා වෘත්තිකයින් 372 ක් සඳහා ඊශ්‍රායලයේ රැකියා වරම් හිමිව තිබෙනවා.

මේ ආකාරයට මෙම වසර තුළදී ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා අවස්ථා 2000 ක් සදහා වන රැකියා කෝටාවක් ලබාදීමට ඊශ්‍රායලයේ ජනගහන හා සංක්‍රමණ අධිකාරිය එකගතාවය පළ කර තිබෙනවා.

ඊශ්‍රායල් රජය හා ශ්‍රි ලංකා රජය අතර ඇති කරගන්නා ලද අවබෝධතා ගිවිසුම අනුව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පමණක් ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා ශ්‍රි ලාංකිකයින්ට හිමිවන අතර, ඊශ්‍රායලයේ රැකියා ලබාගැනීම සඳහා කිසිඳු බාහිර පුද්ගලයෙකුට මුදල් හෝ ගමන් බලපත්‍රය ලබාදීමෙන් වලකින ලෙස ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියා ෴


මැතිවරණ කොමිසමෙන් විශේෂ නිවේදනයක්

(09.06.2023 – 21:08 +0530 – hirunews.lk/sinhala)

එක් එක් මැතිවරණ කොට්ඨාසය වෙනුවෙන් තෝරා පත් කිරීමට හිමිකම් ඇති මන්ත්‍රීවරුන් සංඛ්‍යාව සම්බන්ධයෙන් මැතිවරන කොමිෂන් සභාව අද (09) රැස්වූ අවස්ථාවේදී තීරණයක් ගෙන තිබෙනවා.

එහිදී තීරණය කරගත් එම සංඛ්‍යාව සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය පහතින් :


ඉඩම් ආරවුලක් මත මිත්තණියට පහර දුන් වෛද්‍යවරයා අත්අඩංගුවට

(09.06.2023 – 21:11 +0530 – hirunews.lk/sinhala)

ඉඩම් ආරවුලක් මත සිය 93 හැවිරිදි මිත්තණියට පහර දුන් දොස්තර මුණුබුරා තිස්සමහාරාම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉඩමක් ලියා නොදුන්නාට උරණ වි 93 හැවිරිදි මිත්තණියට පහරදී තුවාල සිදුකිරිම හා රාජකාරියට ගිය පොලිස් නිලධාරීන්ට බාධා කර සාපරාධී බලහත්කාරය පෑ වරදටයි ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙබරවැව මුලික රෝහලේ බාහිර රෝගි අංශයේ කටයුතු කරන තිස්සමහාරාම, දියස්යාය පදිංචි වෛද්‍යවරයෙක් බවයි වාර්තා වන්නේ.

සැකකාර වෛද්‍යවරයා ඉඩම් ආරවුලක් මුල්කරගනිමින් පසුගිය 07 වන දින සිය 93 හැවිරිදි මිත්තණියට පහරදී තුවාල සිදුකර තිබෙනවා.

තුවාල ලැබූ මිත්තණිය තිස්සමහාරාම පොලීසියට පැමිණිල්ලක් කර ඇති අතර ඒ අනුව ක්‍රියාත්මක වූ පොලීසිය අදාළ වෛද්‍යවරයා හමුවට ගිය අවස්ථාවේ දී ඔහු ඉතා පරුෂ වචනයෙන් පොලිස් නිලධාරීන්ට බැණ වැඳී ද තිබෙන බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *