මුල්ලේරියාවේ දී මියගිය අවුරුදු පහමාරක් (5½) වයසැති දරුවාගේ මරණයට හේතුව හෙළිවෙයි

මුල්ලේරියාවේ දී මියගිය අවුරුදු පහමාරක් (5½) වයසැති දරුවාගේ මරණයට හේතුව හෙළිවෙයි


මුල්ලේරියාවේ දී මියගිය අවුරුදු පහමාරක් (5½) වයසැති දරුවාගේ මරණයට හේතුව හෙළිවෙයි

(09.06.2023 – 15:09 +0530 – hirunews.lk/sinhala)

තියුණු තලයකින් උදරය කැපී සිදුවූ ලේ වහනය වීමකින් මුල්ලේරියාව – හල්බරාව ප්‍රදේශයේ අවුරුදු පහමාරක් (5½) වයසැති දරුවා මියගොස් ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණ වී තිබෙනවා.

119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව ඊයේ (08) රාත්‍රියේ මෙම දරුවාගේ මළ සිරුර සොයාගෙන තිබූ අතර, සිරුර ආසන්නයේ බිදුණු වීදුරු බෝතලයක කටු තිබී සොයාගැනුනා.

කෙසේ වෙතත් මුල්ලේරියාව රෝහලේ අද (09) සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී වැඩිදුරටත් හෙළිවී ඇත්තේ මෙම දරුවා ලිංගික අතවරයකට ලක්වී නොමැති බවයි.

මෙම දරුවාගේ මව පියාගෙන් වෙන්ව ජීවත්වන අතර, දරුවා මිත්තනිය සහ සීයා භාරයේ තබා ඇය රැකියාව සඳහා පිටත්ව ගොස් තිබුණා.

කෙසේ වෙතත් මෙම මරණය සම්බන්ධයෙන් අදාළ ස්ථානයේ සිටි වෘත්තියෙන් තණකොළ කපන්නෙකු සම්බන්ධයෙන් සැක මතුවී ඇත්තේ දරුවාගේ සීයා පොලිසියට ලබාදුන් ප්‍රකාශයකට අනුවයි ෴

මුල්ලේරියාව – හල්බරාව ප්‍රදේශය් අවුරුදු පහමාරක් (5½) වයසැති දරුවාගේ මරණය සම්බන්ධයෙන් සැකකරුවෙකු (51 හැවිරිදි තණකොළ කපන්නෙකු) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴


මොනරෙකුගේ ඇඟේ ගැටී පොලිස් කොස්තාපල්වරයෙක් රෝහල් ගත කෙරේ

(09.06.2023 – 15:15 +0530 – hirunews.lk/sinhala)

මොනරෙකුගෙ ගැටුණු පොලිස් කොස්තාපල්වරයෙකු බරපතළ තුවාල ලබා ප්‍රතිකාර සඳහා පුත්තලම රෝහලට ඇතුළත් කර තිබෙනවා.

රාජකාරි අවසන් කර යතුරුපැදියේ යමින් සිටිය දී මහකුඹුක්කඩවල මදුරන්කුලියමාර්ගයේ අයියනායක දේවාලය අසලදී මොණරා පොලිස් කොස්තාපල්වරයාගේ මුහුණේ ගැටී තිබෙන බවයි වාර්තා වන්නේ.

පොලිසිය පැමිණ මොනරා පිළිබඳ සෙවුවද සොයා ගැනීමට නොහැකි වී ඇති බවයි වාර්තා වන්නේ.

පොලිස් කොස්තාපල් වරයාඅනතුර හේතුවෙන් ශල්‍යකර්මයකට භාජනය කර ඇති බවයි පොලිසිය පවසන්නේ ෴


එළ ගවයින් අතර පැතිර යන රෝගයක් නිසා මැදිගිරිය කිරි ගොවින් අසීරුතාවට

(09.06.2023 – 15:23 +0530 – hirunews.lk/sinhala)

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ එළ ගවයින් අතර පැතිර යන රෝගයක් හේතුවෙන් මැදිගිරිය ප්‍රදේශයේ කිරි ගොවින් මේ දිනවල අසීරුතාවට පත්ව සිටිනවා.

එම ප්‍රදේශයේ එළ ගවයින් අතර කුඩා බිබිලි සහිත රෝගයක් පැතිර යන බවයි ඔවුන් පවසන්නේ

රෝගය වැලඳීමෙන් දින 15 කට පසු එම සත්ත්වයින් මිය යන බව ද ගොවීන් පෙන්වා දෙනවා.

මේ සම්බන්ධයෙන් මැදිරිගිරිය පශු වෛද්‍ය කාර්යාලයෙන් විමසූ විට ඔවුන් පවසා ඇත්තේ මෙම රෝගයට නිසි ඖෂධයක් තවමත් සොයා ගෙන නොමති බවයි ෴


ජපන් රැකියා ලබා දෙන බවට මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට

(09.06.2023 – 15:30 +0530 – hirunews.lk/sinhala)

ජපානයේ ඔසාකා නුවර කාර්මාන්තශාලාවක රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම කාන්තාව ජපානයේ රැකියා ලබා දෙන බවට පොරොන්දු වී රුපියල් දසලක්ෂ හැත්තෑ පන්දහසක (10,75,000) මුදලක් ලබාගෙන රැකියා ලබා නොදුන් බවට පුද්ගලයින් දෙදෙනෙකු (2) විසින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිලි කර තිබුණා.

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි කාන්තාව කාර්යාංශය වෙත ඊයේ (08) කැඳවා සිදුකළ විමර්ශනයේදී වලංගු බලපත්‍රයක් නොමැතිව මුදල් ලබාගෙන ඇති බවට හෙළි වී තිබෙනවා ෴


කළුතර ලැගුම්හලකදී සිසුවියක් මියයාමේ සිද්ධියේ සැකකරුවන් තුන්දෙනෙකු (3) යළි රිමාන්ඩ්

(09.06.2023 – 15:48 +0530 – hirunews.lk/sinhala)

කළුතර ලැගුම්හලක ඉහළ මහළකින් ඇද වැටී පාසල් සිසුවියක් මියයාමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇතුලු සැකකරුවන් සිව්දෙනා (4) ගෙන් තුන්දෙනෙකු (3) ලබන 23 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, ඔවුන් අද (09) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටි ප්‍රධාන සැකකරු, මියගිය සිසුවියගේ 19 හැවිරිදි මිතුරිය, ඇගේ පෙම්වතා මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ප්‍රධාන සැකකරුගේ රියදුරා ඇප මත මුදා හැරි බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ. මේ අතර, පාසල් සිසුවියන් 16 දෙනෙකු අපයෝජනය කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි කළුතර ප්‍රදේශයේ උපකාරක පංති ගුරුවරයා ද අද (09) යළි කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

එම සැකකරුද ලබන මස 23 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කෙරුණේ ෴


නව පාසල් වාරය ජුනි 12 ආරම්භ වේ

(09.06.2023 – 16:42 +0530 – hirunews.lk/sinhala)

ලබන පාසල් වාරය 12 වැනිදා ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කර සිටිනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ, ළමුන්ට බෙදා දීම සඳහා මේ වනවිට පෙළපොත් සහ නිල ඇඳුම් රෙදි පාසල් වලට ලබා දී ඇති බවයි.

නමුත් ඇණවුම් කළ පෙළපොත් සහ නිල ඇඳුම් රෙදි ලැබී නොමැති පාසල්වලට ඒ පිළිබඳ ලබන 12 වැනිදායින් පසු දැනුම් දිය හැකි බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටිනවා ෴


කොවිඩ්-19 සහ ඩෙංගු සම්ප්‍රේෂණය කළමනාකරණයට ජනපති විශේෂඥ කමිටුවක් නම් කරයි

(09.06.2023 – 16:55 +0530 – hirunews.lk/sinhala)

රට තුළ කොවිඩ්-19 සහ ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනයට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අමාත්‍ය කමිටුවක් සහ විද්වත් කමිටුවක් පත් කර තිබෙනවා.

2023 ජුනි මස 22 දිනැති අංක 23/විවිධ/026 දරන අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව මෙම කමිටු පත් කර තිබෙන බව සඳහන්.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් යුත් අමාත්‍ය කමිටුව කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරු ඇතුළු සාමාජිකයන් 08 දෙනෙකුගෙන් සමන්විතයි.

රට තුළ කොවිඩ්-19 සහ ඩෙංගු රෝගය පාලනයට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම අමාත්‍ය කමිටුවට පැවරෙනු ඇතී.

මේ අතර ක්ෂේත්‍රයේ විශේෂඥ දැනුම ඇති සාමාජිකයන් 11 දෙනෙකුගෙන් යුත් විද්වත් කමිටුව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් පත් කර තිබෙනවා.

සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹෙපොලගේ සභාපතිත්වයෙන් යුත් එම විද්වත් කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජානක ශ්‍රී චන්ද්‍රගුප්ත, පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එම්. කොඩිප්පිලිආරච්චි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, මහජන සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය එස්.එම්. ආර්නෝල්ඩ්, වසංගත රෝග විද්‍ය අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ, ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය නලින් ආරියරත්න, විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු, ප්‍රතිශක්තීකරණ හා අණුක වෛද්‍ය විද්‍යා අංශයේ මහාචාර්ය නිලිකා මලවිගේ, විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක යන පිරිස පත් කර ඇති බවයි සඳහන් වන්නේ.

එම කමිටුවේ කැඳවුම්කරු ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් බුද්ධිකා එස්. ගමගේ මහත්මිය පත් කර තිබෙනවා.

මීට අමතරව මෙම විද්වත් කමිටුවට සහාය වීම සඳහා පළාත් මට්ටමින් අනුකමිටු 09 ක් පත් කර ඇති බව සඳහන්.

පළාත් ප්‍රධාන ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් එම අනුකමිටුවට පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා, පළාත් ධීවර අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා, කලාප සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා, පළාත් පාලන කොමසාරිස්, ත්‍රිවිධ හමුදා සාමාජිකයන්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු, පළාත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඇතුළත් වනවා.

මේ අතර කොවිඩ්-19 සහ ඩෙංගු ව්‍යාප්තිය පාලනයට අදාළ අමාත්‍ය කමිටුව අද (09) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී කමිටු සභාපති, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් රැස් වූ බවයි වාර්තා වන්නේ.

ඩෙංගු මර්ධන ඒකකයේ නිලධාරීන් ද එම අවස්ථාවට කැඳවා තිබූ අතර රට තුළ සෞඛ්‍ය යාන්ත්‍රණය නිසි ලෙස ක්‍රියාත්මක වුවද පළාත් මට්ටමින් ජනතාව දැනුවත් කිරීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක අවශ්‍යතාව එහිදී අවධාරණය කර තිබෙනවා.

විද්වත් කමිටුව ලබන 13 වන අඟහරුවාදා පෙරවරුවේ රැස්වීමට ද මෙහිදී තීරණය කෙරුණු අතර පළාත් ප්‍රධාන ලේකම්වරුන් ද ඒ සඳහා කැඳවීමටත්, පළාත් මට්ටමින් ඩෙංගු මර්ධන ක්‍රියාකාරි සැලැස්ම එහිදි සකස් කිරීමටත් තීරණයක් ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ ෴


ජංගම දුරකථන සහ උපාංග වල මිල 20% කින් අඩු වන ලකුණු

(09.06.2023 – 16:56 +0530 – hirunews.lk/sinhala)

ජංගම දුරකථන සහ උපාංග වල මිල සියයට 20 කින් පමණ අඩු කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන සහ විකුණුම්කරුවන්ගේ සංගමය පවසනවා.

කොළඹ අද (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති සමිත් සෙනරත් සඳහන් කළේ රුපියල ශක්තිමත් වීමේ වාසිය ජනතාවට ලබාදීම සඳහා මෙම පියවර ගන්නා බවයි.

ඒ අනුව, තොග අවසන් වූ වහාම එම වාසිය ජනතාවට ලබාදෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා ෴


ගිය වසරේ මැයි මාසයට සාපේක්ෂව මෙම වසරේ මැයි මාසයේ දී සංචාරකයන්ගේ පැමිණීම ඉහළට

(09.06.2023 – 17:50 +0530 – hirunews.lk/sinhala)

මෙරටට විදේශය සංචාරකයන්ගේ පැමිණීම පසුගිය වසරේ මැයි මාසයට සාපෙක්ෂව මෙම වසරේ මැයි මාසයේදී 175% ක් ඉක්මවා ඇති බව ලංකා සංචාරක සංවර්ධන අධිකාරය පවස

පසුගිය වසරේ මැයි මාසයේදී පැමිණ ඇති සංචාරක සංඛ්‍යාව 30,207 ක් වන අතර මෙම වසරේ මැයි මාසයේ පැමිණ ඇති සංඛ්‍යාව 83,309 ක් බවයි වාර්තා වන්නේ.

එය සියයට 175.8 ක වැඩවීමක් බවයි වාර්තා වන්නේ ෴


විදේශගත ශ්‍රමිකයින්ගෙන් මැයි මාසයේදී මෙරටට ඩොලර් මිලියන 480 ක්

(09.06.2023 – 18:10 +0530 – hirunews.lk/sinhala)

මැයි මාසයේදී විදේශගත ශ්‍රමිකයන් මෙරටට ඩොලර් මිලියන 480 කට වැඩි මුදල් ප්‍රමාණයක් එවා ඇති බව කම්කරු හා විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ මේ වසරේ ගත වූ කාලය තුල ශ්‍රමිකයින්ගෙන් ඩොලර් මිලියන 2307.02 ක් මෙරටට ලැබී ඇති බවයි.

ගිය වසරට සාපේක්ෂව මේ වසරේදී විදේශ ශ්‍රමිකයන් එවනු ලබන මුදල් ප්‍රමාණය තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව ද එම අමාත්‍යාංශය සඳහන් කළා ෴


සොහොයුරා වෙනුවෙන් සාමාන්‍ය පෙළ ලියූ අයියා අත්අඩංගුවට

(09.06.2023 – 19:16 +0530 – hirunews.lk/sinhala)

සිය සොහොයුරා වෙනුවෙන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි තරුණයෙකු දෙණියාය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දෙණියාය – පල්ලේගම මහා විද්‍යාලයේ ස්ථාපිත කර තිබූ විභාග මධ්‍යස්ථානයේදී සිංහල විෂයට අදාල ප්‍රශ්න පත්‍රයට අයදුම්කරු වූ තම සහෝදරයා වෙනුවෙන් මොහු ඊයේ (08) පෙනී සිට තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් විභාග ශාලාධිපතිවරයා විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව දෙණියාය – එනසල් වත්ත ප්‍රදේශයේ පදිංචි තරුණයා මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔහු අද (09) මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

මේ අතර, විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ඊයේ (08) විභාග දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ විභාග වංචාවලට සම්බන්ධ වූවන්ට එරෙහිව අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවයි ෴


ලංකාවෙන් රිලව් ඉල්ලා චීනය කළ ඉල්ලීම තවමත් පවතින බව කෘෂිකර්ම ඇමති පවසයි

(09.06.2023 – 19:40 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් රිලවුන් ලක්ෂයක් ලබා ගැනීමට චීන සමාගමක් කළ ඉල්ලීම තවමත් පවතින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර අද (09) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබෙනවා.

ප්‍රදර්ශන කටයුතු සඳහා රිලවුන් ලක්ෂයෙක් චීනයේ සත්ව උද්‍යාන වෙන අපනයනය කරන ලෙස චීන සමාගමක් කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශකර සිටියේ.

අමාත්‍ය මහින්ද අමරවීර වැඩිදුරටත් සඳහන් කර සිටියේ ඒ සම්බන්ධයෙන් කමිටුවක් පත්කර සාකච්ඡා කරමින් සිටින අතර වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අවශ්‍ය පියවර ගත යුතු බව එහිදී නිරීක්ෂණය වූ බවයි.

ශ්‍රී ලංකාවෙන් රිලවුන් ලබා ගැනීමට චීන සමාගම තවමත් උනන්දු වන බැවින් ව්‍යාජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කර අවසන් තීරණයක් ගන්නා බව නිලධාරීන් දක්වා ඇති බවයි අමාත්‍ය අමරවීර පාර්ලිමේන්තුවේදී සදහන් කර සිටියේ.

රට මුහුණ දී ඇති මහා පරිමාණ වගා විනාශයට විසදුමක් ලෙස රිලවුන් අපනයනය කිරීමට ශ්‍රී ලංකා බලධාරීන් විසින් අවධානය යොමු කර ඇති අතර එය සම්පූර්ණ විසඳුමක් නොව විකල්පයක් පමණක් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *