අත්අඩංගුවේ සිටි පුද්ගලයෙකු මියයාම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් හත්දෙනෙකු (7) අත්අඩංගුවට

අත්අඩංගුවේ සිටි පුද්ගලයෙකු මියයාම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් හත්දෙනෙකු (7) අත්අඩංගුවට


අත්අඩංගුවේ සිටි පුද්ගලයෙකු මියයාම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් හත්දෙනෙකු (7) අත්අඩංගුවට

(09.06.2023 – 15:03 +0530 – hirunews.lk/sinhala)

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන සිටිය දී පුද්ගලයෙකු මියයාම සම්බන්ධයෙන් එම කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු, සැරයන්වරයෙකු ඇතුලු පොලිස් නිලධාරීන් හත්දෙනෙකු (7) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසිනුයි අද (09) මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ. නාරාහේන්පිට වෘත්තිය පුහුණු අධිකාරියේ සහකාර කළමනාකරුවෙකු ලෙස සේවය කළ හික්කඩුව – තෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකුයි මෙලෙස මියගොස් තිබුණේ.

පසුගිය ජනවාරි මස 10 වැනිදා හෙරොයින් ග්‍රෑම් 15 ක් සමඟින් මෙම පුද්ගලයා නාරාහේන්පිට ප්‍රදේශයේ දී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබුණා.

සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේ දී ඇතිවූ කළහකාරී තත්වයකදී පොලිසිය එය පාලනය කිරීමට යාමේ දී ඇතිවූ සිද්ධියකින් පසු සැකකරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබූ අතර, එහිදී මියගොස් තිබුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකළ පරීක්ෂණයකින් අනතුරුවයි මෙලෙස පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ෴


CID යෙන් කැඳවීම මංජු නිස්සංක මගහරී.. CID ය ඔහු පසුපස.. ධනස්කන්ධය ගැන පරීක්‍ෂණ.. ‘ගෝටාගෝගම’ටත් මුදල් පොම්ප කරලා..

(09.06.2023 – 09:20 +0530 – lankacnews.com)

‘ගෝලීය ශ්‍රී ලංකා කොංග‍්‍රසයේ’ නායක ‘මංජු නිස්සංක’ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ‘නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය’ විසින් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මෙම විමර්ශනයේදී ‘එක්ස්ප‍්‍රස් පර්ල්’ නෞකා අනතුරෙන් පසු අනතුරේ වන්දියට අදාළව සිදු වූ ගනුදෙනුවක් සම්බන්ධයෙන් එල්ල වන චෝදනා ගැනද අවධානය යොමු කර ඇත.

ඊට හේතු වී ඇත්තේ ඒ සම්බන්ධයෙන් විවිධ පාර්ශව විසින් කර ඇති පැමිණිලි සැලකිල්ලට ගැනීමයි.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් මංජු නිස්සංක පසුගිය හත්වැනි දා (07) කැඳවා තිබුනද ඔහු එදින එහි පෙනී සිටියේ නැත.

ඒ ගැන පොලිස් නිලධාරීන්ට ඔහු පවසා ඇත්තේ එම කැඳවීම තමන්ට නොලැබුණ බවයි.

ඒ අනුව ලබන සතියේ නැවත ඔහුට පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.

ගාළු මුවදොර අරගලය පැවති දිනවලදී මෙම පුද්ගලයා ඒ ආසන්න සුඛෝපභෝගී හෝටලයක රැඳී සිටිමින් අරගල කරුවන්ට අරමුදල් සපයා දී ඇති බවට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් වී තිබේ.

ඒ සම්බන්ධයෙන් ද අවධානය යොමු කරමින් ඔහු එසේ වැය කිරීමට මුදල් උපයා ගන්නා ආකාරය සොයා බැලීමට ද නියමිතව තිබේ.

ඔහුට ඔහුගේ වත්කම් හා ඔහුට ලැබෙන ආදායම් මාර්ග සම්බන්ධයෙන් ද මෙහිදී විශේෂ අවධානය යොමු කර විමර්ශන පැවැත්වෙයි ෴


වව්නියාව සමලන්කුලමේ බෞද්ධ පුරාවිද්‍යා රක්ෂිතයක කෝවිලක් ඉදිකරන්න පුරාවිද්‍යා කොමසාරිස්වරයා අවසර දීලා

(09.06.2023 – 07:27 +0530 – lankaleadnews.com)

රටක පුරාවිද්‍යා උරුමය සුරක්ෂිත කිරීමේ අති සංවේදී ආයතනය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව බවත්, එහෙත් වර්තමාන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කටයුතු කරන්නේ ඊට පටහැනිව බවත්, පුරාවිද්‍යා උරුමයන් සුරැකීමේ මහා සම්මේලනයේ කැඳවුම්කරු ජනක බෝධිනන්ද මහතා පවසයි.

වව්නියාව සමලන්කුලම ප්‍රදේශයේ අක්කර 3 ක පමණ ඉපැරැණි බෞද්ධ ආරාම ගොඩනැගිල්ලක් මත 1978 දී බලහත් කාරයෙන් කෝවිල් සභාව විසින් කෝවිලක් ඉදිකළ බවද, මෑත කාලයේ එම කෝවිල් සභාව විසින් නැවත එම ස්ථානයේ කෝවිලක් සෑදීමට ඉල්ලීම් කළ බවද පවසන බෝධිනන්ද මහතා, පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්වරයා ඊට ලිඛිත අනුමැතිය ලබාදී ඇති බවට චෝදනා කරයි.

බෞද්ධ ආරාම සංකීර්ණයේ නටඹුන් මත මෙම කෝවිල අඩි 30 ක් උසට ඉදිකිරීමට අවසරය ලබාදී ඇතැයි ඒ මහතා පෙන්වා දෙයි.

වීඩියෝව නරඹන්න :

+


පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල්ගේ බැංකු ගිණුම් පරීක්ෂා කළ යුතුයි – ජාතික සංවිධාන කියයි

(09.06.2023 – 11:11 +0530 – lankaleadnews.com)

වව්නියාව සමලම්කුලම පුරාවිද්‍යා රක්ෂිතයේ නීති විරෝධී ලෙස කෝවිලක් සෑදීම සඳහා අවසර දීම පිළිබඳව පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල්වරයාට එරෙහිව එල්ලවන චෝදනා පිළිබඳව ‘ලංකා ලීඩ්’, ‘ජාතික සංවිධාන’ වල මතය විමසන ලදී.

මේ ඒ පිළිබඳව අදහස් දැක් වූ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා,

“නීතිය රකින්න ඉන්න එකාම නීතිය කඩනවා නම් ඔහුව තවදුරටත් ඒ තනතුරේ තියාගෙන ඉන්නේ කොහොම ද? ඇමැති විදුරගේ ලැජ්ජා නහරය ඔහුම කපාගත්තා ද කියල තමයි අපිට අහන්න වෙන්නේ. මේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා පසුගිය වසරේ සිට මේ දක්වා 54 වතාවක් ඉන්දියාවට ගිය බව ඔහුම පිළිගන්නවා. ඔහුට ඒවාට මුදල් ලැබුනේ කොහොමද?

ඉන්දියාවේ අන්තවාදී RSS කණ්ඩායම මේ කෝවිල් ඉදිකිරීම පිටුපස ඉන්නවා කියලා චෝදනාවක් තියෙනවා. ඔවුන් සල්ලි විසි කරනවා. ඒ නිසා අධ්‍යක්ෂ ජෙනරාල්ගේ බැංකු ගිණුම් පරීක්ෂා කළ යුතුයි කියලා අපි කියනවා.”


ළමා අපචාර ප්‍රවර්ධන චෝදනාව මන්ත්‍රී දොළවත්ත පිට පැටවේ – ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම

(09.06.2023 – 10:37 +0530 – lankaleadnews.com)

සමලිංගික සේවනය අපරාධ වරදින් නිදහස් කිරීමේ මුවාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් දොළවත්ත මහතා විසින් ඉදිරිපත් කළ පනත මගින් ඉතා බරපතළ ලෙස ළමා අපචාර ප්‍රවර්ධනයක් සිදුවන බව ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා සඳහන් කරයි.

අද දින(09) ‘දි අයිලන්ඩ්’ පුවත්පතට දීර්ඝ ලිපියක් සපයමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ දොළවත්ත මහතා සමග මෙම අපරාධයට දායක වන පිරිස මීට පෙර ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසම හමුවේ පැමිණිලි කළ පිරිසක් බවය.

ඒ පිළිබඳව ‘ලංකා ලීඩ්’ සමග අදහස් දැක්වූ තිරාණගම මහතා සඳහන් කළේ මෙම දූෂ්ඨ ක්‍රියාව කැනඩා තානාපතිගේ බලපෑම මත සිදුවන බවය. ඊට අමතරව මෙම ක්‍රියාවලිය පිටුපස බරපතළ මුදල් සංසරණයක් ද සිදුවිය හැකි බවට ඔහු සැක පහළ කරයි.

කල්‍යානන්ද තිරාණගම මහතා විසින් ලියන ලද ලිපිය :

+


පොන්නම්බලම්ලා තිස්ස විහාරය ගැන උද්ඝෝෂණ කරන්න දෙමළ මිනිස්සු ගොනාට අන්දවා රැගෙන ගියේ මෙහෙමයි…

(09.06.2023 – 10:08 +0530 – lankaleadnews.com)

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් ඇතුළු දෙමළ දේශපාලකයන් කිහිපදෙනෙකු කන්කසන්තුරේ තිස්ස විහාරයට විරෝධය පළ කිරීම සඳහා දෙමළ ජනතාව රැගෙන ගොස් ඇත්තේ ඔවුන්ව රවටා බව මේ වන විට සාක්ෂි සහිතව හෙළිදරව් වී තිබේ.

යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ කැඳවුම්කරු අරුන් සිද්ධාර්ථ මහතා එම විරෝධතාවට ගිය පුද්ගලයන් හා දුරකථනයෙන් සම්බන්ධවී මේ බව හෙළිදරව් කරගෙන තිබේ.

අරුන් සිද්ධාර්ථ මහතා දුරකථනයෙන් සම්බන්ධකරගත් එක් කාන්තාවක් පවසන්නේ වියළි ආහාර දෙන බව පවසා තමා ඇතුළු 25 දෙනෙකු පමණ බස් රථයකින් රැගෙන ගිය බවත්, මෙම ස්ථානයේ පවත්වන්නේ රැස්වීමක් පමණක් බවත් එම සංවිධායකයන් පැවසූ බවත් ය.

එහෙත් අදාළ ස්ථානයේ පැවැත්වෙන්නේ උද්ඝෝෂණයක් බව එහි ගිය පසු දැනගත් බවද, ඒ නිසාම බස් රථයෙන් නොබැස සිටි බවද ඇය පවසයි.

මෙම දුරකථන සංවාදය ඇතුළත් වීඩියෝව පහළින් :

+


හිසට සෙවණක් නැති කුසට අහරක් නැති මවක් සරණක් පතයි

(09.06.2023 – 15:09 +0530 – hirunews.lk/sinhala)

පවතින ආර්ථික අර්බුදය මෙරට බොහෝ දෙනාට අඩු වැඩි වශයෙන් බලපෑම් එල්ල කරන බව නොරහසක්.

ජීවත්වීමට තැනක් පවා නොමැතිව දරුවන් දෙදෙනෙකු (2) සමග අසරණ වූ මවක් පිළිබඳව කඩුවෙල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

ඇය පවසන්නේ සිය දරුවන්ගේ කුසගිනි නිවීමට බොහෝ විට කොස් ඇට තම්බා ආහාරයට දෙන බවයි.

කඩුවෙල වෙලේ හංදිය ප්‍රදේශයේ ජීවත් වන වයස අවුරුදු 36 ක් වූ දෙදරු මවක් වන මල්ලිකා දසනායක වයස අවුරුදු 4 ක දරුවා සහ මාස 1 ක සිගිත්තාත් සමඟ මේ වන විට දරිද්‍රතාව සමඟ පොර බදිමින් සිටින්නේ තනිවමයි.

ඇයගේ ස්වාමිපුරුෂයා ද ඇයගෙන් වෙන්ව වෙනත් ප්‍රදේශයක ජීවත්වනවා.

මල්ලිකා දරුවන් සමඟ කුලියට ගත් කාමරයක ජීවත්වුවත් එහි කුලිය ගෙවා ගැනීම ද මේ වන විට ඇයට ගැටලුවක්.

මල්ලිකා දසනායක ඇයගේ දරිද්‍රතාවය පිළිබඳ අදහස් දැක්වූයේ මෙහෙමයි :

“කලින් බෝඩිමක හිටියා. ළමයා හම්බවෙලා දවස් 12 යි ඒ බෝඩිමට සල්ලි දීගන්න බැරි වුණ නිසා බෝඩිමෙන් යන්න කිව්වා. උය-උයා හිටපු ගෑස් ළිපයි සිලින්ඩරෙයි දීලා තමයි එහෙන් එළියට ආවේ, සල්ලි දෙන්න නැති නිසා. මට මේකටත් දැන් සල්ලි දෙන්න වෙන්නේ නැති වෙනකොට – මේකෙනුත් යන්න කියනකොට මට වෙන යන්න තැනක් නැහැ.

මගේ දරුවත් එක්ක මට පාරේ තමයි ඉන්න වෙන්නේ. මං කියන්නේ මගේ දරුවෝ තියාගෙන ඉන්න තැනක් හදලා දෙන්න. පුංචි දරුවන්ට තේරෙන්නේ නැහැ. ළමයා දැන් අකුරක් හරි ලියනවා. ඉගෙන ගන්න පොඩ්ඩක් එයා හොඳයි. මොන්ටිසෝරිවත් දාගන්න මට විදිහක් නැහැ.

බේබි සබන් කැටයක්වත් නැහැ. රෙදි හෝදන්නෙත් මේකෙන්ම. බබාගේ ගාන්නෙත් මේකෙන්ම. දුකයි ඉතිං මොනවා කරන්නද?”

කුසගිනි ඇතිවී හඬන තම දරුවාට කොස් ඇට තම්බා අහාරයට දීම හැර මල්ලිකාට අන් විසඳුමක් නැහැ.

වරෙක ඇය සිය දිවි නසා ගැනීමට ද උත්සාහ කර ඇත්තේ අසරණකමට විසඳුමක් නොමැති තැනයි.

“ජීවත්වෙන්න අපහසුතාව තිබෙන නිසා මේ චූටි බබා හම්බවෙන්න ඉද්දි මං ගොඩක් දුරට කල්පනා කරලා බැරිම තැන ජීවිතය නැති කරගන්න ගියා. ඒ දෙයිනුත් මම බේරුණා.

බබාට කිරි ප්‍රශ්නෙත් තියෙනවා මට ආහාර නෑනේ. මම දවසකට ලූනු ගෙඩියක් කපලා තෙල්වලට දාලා ලුණුමිරිසක් හදලා වගේ තමයි කන්නේ. මේ පුංචි එක්කෙනා කිරි බොන්න ගත්තාම ගොඩක් කෑගහනවා. තේ එකක් බොන්නවත් සීනි ටිකක් නැති එකේ කිරි එකක් දෙන්නවත් වත්කමක් නැහැ.

ලොකු දරුවත් උදේට නැගිටලා තේ ඉල්ලනවා. තේ ඉල්ලපුවහම ‘පුතේ අපි හෙට බොමු’ කියලා එයාව කොහොම හරි ෂේප් කරනවා. හාල් කිලෝ එකක් ගෙනාවොත් හතර පස් වේලක් චුට්ට චුට්ට තමයි හදාගෙන කන්නේ.

වැඩියම කොස් තම්බලා කනවා. මට ඉන්න තැනක් නැහැ. යන්න තැනක් නැහැ. කාගෙන්වත් සරණක් නැහැ.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *