ටෙලිකොම් ආයතනය පෞද්ගලීකකරණයට නිර්දේශ නොකරන බව, ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශීක අධීක්ෂණ කාරක සභාව කියයි

ටෙලිකොම් ආයතනය පෞද්ගලීකකරණයට නිර්දේශ නොකරන බව, ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශීක අධීක්ෂණ කාරක සභාව කියයි


ටෙලිකොම් ආයතනය පෞද්ගලීකකරණයට නිර්දේශ නොකරන බව, ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශීක අධීක්ෂණ කාරක සභාව කියයි

(09.06.2023 – 11:02 +0530 – hirunews.lk/sinhala)

ජාතික ආරක්ෂාවට අදාළ සංවේදී තොරතුරු නිරාවරණය වන බැවින් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකකරණයට, සිය කමිටුව නිර්දේශ නොකරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව දැනුම්දී තිබෙනවා.

ඊට අදාළ වාර්තාව ඉදිරිපත් කරමින් එම කාරක සභාව පෙන්වා දී ඇත්තේ ත්‍රස්තවාදීන්ට අන්තවාදීන්ට කුමන ආකාරයකින් හෝ උපකාර කළ කිසිවෙකුට, අසාදු ලේඛන ගත කළ සංවිධානයකට මෙහි කිසිදු කොටසක් මිලදී ගැනීමට ඉඩ ලබානොදිය යුතු බවයි ෴


පාසල් සිසුවකු ගෙල වැලලාගෙන මිය ගිහින්

(09.06.2023 – 10:56 +0530 – hirunews.lk/sinhala)

නුවරඑළිය ලබුකැලේ ප්‍රදේශයේදී ඊයේ (08) පාසල් සිසුවකු ගෙල වැලලාගෙන මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 14 හැවිරිදි ලබුකැලේ ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙක්.

මෙම පාසල් සිසුවා ඊයේ (08) දහවල් සිය නිවෙසේදී ගෙල වැලලාගෙන තිබෙන අතර අසාධ්‍ය තත්ත්වයේ සිටි ඔහු නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පසුව රෝහලේදී මෙම සිසුවා මියගිය බවයි වාර්තා වන්නේ.

මෙම සිසුවා ගෙල වැලලාගෙන සිය දිවි හානි කර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය කර ගැනීමට නොහැකි වූ බව පොලිසිය පවසනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා ෴


මග වැරදුණු තරුණියක අපයෝජනය කළ තරුණයන් දෙදෙනකු (2) අත්අඩංගුවට

(09.06.2023 – 11:44 +0530 – hirunews.lk/sinhala)

සම්මුඛ පරීක්ෂණයට යාමේදී මග වැරදුණු තරුණියක අපයෝජනයට ලක් කළ තරුණයන් දෙදෙනකු (2) වරකාපොළ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 07 වැනිදා මෙම තරුණිය වරකාපොල පොලිස් වසමේ පෞද්ගලික ආයතනයක සම්මුඛ පරීක්ෂණයකට පැමිණ ඇති බවයි වාර්තා වෙන්නේ.

එහෙත් ඇයට එම ආයතනය සොයාගැනීමට නොහැකිව මාර්ගය අයිනේ රැඳී සිට තිබුණා.

එම අවස්ථාවේ දී ත්‍රීරෝද රථයකින් පැමිණි තරුණයන් දෙදෙනකු (2) ඇයට උදව් කරන බව පවසා ත්‍රීරෝද රථයට නංවාගෙන අඹේපුස්ස ප්‍රදේශයේ පොල් ඉඩමක මුර කුටියකට රැගෙන ගොස් ඇයව අපයෝජනය කර ඇති බව පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (09) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


පුපුරැස්ස ප්‍රදේශයේ කාන්තාවක් සිය දිවි හානි කර ගනී

(09.06.2023 – 12:06 +0530 – hirunews.lk/sinhala)

වතුසේවක සැමියා වැඩට ගිය පසු නිවෙසේ එල්ලී මිය ගොස් සිටි අම්මාගේ දෙපා අල්ලාගෙන අවුරුදු එකහමාරක (1½) දරුවකු දිගින් දිගටම හඬද්දී එම හඩ ඇසී පැමිණි අසල්වැසියන් මවගේ මළ සිරුර සොයා ගත් පුවතක් ගම්පොල පුපුරැස්ස ප්‍රදේශයෙන් ඊයේ (08) වාර්තා වී තිබෙනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ පුපුරැස්ස ඩෙල්ලා වත්ත උතුරු කොටසේ පදිංචිව සිටි විසි දෙහැවිරිදි (22) එක් දරු මවක්.

මෙම මව නිවෙස තුළ කිසිවකුත් නොමැති අවස්ථාවක රෙදි කැබැල්ලකින් නිවෙස තුළ එල්ලී මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඇය මහ හඩින් රෝඩියෝවද දමා ඇති අතර එයින් නැගෙන ගීත කණ්ඩ පරයා කුඩා දරුවකු බොහෝ වේලාවක් හඬන අයුරු ඇසුණු අයකු ඒ පිළිබඳව සොයා බැලීමේදී මෙම කාන්තාව වහලයේ එල්ලී සිටින අයුරුත් දරුවා ඇගේ දෙපා අල්ලා ගෙන හඬන අයුරුත් දැක අවට සිටින පිරිසට ඒ බව දන්වා තිබෙනවා.

ඔවුන් පැමිණ වහාම රෙදි පටි කපා ඇය බිමට ගෙන එම වත්තේ වෛද්‍යවරියට මෙය දන්වා ඇති බවයි වාර්තා වන්නේ.

වෛද්‍යවරියට අදාළ කාන්තාව පරීක්ෂා කර බලා දන්වා ඇත්තේ ඇය මිය ගොස් ඇති බවයි.

ඒ අනුව පුපුරැස්ස පොලිසිය පැමිණ පරීක්ෂා කිරීමේදී ඇය දරුවාට ඉංග්‍රීසියෙන් ලියූ ලියුමක් ද හමුව ඇත.

“රත්තරනේ ඔයා පරිස්සමට, මම යනවා. මීට මමා” යැයි එම ලිපියේ සඳහන්ව තිබූ බවයි වාර්තා වන්නේ.

මෙම කාන්තාවගේ සැමියා එහි වත්තේ සේවකයකු වන අතර ඔහු මෙම මරණයට හේතුව නොදන්නා බව පවසා තිබෙනවා.

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර පේරාදෙණිය රෝහල වෙත රැගෙන ගිය බවයි අප ප්‍රදේශීය වාර්තාකරු සඳහන් කළේ ෴


කොස් ගෙඩියක් කඩා වැටී මවගේ ඇකයේ සිටි බිලිඳියක මරුට

(09.06.2023 – 12:24 +0530 – hirunews.lk/sinhala)

දරුවාට කිරි දෙන්නට කොස් ගසක සෙවණක් සොයා ගිය මවකගේ උරහිසට කොස් ගෙඩියක් කඩා වැටී සිය ඇකයේ සිටි දරුවා මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුද්දයි-මසක් (මාස 13) වයසැති කුඩා ගැහැනු දරුවෙක්.

මෙම සිද්ධිය වාර්තා වන්නේ ගාල්ල අංකොක්කාවල ප්‍රදේශයෙන්.

ගාල්ල අංකොක්කාවල, පෙරේරා මාවතේ පදිංචි මවුපියන් ඥාති නිවෙසක අවමඟුල් උත්සවයකට සහභාගි වී තිබෙනවා. එහිදී නිවෙස තුළ තිබුන තදබදය නිසාවෙන් මව දරුවා සමඟ එළියට පැමිණ කොස් ගසක් යට සෙවණක හිඳගෙන දරුවාට මවුකිරි දී තිබෙනවා.

දරුවා මවුකිරි බොමින් සිටින අවස්ථාවේ ගසින් කොස් ගෙඩියක් මවගේ උරහිසට වැටී දරුවා බිමට වැටි ඇති බවත් බිමට වැටුණු දරුවාගේ සිරුර මතට එම කොස් ගෙඩිය වැටී ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව බරපතළ තත්ත්වයෙන් සිටි දරුවා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් සිටි දරුවා එහිදී මියගොස් තිබෙනවා ෴


බඩල්කුඹුර – හිගුරුකඩුව ගොවීන්ගෙන් මැසිවිල්ලක්

(09.06.2023 – 12:38 +0530 – hirunews.lk/sinhala)

පසුගිය කන්නවල දී වී වගාවන් විනාශ වූ ගොවීන් සඳහා රජය මගින් ලබාදෙන වන්දි මුදල් තවමත් ලැබී නොමැති බවට බඩල්කුඹුර – හිගුරුකඩුව ගොවීන් මැසිවිලි නගනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ ගොවිජන සේවා මධ්‍යස්ථානය මගින් මේ වනවිට ඇතැම් ගොවීන්ට වන්දි මුදල් ලබා දුන්න ද ප්‍රදේශයේ විශාල පිරිසකට තවමත් අදාළ වන්දි මුදල ලැබී නොමැති බවයි ෴


සා/පෙළ විභාගයට පෙනී සිටි සිසුවෙක් අනතුරකින් මියයයි

(09.06.2023 – 12:44 +0530 – hirunews.lk/sinhala)

සමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට මිතුරෙකු සමග යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය දී අනතුරට ලක්වීමෙන් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මරදන්කඩවල විදුහලේ සිසුවෙකු වන අතර මොවුන් මරදන්කඩවල – දම්පැලැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවන්.

තුවාල ලැබූ අනෙක් සිසුවා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා ෴


එප්පාවල ප්‍රදේශයේ පුද්ගලයෙක් වලකට වැටී මරුට

(09.06.2023 – 13:18 +0530 – hirunews.lk/sinhala)

මීට දින 06 කට පෙර අතුරුදන් වූ පුද්ගලයකුගේ නරක් වු මළ සිරුරක් එප්පාවල පොලිස් ප්‍රදේශයේ යෝධ ඇළගම ගම්මානයේ පෞද්ගලික වත්තක කපා තිබූ බොරලු වළක තිබී පසුගිය 04 වැනිදා එප්පාවල පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ එප්පාව යෝධ ඇළගම ගම්මානයේ පදිංචි වයස අවුරුදු 79 ක් වන එක්දරු පියෙක්.

මෙම පුද්ගලයා පසුගිය 01 දා සිටි අයගිය අතක් නොමැති බවට ඔහුගේ පුතු විසින් එප්පාවල පොලිසියට පැමිණිල්ලක් සිදු කර ඇති අතර ඔහු සම්බන්ධයෙන් සොයා බැලුවද පසුගිය දින කීපය පුරාවට කිසිදු තොරතුරක් වාර්තා වී තිබුණේ නැහැ.

කෙසේ වෙතත් ඉකුත් 06 වැනිදා රක්ෂිතයට දර කැඩීමේ නිරතව සිටි පුද්ගලයකුට දුඟදක් ආඝ්‍රහණය වී ඒ පිළිබඳ සොයා බලා තිබෙනවා.

දර කැඩීමේ නිරතව සිටි පුද්ගලයාට, පෞද්ගලික ඉඩමක මායිමේ බොරළු වලක් තුළ අතුරුදන් වූ පුද්ගලයාගේ මළසිරුර දැක ගැනීමට හැකි වී තිබෙන අතර ඔහු ඒ සම්බන්ධයෙන් එප්පාවල පොලිසිය දැනුවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මාස 11 කට පමණ පෙර ඔහුගේ බිරිඳ මියගොස් ඇති අතර ඒත් සමගම ඔහු යම්කිසි කම්පන තත්ත්වයක පත් වී සිට තිබෙනවා.

ඔහු නිරන්තර‍යෙන් තම බිරිඳ සොයමින් සිහි විකල්ව කටයුතු කර තිබෙන බවයි වාර්තා වන්නේ ෴


කළුතර ටියුෂන් වල්ගුරා ජුනි 23 දක්වා රිමාන්ඩ්

(09.06.2023 – 13:23 +0530 – hirunews.lk/sinhala ඇසුරෙන්)

සිසුවියන් 16 දෙනෙකු අපයෝජනය කළ බව කියන කළුතර ටියුෂන් වල්ගුරා ජුනි 23 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා ෴


සාපෙළ ලියා නිවෙසට යන සිසුවකුට පහර දෙයි

(09.06.2023 – 14:05 +0530 – hirunews.lk/sinhala)

මේ අතර අපොස සාමාන්‍ය පෙළ විභාගය අවසන්ව ඊයේ (08) නිවෙස බලා යමින් සිටි පාසල් සිසුවකුට තවත් තරුණයන් පිරිසක් විසින් අමානුෂික ලෙස පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යවල සංසරණය වනවා.

මෙම පහරදීම මහනුවර – මාතලේ දුම්රිය මාර්ගයේ කටුගස්තොට ආසන්නයේ සිදුව ඇති බව සඳහන් ෴


කුකුළු ව්‍යාපාරිකයින් බඩ ඉරිඟු ආනයනයට අවසර ඉල්ලයි

(09.06.2023 – 14:16 +0530 – hirunews.lk/sinhala)

සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය කුකුළු පාලනය සඳහා බඩ ඉරිඟු ආනයනයට අවසර ඉල්ලා සිටිනවා.

එම සංගමය විසින් මාධ්‍ය හමුවක් කැඳවමින් මෙම ඉල්ලීම කර තිබෙන අතර ඒ සඳහා දේශීය බැංකුවලින් අඩු පොලියට ණය ලබා දෙන ලෙසත් රජයෙන් ඉල්ලා සිටියා ෴


රුපියල අවප්‍රමාණය වෙයි

(09.06.2023 – 14:24 +0530 – hirunews.lk/sinhala)

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අද (09) අවප්‍රමාණ වී තිබෙනවා.

ඒ අනුව, අද (09) ඩොලරයක විකුණුම් මිල රුපියල් 301.12 ක් ලෙස සටහන් වූ අතර, ගැනුම් මිල දැක්වුණේ රුපියල් 288.08 ක් ලෙසයි.

ඊයේ (08) ඇමෙරිකානු ඩොලරයක විකිණුම් මිල රුපියල් 298.91 ලෙසත්, ගැනුම් මිල රුපියල් 285.69 ක් ලෙසත් දැක්වුණා ෴


විෂ මාළු ආහාරයට ගත් තරුණියක් මියයයි

(09.06.2023 – 14:31 +0530 – hirunews.lk/sinhala)

කලවංචිකුඩි – කලුදාවේලි ප්‍රදේශයේදී විෂ සහිත මත්ස්‍ය වර්ගයක් ආහාරයට ගත් 27 හැවිරිදි තරුණියක් මියගොස් තිබෙනවා.

ඒවා ආහාරයට ගත් ඇගේ මව ද අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගත කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව ප්‍රකාශ කළේ ෴


පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ බෙහෙත් හිඟයක්

(09.06.2023 – 14:40 +0530 – hirunews.lk/sinhala)

පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ රෝගීන්ට අවශ්‍ය බෙහෙත් වර්ග හිඟයක් පවතින බව වාර්තා වෙනවා.

මේ නිසා සායනික සහ නේවාසික ප්‍රතිකාර ලබන රෝගීන්ට අධික මිලකට එම ඖෂධ මිලදී ගැනීමට සිදු වී තිබෙනවා ෴


කොළඹ රථ ගාල්වලට මුදල් ගෙවා නෑ

(09.06.2023 – 14:48 +0530 – hirunews.lk/sinhala)

කොළඹ මහනගර සභා සීමාව තුළ රථ ගාල් පවත්වාගෙන යනු ලබන පෞද්ගලික ආයතන 38 ක් මඟින් කොළඹ මහ නගර සභාවට අය විය යුතු මුදල් නිසි පරිදි ගෙවා නොමැති බව හෙළි වී තිබෙනවා.

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව රැස්වූ අවස්ථාවේදී අනාවරණය වුණේ 2021 වර්ෂය අවසන් වන විට නගර සභාවට අය විය යුතු හිඟ ආදායම රුපියල් මිලියන 265.5 ක් බවයි.

කොළඹ මහ නගරසභාවේ විගණකාධිපති වාර්තා සහ වර්තමාන තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේදී අවධානයට ලක් වුණා.

එහිදී අනාවරණය වුණේ කොළඹ මහ නගරසභාවේ 2022 වර්ෂයට අදාළව අය නොවූ හිඟ ආදායම් මුදල රුපියල් මිලියන 6,280 ක් බවයි.

මීට අමතරව 2020 වර්ෂයේ රුපියල් මිලියන 5,386.4 ක් සහ 2019 වර්ෂයේ රුපියල් මිලියන 4,481.5 ක අයවිය යුතු හිඟ ආදායම් පවතින බවද මෙහිදී අනාවරණය වුණා.

එමෙන්ම කොළඹ මහ නගරසභා සීමාව තුළ රථගාල් පවත්වාගෙන යනු ලබන පෞද්ගලික ආයතන 38 කින් 2021 වර්ෂයේ දෙසැම්බර් 31 වන විට නගරසභාවට අය විය යුතු හිඟ ආදායම රුපියල් මිලියන 265.5 ක් බවයි කමිටුව හමුවේ හෙළිවුණේ.

මීට අමතරව වරිපනම් බදු, කුළී සහ වෙනත් බදු වශයෙන් ද හිඟ මුදල් නගර සභාවට ගෙවීමට ඇති බවද මෙහිදී අනාවරණය වුණා.

මේ අතර කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය පිළිබඳව ද සාකච්ඡාවට ලක් වූ අතර මහල් 20 ක් පමණ වන ගොඩනැගිලි ආශ්‍රිතව පවා ඇතිවන ගිනි නිවීමට මහ නගරසභාවට ඇති හැකියාව මෙහිදී ඇගයීමට ලක් වුණා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *