පිටුවහල් කළ චීන ජාතිකයා චීන පොලිස් භාරයට

පිටුවහල් කළ චීන ජාතිකයා චීන පොලිස් භාරයට


පිටුවහල් කළ චීන ජාතිකයා චීන පොලිස් භාරයට

(09.06.2023 – 08:02 +0530 – hirunews.lk/sinhala)

ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයකින් මෙරටට ඇතුළුවීමට තැත්කළ බවට චෝදනා එල්ල වූ චීන ජාතිකයා යළි එරටට පිටුවහල් කර තිබෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ නියෝගය මත ඊයේ (08) පස්වරුවේ ඔහු එලෙස කටුනායක ගුවන්තොටුපලින් යළි චීනයට පිටුවහල් කළ බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

පසුගියදා අප්‍රිකාවේ ගිනි රාජ්‍යයට අයත් විදේශ ගමන් බලපත්‍රයකින් මෙරටට ඇතුළු වීමට තැත්කළ මොහු ගුවන් තොටුපොළේ ආගමන විගමන නිලධාරීන් විසින් රඳවා ගනු ලැබුවේ එම විදේශ ගමන් බලපත්‍රය ව්‍යාජ එකක් බවට අනාවරණ වීම හේතුවෙන්.

එහෙත් පසුව ඔහු සතුව තිබූ චීනයට අයත් විදේශ ගමන් පත්‍රයක් ඉදිරිපත් කර ඇති අතර ඒ අනුවයි මෙම චීන ජාතිකයාට මෙරටට ඇතුළු වීමට ඉඩ ලබා දී තිබුණේ.

ඒ සඳහා මැදිහත්වූ බවට රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුට චෝදනා එල්ලවූ අතර, මෙම සිදුවීම මහත් ආන්දෝලනයකට ලක්වීමත් සමග අදාළ චීන ජාතිකයා ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත කැදවා අත්අඩංගුවට ගනු ලැබුවා.

පසුව ඔහු තමන් චීනයට පිටුවහල් නොකර ඩුබායි රාජ්‍යට පිටුවහල් කිරීමට නියෝග කරන්නැයි ඉල්ලා රිට් පෙත්සමක් ගොණු කළ අතර එය අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කළා.

පසුව අනාවරණ වූයේ මෙම චීන ජාතිකයා මත්ද්‍රව්‍ය චෝදනාවකට අත්අඩංගුවට ගැනීම සඳහා චීන රජයේ අධිකරණයක් විසින් වරෙන්තු නිකුත් කර ඇති අයෙකු බවයි.

ඊයේ (08) ගුවන් යානයට පිවිසෙන තෙක් ඔහු සිය ගමනාන්තය නොදැන සිටියේ ආරක්ෂක නිලධාරීන් මෙම චීන ජාතිකයාට මාංචු දමා අව් කණ්නාඩියක් පළඳවා රෝද පුටුවක හිඳුවා ගුවන් තොටුපලට රැගෙන ඒම හේතුවෙන්.

ගුවන් යානයට පිවිසීමෙන් අනතුරුව අව් කණ්නාඩිය ගැළවීමට ආරක්ෂක නිලධාරීන් ඔහුට යෝජනා කර තිබෙනවා.

ඒ වනවිට මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා චීන ආරක්ෂක නිලධාරීන් පිරිසක් ද ගුවන් යානය තුළ රැඳී සිටි අතර, ඔවුන් දැක මෙම චීන ජාතිකයා බියවී නොසන්සුන්කාරී ලෙස හැසිරුණේ තමන් චීනයට රැගෙන යන බව වැටහීම හේතුවෙන්.

කෙසේ වෙතත් පසුව චීන සහ මෙරට ආරක්ෂක නිලධාරීන් මොහුව පාලනය කිරීමට සමත්වූ බව ගුවන් තොටුපල හිරු වාර්තාකාරු කියා සිටියා ෴


ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

(09.06.2023 – 08:22 +0530 – hirunews.lk/sinhala)

නිකවැරටිය, උඩහේනගම ප්‍රදේශයේදී ඊයේ (08) මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 50 ක් වන කොටවෙහෙර උඩහේනෙගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු අද (09) නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


‘කැෆේ 2023’ සූපවේ දී තරගාවලිය අද (09)

(09.06.2023 – 08:22 +0530 – hirunews.lk/sinhala)

සූපවේදීන්ගේ සංගමය, විසිවන (20) වරටත් ඉදිරිපත් කරන ‘කැෆේ 2023’ සූපවේ දී තරගාවලිය අද (09) ආරම්භ කෙරෙනවා.

‘හිරු ප්‍රවෘත්ති’ වෙත අදහස් දැක්වූ එම සංගමයේ සංගමයේ අධ්‍යක්ෂක මාධව වීරබද්දන කියා සිටියේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයේදී පැවැත්වෙන බවයි ෴


‘උතුරේ ඉඩම් ගැටලුවට කඩිනම් විසඳුම්’ – ජනපති

(09.06.2023 – 08:27 +0530 – hirunews.lk/sinhala)

උතුරේ ඉඩම් ගැටලුවට කඩිනම් විසඳුම් ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ දෙමළ ජාතික සන්ධානයට ප්‍රකාශ කර තිබෙනවා.

ඒ එහි මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (08) හමුවූ අවස්ථාවේදියි.

මීට අමතරව දේශපාලන සිරකරුවන් සහ අතුරුදන්වූ පුද්ගලයන් සම්බන්ධයෙන් පවතින ගැටලුද කඩිනමින් නිරාකරණය කරන බවටද ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ෴


මත්ද්‍රව්‍ය වැටලීම්වලින් පුද්ගලයන් 3 ක් අත්අඩංගුවට

(09.06.2023 – 09:03 +0530 – hirunews.lk/sinhala)

ග්‍රෑන්ඩ්පාස්, වදුල්ලවත්ත ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු ඊයේ (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බළකා ජයවර්ධනපුර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 26 ක වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු අද (09) දින මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය පිළිබඳ ග්‍රෑන්ඩ්පාස් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

~

ග්‍රෑන්ඩ්පාස් හේනමුල්ල ප්‍රදේශයේදී ද හෙරොයින් ග්‍රෑම් 05 මිලි ග්‍රෑම් 810 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවකු ඊයේ (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු 45 හැවිරිදි කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු අද (09) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

~

මේ අතර තලවතුගොඩ ප්‍රදේශයේදී ද හෙරොයින් ග්‍රෑම් 05 මිලි ග්‍රෑම් 300 ක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු 40 හැවිරිදි බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු අද (09) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


රාජ්‍ය කළමනාකරණ සේවයේ පුරප්පාඩු 7000 ක්

(09.06.2023 – 09:14 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය කළමනාකරණ සේවය තුළ මේ වනවට පුරප්පාඩු 7000 ක් පමණ ඇති වී තිබෙන බවත්, මේ නිසා රාජ්‍ය හා පළාත් රාජ්‍ය ආයතනවල කාර්යාල තුළ කටයුතු කිරීමේදී ගැටලු රැසක් ඇති වී තිබෙන බවත් රාජ්‍ය, පළාත් රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරීන්ගේ සංගමය පවසනවා.

මෙම පුරප්පාඩුවලින් 5000 ක් ඇති වී තිබෙන්නේ, මධ්‍යම රජයේ ආයතන තුළ බවත්, ඉතිරි 2000 ක පළාත් රාජ්‍ය ආයතන තුළ ඇති වී තිබෙන බවත් සංගමයේ ප්‍රධාන ලේකම් අමිල බණ්ඩාර සඳහන් කර සිටියා.

මධ්‍යම රජයේ අයනවල 2020 වසර වනවිට පැවති පුරප්පාඩු ගණනය කර ඒ සඳහා ද බඳවා ගැනීම්වලට අයදුම්පත් කැදවූ බවත්, මේ අනුව උසස් පෙළ සමතුන් රුපියන් 600 ක මුදලක් වැය කර අයදුම්පත් ලබා ගෙන අයදුම්පත් සම්පූර්ණ කර ඉදිරිපත් කළ බවත් ඔහු ප්‍රකාශ කර කළා.

මීට අමතරව අදාළ විභාගයට පෙනීසිටීම සඳහා විශාල මුදලක් වැය කර උපකාරක පන්තිවලට සහභාගි වීමට පවා අයදුම්කරුවන් කටයුතු කර තිබෙන බවත්, එහෙත් මෙතෙක් විභාගය පැවැත්වීමට කටයුතු කර නොමැති බවත් ප්‍රධාන ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

සමස්ත පුරප්පාඩුවලින් 30% ක් රාජ්‍ය සේවයේ සිටින පිරිස්වලින් 70% ක් තරඟ විභාගයක් පවත්වා ඉන් සමත් වන පිරිස් බඳවා ගන්නා බවද ඒ මහතා ප්‍රකාශ කළා.

ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේ පළාත් රාජ්‍ය ආයතනවල පුරප්පාඩු සැලකීමේදී බස්නාහිර පළාත තුළ පුරප්පාඩු 418 ක්, වයඹ පළාත තුළ පුරප්පාඩු 395 ක්, මධ්‍යම පළාත තුළ පුරප්පාඩු 225 ක්, දකුණු පළාත තුළ පුරප්පාඩු 48 ක්, ඌව පළාත තුළ පුරප්පාඩු 81 ක්, උතුරුමැද පළාත තුළ පුරප්පාඩු 120 ක්, සබරගමුව පළාතේ පුරප්පාඩු 77 ක්, උතුරු පළාත තුළ පුරප්පාඩු 135 ක් පවතින බවයි ෴


මත්කුඩු අලෙවියෙන් ලැබෙන මුදල් ජාවාරම්කරුවන්ගේ ගිණුම්වලට බැර කළ දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(09.06.2023 – 09:18 +0530 – hirunews.lk/sinhala)

මෙරට දී මත්ද්‍රව්‍ය අලෙවි කර ලැබෙන මුදල් විදෙස්ගත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ගිණුම්වලට බැර කිරීමේ නිරතවූ සහෝදරියක් සහ සහෝදරයෙකු පොලිස් විශේෂ කාර්යබලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් විදෙස් ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන ‘කොළොන්නාවේ ධනුෂ්ක’ සහ ‘චන්දන’ගේ සමීපතමයින් බවයි අනාවරණ වී ඇත්තේ.

එම ජාවාරම්කරුවන් විසින් මෙරටට එවන මත්කුඩු විවිධ ප්‍රදේශවල අලෙවි කර එමඟින් ලැබෙන මුදල් මොවුන් දෙදෙනා ජාවාරම්කරුවන්ගේ ගිණුම්වලට යොමුකර තිබෙනවා.

සැකකරුවන් සතුව තිබී ජංගම දුරකථන කිහිපයක් සහ විද්‍යුත් තරාදියක්, මත්ද්‍රව්‍ය ඇසිරීම සඳහා භාවිත කරන පොලිතින් රෝල් තොගයක්ද සොයා ගැනුණා ෴


පූජකවරයෙක් මත්ද්‍රව්‍ය එන්නත් කර ගෙන මිය ගිහින්

(09.06.2023 – 09:41 +0530 – hirunews.lk/sinhala)

යාපනය ප්‍රදේශයේ පුද්ගලයකු සිරුරට හෙරොයින් මත්ද්‍රව්‍ය එන්නත් කර ගැනීමෙන් මියගොස් තිබෙනවා.

මියගිය පුද්ගලයා යාපනය, නල්ලුර්, නයනමර්කට්ටු ප්‍රදේශයේ පදිංචි තරුණ පූජකවරයෙක් බවයි වාර්තා වන්නේ.

යාපනය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂකවරයා විසින් මෙම මරණය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය සිදු කර තිබෙනවා ෴


ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් සරත් ෆොන්සේකා ඉල්ලා අස්වෙයි

(09.06.2023 – 09:49 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ජාතික ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු අංශික අධීක්ෂණ කාරක සභාවෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

අද (09) පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මේ බව නිවේදනය කළා.

ඔහුගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ කාරක සභා සාමාජිකත්වයට පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් පත් කළ බවයි නියෝජ්‍ය කතානායකවරයා කියා සිටියේ ෴


රුපියල් ලක්ෂ 10 ක මුදලක් වංචා කළ පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට

(09.06.2023 – 09:34 +0530 – hirunews.lk/sinhala)

පොලිස් කොස්තාපල්වරියකට විවාහ පොරොන්දුවක් දී ඇය සතු රුපියල් ලක්ෂ 10 ක මුදලක් ඉල්ලා ගෙන වංචා කළ පොලිස් කොස්තාපල්වරයකු වවුනියාව විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පදවිය පොලිස් ස්ථානයට අනුයුක්තව මේ වන විට සේවයේ නිරතව සිටින මේ කොස්තාපල්වරයා පසුගිය (07) වැනිදා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඒ ඔහුව විශේෂ අපරාධ විමර්ශන අංශයට කැදවා ප්‍රශ්න කිරීමෙන් අනතුරුවය.

මෙසේ කොස්තාපල්වරියකට විවාහ පොරොන්දු දී ඇගෙන් මුදල් ගත් මේ නිලධාරියා විවාහක පුද්ගලයෙකු බවයි මුලික පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වී ඇත්තේ.

ඇය සමඟ මේ නිලධාරියා ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන යමින් මේ වංචාව සිදු කර ඇති බවද විමර්ශනවලදී හෙළි වී තිබෙනවා.

සැකකාර නිලධාරියාත් නිලධාරිනියත් නෙදුකේණි පොලිස් ස්ථානයේ සේවයේ නිරතව සිටියදී මේ වංචාව සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ ෴


පෙම්වතා පෙම්වතියට පිහියෙන් අනී

(09.06.2023 – 10:45 +0530 – hirunews.lk/sinhala)

වෙලම්බොඩ මුස්ලිම් මහා විද්‍යාලයේ පැවති අපොස සාමාන්‍ය පෙළ විභාගය අවසන් ඊයේ (08) සවස නිවෙස බලා යමින් සිටි 17 හැවිරිදි සිසුවියකට ඇයගේ පෙම්වතා බව කියන තරුණයකු දැන්පිටිගම ප්‍රදේශයේ අතුරු මාර්ගයක දී පිහියකින් ඇන තුවාල සිදු කර පලාගොස් ඇතැයි වෙලම්බොඩ පොලිසිය සඳහන් කරනවා.

තුවාල ලැබූ පාසල් සිසුවිය මුලින්ම බඹරදෙණිය රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා පසුව ගම්පොළ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මෙම සිසුවිය සහ ඇයගේ පෙම්වතා බව කියන තරුණයා අතර ඇතිව තිබූ ආරවුලක් මත මෙවැන්නක් සිදු කර ඇතැයි මුලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

පෙම්වතියට පිහියකින් ඇන පලා ගිය මෙම පෙම්වතා බව කියන තරුණයා අත්අඩංගුවට ගැනීමට වෙලම්බොඩ පරීක්ෂණ පවත්වන බවයි වැඩිදුරටත් අදහස් දක්වමින් පොලිසිය සඳහන් කළේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *