වීදුරු බෝතලයක කටු ඇනී සැකකටයුතු ලෙස කුඩා දරුවෙක් මියයයි

වීදුරු බෝතලයක කටු ඇනී සැකකටයුතු ලෙස කුඩා දරුවෙක් මියයයි


වීදුරු බෝතලයක කටු ඇනී සැකකටයුතු ලෙස කුඩා දරුවෙක් මියයයි

(09.06.2023 – 06:58 +0530 – hirunews.lk/sinhala)

මුල්ලේරියාව-හල්බරාව ප්‍රදේශයේදී ඊයේ (08) කුඩා දරුවෙකු වීදුරු බෝතලයක කටු ඇනී ලේ ගලන තුවාල සහිතව මිය ගොස් සිටින බවට 119 මධ්‍යස්ථානයෙන් ලද පණිවිඩයක් මත මුල්ලේරියාව පොලිස් ස්ථානය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 05 ක් වන මාළඹේ, හල්බරාව ප්‍රදේශයේ පදිංචි දරුවෙක්.

මියගිය දරුවාගේ පියා වෙන්ව ජීවත්වන අතර මව දිවා කාලයේ රැකියාවක් සඳහා පිටව යන බැවින්, තම ආච්චී හා සීයාගේ රැකවරණය යටතේ සිටියදී හල්බරාව ප්‍රදේශයේ වැඩබිමක් ඉදිරිපිටදී මෙම දරුවා බිඳී ගිය වීදුරු බෝතලයක කටු ඇනී සිදු වූ ලේ ගලන තුවාල සහිතව මිය ගොස් සිට ඇති බවටයි සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ.

මහේස්ත්‍රාත් පරීක්ෂණය හා අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා ස්ථානීය පරීක්ෂණය සිදුකර ඇති අතර මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මුල්ලේරියාව බෝවන රෝග විද්‍යාතනයේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙය මනුෂ්‍ය ඝාතනයක් ද යන්න සම්බන්ධයෙන් අනාවරණය කර ගැනීම සඳහා මුල්ලේරියාව පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදුකර ගෙන යනු ලබයි ෴


කිළිනොච්චියේ අභිරහස් ලෙස තරුණියක් මියයයි

(09.06.2023 – 07:23 +0530 – hirunews.lk/sinhala)

කිළිනොච්චිය පුන්නයිරාවී ප්‍රදේශයේ ළිදක තිබී අබිරහස් ලෙස මියගිය අපොස උසස් පෙළ පන්තියක ඉගෙනුම ලබන ශිෂ්‍යාවකගේ මළ සිරුරක් පොලීසිය විසින් ඊයේ (08) සොයාගෙන තිබෙනවා.

මෙම මරණය සම්බන්ධයෙන් කීසිදු තොරතුරක් මේ වනතුරු වාර්තා වී නොමැති අතර ඇය සිය දිවි හානි කර ගත්තේද එසේ නැතහොත් වෙනත් හේතුවක් මත මේ මරණය සිදු වී ඇද්ද යන්න සෙවීම සදහා කිළිනොච්චිය පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කොට තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ පවනී භානුෂා නැමති වයස අවුරුදු 18 වන තරුණියක්.

ඇගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සදහා කිළිනොච්චිය රෝහලට රැගෙන විත් ඇති අතර කිළිනොච්චිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවයි වාර්තා වන්නේ ෴


තැන තැන මාරක රිය අනතුරු

(09.06.2023 – 07:32 +0530 – hirunews.lk/sinhala)

කොළඹ අවිස්සාවේල්ල මාර්ගයේ පහත්ගම ප්‍රදේශයේදී යතුරුපැදියක් ලොරි රථයක ගැටීමෙන් ඊයේ (08) අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු පාදුක්ක රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා හෝමාගම රෝහලට ඇතුළත් කිටීමෙන් පසු මිය ගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 18 ක හංවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අනතුරට අදාළ ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර හංවැල්ල පොලිසිය වැඩ්දුර විමර්ශන සිදු කරනවා.

~

මේ අතර ඊයේ (08) ඇඹිලිපිටිය නෝනාගම මාර්ගයේ කිරලවැල්කටුව ප්‍රදේශයේදී ද යතුරුපැදියක් ත්‍රිරෝද රථයක ගැටී කාන්තාවක් මියගොස් තිබෙනවා.

මෙම අනතුර සිදුව ඇත්තේ ඇඹිලිපිටිය දෙස සිට නෝනගම දෙසට ධාවනය වූ යතුරුපැදිය විරුද්ධ දිශාවෙන් පැමිණි ත්‍රිරෝද රථයක ගැටීමෙන්.

යතුරුපැදිකරු හා ත්‍රිරෝද රථ ටියැදුරු තුවාල ලබා ඇති අතර ඔවුන් ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර තිබෙන අතර එහි ගමන් ගත් කාන්තාව එහිදී මියගොස් තිබෙනවා.

මියගිය කාන්තාව 77 හැවිරිදි පදලංගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඇඹිලිපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා ෴


ශල්‍ය ගෝස් නිෂ්පාදකයන්ගේ සංගමයෙන් චෝදනාවක්

(09.06.2023 – 07:38 +0530 – hirunews.lk/sinhala)

විනිමය අර්බුදයක් පැවතිය දී වැඩි මුදලකට ගෝස් ආනයනය කිරීමට රජය කටයුතු කරමින් සිටින බව ශල්‍ය ගෝස් නිෂ්පාදකයන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති අසේල පෙරේරා ඊයේ (08) කොළඹ දී පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් සඳහන් කළේ රජය විසින් රට තුළ ගොස් හිඟයක් මවා පා මීටර් මිලියන 12 ක් ආනයනය කිරීමට තීරණය කර ඇති බවයි ෴


කොළඹ අවිස්සාවේල්ල මාර්ගයේ රිය අනතුරක්

(09.06.2023 – 07:42 +0530 – hirunews.lk/sinhala)

කොළඹ – අවිස්සවේල්ල ලෝ ලෙවල් මාර්ගයේ ඇඹුල්ගම ප්‍රදේශයේදී ලොරි රථයක් සහ බස් රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් විසි දෙදෙනෙකු (22) තුවාල ලබා තිබෙනවා.

අද (09) අලුයම මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අක්කරෙයිපත්තුව සිට කොළඹ දක්වා ගමන් ගත් ලොරි රථයක් සහ ශ්‍රී ලංගම බස් රථයක් මෙලෙස එකිනෙක ගැටී ඇති බව සඳහන්.

තුවාල ලැබූවන් අතර, ලොරි රථයේ සහ බස් රථයේ රියදුරන්ද සිටිනවා. තුවාල ලැබූවන් හෝමාගම සහ නවගමුව රෝහල් වෙත ඇතුළත් කර ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ ෴


සිමෙන්ති අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙස නම් කරන්නැයි ඉල්ලීමක්

(09.06.2023 – 07:48 +0530 – hirunews.lk/sinhala)

සිමෙන්ති අත්‍යවශ්‍ය භාණ්ඩයක් නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙස ශ්‍රී ලංකා ඉදිකිරීම් සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා.

එම සංගමයේ සභාපති සුසන්ත ලියනගේ කියා සිටියේ පසුගියදා වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු විසින් සිමෙන්ති කොට්ටයක මිල අඩුකරන බවට ප්‍රකාශ කළ ද මේ වනතෙක් එම මිලට වෙළදපළ තුළ සිමෙන්ති මිල දී ගැනීමට නොමැති බවයි.

මේ අතර මසක් ඇතුළත රකින ලද කුකුළු බිත්තර එක් ලක්ෂ හැත්තෑ හයදහසක් (1,76,000) නෙදර්ලන්තයෙන් ආනයන කිරීමට ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය විසින් කටයුතු යොදා ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළා.

මවු කිකිළියන් ආනයනය කිරීමෙන් බිත්තර හා පැටවු ලබා ගැනීම ප්‍රමාද වන බැවින් රකින ලද බිත්තර ආනයන කිරීමටයි තීරණය කර ඇත්තේ.

එමගින් මාසයක් වැනි කෙටි කාලයක් තුළ බිත්තර හා මස් පිණිස කුකුළන් ලබා ගැනීමට අපේක්ෂිතයි.

එමෙන්ම අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 10 ක මිල අද (09) සිට අඩුකරන බව ලංකා සතොස ඊයේ (08) නිවේදනය කළා.

මුං ඇට කිලෝග්‍රෑමයක මිල රුපියල් 325 කින් අඩු කෙරෙන අතර එහි නව මිල රුපියල් 1225 ක්.

එමෙන්ම වියළි මිරිස් කිලෝග්‍රෑමයක මිල රුපියල් 60 කින් අඩුකර තිබෙනවා.

ඒ අනුව වියළි මිරිස් කිලෝග්‍රෑමයක නව මිල රුපියල් 1290 ක්.

එමෙන්ම රතු පරිප්පු කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 15 කින් අඩුකර ඇති අතර අද (09) සිට රුපියල් 299 කට රතු පරිප්පු කිලෝ ග්‍රෑමයක් මිලදී ගත හැකි බවයි ලංකා සතොස ආයතනය සඳහන් කළේ.

එසේම හාල්මැස්සන්, රතු නාඩු, රතු කැකුළු, සුදු සීනි මෙන්ම සොයාමීට් තොග මිල ගණන්ද මෙහිදී අඩුකර තිබෙනවා ෴


‘දෙවතාවකට වඩා මට ඇමතිකම් එපා’ – ක්‍රීඩා ඇමති

(09.06.2023 – 07:54 +0530 – hirunews.lk/sinhala)

ක්‍රීඩා ඇමැති ධුරයේ දෙවතාවකට වඩා රැදී සිටීමට තමා බලාපොරොත්තු නොවන බවත් ජාතික ඔලිම්පික් කමිටුවේ ප්‍රධානින්ද ඒ ආදර්ශය රටට දෙමින් සිය ධුර සමස්ත සේවා කාල එකතුව වාර දෙකකට පමණක් සීමා කළ යුතු බවත් ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ සඳහන් කරනවා.

කොළඹ දී පැවති හමුවක දී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා පැවසුවේ තමන් මෑතකදී ගැසට් කළ ක්‍රීඩා රෙගුලාසිවලට අනුකූලව ජාතික ඔලිම්පික් කමිටුවේ ප්‍රධානින්ද සිය ධුර කාල එකතුව උපරිම වාර දෙකකට සීමා කර ගත යුතු බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමතිවරයා සඳහන් කළේ :

“ක්‍රීඩා ඇමැති ධුරයේ මම වාර දෙකකට වඩා කටයුතු කරන්න සූදානම් නෑ. ජාතික ධුර කාල දෙකක් හිටියාම හොඳටම ඇති. ඔය ජාතික ක්‍රීඩා සංගම්වල දිගටම පුටුවල ඇලිලා ඉන්න බොහෝ අය හොරකම් දූෂණ චෝදනා ලබනවා. මම කියන්නේ මෙහෙම චෝදනා ලබන්න එක දිගට අවුරුදු ගණන් තනතුරුවල ඉන්න එපා. අලුත් අයට – තරුණ අයට අවස්ථාව දෙන්න උනන්දු වෙන්න. එහෙම එක දිගට තනතුරුවල රැඳිලා ඉන්න අයට මිනිස්සු කියන්නේ ඒවායෙන් ජීවත්වෙන්න ආපු අය කියලයි. ඔලිම්පික් කමිටුවේ ප්‍රධානින් ඒ තත්වය ඇති කර ගන්න එපා කියලයි මා ඒ අයට කියන්නේ” ෴


නව පාසල් වාරය වෙනුවෙන් සති අන්තයේ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

(09.06.2023 – 08:06 +0530 – hirunews.lk/sinhala)

ලබන සඳුදා (12) ආරම්භ වන පාසල් වාරයට පෙර මෙම සති අන්තයේ සියලු‍ පළාත් ආවරණය වන පරිදි පාසල් තුළ විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ කළා.

කොළඹ නගරයේ පාසල් 144 ක් කේන්ද්‍ර කරගනිමින් එහි මූලික වැඩසටහන පැවැත්වෙන අතර, ඊයේ (08) කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ද පැවැත්වුණේ අධ්‍යාපන අමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන්.

සාමාන්‍ය පෙළ විභාගය ඊයේ (08) අවසන් වූ අතර පාසල් වසා දමා තිබූ කාල සීමාවේ වර්ෂාව පැවති බැවින් පාසල් පරිශ්‍රයන්හි වැසි ජලය හා කුණු කසල එක් රැස්වී මදුරු උවදුර ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා ෴


පැමිණිලිකරු පොලිසිය තුළ දී විත්තිකරුට තියුණු ආයුධයකින් පහරදෙයි

(09.06.2023 – 08:10 +0530 – hirunews.lk/sinhala)

පොලොන්නරුව – බකමූණ පොලිස් ස්ථානය තුළ දී පැමිණිලිකරුවෙකු විසින් විත්තිකරුවෙකුට තියුණු ආයුධයකින් පහර දී තිබෙනවා.

පෙරේදා (07) රාත්‍රීයේ පැමිණිලිකරු නිවසේ නොමැති අවස්ථාවක නිවස අසළ සැකකටයුතු පුද්ගලයෙකු ගැවසෙන බවට ඔහුගේ බිරිඳ විසින් දුරකථන ඇමතුමක් ලබාදී පවසා තිබුණා.

ඒ අනුව වහා නිවසට පැමිණෙන අවස්ථාවේ මෙම පුද්ගලයා නිවස අසළ සිටිනු දැක ඇති අතර, පසුව ඔහු පලාගොස් ඇති බවයි වාර්තාවන්නේ.

කෙසේ වෙතත් ඔහු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවට හඳුනාගෙන ඇති අතර, ඒ පිළිබඳව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඊයේ (08) බකමූණ පොලිස් ස්ථානය අසළදී පැමිණිල්ල විභාග කරන අවස්ථාවේ දී පැමිණිලිකරු විසින් සැකකටයුතු ලෙස නිවස අසළ ගැවසුනු බව කියන පුද්ගලයාට එක්වරම සඟවාගෙන සිටි තියුණු ආයුධයක් රැගෙන පහරදී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

විත්තිකරුට මෙන්ම අදාළ ප්‍රහාරය වැළැක්වීමට ගිය කාන්තා පොලිස් නිලධාරිනියකද එහිදී තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි වාර්තාවන්නේ ෴


වකුගඩු රෝගීන් වාර්තා වීම ඉහළට

(09.06.2023 – 08:12 +0530 – hirunews.lk/sinhala)

පසුගිය වසර පහේදී වවුනියාව දිස්ත්‍රික්කය තුළ අලුතෙන් වකුගඩු රෝගීන් 1,454 දෙනකු වාර්තා වී ඇතැයි වවුනියාව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එම්. මහේන්ද්‍රන් සඳහන් කර තිබෙනවා.

ඒ අනුව 2018 සිට 2022 වර්ෂය අවසානය දක්වා එම දිස්ත්‍රික්කයේ වකුගඩු රෝගයට ගොදුරු වූ පිරිමින් 1,024 ක් හා කාන්තාවන් 430 දෙනෙකු පිළිබඳ තොරතුරු ලැබී තිබෙන බව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කරනවා.

2018 වසරේදී 601 ක්ද, 2019 වසරේදී 292 ක්ද, 2020 වසරේදී 203 ක්ද, 2021 වසරේදී 161 ක්ද, 2022 වසරේදී 197 ක්ද වශයෙන් වවුනියාව දිස්ත්‍රික්කයෙන් රෝගීන් වාර්තා වන බවද මහේන්ද්‍රන් තවදුරටත් ප්‍රකාශ කර සිටියා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කළේ වයස් කාණ්ඩ අනුව ගතහොත් වවුනියාව දිස්ත්‍රික්කය තුළ පසුගිය වසර පහ (5) තුළ දී අවුරුදු 15-20 අතර 30 ක්ද, 21-30 අතර 66 ක්ද, 31-40 අතර 113 ක්ද, 41-50 අතර 254 ක්ද, 51-60 අතර 440 ක්ද, 61-70 අතර 402 ක්ද, 71-80 අතර 134 ක්ද 81-90 අතර 15 ක්ද වශයෙන් වකුගඩු රෝගීන් වාර්තා වී ඇති බවයි.

එම කාලය තුළ දී වවුනියාව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 899 ක්ද, වවුනියා දකුණ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 202 ක්ද, වවුනියාව උතුර ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් 104 ක්ද, වෙඩ්ඩිකුලම් වවුනියාව උතුර ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් 249 ක්ද වශයෙන් රෝගීන් වාර්තා වී ඇතැයි ද එම්. මහේන්ද්‍රන් සඳහන් කර සිටියා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *