පන්සලේ මෘතදේහයන් තැන්පත්කොට අවමංගල චාරිත්‍ර ඉටුකිරීමට අවසර දීලා

පන්සලේ මෘතදේහයන් තැන්පත්කොට අවමංගල චාරිත්‍ර ඉටුකිරීමට අවසර දීලා


පන්සලේ මෘතදේහයන් තැන්පත්කොට අවමංගල චාරිත්‍ර ඉටුකිරීමට අවසර දීලා

(08.06.2023 – 16:10 +0530 – hirunews.lk/sinhala)

පන්සලක ගිහියකුගේ මරණයක් තබා ඇති පුවතක් බොරැල්ල කිතුල්වත්ත F.R. සේනානායක පන්සලේ දී වාර්තා වී තිබෙනවා.

මෙම විහාරයේ හාමුදුරුවෝ පන්සල අවට ඉන්න අසරණ අයෙකුගේ නිවසක මරණයක් සිදු වූ විට එම ස්ථානය නොමිලේ ලබාදීමට තීරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.

තමන්ගේ නිවසේ මෘතදේහය තබාගැනීමට ඉඩ කඩ නොමති නම් මල්ශාලාවක මෘතදේහය තැබීමට ආර්ථික අපහසුකම් නැතිනම් අදාළ ඥාතීන්ට මෙම පන්සලේ ශාලාව භාවිතා කරන්න අවසර ලැබී තිබෙන අතර මේ සඳහා කිසිඳු මුදලක් අය නොකරන බවයි වාර්තා වී ඇත්තේ.

එමෙන්ම අවසන් කටයුතු නිමවන තෙක් මියගිය පුද්ගලයාගෙ ඥාතීන් සඳහා කාමර දෙකක් (2), කුස්සියක්, වැසිකිළියක්, නාන්න ස්ථානයක් ලබාදෙන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පාංශකූලයට රෙදි පිළි නැතිනම් ඒ සියල්ලත් පන්සලෙන්ම ලබා දෙන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

වෙනත් ආගමක පුද්ගලයෙකුගේ අවමඟුලක් වුව ද ඔවුන් ආගමට අනුව අවසන් ගෞරවය ලබා දීමට කටයුතු සූදානම් කර දෙන බවද කිසිදු ආගම් භේදයකින් තොරව මේ සියල්ල ඉටු කිරීමට අදාළ විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් අවසර ලබා දී තිබෙන බව ද සඳහන් ෴


දූෂණ විරෝධී පනත් කෙටුම්පත විවාදයට ගැනීම ජුනි 21 දා

(08.06.2023 – 15:55 +0530 – hirunews.lk/sinhala)

දූෂණ විරෝධි පනත් කෙටුම්පත මේ මස 21 වැනිදා විවාදයට ගැනීමට අද (08) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදි තීරණය කර තිබෙනවා.

මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ද පසුගියදා කථානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් කියා සිටියේ එහි ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට අනුකුල නොවන බව දැනුම් දී ඇති බවයි.

ඒ අනුව එම වගන්ති ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වාදී ඇති අයුරින් සංශෝධනය විය යුතු බවද කථානායකවරයා එහිදි අවධාරණව කළා.

එමෙන්ම පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාලය පනත් කෙටුම්පත ලබන 20 වැනිදා විවාදයට ගැනීමටද අද රැස්වු පාර්ලිමේන්තු කටයුතු පිලිබද කාරක සභාවේ දි තීරණය කර තිබෙනවා ෴


සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල අඩු කෙරේ

(08.06.2023 – 16:59 +0530 – hirunews.lk/sinhala)

සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 10 ක මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව පහත සඳහන් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පහත දමා ඇති අතර දිවයින පුරා ඇති සියලු ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයින්ට ලබාගත හැකි බවයි වාර්තා වන්නේ.

මෙම මිල පහත හෙලිම හෙට (2023 ජුනි 09) දින සිට ක්‍රියාත්මක වේ.

නව මිල ගණන් පහතින් :

  1. මුං ආට 1kg රු. 1225
  2. වියළි මිරිස් 1kg රු. 1290
  3. රතු පරිප්පු 1kg රු. 299
  4. රතු නාඩු 1kg රු. 200
  5. හාල්මැස්සන් 1kg රු. 1140
  6. පාන් පිටි 1kg රු. 200
  7. සෝයා මීට් 1kg රු. 650
  8. රතු කැකුළු 1kg රු. 139
  9. කඩල 1kg රු. 540
  10. සුදු සීනි 1kg රු. 225

අරාබි මුහුදේ ඇති බහුදින ධීවර යාත්‍රාවලට දැනුම් දීමක්

(08.06.2023 – 17:11 +0530 – hirunews.lk/sinhala)

උතුරු අරාබි මුහුදු ප්‍රදේශයේ සුළි කුණාටුවක් ඇතිවීමේ අවධානමක් පවතින බැවින් උතුරු අක්ෂාංශ 07 රේඛාවෙන් ඉහළ ධීවර කටයුතු සිදුකරන බහුදින ධීවර යාත්‍රාවලට ඉන් පහළ සාගර කලාප වෙත ගමන් කරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

අරාබි මුහුදේ මේ වන විට හටගෙන ඇති අඩු පීඩන කලාපය අද සිට ප්‍රචන්ඩ සුළි කුණාටුවක් බවට වර්ධනය වීමේ අවධානමක් පවතින බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත සඳහන් කරන්නේ.

දැනටමත් චන්ද්‍රිකා තාක්ෂණය හරහා අවධානම් ප්‍රදේශවල ධීවර කටයුතු සිදුකෙරෙන යාත්‍රා හදුනාගෙන එම යාත්‍රා කඩිනමින් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. එමෙන්ම මෙම හදිසි තත්ත්වය හේතුවෙන් ආපසු පැමිණෙන යාත්‍රාවලට සහය ලබාදෙන ලෙස ඉන්දීය හා මාලදිවයින් බලධාරින් දැනුවත් කර ඇති බවද සඳහන් ෴


සාමාන්‍යපෙළ විභාගය දිනයේදී සිසුවෙක්ට ක්‍රිකට් පොලුවලින් පහර දුන් සිසුන් පිරිස අත්අඩංගුවට

(08.06.2023 – 17:21 +0530 – hirunews.lk/sinhala)

කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලේ සාමාන්‍යපෙළ විභාගයට පෙනී සිටි සිසුවෙකුට එම විභාගයටම පෙනී සිටි තවත් සිසුන් පිරිසක් විසින් අමානුෂික ලෙස පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිසුන් 06 දෙනකු අත්අඩංගුවට ගත් බව කටුගස්තොට පොලීසිය පවසනවා.

එම සිසුවාට පෙරේදා (06) වැනි දින ගණිතය විෂයේ පළමු (1) ප්‍රශ්න පත්‍රයට මුහුණ දීමෙන් අනතුරුව ලැබුන විවේකයේ විදුහලේ ආපන ශාලාවට පැමිණි අවස්ථාවේදී තවත් සිසුන් පිරිසක් විසින් ක්‍රිකට් පිති සහ විකට් පොලු යොදාගනිමින් අමානුෂික ලෙස පහර දී තිබූ අතර පසුව එම සිසුවා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කිරීමට විදුහල් බලධාරීන් පියවර ගෙන තිබුණා.

පහරකෑමට ලක්වූ එම සිසුවා අද (08) මහනුවර ජාතික රෝහල ආසන්නයේ පාසලක සිට සාමාන්‍යපෙළ විභාගයේ අවසන් විෂය සඳහා මුහුණ දී තිබූ බවයි වාර්තා වන්නේ ෴


මිලියන 42 කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

(08.06.2023 – 18:13 +0530 – hirunews.lk/sinhala)

රුපියල් මිලියන 42 කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

යාපනය වෙත්තලකේනි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී අද (08) උදෑසන කළ හදිස්සි වැටලීමක දී මෙම තොගය අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ ෴


ව්‍යාජ සංචාරක ලියකියවිලි සමඟ ලංකාවට පැමිණි චීන ජාතිකයා පිටුවහල් කෙරේ

(08.06.2023 – 19:29 +0530 – hirunews.lk/sinhala)

ව්‍යාජ සංචාරක ලියකියවිලි සමඟ පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි චීන ජාතිකයා අද (08) පිටුවහල් කර තිබෙනවා.

ආගමන විගමන නිලධාරීන් භාරයට ගනු ලැබූ මෙම චීන ජාතිකයා නැවත චීනය වෙත පිටුවහල් කළ බවයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ ෴

+++++++++

චීනයට යෑමට නොහැකි බව පවසමින් චීන ජාතිකයා ගුවන් තොටුපළේ කලහකාරී ලෙස හැසිරෙයි

(08.06.2023 – 23:20 +0530 – hirunews.lk/sinhala)

ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයකින් මෙරටට පැමිණි අවස්ථාවේදී අල්ලාගත් චීන ජාතිකයා යළිත් චීනයට පිටුවහල් කිරීම සඳහා කටුනායක ගුවන් තොටුපොළට රැගෙන ආ අවස්ථාවේ යළි චීනයට යෑමට නොහැකි බව කියමින් කලහාකාරි ලෙස හැසුරුණු බව ගුවන් තොටුපල ආරංචි මාර්ග පවසනවා.

පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනකුගේ (2) ද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂකවරයකුගේ සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරියකුගේ දැඩි ආරක්ෂාව යටතේ චීන ජාතිකයා අද (08) සවස 5 ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන එනු ලැබුවා.

ගුවන් යානයට පිවිසීමට ඇති අවසන් දොරටුව වෙත මෙම චීන ජාතිකයා රැගෙන ආ අවස්ථාවේ ඔහු යළි චීනයට යෑමට නොහැකි බව කියමින් කලහකාරී ලෙස හැසිරෙන්නට පටන් ගත් බවයි ගුවන්තොටුපල ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ ෴


රථ වාහන ස්ථානාධිපතිවරයා මාරාන්තික රිය අනතුරකට ලක්කළ විත්තිකරුට අත්හිටවූ සිරදඩුවම් සහ දඩ

(08.06.2023 – 19:47 +0530 – hirunews.lk/sinhala)

බොරැල්ල පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා මාරාන්තික රිය අනතුරකට ලක් කිරීමේ චෝදනාවට වරද පිළිගත් නවිදු උමේෂ් රත්නායක නැමැත්තාට කොළඹ මහාධිකරණය විසින් අත්හිටවූ සිරදඩුවම් සහ දඩ නියම කර තිබෙනවා.

කොල්ලුපිටිය ඩුප්ලිකේෂන් මංසන්ධියේදී බොරැල්ල පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර රිය අනතුරට ලක්වුණේ 2019 වසරේ පෙබරවාරි 10 වනදායි.

පසුව ඔහු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වූ අතර අනතුර සම්බන්ධයෙන් චෝදනා එල්ලවූයේ උසස් පොලිස් නිලධාරියෙකුගේ පුත්‍රයෙකු වන නවිදු උමේෂ් රත්නායකටයි.

ඒ අනුව ඊට අදාළ නඩුවේ තීන්දුව අද (08) කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ විසින් ප්‍රකාශයට පත්කළා.

එහිදී විත්තිකරුට වසර 02 ක බරපතල වැඩ සහිත සිරදඩුවමක් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එය වසර 15 කට අත්හිටවනු ලැබුවා.

එමෙන්ම රුපියල් 150,000 ක දඩයක්ද නියම කළ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මියගිය පොලිස් නිලධාරියාගේ බිරිඳට රුපියල් ලක්ෂ 26 ක වන්දියක්ද ගෙවන ලෙසට නියෝග කළා.

+


වෛද්‍ය උපාධිය අවසන් කළ නවක වෛද්‍යවරුන් 406 දෙනකු සීමාවාසික පුහුණුවට අනුයුක්ත කෙරේ

(08.06.2023 – 19:49 +0530 – hirunews.lk/sinhala)

වෛද්‍ය උපාධිය අවසන් කළ නවක වෛද්‍යවරුන් 406 ක් සීමාවාසික පුහුණුව සඳහා අනුයුක්ත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ලබන 27 වනදාට පෙර මෙම වෛද්‍යවරුන් දිවයිනේ රෝහල් 63 ක් සඳහා යොමු කරන බවයි වාර්තා වන්නේ.

දැනට රෝහල් වල සේවය කරන සීමාවාසික වෛද්‍යවරුන් 694 ක පමණ පිරිසකගේ පුහුණු කාලය ලබන 27 වනදායින් අවසන් වීමට නියමිත අතර ඒ අනුව මෙම නවක වෛද්‍යවරුන් පිරිස අදාළ රෝහල් කරා අනුයුක්ත කෙරෙනවා.

මේ වන විට මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ වෛද්‍යවරුන් 30,000 ට ආසන්න ප්‍රමාණයක් සිටින අතර රට තුළ කුමන අභියෝගාත්මක තත්ත්වයක් පැවතියද සෞඛ්‍ය සේවාවේ අත්‍යවශ්‍ය කටයුතු කිසිදු ප්‍රමාදයකින් තොරව සිදු කරන ලෙසයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල එම අමාත්‍යාංශයේ නිලධාරීන් වෙත උපදෙස් ලබාදී තිබෙන්නේ.

ඒ අනුව පසුගියදා පවුල් සෞඛ්‍ය නිලධාරීන් 222 කු සෞඛ්‍ය ක්ෂේත්‍රයට බඳවා ගැණුනා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *