සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල කඩිනමින් නිකුත් කරන බව විභාග කොමසාරිස් පවසයි

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල කඩිනමින් නිකුත් කරන බව විභාග කොමසාරිස් පවසයි


සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල කඩිනමින් නිකුත් කරන බව විභාග කොමසාරිස් පවසයි

(08.06.2023 – 14:26 +0530 – hirunews.lk/sinhala)

2022 සාමාන්‍ය පෙළ විභාගය අදින් (08) අවසන් වනවා.

දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,568 කදී සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වුණේ පසුගිය මස 29 වනදායි.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර කොළඹදී අද (08) මාධ්‍ය හමුවක් පවත්වමින් පවසා සිටියේ සාමාන්‍ය පෙළ විභාගය අතරතුර කලහකාරි ලෙස හැසුරුණු සිසුන් සහ විභාග වංචාවන්ට සම්බන්ධ සිද්ධීන් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකරන බවයි.

කටුගස්තොට ප්‍රදේශයේ ජාතික පාසලක සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් දෙපිරිසක් අතර පසුගියදා ගැටුමක් ඇති වූ අතර එහිදී සිසුන් කිහිපදෙනෙකු තුවාල සිදුවුණු බව සඳහන්.

එමෙන්ම බිබිල අධ්‍යාපන කලාපයට අයත් ජාතික පාසලක සාමාන්‍ය පෙළ විභාගයේ ගණිත ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු ගුරුවරයෙකු විසින් සිසුවියක් වෙත ‘වට්ස්ඇප්’ ඔස්සේ යොමුකළ බව කියන සිද්ධියක් පිළිබඳ පරීක්ෂණයක්ද ආරම්භ කර තිබෙනවා.

අදාළ ගුරුවරයා බිබිල කලාප අධ්‍යාපන කාර්යාලයට කැඳවා ප්‍රකාශයක් ලබාගැනීමටයි විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත්තේ.

මෙම සිසුවිය පෙරේදා (06) පැවති ගණිත ප්‍රශ්න පත්‍රයට පෙනී සිට ඇති බව සඳහන්.

ඇය දෙවන (2) වර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුවියක වන අතර ජංගම දුරකථනය සූක්ෂමව විභාග ශාලාව තුළට රැගෙන විත් තිබෙනවා.

විභාග අධීක්ෂකවරුන් ප්‍රශ්න පත්‍රය බෙදාදීමෙන් පසු ඇය එය ඡායාරූප ගතකර ‘වට්ස්ඇප්’ ඔස්සේ සිය පාසලේ ගණිත ගුරුවරයා වෙත යොමුකර ඇති බව සඳහන්.

ගුරුවරයාද වට්ස් ඇප් ඔස්සේ සිසුවියට පිළිතුරු යොමුකර තිබෙනවා.

සිසුවියගේ හැසිරීම සම්බන්ධයෙන් සැක සිතූ විභාග අධීක්ෂකවරයෙකු ජංගම දුරකථනය සිය භාරයට ගෙන ඇති අතර පොලිසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මීට අමතරව බිබිල කලාප අධ්‍යාපන කාර්යාලයට කැඳවා පිළිතුරු එවූ බව කියන ගණිත ගුරුවරයාගෙන් ප්‍රකාශයක්ද ලබාගෙන තිබෙනවා.

එමෙන් ම සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල කඩිනමින් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ෴


ඩොලරය ඉහළට

(08.06.2023 – 14:19 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (07) දිනයට සාපේක්ෂව අද (08) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 285.56 සිට රු. 285.69 ක් වන අතර විකුණුම් මිල රු. 298.43 සිට රු. 298.91 කි.

තවත් විදේශ මුදල් වර්ග කිහිපයකට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වී ඇති අතර ස්විස් ෆ්‍රෑන්ක් සහ ගල්ෆ් මුදල් ඒකකවලට සාපේක්ෂව එය සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා ෴


‘හර්ෂව මුදල් කාරක සභාවේ සභාපති ලෙස පත්කරන්න ජනපති මැදිහත් වුණේ මුදල් ඇමති ලෙසයි’ – ප්‍රසන්න රණතුංග

(08.06.2023 – 14:31 +0530 – hirunews.lk/sinhala)

මුදල් කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා පත්කිරීමට ජනාධිපතිවරයා මැදිහත්වූයේ මුදල් අමාත්‍යවරයා වශයෙන් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග අද (08) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබදෙමින් ඔහු මේ පිළිබඳව සඳහන් කර සිටියා.

ඊට පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා, කතානායක මහින්ද යාපා අබේවර්ධන මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේද මැදිහත් වූ බවයි වාර්තා වන්නේ ෴


කෝප් කමිටුව හමුවේ මධ්‍යම සංස්කෘතික අරමුදල නිරුත්තර වෙයි

(08.06.2023 – 14:39 +0530 – hirunews.lk/sinhala)

මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිදුවී තිබෙන අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ ත්‍රිපුද්ගල කමිටුව තෝරාගත් ආකාරය පිළිබඳ කෝප් කමිටුවේ සාමාජිකයින් කළ විමසීමේදී බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ නිලධාරින් නිරුත්තර වී තිබෙනවා.

ඊයේ (08) පැවති මෙම රැස්වීමට එම අමාත්‍යංශයේ ලේකම්වරයා සහභාගි නොවීමද දැඩි දෝශදර්ශනයට ලක්ව තිබුණා.

කෝප් කමිටු රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, නලීන් බණ්ඩාර, කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් නිශාන්ති ජයසිංහ, ප්‍රධාන අභ්‍යන්තර විගණක නිලධාරි විමල් ගමගේ සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණි රණසිංහ එක්ව සිටි බවයි වාර්තා වන්නේ ෴


පුත්තලමේ කපුටන් රැසක් මිය ගිහින්

(08.06.2023 – 14:41 +0530 – hirunews.lk/sinhala)

පුත්තලම නගරයේ වාන පාර වැව අසල කපුටන් රැසක් ඊයේ (07) උදෑසන සිට මිය යමින් සිටින බව වාර්තා වෙනවා.

මේ සම්බන්ධයෙන් පුත්තලම නගර සභාවට ද තොරතුරු වාර්තා වී ඇති බව වාර්තා වී ඇති අතර පුත්තලම පශු වෛද්‍ය කාර්යාලය සඳහන් කළේ මෙලෙස පුත්තලම නගරයේ කපුටන් මිය යෑම පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

එමෙන්ම මියගොස් සිටින් කපුටන්ගේ ශ‍රීර කොටස් පේරදෙණිය විශ්වවිද්‍යාලයට ‍‍යවා වාර්තාවක් ලබා ගැනීමට ද පශු වෛද්‍ය කාර්යාලය ක්‍රියා කර තිබෙනවා ෴


අනුර ඇතුළු 26 කට අධිකරණ නියෝගයක්

(08.06.2023 – 07:50 +0530 – hirunews.lk/sinhala)

පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීමට එරෙහිව ජාතික ජනබලවේගය අද (08) සංවිධාන කර ඇති විරෝධතාවට අදාළව, මාර්ග කිහිපයක පමණක් උද්ඝෝෂණ කිරීම වලක්වාලමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඇතුළු 26 දෙනෙකුට එරෙහිවයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

ජාතික ජනබලවේගය රාජගිරිය මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපිටින් අද (08) පස්වරුවේ මෙම විරෝධතාව ආරම්භ කිරීමට නියමිතයි.

අධිකරණය විසින් අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 106 – 01 වගන්තිය ප්‍රකාරව මෙම නියෝගය නිකුත් කර ඇත්තේ ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක, එම පක්ෂයේ සාමාජිකයන් වන විජිත හේරත්, කේ.ඩී. ලාල් කාන්ත, ටිල්වින් සිල්වා, සුනිල් හදුන්නෙත්ති සහ වසන්ත සමරසිංහ ඇතුළු 26 කට එරෙහිවයි.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මාර්ගය, කොටා පාර, නාවල පාර ඔස්සේ සරණ පාර සහ මැතිවරණ කාර්යාලයේ ප්‍රවේශ මාර්ගයන්හි උද්ඝෝෂණය කිරීම තහනම් කරමින් මෙම අධිකරණ නියෝගය නිකුත් කර තිබෙනවා.

වගඋත්තකරුවන් ලෙස නම් කර ඇති පාර්ශ්වයන් සිදු කිරීමට නියමිත උද්ඝෝෂණය හේතුවෙන් සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන පාසල් සඳහා අවහිරයක් මෙන්ම මහජන පීඩාවක් සිදුවන බවට සඳහන් කරමින් වැලිකඩ පොලිසිය මෙම ඉල්ලීම අධිකරණයෙන් කර තිබුණා ෴

+++++++++

මැතිවරණ කොමිසම අසළ සිට ජාතික ජන බලවේගයේ විරෝධතාව ඇරඹේ

(08.06.2023 – 15:23 +0530 – hirunews.lk/sinhala)

ජාතික ජනබලවේගය රාජගිරිය මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපිට දී සංවිධානය කළ උද්ඝෝෂනය මීට සුළු මොහොතකට පෙර ආරම්භ වී තිබෙනවා.

පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීමට එරෙහිව ජාතික ජනබලවේගය සංවිධාන කර ඇති මෙම විරෝධතාවට අදාළව, මාර්ග කිහිපයක පමණක් උද්ඝෝෂණ කිරීම වලක්වාලමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙන වපසරියකයි මෙම උද්ඝෝෂනය ආරම්භ වී තිබෙන්නේ.

එමෙන් ම ඊයේ දිනයේ (07) අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කළ විරෝධතාවක් විසුරුවා හැරීමට ශ්‍රී ජයවර්ධපුර විශ්වවිද්‍යාලය ආසන්නයේදී පොලිසිය ඊයේ දිනයේ (07) ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

+++++++++

පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීමට එරෙහිව ජාතික ජනබලවේගය අද රාජගිරිය මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපිටදී විරෝධතාවක නිරතවුණා.

ඒ ඊට අදාළව අධිකරණ නියෝගයක්ද පැවති පසුබිමකයි.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මාර්ගය, කොටා පාර, නාවල පාර ඔස්සේ සරණ පාර සහ මැතිවරණ කාර්යාලයේ ප්‍රවේශ මාර්ගයන්හි උද්ඝෝෂණය කිරීම තහනම් කරමින් මෙම අධිකරණ නියෝගය නිකුත් කර තිබුණා.

එහි වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබුණේ ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඇතුළු 26 දෙනෙක්. කෙසේ වෙතත් මෙම විරෝධතාවට අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා එක්ව සිටියේ නැහැ.

කෙසේ වෙතත් ජාතික ජනබලවේගයේ විරෝධතාකරුවන් මැතිවරණ කොමිෂන් සභාව අසළ සරණ පාර අවහිර වන පරිදි විරෝධතාවයේ නිරතවූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර දින නියමයක් නොමැතිව කල් දැමුණු පලාත් පාලන ඡන්ද විමසීම සදහා මේ වන විට රුපියල් බිලියන එකයි දශම එකක (1.1) මුදලක් වැයකර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ හිරු ප්‍රවෘත්ති අංශය සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින්.

මේ අතර පළාත් පාලන මැතිවරණය සඳහා සීමා නිර්ණය කිරීමේදී මන්ත්‍රීවරුන් සංඛ්‍යාව අඩුකළද කිසිදු ජන කොට්ඨාසයකට අසාධාරණයක් සිදුවීමට ඉඩ නොතබන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළා.

ඒ පාර්ලිමේන්තුවේ පැවති රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් පාලන අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවට එක්වෙමින් ෴


සුදු වෑන් නඩුවේ සාක්ෂිකරුවකුට වරෙන්තු

(08.06.2023 – 15:30 +0530 – hirunews.lk/sinhala)

සුදු වෑන් නඩුවේ සාක්ෂිකරුවකු අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ මහාධිකරණය විසින් අද (08) වරෙන්තු නිකුත් කර තිබෙනවා.

පසුගිය ජනාධ්පතිවරණ සමයේ සුදු වෑන්වලින් පුද්ගලයින් පැහැරහෙන යාම පිළිබදව මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා එවක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අගතියක් සිදු කරන ලදැයි චෝදනා කර හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ සංස්ථාවේ හිටපු සභාපති මොහමඩ් රූමි යන විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.

එම නඩුවේ පළමු සාක්ෂිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර් සිටියේ තම සේවාදායකයාට ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබෙන බවයි.

එයට පිළිතුරු දුන් විනිසුරුවරයා ප්‍රකාශ කළේ සාක්ෂිකරු අධ්කරණයට පැමිණීම සඳහා බලාපොරොත්තු වන්නේ කුමනාකාරයේ ආරක්ෂාවක් ද යන්නයි. ඒ සඳහා නීතිඥවරයා නිසි පිළිතුරක් නොදුන් බවයි වාර්තා වන්නේ.

අධ්කරණය හමුවේ ඉදිරිපත් කරන ලද කරුණු පිළිබඳව සෑහීමකට පත් විය නොහැකි බව සඳහන් කළ විනිසුරුවරයා අදාළ සාක්ෂිකරු අත්අඩංගුවට ගෙන අධ්කරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තුවක් නිකුත් කරනු ලැබුවා.

වරෙන්තු නිකුත් කළ විනිසුරුවරයා නඩු විභාගය සැප්තැම්බර් 01 දාට කල් තබා තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *