සංචාරක කර්මාන්තයේ නියැලෙන්නන්ගෙන් චෝදනාවක්

සංචාරක කර්මාන්තයේ නියැලෙන්නන්ගෙන් චෝදනාවක්


සංචාරක කර්මාන්තයේ නියැලෙන්නන්ගෙන් චෝදනාවක්

(08.06.2023 – 14:16 +0530 – hirunews.lk/sinhala)

රට මුහුණ දි සිටින ඩොලර් අර්බුදයට හොදම විසදුම සංචාරක කර්මාන්තය නගා සිටුවීම බවට විවාදයක් නැහැ.

මෙරටට සංචාරකයින් පැමීණීමද සංඛ්‍යාත්මක ව ඉහළ යමින් පවතින පසුබිමක වුවත් ඔවුන් සඳහා ප්‍රමාණවත් පහසුකම් සැලසීමට හැකිවී ඇද්ද යන්න ගැටලුවක්.

සංචාරක ආකර්ශනය වැඩි වශයෙන් දිනාගත් ‘ඇල්ල’ නගරයම ඊට නිදසුන් සපයන සංචාරක කලාපයක් බවටයි පත් ව ඇත්තේ

බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටි ඇල්ල ප්‍රදේශය දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශනය දිනාගත් සුන්දර ස්ථානයක්.

මෙරටට පැමිණෙන සෑම සංචාරකයෙකුගේම ගමනාන්තයක් වන තරමටම ඇල්ල ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා.

ඒහෙත්, මෙම නගරයට පැමිණෙන සංචාරකයින්ට අවශ්‍ය අවම පහසුකම් සැපයීමට හෝ බලධාරීන් අපහොසත් වීම බරපතල තත්ත්වයක්

ඒ අතුරින් සනීපාරක්ෂක පහසුකම් සම්බන්ධයෙන් පවතින තත්ත්වය ඉතා කණගාටුදායකයි.

සංචාරකයින් වෙනුවෙන් ඉදිකර තිබු එකම වැසිකිලි පද්ධතියත් මීට වසර පහකට (5) පමණ පෙර ඇල්ල ප්‍රාදේශිය සභාව විසින් කඩා බිද දමා ඇත්තේ නව වැසිකිලි පද්ධතියක් ඉදිකිරීම සඳහායි.

ඒහෙත් එලෙස, පැවැති වැසිකිළි පද්ධතිය කඩා බිඳ දැමීමට තිබු හදිසිය නව වැසිකිලි පද්ධතියක් ඉදිකිරීමට ඇල්ල ප්‍රාදේශිය සභාවට නොතිබීමේ තරම මේ දසුන්වලින් පැහැදිලි වනවා.

වැසිකිළි පද්ධතිය කඩා දමා වසර පහක් ගතව තිබුණත් අදටත්, නව වැසිකිළි පද්ධතියක් ඉදිකිරීමට බලධාරීන් අපහොසත් වි තිබෙනවා.

ඇල්ල නගරය සංචාරක ආකර්ශනය දිනාගත හැකි නගරයක් ලෙසට තවත් තවත් සුන්දර කළ යුතු නමුත්, නගර මධ්‍යයේ ඇති මෙවැනි සැලසුම් සහගත නොවන ඉදිකිරීම් නගර අලංකාරයට බාධාවක් වී තිබෙනවා.

ඇතැම් අවිධිමත් සැලසුම් හේතුවෙන් අද වන විට ඇල්ල නගරයේ මදුරු ගණත්වයද ඉහළ ගොස් තිබෙනවා.

සංචාරක කර්මාන්තයේ නියැලෙන්නන් පවසන්නේ මෙවැනි පසුබිමක් තුළ සංචාරකයින් දැඩි අපහසුතාවකට පත්වන බවයි.

+


වාණිජ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

(08.06.2023 – 12:38 +0530 – hirunews.lk/sinhala)

ලංකා නාවික හමුදාව, කන්තලේ පොලිස් විශේෂ කාර්යය බළකාය හා එක්ව ත්‍රිකුණාමලය, චීන වරාය ප්‍රදේශයේ ජුනි 06 වන දින රාත්‍රී කාලයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස අලෙවි කිරීම සඳහා රැගෙන යමින් සිටි වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු අනූ පහක (95) තොගයක් සමඟ සැකකරුවෙකු නීතියේ රැහැනට හසුකර ගෙන තිබෙනවා.

පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් සිදු කරනු ලබන නීති විරෝධී ධීවර කර්මාන්තය හේතුවෙන් සාගරික පරිසර පද්ධතියට සිදුවන හානිය වැළැක්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් පසුවෙමින් සෝදසි මෙහෙයුම් සිදු කරනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 43 ක් වන ත්‍රිකුණාමලය, චීන වරාය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අදාළ සැකකරු සහ වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු අනූ පහක (95) තොගය ඉදිරි නිතීමය කටයුතු සඳහා චීන වරාය පොලීසිය වෙත භාරදී තිබෙනවා.

එමෙන්ම, නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා රන්වැලි ආයතනයේ පොල්මල්කුඩා නාවික අනුඛණ්ඩය මඟින් ජුනි 06 වන දින රාත්‍රී කාලයේ පුල්මුඩේ, යාන් ඔය රක්ෂිතය ප්‍රදේශයේ සිදු කළ තවත් විශේෂ සෝදිසි මෙහෙයුමදී, එම ප්‍රදේශයේ ළඳු කැළෑවක සූක්ෂම ලෙස සඟවා තිබූ වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු තුනක් (3) සහ විදුලි නොවන ඩෙටනේටර් පහක් (5) ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

පුල්මුඩේ ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගත් වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු තුන (3) සහ විදුලි නොවන ඩෙටනේටර් පහ (5) ඉදිරි නිතීමය කටයුතු සඳහා පුල්මුඩේ පොලීසිය වෙත භාරදී තිබෙනවා ෴


නීති විරෝධී ධීවර කටයුතු කළ පිරිසක් නාවික හමුදා භාරයට

(08.06.2023 – 12:46 +0530 – hirunews.lk/sinhala)

යාපනය වෙත්තලකේනි, කදයිකාඩු, මාමුනෙයි සහ කුඩාරප්පු ප්‍රදේශවලට ඔබ්බෙන් ඇති මුහුදු ප්‍රදේශයේ පෙරේදා (06) සිදු කළ විශේෂ මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලීම, වලංගු බලපත් රහිතව ධිවර කටයුතු සිදු කිරීම සහ බලපත් රහිතව අනුමත සීමාව ඉක්මවා කිමිදුම් උපකරණ තබා ගැනීම ‍යන නීති විරෝධි කටයුතු සිදු කළ පුද්ගලයින් 18 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

නාවික හමුදා භාරයට ගත් පුද්ගලයන් සමඟ මුහුදු කූඩැල්ලන් 669 ක්, ඩිංගි යාත්‍රා 06 ක්, කිමිදුම් උපකරණ හා නීති විරෝධි ධීවර ආම්පන්න ද නාවික හමුදා භාරයට ගෙන ඇති බව වාර්තා වෙනවා.

මෙම මෙහෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 18 ත් 42 ත් අතර වයසේ පසුවන කල්පිටිය, මුල්ලියන් සහ මන්නාරම යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

එම සැකකරුවන් සහ නාවික හමුදා භාරයට ගත් මුහුදු කූඩැල්ලන්, ඩිංගි යාත්‍රා ඇතුළු ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කර තිබෙනවා ෴


පෙම්වතියගේ රන් භාණ්ඩ සොරා ගත් පෙම්වතෙකු අත්අඩංගුවට

(08.06.2023 – 12:59 +0530 – hirunews.lk/sinhala)

පනස් පස් (55) හැවිරිදි පෙම්වතියගේ රන් භාණ්ඩ සොරා ගත් විසි අට (28) හැවිරිදි පෙම්වතකු කැලණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මූල්‍ය සමාගමක සහකාර කළමනාකාරවරයෙකු ලෙස සේවය කරන මෙම පෙම්වතා වසර ගණනාවක් මෙම ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බවද විමර්ශනවලදී හෙළි වී තිබෙන බවයි වාර්තා වන්නේ.

පෙම්වතා හට විවාහයක් සිදුකර ගැනීමට යෝජිතව තිබූ හෙයින් දෙදෙනා (2) අතර විරසකයක් තිබූ ඇති බවට කරුණු අනාවරණය වී ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කර සිටියා.

රන් භාණ්ඩ සොරකම් කර ඇති බවට පෙම්වතිය විසින් පොලිසියට පැමිණිලි කර ඇති අතර සැකකාර පෙම්වතා අත්අඩංගුවට ගත්ත ද රන් භාණ්ඩ සොයා ගැනීමට නොහැකි වූ බවයි පොලිසිය සඳහන් කළේ ෴


නිවාස ව්‍යාපෘති 09 ක ඉදිකිරීම් කඩිනම් කිරීමට කැබිනට් පත්‍රිකාවක්

(08.06.2023 – 13:25 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය හා පුද්ගලික අංශයේ සේවයේ නියුතු වූවන්ට ඔවුන්ගේ ආදායම් මට්ටමට ගැළපෙන පරිදි නිවාස ව්‍යාපෘති 09 ක් ඉදිකිරීම කඩිනම් කිරීමට නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යංශය විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා.

අදාළ නිවාස ව්‍යාපෘතිය 2020 වසරේදී ආරම්භ කෙරුණු අතර ඒ සඳහා මේ වන විටත් රුපියල් මිලියන 10,430 ක මුදලක් වැයකර ඇති බව සඳහන්.

පැවති ආර්ථික අර්බුදකාරි තත්ත්වය හමුවේ එම නිවාස ව්‍යාපෘති අතරමඟ නතරවීම හේතුවෙන් එය කඩිනම් කිරීම සඳහා අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබෙනවා ෴


ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය හා සෞඛ්‍ය ක්ෂේත්‍රවල ප්‍රගතිය මාලදිවයිනේ ප්‍රශංසාවට

(08.06.2023 – 13:54 +0530 – hirunews.lk/sinhala)

මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා ෂාහිඩ් මහතා ඊයේ (07) කොළඹ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වුණ.

මෙම හමුවේදී ඔවුන් දැනට දෙරට අතර පවතින සහයෝගීතා ක්ෂේත්‍ර ශක්තිමත් කිරීම සහ වෙළෙඳාම, ආයෝජනය, අධ්‍යාපන සහ සංස්කෘතික කෙ‍ෂ්ත්‍රවල නව සහයෝගීතා මාර්ග ගවේෂණය කිරීම පිළිබඳව අදහස් හුවමාරු කර ගෙන තිබෙනවා.

අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් ලබා දුන් සහයෝගයට අග්‍රාමාත්‍යවරයා වෙත සිය ස්තූතිය පළ කළ මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍යවරයා මාලදිවයිනේ සිසුන්ට ගාස්තු අය කිරීමේ පදනම මත වෛද්‍ය අධ්‍යයන සහ පශ්චාත් උපාධි අධ්‍යයන ක්ෂේත්‍රවල අධ්‍යාපන අවස්ථා සඳහා පහසුකම් සලසා දෙන ලෙස ඉල්ලා සිටියා.

විශිෂ්ට ගුරුවරුන් ශ්‍රී ලංකාව සතුයි. තමාගේ පාසල් අධ්‍යාපනය තුළ 1 ශ්‍රේණියේ සිට 12 ශ්‍රේණිය දක්වා ඉගැන්වූ සියලුම ගුරුවරුන් ශ්‍රී ලාංකිකයන් වූ අතරම ඔවුන්ට ස්තූතිවන්ත වන බව ද සඳහන් කළ මාලදිවයින් අමාත්‍යවරයා වෛද්‍ය ප්‍රතිකාර ලැබීම සඳහා විදෙස්ගත වන මාලදිවයින් ජාතිකයින්ගේ වඩාත් ජනප්‍රිය ගමනාන්තය ශ්‍රී ලංකාව බවත් සඳහන් කළා.

මෙම සංචාරය අතරතුර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම යටතේ සෞඛ්‍ය හා සංස්කෘතික සහයෝගීතාව ශක්තිමත් කරන බව අමාත්‍යවරයා පැවසු අතර ඒ යටතේ මාලදිවයින් සංස්කෘතික මධ්‍යස්ථානයක් කොළඹ පිහිටුවිමට ද යෝජිත බව පැවසුවා.

ඒකාබද්ධ කොමිෂන් සභා රැස්වීමේදී ද්විපාර්ශ්වික සබඳතාවල ප්‍රගතිය සමාලෝචනය කෙරුණු අතර වෙළෙඳාම සහ ආයෝජන, ආරක්ෂක, සංචාරක, ධීවර, අධ්‍යාපන, සෞඛ්‍ය, රැකියා, තරුණ කටයුතු, ක්‍රීඩා සහ කුසලතා සංවර්ධනය, කොන්සියුලර් සබඳතා සහ සංස්කෘතික කටයුතු ඇතුළු බහුවිධ ක්ෂේත්‍රවල පවත්නා සහයෝගිතාව තවදුරටත් ඉදිරියට ගෙන යාමේ මාර්ග පිළිබඳව සාකච්ඡා කළ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

මාලදිවයින් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය යන අභියෝග දෙකෙන් මිදී රට ලබා ඇති වේගවත් ප්‍රකෘතිය පිළිබඳව ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම අමුත්තන් මවිතයට පත්වන බවයි.

යුනෙස්කෝ ආධාර යටතේ ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති දකුණු ආසියානු ගුරු පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව සඳහා ගුරුවරුන් යොමු කොට ඔවුන්ගේ දැනුම ඉහළ නැංවීමට මාලදිවයිනට අවස්ථාව විවෘතව ඇති බවත් ආසියානු සංවර්ධන අරමුදලේ සහ ලෝක බැංකුවේ සහාය ඇතිව ඔවුන්ට ශිෂ්‍යත්ව ලබා දිය හැකි බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.

සංචාරක හා බලශක්ති ක්ෂේත්‍රයේ, විශේෂයෙන් සූර්ය බලශක්ති සහ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ අවශ්‍යතාව අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා.

අමාත්‍ය ෂාහිඩ් ඇතුළු දුත පිරිසට විදේශ ලේකම් අහමඩ් ලතීෆ්, මාලදිවයිනේ මහ කොමසාරිස් අලි ෆයිස්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ද්විපාර්ශ්වික ලේකම් ආචාර්ය හලා හමීඩ් සහ ආර්ථික ලේකම් ආචාර්ය හුසේන් නියාස් ද එක්ව සිටියා.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද එක් වුණා ෴


වී සහ තේ දළු මිල පහළට – ගොවීන් සහන ඉල්ලයි

(08.06.2023 – 14:10 +0530 – hirunews.lk/sinhala)

වී මිල පහත වැටීම හේතුවෙන් සිය ජීවිකාව පවත්වාගෙන යාම අසීරු වී ඇති බව ගොවීන් පවසනවා.

කෘමිනාශක තෙල්, පොහොර මෙන්ම කුඹුරු සකස් කිරීමේ සිට අස්වැන්න නෙළාගන්නා තෙක් පවතින වියදම් ඉහළ යාම හේතුවෙන් ලාභයක් නොලැබෙන තත්ත්වයකයට පත්ව ඇති බවයි ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව ප්‍රදේශයේ ගොවීන් පෙන්වා දෙන්නේ.

ඒ අනුව වී වගාවේ නියැලීම ප්‍රතිඵලදායක නොවන බැවින් සිය කුඹුරුවල කුරුදු, ගම්මිරිස්, පොල්, පුවක් වැනි ස්ථීර බෝග වගා කිරීම සඳහා අවසර ලබාදෙන ලෙස ඔවුන් බලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා.

රුපියල් 150 දක්වා ඉහළ ගොස් තිබූ වී කිලෝවක මිල මේ වන විට රුපියල් 65 ත් 70 ත් දක්වා පහළ බැස ඇති බැවින් තවදුරටත් වී වගාවේ නිරත වීමේ අවධානමක් පවතින බැවින් ඊට අවශ්‍ය සහනයන් ලබාදීමට බලධාරින් කටයුතු කළ යුතු බවයි ගොවීන් පෙන්වා දෙන්නේ.

එමෙන් ම තේ දළු කිලෝවක මිලද සීග්‍රයෙන් පහළ බසමින් පවතින බව කුඩා තේවතු හිමියන් පවසනවා.

පහතරට අමු තේදළු කිලෝවක් අද වන විට රුපියල් 160 දක්වා පහල බැස ඇති අතර මීට පෙර අමු තේ දළු කිලෝවක් අලෙවිවූයේ රුපියල් 400 කටයි.

එමෙන්ම පහතරට නිමි තේ කිලෝග්‍රෑමයක මිලද රුපියල් 800 දක්වා පහත බැස තිබෙන බවයි සඳහන් වන්නේ.

මීට පෙර නිමි තේ කිලෝග්‍රෑමයක් අලෙවි වී ඇත්තේ රුපියල් 1900 කට වන අතර ඩොලරයේ අගය පහළ යාමත් සමඟ මෙලෙස තේ දළු මිල අඩුවී ඇති අතර ඒ හේතුවෙන් කුඩා තේ වතු හිමියන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ ෴


භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාත අඩුවීමේ වැඩිම අගය ඊයේ (07) දිනයේ වාර්තා වේ

(08.06.2023 – 14:17 +0530 – hirunews.lk/sinhala)

භාණ්ඩාගාර බිල්පත් සඳහා ලබාදෙන පොලී අනුපාත අඩුවීමේ වැඩිම අගය ඊයේ (07) පැවති වෙන්දේසියේදී වාර්තාවී තිබෙනවා.

වසරකට පමණ පසු මෙලෙස වැඩිම අගයකින් පොලී අනුපාත අඩු වී ඇති බවයි වාර්තා වන්නේ.

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ අද (08) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ මහබැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතය පහත දැමීමට ගත් තීරණය හේතුවෙන් ස්ථීර තැන්පතුවල පොලී අනුපාතයන්ද මේ වන විට පහළ වැටෙමින් පවතින බවයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *