නතාෂා, බෲනෝ සහ සද්ධාරත්න හිමි 21 දක්වා රිමාන්ඩ්

නතාෂා, බෲනෝ සහ සද්ධාරත්න හිමි 21 දක්වා රිමාන්ඩ්


නතාෂා, බෲනෝ සහ සද්ධාරත්න හිමි 21 දක්වා රිමාන්ඩ්

(07.06.2023 – 19:57 +0530 – hirunews.lk/sinhala)

බෞද්ධ දර්ශනයට හා සංස්කෘතියට අපහාස වන අයුරින් ප්‍රකාශයක් සිදුකිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනී නතාෂා එදිරිසූරිය සහ ඇයගේ ප්‍රකාශය යූ.ටියුබ් නාලිකාවකින් ප්‍රචාරය කළ බෲනෝ දිවාකර ලබන 21 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ අද (07) නියෝග කළා.

සැකකරුවන් දෙදෙනා (2) අද (07) අධිකරණය හමුවට ඉදිරිපත් නොකෙරුණු අතර, සූම් තාක්ෂණය ඔස්සේයි නඩුව කැඳවනු ලැබුවේ.

මෙම සිද්ධීන්වලට අදාළ පරීක්ෂණ තවමත් අවසන් වී නොමැති බැවින් සහ මහජන නොසන්සුන්තාවක් නිර්මාණය වෙමින් පවතින බැවින් සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටියේ සැකකාර නටාෂා එදිරිසූරිය තමන් විසින් ඉදිරිපත් කළ ප්‍රශ්නගත ප්‍රකාශය සිදු කිරීමට පෙර ඊට අදාළ පිටපත සඳහා ප්‍රසිද්ධ රැඟු‍ම් පාලක මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන නොමැති බවයි.

එසේම බෲනෝ දිවාකර යටතේ සිටින කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අවශ්‍ය බවද ඔවුන් අධිකරණයට දැනුම් දුන්නා.

එසේම නතාෂා එදිරිසූරිය විසින් සිදුකළ ප්‍රකාශයෙන් බෞද්ධයන් කලබලයට පත්නොවන බව ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

බුදුන්වහන්සේ කාලාම සූත්‍රයේදී තමන් දේශනා කරන දෙයක් පවා එක්වර පිළිගැනීමෙන් වළකින ලෙසට දේශනා කර ඇති බවයි ඔහු කියා සිටියේ.

එම නිසා ඇය ඇප මත මුදාහරින ලෙස ඔහු ඉල්ලීමක් කළා.

බෲනෝ දිවාකර වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා මෙහිදී කියා සිටියේ චිංචිමානවිකාව බුදුන්වහන්සේට අපහස කළ මොහොතේ උන්වහන්සේ කැලබීමට පත් නොවූ බවයි.

බුදුන්වහන්සේ සත්‍ය ජයගන්නා බව දැන සිටි අතර බෞද්ධයන් තුළ තාදි ගුණය තිබිය යුතු බවද ඔහු ප්‍රකාශ කළා.

ඒ අනුව නීතිඥවරයා ඉල්ලා සිටියේ තම සේවාදායකයා ඇප මත මුදාහරින ලෙසයි.

කෙසේ වෙතත් බලංගොඩ කස්සප හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඕනෑම අයෙකුට ආගමක් සම්බන්ධයෙන් මත පළ කළ හැකි වුවත් අපහාස කළ නොහැකි බවයි සඳහන් කළේ.

එසේම සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු පිරිසක් ඔවුන් නිදහස් කළ යුතු බවට මාධ්‍ය සංදර්ශන පැවැත්වූ බව සඳහන් කළ ‘සිංහල රාවය’ සංවිධානය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා එය අධිකරණයට අපහාස කිරීමක් බැවින් ඊට අදාළව විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා සිටියා.

ඒ අනුව මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි.

ඇප ඉල්ලීම් වලට අදාල ලිඛිත දේශන සහ ඊට අදාළ විරෝධතා තිබේනම් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස පාර්ශවකරුවන්ට දැනුම් දුන් මහේස්ත්‍රාත්වරයා ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 21 වනදා ප්‍රකාශයට පත්කරන බව ප්‍රකාශ කළා.

මේ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පසුගිය 28 වනදා අත්අඩංගුවට ගත් පූජ්‍ය රාජාංගනයේ සද්ධාරත්න හිමියන් ද ලබන 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ අද (07) නියෝග කළා.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ සද්ධාරත්න හිමියන්ට අයත් බැංකු ගිණුම් 12 ක් පිළිබඳ විස්තර ලබා ගැනීමට ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බවයි.

ඒ අතරින් බැංකු ගිණුම් 3 කට අදාළ ගනුදෙනු පිළිබඳ විස්තර ලැබී ඇති බවත් ඔවුන් අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

එම බැංකු ගිණුම් තුන (3) තුළ පසුගිය කාලයේ සැකකාර හිමියන්ගෙ නමින් රුපියල් කෝටි හයකට (6,00,00,000) වැඩි මුදලක් තැන්පත් වී තිබෙන බවද අධිකරණයේදී අද (07) අනාවරණය වුණා.

කිසියම් බාහිර පාර්ශ්වයක් විසින් මෙරට ආගමික නොසන්සුන්තාවය සහ යුද්ධයක් ඇති කිරීමේ අරමුණින් මේ මුදල් ලබාදී තිබෙන බවට සැකයක් මතුවී ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් සඳහන් කළේ.

ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ යුතු බවත් දැනට පවතින විමර්ශන අවසන්වී නොමැති වීම හේතුවෙන් සැකකාර හිමියන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීමට විරෝධය පළ කළ සැකකාර රාජාංගනයේ සද්ධාරතන හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියේ හිමිනමගේ බැංකු ගිණුම්වලට මුදල් ලැබී ඇති බව පිළිගන්නා බවයි.

එමෙන්ම එම මුදල් උන්වහන්සේට ලැබී ඇත්තේ බ්‍රිතාන්‍ය සිටින දායකයෙකුගෙන් බවද නීතිඥවරයා සඳහන් කළා.

එම මුදල් තම විහාරස්ථානයේ දානශාලාව මෙන්ම ළදරු පාසලක් සහ විහාර ගෙයක් ඉදිකිරීමට රාජාංගනයේ සද්ධාරතන හිමියන් යොදවා ඇති බවද උන්වහන්සේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත් කරුණු සළකා බැලූ මහේස්ත්‍රාත්වරයා රාජාංගනයේ සද්ධාරතන හිමියන් ලබන 21 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියම කළේ.

+


ජනපතිගේ යෝජනාවෙන් ආචාර්ය හර්ෂ ද සිල්වා මුදල් කාරක සභාවේ සභාපති ධුරයට

(07.06.2023 – 20:17 +0530 – hirunews.lk/sinhala)

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා රාජ්‍ය මුදල් පිළිබද කාරක සභාවේ සභාපති ධූරයට පත් කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අද (07) තිරණය කළා.

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුදල් පිළිබද කාරක සභාවට සිදුකළ යොජනාවකට අනුවයි.

ජනාධිපතිවරයා අද (07) මුදල් පිළිබද කාරක සභාවේ සාමාජිකයින් කැදවා පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා රාජ්‍ය මුදල් පිළිබද කාරක සභාවේ සභාපති ධූරයට පත් කරන්නැයි යෝජනා කළ අතර ඊට ඔවුන්ගේ අනුමැතිය හිමිවුණා.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති එම හමුවේදී ජනාධිපතිවරයා අවධාරණය කළේ කාරක සභාවක් සහ උපදේශක සභාවලට සභාපතිවරුන් පත් කිරීමේදී පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව කටයුතු කල යුතු බවයි.

ඒ අනුව රාජ්‍ය මුදල් පිළිබද කාරක සභාවේ සභාපති ධූරය විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුට ලබා දිය යුතු බැවින් ඔවුන් යෝජනා කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වාට එම ධූරය ලබා දියයුතු බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

එහිදී හර්ෂද සිල්වා මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාට සිය ස්තුතිය පළ කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

ජනාධිපතිවරයා විපක්ෂයේ මන්ත්‍රීවරුන් සමග එහිදී කතාබහකද නිරත වී තිබෙනවා.

09 වෙනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරයේ මුදල් කාරක සභාවේ සභාපති ධූරය මාස 05 කට වැඩි කාලයක් පුරප්පාඩුව පැවති අතර මෙතෙක් එහි වැඩකටයුතු සිදු කෙරුණේ තාවකාලික සභාපතිවරුන් යටතෙයි.

මෙම කාරක සභාවේ සභාපති ධූරයට මීට පෙර සමගිජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක ආණ්ඩු පක්ෂයේ යෝජනාවකට අනුව පත් කෙරුණා.

කෙසේ වෙතත් පක්ෂයෙන් මතු වූ විරෝධතා සහ ඉල්ලීම් හමුවේ ඔහු එම තනතුරෙන් ඉල්ලා අස් වීමත් සමග මුදල් පිළිබද කාරක සභාවේ සභාපති ධූරය හිස්ව පැවතුණා.

ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු මන්ත්‍රි වරුන් කතානායකවරයාගෙන් අවස්ථා කිහිපයකදී එම සභාපති ධූරය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා ලබා දෙන්නැයි ඉල්ලීම් කරණු ලැබුවා.

කෙසේ වෙතත් ඊට ආණ්ඩු පක්ෂය සාධනීය ප්‍රතිචාරයක් හිමිවූයේ නැහැ.

අනතුරුව ජනාධිපතිවරයාගේ යෝජනාවක් අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් අද (07) පස්වරුවේ රාජ්‍ය මුදල් පිළිබද කාරක සභාව රැස් වුණා.

+


වත්තේගම බාලිකා විදුහලේ විභාග නිරික්ෂක හෘදයාබාධයක් හේතුවෙන් ජීවිතක්ෂයට

(07.06.2023 – 21:20 +0530 – hirunews.lk/sinhala)

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ක්‍රියාත්මක වෙමින් තිබියදී වත්තේගම බාලිකා විදුහලේ නිරීක්ෂකයකු ලෙස කටයුතු කළ පාසල් ගුරුවරයකු විභාගය ආරම්භවීමට සුළු මොහොතකට පෙර එක්වරම අසනීප වීමෙන් අනතුරුව වත්තේගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.

රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු මියගිය බවයි පොලිසිය පවසන්නේ.

මෙසේ මියගොස් ඇත්තේ කේ.ජේ. සිල්වා නැමැති 48 හැවිරිදි කටුගස්තොට ප්‍රදේශයේ පාසලක සේවය කරන ගුරුවරයකු බවයි වාර්තා වන්නේ.

මෙම ගුරුවරයාට හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් මිය යන්නට ඇති බවයි පොලීසිය සඳහන් කර සිටින්නේ ෴


දින 5 ක් වයසැති තම බිළිඳිය මිතුරියට දී මව පලා යයි

(07.06.2023 – 22:23 +0530 – hirunews.lk/sinhala)

දින 5 ක් වයසැති බිළිඳිය, ගලේවෙල ප්‍රදේශයේ පිහිටි හෝටලයක් තුළ දී හොඳම යෙහෙළිය රවටා ඇයට බාර දී පලා ගොස් තිබෙනවා.

හෝටල් කාමරය තුළ දී බිලිඳියට මවුකිරි දී හදිසි ගමනක් ගොස් එන තෙක් දරුවා හොඳින් බලා ගැනීමට යැයි පවසා යෙහෙළිය පිටත්ව ගිය බවත් සවස් වන තුරු සිය මිතුරිය නොපැමිණි බව පවසමින් විසිතුන් (23) හැවිරිදි එම තරුණිය සිඟිති දරුවා වඩාගෙන ගලේවෙල පොලිසියට පැමිණ පැමිණිල්ලක් ද කර තිබෙනවා.

පුත්තලම මූලික රෝහලේ දී තම යෙහෙළිය දරුවකු ප්‍රසූත කළ බවත් ඇය ද, ඇය ප්‍රසූත කළ දරුවා ද කැටුව ඉකුත් 04 වැනිදා ගලේවෙල ප්‍රදේශයේ පිහිටි හෝටලයකට පැමිණ කාමරයක් කුලියට ගෙන නවාතැන් ගෙන සිටි බවත් පොලීසිය හමුවේ එම කාන්තාව ප්‍රකාශ කොට තිබෙනවා.

පොලිසිය භාරයට ගත් දින 05ක් වයසැති බිලිඳිය දඹුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කළ බවයි වාර්තා වන්නේ ෴


වාද්දුව වෙරළතීරයේ සැරිසරන දැවැන්ත කිඹුලා

(07.06.2023 – 22:41 +0530 – hirunews.lk/sinhala)

වාද්දුව වෙරළතීරය ආශ්‍රිතව දැවැන්ත කිඹුලෙකු සැරිසරන බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.

අදාළ කිඹුලා අඩි 12 ක පමණ දිගින් යුතු බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

මේ අතර වැඩිදුරටත් වාර්තා වන්නේ කිඹුලා මුහුදේ සැරිසරණ බවට අනාවරණය වීමත් සමඟ ධීවරයින්ද සිය කටයුතුවලින් ඈත්ව සිටින බවයි වාර්තා වන්නේ ෴


විකාශන අධිකාරි පනත ගැන සාකච්ඡා කිරීමට විපක්ෂය මාධ්‍ය නියෝජිතයින් හමුවේ

(07.06.2023 – 23:38 +0530 – hirunews.lk/sinhala)

යෝජිත විකාශන අධිකාරී පනත් කෙටුම්පත පිළිබඳ විද්‍යුත් මාධ්‍ය ආයතන නියෝජිතයින්ගේ අදහස් ලබා ගැනීම අද (07) විපක්ෂයේ පක්ෂ එකමුතුව විසින් සිදු කරනු ලැබුවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී මෙම සාකච්ජාව සිදුව තිබෙනවා.

මෙම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය ජී එල් පිරිස්, ලක්ෂ්මන් කිරිඇල්ල, රංජිත් මද්දුම බණ්ඩාර, තිස්ස අත්තනායක, ඉමිටියාස් බාකීර් මාකර්, ගයන්ත කරුණාතිලක, ආචාර්ය හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, නාලක ගොඩහේවා, චන්දිම වීරක්කොඩි, මහාචාර්ය චරිත හේරත්, වසන්ත යාපා බණ්ඩාර, ඇතුලු පිරිසක් ද එක්ව සිටීම විශේෂත්වයක්.

සාකච්ඡාවට දිවයිනේ බලපත්‍රලාභි සියලු විද්‍යුත් මාධ්‍ය ආයතන ප්‍රධානීන් සහ එහි නියෝජිතයින්, මාධ්‍ය සංවිධාන නියෝජිතයින් රැසක් සහභාගි වූ අතර යෝජිත විකාශන අධිකාරී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු කාරණා සාකච්ඡා කළ බවයි වාර්තා වන්නේ.

මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් යෝජිත විකාශන අධිකාරි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා වන විපක්ෂ එකමුතුවේ කමිටුව පත් කර තිබෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම හමුවේ දී ප්‍රකාශ කර සිටියේ අදාළ පනතට විරුද්ධ බවයි.

ආණ්ඩුව උත්සාහ කරමින් සිටින්නේ විවිධ ප්‍රතිපාදන හරහා මාධ්‍ය මර්දනය කිරීමට බව පැවසූ විපක්ෂ නායකතුමා කිසිදු හේතුවක් මත මාධ්‍යයට වාරණ පැනවිය නොහැකි බවත් මාධ්‍ය නිදහස උපරිමයෙන් ක්‍රියාත්මක වීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක අත්‍යවශ්‍ය කරුණක් බවත් මෙහි දී අවධාණය කර තිබෙනවා.

දැනට යෝජිත විකාශන අධිකාරි පනත් කෙටුම්පතේ පවතින බරපතළ ගැටලු අටක් පිළිබඳව මහාචාර්ය ජී එල් පීරිස් මහතා දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කළ අතර සමස්තයක් වශයෙන් මෙම පනත ප්‍රතික්ෂේප කළ යුතු බවයි ඔහු පවසා සිටියේ.

මාධ්‍යවේදීන්ගේ වෘත්තිමයභාවය ගොඩ නැංවීමේ වැදගත්කම ඩලස් අලහප්පෙරුම විසින් මෙහිදී අවධාරණය කරනු ලැබීමද විශේෂත්වයක්.

එමෙන් ම පැමිණි මාධ්‍ය ආයතන නියෝජිතයින් මේ සම්බන්ධව විවිධ වූ කරුණු මතු කරනු ලැබුවා.

පසු ගිය දිනෙක හාස්‍යජනක ආකාරයට ප්‍රබල ඇමතිවරයෙක් ශ්‍රී ලංකාවේ මාධ්‍ය තුළ පවතින්නේ වල්බූරු වූ නිදහසක් යන්න පැවසූ කරුණ ඔස්සේ කරුණු ඉදිරිපත් කළ මාධ්‍ය නියෝජිතයෙක් පවසා සිටියේ ශ්‍රී ලංකාව මේ වන විට World Press Freedom Index තුළ සිටිනුයේ රවවල් 180 කින් 135 වන ස්ථානයේ බවත් උගන්ඩාවත් අප රටට ඉහළින් ඇති බවයි.

එමෙන් ම ලංකාවට පහළින් සිටිනුයේ වෙනිසියුලාව, උතුරු කොරියාව වැනි රටවල් බවත් අප යා යුත්තේ කුමන දිශානතියටද යන්න තීරණය කිරීම වැදගත් බවත් මෙම සාකච්ඡාවේදී අවධාරණය කිරීම විශේෂත්වයක්.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *