නීතිවිරෝධි බහාලුම ගෙන්වූ නිශ්කාශණ ආයතනයේ හිමිකරුවෙකු හා ආනයනකරු රේගුව භාරයට

නීතිවිරෝධි බහාලුම ගෙන්වූ නිශ්කාශණ ආයතනයේ හිමිකරුවෙකු හා ආනයනකරු රේගුව භාරයට


නීතිවිරෝධි බහාලුම ගෙන්වූ නිශ්කාශණ ආයතනයේ හිමිකරුවෙකු හා ආනයනකරු රේගුව භාරයට

(07.06.2023 – 14:18 +0530 – hirunews.lk/sinhala)

රුපියල් කෝටි 35 ක් පමණ වටිනා භාණ්ඩ සහිත බහාලුමක් නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද කොළඹ ප්‍රදේශයේ භාණ්ඩ නිශ්කාශණ ආයතනයක හිමිකරුවෙකු හා ආනයනකරු ලෙස පෙනී සිටි තැනැත්තා රේගුව භාරයට ගෙන තිබෙනවා.

ඊයේ (06) අදාළ බහාලුම විවෘත කළ අවස්ථාවේ එහි තිබී කැබලිකරන ලද වාහන තුනක් (3), විදේශීය මත්පැන්, දුම්වැටි හා සුවඳවිලවුන් මෙන්ම රූපලාවන්‍ය ද්‍රව්‍ය තොගයක් සොයා ගැනුණා ෴


මවට පහර දුන් පුතා සොයා ගිය පොලිස් වාහනයට අලාභභානි

(07.06.2023 – 14:19 +0530 – hirunews.lk/sinhala)

පුතකු විසින් මවට පහර දෙන බවට කතරගම පොලිසියට ලද පැමිණිල්ලක් විමර්ශනයට කිරීමට ගිය පොලිස් නිලධාරීන්ගේ ත්‍රිරෝද රථයට පහර දී අලාභභානි කළ පුත්‍රයා සොයා විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මව විසින් තමාට සහ නිවැසියන්ට පුතා පහර දෙන බවට කතරගම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන අතර, එම පැමිණිල්ල විමර්ශනය කිරීමට පොලිසියට අයත් ත්‍රීරෝද රථයේ නිලධාරීන් 4 දෙනෙකු කතරගම කඳ සුරිඳු ගම ප්‍රදේශයේ අදාළ නිවෙසට ගොස් තිබෙන බවයි පොලිසිය පවසන්නේ.

එම අවස්ථාවේ සැඟව සිටි පුතා ත්‍රිරෝද රථයේ ඉදිරිපස වීදුරුවට පොලුවලින් පහර දී අලාභ භානි කර පලා ගොස් තිබෙනවා ෴


ලංකාවේ ප්‍රථම වරට මෙරට ඩ්‍රෝන නියමු පාඨමාලාව ඇරඹෙයි

(07.06.2023 – 14:34 +0530 – hirunews.lk/sinhala)

මෙරට පළමු ඩ්‍රෝන තාක්ෂණ නියමු පාඨමාලාව ආරම්භ කරමින් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසා සිටියේ ඩ්‍රෝන තාක්ෂණ භාවිතය මගින් ඉදිරියේ දී මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළ ශීඝ්‍ර සංවර්ධනයක් අපේක්ෂා කරන බවයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ කෘෂිකර්මාන්ත ආංශික නිපුණතා සභාවේ හා තෘතීයක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන කෘෂි තාක්ෂණ ව්‍යාප්ති මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් අමාත්‍යතුමා මේ බව සඳහන් කර සිටියා.

පුහුණු මානව ශ්‍රම සම්පත් හිඟයට විසඳුමක් ලෙස මෙන් ම මානව ශක්‍යතා අභිභවා ගොස් ජයගත යුතු වෘත්තීය ක්ෂේත්‍රයේ දුෂ්කරතා මගහරවා ගනිමින් කාර්යක්ෂමතාව හා ඵලදායීතාව ඉහළ නංවා ගැනීමටත් එමගින් අවකාශ සැලසෙන බවයි අමාත්‍යවරයා පවසා සිටින්නේ.

ඒ ඔස්සේ වේගවත් තාක්ෂණික දියුණුවක් ඇති කරමින් වත්මන් ලෝකය ගමන් කරන හතර වෙනි කාර්මික විප්ලවය හඹා යාමට, ඊට බොහෝ පිටුපසින් සිටින අප රටට ද අවකාශ විවර වනු ඇති බවයි අමාත්‍යවරයා මෙහි දී විශ්වාසය පළ කර සිටියේ ෴


හැටන්-නුවරඑලිය ප්‍රධාන පාරට ගසක් කඩා වැටී බාධා

(07.06.2023 – 14:53 +0530 – hirunews.lk/sinhala)

ලිඳුල ප්‍රදේශය හරහා හමා ගිය දැඩි සුළඟක් හේතුවෙන් හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ ලිඳුල මටුකැලේ වත්ත ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය අසල පිහිටි විශාල මාර ගසක් කඩා වැටි තිබෙනවා.

මේ නිසා එම මාර්ගයේ ගමනාගමන කටයුතු අද (07) දින දහවල් 12 සිට පස්වරු 1 දක්වා පැයක පමණ කාලයක් බාධා පැමිණ තිබු බව ලිඳුල පොලිසිය පවසනවා.

ලිඳුල පොලිසිය කියා සිටියේ ප්‍රධාන මාර්ගය හරහා ගස කඩා වැටි ඇති ස්ථානයෙන් සැහැල්ලු වාහන පමණක් ධාවනය කළ බවත්, ගස කපා ඉවත් කිරිමෙන් පසු එම මාර්ගයේ බර වාහන ධාවනය කළ බවත්ය.

ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු ගසෙහි සහ ඒ අසල පිහිටි මාර ගස් කිහිපයකම බඹරුන් කුඩු බැඳ තිබු බවත්, දැඩි සුළඟ නිසා කඩා වැටුණු ගසෙහි බඹරුන් ඇවිස්සි සිටි නිසා ප්‍රධාන මාර්ගය අභියස ටයර් පුළුස්සා දුමාරයක් ඇති කිරීමට සිදු වූ බව පොලිසිය පැවසුවා.

පසුව ඇවිස්සුණු බඹරුන් එම ස්ථානයෙන් ඉවත් වූ විට ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු ගස කැබලිවලට කපා ඉවත් කර එම මාර්ගයේ ගමනාගමන කටයුතු යළි යථා තත්ත්වයට පත් කර තිබෙනවා ෴


මාලදිවයිනේ කෘෂිකර්මය ඉහළ නැංවීමට ලංකාවෙන් උදවු ඉල්ලයි

(07.06.2023 – 15:01 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශයේ සහයෝගය මාලදිවයිනටත් ලබා දෙන්නැයි මාලදිවයින් රජය ඉල්ලීමක් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශයේ සංවර්ධනය සඳහා රජය ගෙන යන වැඩ පිළිවෙළ මාලදිවයින් රජයේ අවධානයට යොමු වී ඇතැයි මෙරට නිල සංචාරයක නිරතව සිටින මාලදිවයිනේ කෘෂිකර්ම, ධීවර හා නාවික කටයුතු ඇමැති හුසේයින් රෂීඩ් හසන් පවසා තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී හමුවූ අවස්ථාවේදී හුසෙයින් රෂීඩ් හසන් මෙම ඉල්ලීම කර තිබෙන බවයි සඳහන් වන්නේ.

ශ්‍රී ලංකාවේ හරිත කුටි වල (Net House) සිදු කෙරෙන වගා සම්බන්ධව අවදානය යොමු කළ මාලදිවයින් අමාත්‍යවරයා එම තාක්ෂණය මාලදිවයිනටත් ලබා දෙන ලෙසත්, එමෙන්ම එරට පිරිසක් ඒ සඳහා පුහුණු කිරීමට අවශ්‍ය තාක්ෂණික සහයෝගය ලබා දෙන ලෙසත් ඉල්ලීමක් කර තිබෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ ෴


රුපියල අවප්‍රමාණය වෙයි

(07.06.2023 – 15:07 +0530 – hirunews.lk/sinhala)

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අද (07) දිනයේදී රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වුණා.

අද (07) නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව ඩොලරයක විකුණුම් මිල රුපියල් 298.43 ක් ලෙස දැක්වුණු අතර, එහි ගැණුම් මිල සටහන් වුණේ රුපියල් 285.56 ක් ලෙසයි.

ඊයේ (06) ඩොලරයක විකිණුම් මිල රුපියල් 297.94 ක් ලෙස දැක්වුණා ෴


ලබන වසරේ (2024) ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඩොලර් මිලියන 50 ක පමණ ලාභයක් අපේක්ෂා කෙරේ

(07.06.2023 – 16:07 +0530 – hirunews.lk/sinhala)

ලබන වසරේදී (2024) ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඩොලර් මිලියන 50 ක පමණ ලාභයක් ලබතැයි අනුමාන කරන බව එහි ප්‍රධාන විධායක නිලධාරී රිචර්ඩ් නටල් පවසනවා.

විදෙස් රුපවාහිනියක් සමග පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ පිළිබඳ ප්‍රකාශකර සිටියා.

ගුවන් මගීන්ගේ වර්ධනයක් දක්නට ලැබෙන බවත් එය ශ්‍රීලංකන් ගුවන් සමාගමේ එදිනෙදා කටයුතු සඳහා වාසිදායක බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශකර සිටියා ෴


අන්තරේට ජල හා කදුළු ගෑස් ප්‍රහාරයක්

(07.06.2023 – 16:13 +0530 – hirunews.lk/sinhala)

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කළ විරෝධතාවක් විසුරුවා හැරීමට ශ්‍රී ජයවර්ධපුර විශ්වවිද්‍යාලය ආසන්නයේදී පොලිසිය අද (07) ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කළා.

විරෝධතාකරුවන් පොලිස් මාර්ග බාධක බිඳ හෙළමින් ඉදිරියට ගමන් කිරීමට සූදානම් වූ අවස්ථාවේදී මෙලෙස ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ලවු බවයි එහි සිටි හිරු වර්තාකරුවන් සඳහන් කළේ.

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසළින් ආරම්භ කළ මෙම විරෝධතාව හේතුවෙන් නුගේගොඩ – විජේරාම ශ්‍රී සෝරත මාර්ගය තාවකාලිකව වසා දැමුණා.

මාස 05 ක් තිස්සේ වසා දමා ඇති බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය විවෘත කිරීම, ජීවන බරට අනුව මහපොළ ශිෂ්‍යාධාර ඉහළ නැංවීම, ආහාර ද්‍රව්‍ය මිල ගණන් අඩු කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනුයි ඔවුවන් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණේ.

කෙසේ වෙතත් මෙම විරෝධතා පාගමනට එරෙහිව පොලිසිය කළ ඉල්ලීමක් මත කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (07) නියෝගයක් ද නිකුත් කළා.

එහි දැක්වුණේ අද (07) පෙරවරු 11 සිට පස්වරු 6 දක්වා අතර කාලයේ අරලියගහ මන්දිරය, අග්‍රාමාත්‍ය කාර්යාලය, ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවස, ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, මුදල් අමාත්‍යාංශය සහ ගාලුමුවදොර පිටියේ පරිශ්‍රයන්ට මෙන්ම ගාලුමුවදොර වට රවුමේ සිට එන්.එස්.ඒ. වටරවුම දක්වා මාර්ග වලට ඇතුළු වීම වළක්වන බවයි.

එසේම පෙරටුගාමී සමාජවාදි පක්ෂයේ ක්‍රියාකාරින් ඇතුළු පිරිසක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති විරෝධතාවකට එරෙහිවද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය අද (07) නියෝගයක් නිකුත් කර තිබුණා.

ඒ, මරදාන පොලිස් ස්ථානයට ලැබුණු තොරතුරක් මත ස්ථානාධිපතිවරයා විසින් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින්.

ඒ අනුව අධිකරණ කලාපය, ජාතික රෝහල් චතුරස්‍රය අවට ඩීන්ස් පාර, ටී.බී ජයා මාවත මෙන්ම ඒ අවට ඇති සියලු පාසල්වලට සහ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට බාධාවන ආකාරයෙන් විරෝධතාවක නිරත වීම තහනම් කරමිනුයි මාලිගාකන්ද අධිකරණය එම නියෝගය නිකුත් කර තිබුණේ.

+


ඩෙල්ෆ්ට් මුහුදේ ගිලෙන්න ගිය 38 ක් නාවික හමුදාව බේරාගනී

(07.06.2023 – 16:25 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා නාවික හමුදාව අද (07) දින උදෑසන (07) සිදු කළ විශේෂ මෙහෙයුමක් මඟින්, යාපනය ‍ඩෙල්ෆ්ට් ජැටියේ පිවිසුම් දොරටුව අසල දී අනතුරට පත් ට්‍රෝලර් යාත්‍රාවක සිටි පුද්ගලයන් තිස් අට දෙනෙකු (38) නිරුපද්‍රිතව බේරා ගැනීමටත්, එහි ප්‍රවාහනය කරමින් තිබූ ගොඩනැගිලි ද්‍රව්‍ය තොගයක් මුහුදුබත් වීමට නොදී ගොඩ ගැනීමටත් හැකියාව ලැබී තිබෙනවා.

යාපනය, පුණ්ගුඩුතිව් දූපතේ පිහිටි කුරිකඩ්ඩුවාන් ජැටියේ සිට ‍ඩෙල්ෆ්ට් දූපත දක්වා පුද්ගලයන් තිස් අට දෙනෙකු (38) සමඟ ගොඩනැගිලි ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රෝලර් යාත්‍රාවක් ‍ඩෙල්ෆ්ට් දූපතේ වරාය පිවිසුම් දොරටුව අසලදී මුහුදේ පැවති බාදිය තත්වය හමුවේ යාත්‍රාවේ පතුල මුහුදු පත්ලේ ගැටී යාත්‍රාව සිදුරු වීම හේතුවෙන් යාත්‍රාව තුළට ජලය කාන්දු වී යාත්‍රාව අනතුරකට පත්වී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා වසභ ආයතනය වෙත තොරතුරක් ලැබී ඇති අතර එම දැනුම් දීමට වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, ශ්‍රී ලංකා නාවික නෞකා වසභ ආයතනයට අනුයුක්ත වෙරළබඩ මුර යාත්‍රා සහ කුඩා යාත්‍රා යොදා ගනිමින් අනතුරට පත් යාත්‍රාව සහ එහි සිටි පුද්ගලයින් නිරුපද්‍රිතව බේරා ගැනීමට කටයුතු කර තිබෙනවා.

තවද, නාවික හමුදාව විසින් ක්‍ෂණිකව ක්‍රියාත්මක වී සිදු කළ මෙම මෙහෙයුම හේතුවෙන් සිදූ වීමට තිබූ විශාල ජීවිත හා දේපල හානියක් වළක්වා ගැනීමට හැකි වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

‘කාලි අම්බාල් 2’ යාත්‍රාව ‍ඩෙල්ෆ්ට් දූපතේ වරාය පිවිසුම් දොරටුවෙහි අනතුරට පත්ව ගිලි ගියේ නම්, ‍ඩෙල්ෆ්ට් දූපත වෙත සිදු කරනු ලබන සියළුම ගමනාගමන කටයුතු ඇණහිටීමටත් එහි පරිපාලනයට විශාල බලපෑමක් සිදුවීමටත් ඉඩ තිබූ බවයි වාර්තා වන්නේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *