වෛද්‍ය උපාධිධාරීන් 400 කට සීමාවාසික පත්වීම් පමා කරන බවට චෝදනා

වෛද්‍ය උපාධිධාරීන් 400 කට සීමාවාසික පත්වීම් පමා කරන බවට චෝදනා


වෛද්‍ය උපාධිධාරීන් 400 කට සීමාවාසික පත්වීම් පමා කරන බවට චෝදනා

(07.06.2023 – 08:58 +0530 – hirunews.lk/sinhala)

වෛද්‍ය උපාධිධාරීන් 400 කට සීමාවාසික පත්වීම් ලබාදීම ප්‍රමාද කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන් කටයුතු කරමින් සිටින බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරනවා.

මේ මස අවසන් වීමට පෙර මෙම වෛද්‍ය උපාධිධාරීන්ට සීමාවාසික පත්වීම් ලබාදිය යුතු වුවත් එය ප්‍රමාද වන බවයි එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ ෴


සා. පෙළට පෙනී සිටි මහනුවර සිසුවෙකුට සිසුන් පිරිසක් පහරදීමෙන් තුවාල ලබා රෝහල් ගතකරයි

(07.06.2023 – 09:12 +0530 – hirunews.lk/sinhala)

මහනුවර – කටුගස්තොට ජනප්‍රිය පාසලක මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුවෙකුට සිසුන් පිරිසක් පහරදීම හේතුවෙන් තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ ක්‍රිකට් පිතිවලින් මෙම සිසුවාට පහරදී ඇති බවට පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති බවයි.

ඊයේ (06) දිනයේ ගණිත ප්‍රශ්න පත්‍රයේ පළමු කොටසට පෙනී සිටීමෙන් අනතුරුව විභාග ශාලාවෙන් පිටත රැඳී සිටින අවස්ථාවේ දී සිසුන් හයදෙනෙකු (6) ගෙන් යුත් කණ්ඩායමක් පැමිණ දුලාර දසුන් නැමති යටියාවල – කටුගස්තොට පදිංචි මෙම සිසුවාට පහර දී තිබෙනවා.

ඉන් තුවාල ලැබූ සිසුවා මහනුවර රෝහලට ඇතුළත් කර ඇති අතර, එහි 11 වන වාට්ටුවේ මේ වනවිටත් ප්‍රතිකාර ලබනවා.

පසුගිය 02 වැනිදා ද සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුවෙකුට තවත් සිසුන් පිරිසක් පහරදීමේ සිද්ධියක් පානදුර ප්‍රදේශයෙන් වාර්තා වුණා.

පානදුර ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක මෙම සිසුන් පිරිස ඉගෙනුම ලබන අතර සිද්ධිය සම්බන්ධයෙන් පසුව සිසුන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදාහරිනු ලැබුවා ෴


අල්ලස් ගත් ගොවි නිලධාරීන් තිදෙනෙක් (3) අත්අඩංගුවට

(07.06.2023 – 09:32 +0530 – hirunews.lk/sinhala)

අලවතුගොඩ ප්‍රදේශයේ කුඹුරු ඉඩමක් ගොඩ ඉඩමක් ලෙස ව්‍යාජ ආකාරයට ලේඛනගත කිරීම සදහා රුපියල් ලක්ෂයක (100,000) මුදලක් අල්ලස් ලෙස ලබා ගත් බව කියන අලවතුගොඩ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ නිලධාරීන් දෙදෙනෙකු (2) අල්ලස් හෝ දූපණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් පිරිසක් විසින් පසුගිය 05 වැනිදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ අකුරණ ප්‍රදේශයේ පදිංචි කෘෂිකර්ම පර්යේෂණ නිලධාරියකු සහ අරණායක ප්‍රදේශයේ පදිංචි ගොවිජන සංවර්ධන නිලධාරීවරයෙක් බවයි වාර්තා වන්නේ.

ඔවුන් එම අල්ලස් මුදල අලවතුගොඩ ගොවිජන සේවා මධ්‍යස්ථානය තුළ දී ගැනීමට උත්සාහ කළ අවස්ථාවෙහි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කර ගැනීමත් අනතුරුව මාතලේ පොලිස් ස්ථානයට භාරදී තබෙනවා ෴


මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර්ගේ පැමිණිල්ලකට පොලිසියේ හතරක් යාපනය මානව හිමිකම් කාර්යාලයට කැඳවයි

(07.06.2023 – 09:33 +0530 – hirunews.lk/sinhala)

දෙමළ ජාතික ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් කළ පැමිණිල්ලකට අදාළව මරදන්කේනි පොලිසියේ නිලධාරීන් හතරදෙනෙකු (4) අද (07) යාපනය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා කාර්යාලය වෙත කැඳවා තිබෙනවා.

කෙසේ වෙතත් විභාග රාජකාරි හේතුවෙන් නිලධාරීන් දෙදෙනෙකු (2) පමණක් අද (07) එහි පැමිණෙන බවයි එම කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

අනෙක් නිලධාරීන් වෙනත් දිනයක එහි පැමිණීමට නියමිතයි ෴


‘වන් ගෝල්ෆේස්’ සිද්ධිය ගැන සුරාබදු දෙපාර්තමේන්තුවෙනුත් පරීක්ෂණයක්

(07.06.2023 – 09:37 +0530 – hirunews.lk/sinhala)

බීමත් සුරාබදු නිලධාරින් පිරිසක් කොළඹ ‘වන් ගෝල්ෆේස්’ සංකීර්ණයේ පීට්සා අවන්හලක සේවකයෙකුට පහර දී ඇති බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක සහ අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ සඳහන් කළේ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ උපදෙස් මත මෙම විමර්ශණය සිදුකරන බවයි.

මෙම පහරදීමෙන් අවන්හලේ ප්‍රධාන සූපවේදියා සහ ගැටුමට සම්බන්ධ වූ සුරාබදු නිලධාරියෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

‘වන් ගෝල්ෆේස්’ සංකීර්ණයේ හය වන (6) මහලේ පිහිටි පීට්සා අවන්හලක දී මෙම ගැටුම හටගෙන ඇත්තේ පෙරේදා (05) රාත්‍රියේදියි.

සේවය අවසන් කර නිවසට යාමට සූදානම් වූ අවන්හල් සේවකයෙකු තම හෙල්මටය මේසයක් මත තබා ගොස් තිබෙනවා.

ඒ අතරතුර එහි පැමිණෙන සුරාබදු නිලධාරීන් පිරිසක් එම හෙල්මටය රැගෙන යාමට උත්සහ කර යළිත් එය එහි තබා ඇති බවටයි සී.සී.ටී.වී දර්ශනවලින් අනාවරණ වී ඇත්තේ.

එම අවස්ථාවේ දී සුරාබදු නිලධාරීන්, අවන්හලේ කළමනාකාරවරයා සහ ප්‍රධාන සූපවේදියා සමග බහින් බස් වීමක් ඇතිකරගෙන තිබුණා.

එහිදී සුරාබදු නිලධාරීන් ප්‍රධාන සූපවේදියාට පහර දෙන ආකාරයද සී.සී.ටී.වී. දර්ශනවල දැක්වෙන බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරුව තවත් සුරාබදු නිලධාරීන් කණ්ඩායමක්ද එහි පැමිණ අවන්හලේ සේවකයින්ට පහර දී තිබුණා.

එහිදී ඇතිවූ ගැටුමෙන් තුවාල ලැබූ අවන්හලේ ප්‍රධාන සූපවේදියා සහ සුරාබදු නිලධාරියෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.

එම අවස්ථාවේ සුරාබදු නිලධාරීන් බීමත්ව සිට ඇති බවට තොරතුරු වාර්තාවනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින්ද විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා ෴


මංකි ෆොක්ස් වැළඳුනු දෙදෙනෙකු (2) හඳුනා ගැනේ

(07.06.2023 – 09:50 +0530 – hirunews.lk/sinhala)

වඳුරු උණ හෙවත් මංකි ෆොක්ස් වෛරසය වැළඳුණු තවත් කාන්තාවක් සහ කුඩා දරුවෙකු මෙරටදී හඳුනාගෙන තිබෙනවා.

ඩුබායි සිට පැමිණි ඔවුන් කටුනායක ගුවන්තොටුපලේදී හඳුනා ගැනීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අයි.ඩී.එච්. රෝහල වෙත යොමුකර ඇති බව සඳහන්.

මොවුන්ගේ පවුලේ සෙසු සාමාජිකයන් ද පරීක්ෂණවලට ලක් කිරීමෙන් අනතුරුව හුදකලා කර තැබීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා.

මෙරටින් පළමු (1) වරට මංකි ෆොක්ස් රෝගය වැළඳුනු රෝගියෙකු පසුගිය වසරේ (2022) නොවැම්බර් 03 වනදා කටුනායක ගුවන්තොටුපලේදී හඳුනා ගත් අතර, ඔහු 20 හැවිරිදි තරුණයෙක් ෴


දේශපාලනයට පිවිසෙන්නන්ටත් බදු ගොනුවක් විවෘත කෙරේ – රංජිත් සියඹලාපිටිය

(07.06.2023 – 09:59 +0530 – hirunews.lk/sinhala)

දේශපාලනයට පිවිසෙන ප්‍රාදේශීය සභා අපේක්ෂකයන්ගේ සිට සියලු‍ දේශපාලඥයින් වෙනුවෙන් බදු ගොනු විවෘත කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළා.

රුවන්වැල්ල ප්‍රදේශයේ ඊයේ (06) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදින් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

එමෙන්ම කලාපීය බලශක්ති ජාලගතකිරීමේ වැඩපිළිවෙල කඩිනම් කරමින් 2030 වන විට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විදුලිබලජාල ඒකාබද්ධ කිරීමට අවශ්‍ය ප්‍රමුඛත්වය ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය තාක්ෂණික අවබෝධය සහ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ව්‍යාපාරික රාමුව සකස් කිරීමට අවශ්‍ය සහය ලෝක බැංකුව මගින් ලබාදෙමින් පවතින බවයි විදුලි හා බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කළේ ෴


බදුල්ලේ බස් යතුරුපැදි ගැටුමින් අයෙක් ජීවිතක්ෂයට

(07.06.2023 – 10:13 +0530 – hirunews.lk/sinhala)

බදුල්ල – මහියංගණය මාර්ගයේ මහියංගණය නගරය ආසන්නයේදී ඊයේ (06) ලංගම බස් රථයක් යතුරුපදියක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

එම අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු මහියංගණය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙන බව‍යි පොලිසිය පවසන්නේ.

මෙම අනතුර සිදුව ඇත්තේ ඊයේ (06) උදෑසන මහියංගණය දෙසට ධාවනය වූ ලංගම බස් රථයක් එම දිශාවටම ධාවනය වූ යතුරුපැදියක ගැටීමෙන්.

මියගිය පුද්ගලයා 57 හැවිරිදි බතලයාය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අනතුර සිදු කරන ලද බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මහියංගණය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා ෴


යුද හමුදා බස් රථ අනතුරින් බ්‍රිතාන්‍ය ජාතික‍යෙක් මරුට

(07.06.2023 – 11:11 +0530 – hirunews.lk/sinhala)

හික්කඩුවේදී යුද හමුදා බස් රථයක වෑන් රථයක් ගැටී ඊයේ (06) විදේශිකයකු මියගොස් තිබෙනවා.

කරඳන යුද හමුදා කඳවුරට අයත් බස් රථයක් මෙලෙස හික්කඩුව ප්‍රදේශයේදී අනතුරට ලක්ව ඇත්තේ බ්‍රිතාන්‍ය ජාතික පුද්ගලයකු පදවාගෙන පැමිණි වෑන් රථයක්.

එම වෑන් රථය පැදවූ හැත්තෑ (70) හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයා බරපතළ තුවාල ලබා රෝහල්ගත කර සිටියදී මියගොස් තිබෙනවා.

හික්කඩුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා ෴


ගණිකා නිවාසයක් වටලයි : කතුන් 3 ක් දැලේ

(07.06.2023 – 11:39 +0530 – hirunews.lk/sinhala)

ලුනාව ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි කළමනාකාරිනියක් සහ ගණිකා සේවයේ යෙදී සිටි කාන්තාවන් දෙදෙනෙකු (2) ඊයේ (06) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකාරියන් වයස අවුරුදු 23, 43 හා 50 වයස්වල පසුවන දෙහිවල, කිරුළපන සහ පානදුර ප්‍රදේශවල පදිංචිකාරියන්.

මොවුන් අද (07) මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


ටයර් වංචාවකට හසු වූ පොලිස් කොස්තාපල් රි‍යැදුරුට ඇප

(07.06.2023 – 11:46 +0530 – hirunews.lk/sinhala)

අලුත් ටයර් වෙනුවට පරණ ටයර් සවි කිරීමේ වංචාවකට අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල් රි‍යැදුරකු කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 50,000 ක ශරීර ඇප දෙකක් (2) මත මුදා හැර තිබෙනවා.

කුරුණෑගල පොලිස් ස්ථානයට අයත් බස් රථයකට මෙලෙස වංචනික ලෙස ටයර් සවිකර තිබෙන බව කුරුණෑගල පොලිසිය පවසනවා.

පොලිස් කොස්තාපල් රියැදුරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැඩ තහනමකට ලක්ව සිටියදී බවයි පොලිසිය පවසන්නේ ෴


පෙම්වතියගේ රන් බඩු කොල්ලකෑ පෙම්වතා දැලේ

(07.06.2023 – 12:42 +0530 – hirunews.lk/sinhala)

පෙම්වතියගේ රන් භාණ්ඩ සහ ජංගම දුරකථනය කොල්ලකෑ පෙම්වතකු නව කුරුඳුවත්ත පොලිසිය විසින් ඊයේ (06) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වසර දෙකක (2) පමණ කාලයක් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ඇති මෙම පෙම්වතාට පසුව අනාවරණය වී ඇත්තේ පෙම්වතිය තවත් පෙම්වතකු සමඟ ආලයෙන් වෙලී ඇති බවයි.

ඒ පිළිබඳ අවධානය යොමු කළ ඔහුට දැනගන්නට ලැබී ඇත්තේ පෙරේදා (05) රාත්‍රියේ අලුත් පෙම්වතා මුණගැසීමට පෙම්වතිය නිවසෙන් බැහැරව යන බවක්.

ලද තොරතුරු මත පෙම්වතියගේ නිවෙස පිටුපස සැඟව සිටි ඔහු පෙම්වතිය බැහැරට යන අවස්ථාවේදී ඇය සතු ජංගම දුරකථනය සහ රන්මාලය කොල්ලකා පලා ගොස් තිබෙනවා.

අත්අඩංගුවට ගත් විසි එක් (21) හැවිරිදි පෙම්වතා අද (07) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *