පොලිසිය විසින් ගජේන්ද්‍රකුමාර් අත්අඩංගුවට ගනු ලබයි

පොලිසිය විසින් ගජේන්ද්‍රකුමාර් අත්අඩංගුවට ගනු ලබයි


පොලිසිය විසින් ගජේන්ද්‍රකුමාර් අත්අඩංගුවට ගනු ලබයි

(07.06.2023 – 08:23 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බල අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය අද (07) පෙරවරුවේ කොළඹ පිහිටි ඔහුගේ නිවසට ගොස් තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් ‘හිරු ප්‍රවෘත්ති අංශය’ට කියා සිටියේ උදෑසන 06:30 ට පොලීසිය සිය නිවසට පැමිණි බවයි.

ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් ‘හිරු ප්‍රවෘත්ති අංශය’ට කියා සිටියේ තමන් ඒ සම්බන්ධයෙන් කථානායකවරයා දැනුවත් කළබවයි. මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා දැනුවත් කරන බව කථානායකවරයා කියා සිටියා.

කෙසේ වෙතත්, මේ වන තෙක් පොලිසිය ඔහුගේ නිවසින් පිටව ගොස් නොමැති බව වාර්තා වේ.

මරදන්කේනි පොලිසියේ උපදෙස් මත ජයපුරම් පොලිසියේ ස්ථානාධිපති ඇතුළු කණ්ඩායමක් මෙලෙස පැමිණ තිබෙන බවයි වාර්තා වෙන්නේ ෴

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ව අද (07) පෙරවරුවේ කොළඹ පිහිටි ඔහුගේ නිවසේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගනුලැබ තිබෙනවා ෴


සාමාන්‍ය පෙළ විභාගයේදී සිදු කළ වංචා ගැන හෙළිදරව්වක්

(06.06.2023 – 22:12 +0530 – hirunews.lk/sinhala)

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මධ්‍යස්ථාන තුනක (3) වංචා සිද්ධීන් තුනක් (3)(?) වාර්තා වී ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කරනවා.

බිබිල වෙල්ලස්ස ජාතික පාසලේ පිහිටි විභාග මධ්‍යස්ථානයේදී විභාගයට පෙනී සිටි අපෙක්ෂිකාවක් සිය ජංගම දුරකතනයෙන් ගණිත ප්‍රශ්න පත්‍රය ගුරුවරයකුට යවා whatsApp මාර්ගයෙන් පිලිතුරු ලබාගෙන ඇති බවට අනාවරණය වූ බව කොමසාරිස්වරයා ප්‍රකාශ කළා.

හේනේගම මහා විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයේ දී අපෙක්ෂකයන් දෙදෙනකු (2) ජංගම දුරකතන භාවිතයෙන් ගණිත ප්‍රශ්න පත්‍රය වෙන් වෙන් වශයෙන් ගුරුවරුන් වෙත යොමුකර පිළිතුරු ලබා ගැනීමට යාමේදී නිරීක්ෂකවරයකු සිද්ධිය දැක තිබෙන බවට ද වාර්තා වී තිබෙනවා.

එමෙන්ම සීදුව ද්විස්මර විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයේ දී අපේක්ෂකයන් පස් දෙනකු (5) සමාජ මාධ්‍ය භාවිතයෙන් ගණිතය ප්‍රශ්න පත්‍රය ගුරුවරුන් වෙත යොමු කර පිළිතුරු ලබා ගැනීමේ සිද්ධියක් වාර්තා වූ බවයි විභාග කොමසාරිස්වරයා සඳහන් කළේ ෴


‘වන් ගෝල්ෆේස්’ සංකීර්ණයේ පහර දීමක්

(06.06.2023 – 22:22 +0530 – hirunews.lk/sinhala)

සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් කොළඹ ‘වන් ගෝල්ෆේස්’ සංකීර්ණයේ පීසා අවන් හලක සේවකයෙකුට පහර දී ඇති බව පොලිසිය සඳහන් කරනවා.

අදාළ පහර දීම සිදුව ඇත්තේ ‘වන් ගෝල්ෆේස්’හි 6 වන මහලේ බවයි වාර්තා වී ඇත්තේ.

මෙහි ප්‍රධාන සූපවේදියා වැඩ නිම වී නිවසට යැමට පෙර තම හෙල්මටය එහි වූ මේසයක තබා තිබෙන අතර ඒ අවස්ථාවේ එතනට පැමිණි සුරාබදු නිලධාරීන් විසින් එම හෙල්මටය රැගෙන යාමට උත්සාහ දරා තිබෙනවා.

කෙසේ වෙතත් එම අවස්ථාවේ අදාළ ආයතනයේ ප්‍රධාන සූපවේදියා හා කළමනාකරු සමඟ සුරාබදු නිලධාරීන් විසින් බහින්බස්වීමක් ඇති කර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී සුරාබදු නිලධාරීන් විසින් ප්‍රධාන සූපවේදියාට හා ආයතනයේ කළමනාකරුට පහර දෙනුලැබ තිබෙනවා.

පසුව තවත් සුරාබදු නිලධාරීන් පිරිසක් පැමිණ ආයනයේ පිරිසට පහර දී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම අවස්ථාවේ අදාළ නිලධාරීන් බීමත්ව සිටි බවයි වාර්තා වී ඇත්තේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තවමත් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති පොලිසිය සඳහන් කළේ.

ඊට අදාළ සී.සී.ටී.වී. දර්ශන ද මාධ්‍යට නිකුත් කර තිබෙනවා.

මෙම පහර දීමෙන් අදාළ අවන් හලේ ප්‍රධාන සූපවේදියා සහ සුරාබදු නිලධාරියෙකු ද තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙන බව ද අප වාර්තාකරු සඳහන් කළා ෴

+

+


මහියංගනයේ දී සිදු වූ අනතුරකින් පුද්ගලයෙක් මරුට

(07.06.2023 – 07:27 +0530 – hirunews.lk/sinhala)

බදුල්ල – මහියංගනය මාර්ගයේ මහියංගනය නගරය ආසන්නයේ දී බදුල්ල දෙස සිට මහියංගනය දෙසට ධාවනය වූ ලංගම බස් ථයක් එම දිසාවටම ධාවනය වූ යතුරු පැදියක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

ඊයේ (06) සිදු වූ එම අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු මහියංගනය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගියා.

මරණකරු වයස අවුරුදු 57 ක් වූ බතලයාය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පොලිසිය බස් රථ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා ෴


අවන්හලක ඇති වූ ගින්නෙන් සිව්දෙනෙකුට තුවාල

(07.06.2023 – 07:30 +0530 – hirunews.lk/sinhala)

ගලහ දෙල්තොට ප්‍රදේශයේ අවන්හලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් සිව්දෙනෙකු (4) තුවාල ලබා රෝහල් ගතකර තිබේ.

පොලීසිය පැවසුවේ, අදාළ අවන්හලේ ආහාර පිසිමින් සිටියදී එක්වරම ගින්නක් හටගෙන ඇති බවය.

ගින්න නිවීමට උත්සහ කිරීමේ එහි සේවකයින් සිව්දෙනෙකු (4) තුවාල ලබා තිබේ.

තුවාල ලැබූ පුද්ගලයින් සිව්දෙනා (4) ප්‍රතිකාර සඳහා ගලහ ප්‍රදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් (1) පුද්ගලයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහලට ඇතුළත් කර ඇත.

ගෑස් කාන්දුවක් ගින්නට හේතු වන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි.

රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ, තුවාල කරුවන්ගේ තත්ත්වය බරපතළ නොවන බවය ෴


වාර 163 ක් ATM යන්ත්‍රයෙන් සල්ලි ඇදලා

(07.06.2023 – 01:00 +0530 – dinamina.lk)

මිහින්තලේ කනදරා කටුකැලියාව ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකුගේ බිරියගේ ATM කාඩ්පතක් සොරකම් කර අවස්ථා 163 ක දී රුපියල් ලක්ෂ එකසිය හැට දෙකක (1,62,00,000) මුදලක් වංචනික ලෙස ATM යන්ත්‍රයෙන් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ රියැදුරෙකු මේ මස 16 වැනිදා දක්වා රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා නියෝග කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට තවදුරටත් නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ බැංකු ගිණුම් සම්බන්ධ වාර්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙස රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවල කළමනාකාරිත්වයට තවදුරටත් නියෝග කරනු ලැබීය.

මෙසේ රිමාන්ඩ් කළේ මිහින්තලේ ඉහළගම කනදරා කටුකැලියාව පදිංචි සාවුල් හමීඩ් සහීඩ් අප්‍රඩීන් නමැති රියැදුරෙකි.

මිහින්තලේ කනදරා කටුකැලියාව පදිංචි ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකු වන හුසේන් මොහොමදු හනිපා (ෂාරුක්) මහතාගේ බිරිය වන ජෙමාල්දීන් සෙයිය උම්මා මහත්මියගේ ATM කාඩ්පතක් ඉතා සූක්ෂ්ම ලෙස සොරකම් කර ඊට අදාළ ගිණුමෙන් රුපියල් ලක්ෂ එකසිය හැටදෙකක මුදලක් ලබා ගෙන ඇති බවට ජෙමාල්දීන් සෙයිය උම්මා මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලකට අනුව මූලික විමර්ශන මෙහෙයවා මෙම සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණ. ව්‍යාපාරික හුසේන් මොහොමදු හනිපා මහතාගේ ව්‍යාපාරික කටයුතුවලට වසර ගණනාවක සිට රියැදුරෙකු වශයෙන් සම්බන්ධ වී ඇති සැකකරු විවිධ ව්‍යාපාරික කටයුතුවලට යන එන අතරතුර ව්‍යාපාරික හුසේන් මහතාගේ බිරියගේ ATM කාඩ්පත සොරකම් කර රහස් අංකය ද ඉතා සූක්ෂ්ම ලෙස ලබා ගෙන ඇති බවත් මෙම සිද්ධිය සම්බන්ධයෙන්

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කළ මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

අදාළ ATM කාඩ්පත භාවිත කර 150 කට අධික වාර ගණනකදී සැකකරු මෙම මුදල් ලබා ගෙන ඇති බව ද විමර්ශනවලදී තවදුරටත් හෙළිව තිබේ. පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ අගතියට පත් පැමිණිලි පාර්ශ්වයේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතිඥ ප්‍රසාද් ධර්මසේන මහතා පෙනී සිටි අතර, සැකකරු වෙනුවෙන් නීතිඥ රංජිත් රාජකරුණා මහතා පෙනී සිටියේය.


සාපෙළ සිසුවියට මහා අපරාධයක් කරන්න හදලා

(07.06.2023 – dinamina.lk)

ගෙවත්තේ ළිඳෙන් ඇඟ සෝදාගෙන රාත්‍රී 11 ට පමණ නිවෙසට එමින් සිටි පාසල් සිසුවියක කිසිවකු විසින් අල්ලා බිම පෙරළාගෙන අතවර කිරීමට උත්සාහ කිරීම හේතුවෙන් ඇය රෝහල්ගත කර ඇති අතර, ඇයට මේ නිසා සාමාන්‍ය පෙළ විභාගයටද පෙනී සිටීමට නොහැකි වූ බව නිට්ටඹුව මූලස්ථාන පොලිසිය පවසයි.

ඇඟපත සෝදාගත් සිසුවිය තුවායක් ඇඳගෙන නිවෙසට පැමිණෙමින් සිටියදී කළුවරේ සැඟවී සිටි පුද්ගලයකු එක්වරම ඇය බදාගෙන, ඇඳ සිටි තුවාය ගලවා දමා බිම පෙරළාගෙන ඇයට ලිංගික අතවර කිරීමට උත්සාහ කර ඇතැයි ද එම අවස්ථාවේ සිසුවිය කෑ ගසා ඇතැයි ද පොලිස් ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත. දියණියගේ කෑ ගැසීම ඇසී මව පැමිණීමත් සමගම සැකකරු සිසුවිය අතහැර දමා පලාගොස් ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවැසීය.

මව සහ දියණිය සැකකරු හඳුනාගෙන ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇත.

නිට්ටඹුව මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වයි ෴


නීති විරෝධී මත්පැන් සමඟ සැකකරුවකු අත්අඩංගුවට

(07.06.2023 – 08:23 +0530 – hirunews.lk/sinhala)

වරකාපොළ දෙල්ගමුව ප්‍රදේශයේදී ඊයේ (06) සැකකටයුතු ලෙස ධාවනය වූ ත්‍රිරෝද රථයක් පරීක්ෂා කිරීමේදී එහි තිබී නීති විරෝධී මත්පැන් ලීටර් 33 ක් (බෝතල් 44 ක්) සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු අත්අඩංගුවට ගැනීමේදී ඔහුගේ බිරිය එම රාජකාරියේ යෙදී සිටි උප පොලිස් පරීක්ෂකවරයකුගේ අත සපා කා තුවාල සිදු කර පලාගොස් තිබෙනවා.

සැකකරු වයස අවුරුදු 33 ක් වන වරකාපොළ, දෙල්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

තුවල ලැබූ උප පොලිස් පරීක්ෂකවරයා කෑගල්ල රෝහලෙන් ප්‍රතිකාර ලබාගෙන පිටව ගොස් ඇති අහර සැකකරු පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පෑම හා නීති විරෝධී මත්පැන් ප්‍රවාහනය කිරීම යන චෝදනා යටතේ අද (07) වරකපොළ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සැකකරුගේ බිරිය පලා ගොස් ඇති අතර ඇය අත්අඩංගුවට ගැනීම සඳහා වරකාපොළ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා ෴


දිය ඇළකට වැටී කාන්තාවක් මරුට

(07.06.2023 – 09:07 +0530 – hirunews.lk/sinhala)

දෙමටගොඩ කාලිපූලවත්ත ප්‍රදේශයේ කාන්තාවක් දිය ඇළකට වැටී ඊයේ (06) මියගොස් තිබෙනවා.

මියගිය අය දිය ඇළ අසල පිහිටි මල් ගසක මල් කඩමින් සිටින අවස්ථාවේ මෙම අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙන අතර දෙමටගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා ෴


කුරුණෑගල පොලිසියේ අපරාධ අංශයේ නිලධාරියෙකු නිධාන හාරද්දී අත්අඩංගුවට

(07.06.2023 – 09:17 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල පොලිසියේ අපරාධ අංශයේ අධිකරණ කටයුතු භාර පොලිස් නිලධාරියා නිධානයක් ගොඩගැනීමට යාමේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කුරුණෑගල වැල්ලව ප්‍රදේශයේ දී ඊයේ (06) නිධානය ගොඩගනිමින් සිටි අවස්ථාවේ දී වැල්ලව කොට්ඨාස අපරාධ ඒකකය මගින් මෙම නිලධාරියා අත්අඩංගුවට ගත් බවයි කුරුණෑගල කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයා සඳහන් කළේ.

සැකකරු කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *