නීතිවිරෝධී ලෙස ආනයනය කළ භාණ්ඩ තොගයක් රේගු භාරයට

නීතිවිරෝධී ලෙස ආනයනය කළ භාණ්ඩ තොගයක් රේගු භාරයට


නීතිවිරෝධී ලෙස ආනයනය කළ භාණ්ඩ තොගයක් රේගු භාරයට

(06.06.2023 – 15:02 +0530 – hirunews.lk/sinhala)

පරිහරණය කරන ලද මෝටර් රථ අමතර කොටස් බව පවසමින් මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 35 කට ආසන්න රූපලාවන්‍ය උපකරණ, සුවඳ විලවුන්, මත්පැන්, ආහාර ද්‍රව්‍ය හා විදේශීය දුම්වැටි අඩංගු බහාලුමක් අද (06) රේගු ආදායම් අධීක්ෂණ අංශය භාරයට ගෙන පරීක්ෂා කෙරුණා.

ඩුබායි සිට මෙම භාණ්ඩ කොළඹ – කොටුව – චැතම් වීථියේ ව්‍යාපාරික ආයතනයකට රැගෙනවිත් තිබූ අතර, අදාළ බහලුමේ තිබී රුපියල් මිලියන 40 කට ආසන්න වටිනාකමකින් යුත් කොටස් කරන ලද මෝටර් රථ 3 ක්ද සොයාගැනුනු බවයි රේගු දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙම භාණ්ඩවල තොරතුරු නිසි පරිදි ප්‍රකාශ නොකිරීම නිසා රජයට අහිමිවීමට ගිය බදු මුදල රුපියල් කෝටි 22 කට පමණ ආසන්න වනවා ෴

+++++++++

+


හබරණ ප්‍රදේශයේ සිදු වූ අනතුරකින් දෙදෙනෙකු (2) මරුට

(06.06.2023 – 15:09 +0530 – hirunews.lk/sinhala)

හබරණ – ත්‍රිකුණාමල මාර්ගයේ සිංහගම ප්‍රදේශයේදී සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබූ බවුසරයක්, වෑන් රථයක ගැටී සිදුවූ අනතුරකින් දෙදෙනෙකු (2) මියගොස් තවත් තුන්දෙනෙකු (3) බරපතල තුවාල ලබා තිබෙනවා.

අනතුරින් මියගොස් ඇත්තේ වෑන් රථයේ ගමන් කළ කින්නියා ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගයෙකු සහ 46 හැවිරිදි කාන්තාවක්.

විදේශ ගතව සිට මෙරටට පැමිණි පිරිසක් කින්නියා ප්‍රදේශයට රැගෙන යමින් සිටියදී වෑන් රථය මෙම අනතුරට ලක්ව තිබෙනවා.

වෑන් රථයේ ගමන් කළ පුද්ගලයෙකු මෙන්ම බවුසර් රථයේ රියදුරු සහ එහි සහයකයාද මෙහිදී තුවාල ලබා කන්තලේ රෝහළට ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ ෴

+++++++

+


අනවසරයෙන් ඩ්‍රෝන කැමරාවක් ගුවන්ගත කළ සිසුවා දැලේ

(06.06.2023 – 15:50 +0530 – hirunews.lk/sinhala)

අනවසරයෙන් ඩ්‍රෝන කැමරාවක් ගුවන්ගත කරමින් සිටි පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙක් බම්බලපිටිය දුම්රියපොළ අසලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බම්බලපිටිය පොලිසිය පවසන්නේ බම්බලපිටිය දුම්රියපොළ ආසන්නයේ පිහිටි ගොඩනැඟිල්ලක ජනාධිපති ගුවන් ආර්ක්ෂක අංශයේ රාජකාරියේ යෙදී සිටි ගුවන් හමුදා නිලධාරීන් විසින් මෙම සිසුවා සහ ඩ්‍රෝන කැමරාව ඔවුන්ගේ භාරයට ගෙන පොලිසියට භාර දී ඇති බවයි.

අත්අඩංගුවට ගත් විශ්වවිද්‍යාල සිසුවා ප්‍රකාශ කර ඇත්තේ දුම්රියපොළ අසළ ඇති ආපනශාලාවේ උත්සවයක් හේතුවෙන් මෙම ඩ්‍රෝන කැමරාව ගුවන්ගත කළ බවයි ෴


අභියාචනාධිකරණයෙන් නීතිපතිවරයාට නියෝගයක්

(06.06.2023 – 16:38 +0530 – hirunews.lk/sinhala)

කණ්ඩුල, මංගල හා හසලක යන අලි ඇතුන් සම්බන්ධ නඩුවේ සැකකරුවන් ලෙස හිටපු වනජීවි අධ්‍යක්ෂ ජනරාල් දයාවන් රත්නායක සහ දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනුර ද සිල්වා නම් කිරීම හෝ අත්අඩංගුවට ගැනීම සිදු නොකිරීමට වගබලා ගන්නා ලෙසට අභියාචනාධිකරණය අද (06) නීතිපතිවරයාට නියෝග කර තිබෙනවා.

ඒ ජනාධිපති ලේකම්වරයාගේ උපදෙස් මත ශ්‍රී ලංකා රාමඤ්ඤ සහ අමරපුර නිකායවලට අදාළ අලි ඇතුන් තුන්දෙනා (3) නිදහස් කිරීම සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවකට අදාළවයි.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ එම්.ඒ.ආර්.මරික්කාර් මෙම නියෝග කළේ.

ඔවුන් ඉදිරිපත් කර තිබූ පෙත්සම් දෙකක් (2) විභාගයට ගත් අවස්ථාවේදීයි.

හිටපු ජනාධිපතිපතිවරුන් තුන්දෙනෙකු (3) විසින් මීට වසර ගණනාවකට පෙර සන්නස් පත්‍ර මගින් ප්‍රදානය කර තිබූ එම අලි ඇතුන් තුන්දෙනා (3) රැකබලා ගැනීමේ වගකීම වෙනත් පාර්ශවයකට පවරාගැනීමේ සිද්ධියක් මුල්කරගෙන මෙම නඩුව ක්‍රියාත්මක වනවා ෴


රුපියල තවත් ශක්තිමත් වෙයි

(06.06.2023 – 16:51 +0530 – hirunews.lk/sinhala)

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අදත් (06) අතිප්‍රමාණ වුණා.

ඒ අනුව, අද (06) ඩොලරයක විකුණුම් මිල දැක්වුණේ රුපියල් 297.94 ක් ලෙසයි.

එමෙන්ම ගැණුම් මිල රුපියල් 284.84 ක් බවයි මහ බැංකුව නිවේදනය කළේ.

ඊයේ (05) ඩොලරයක විකුණුම් මිල රුපියල් 298.85 ක් ලෙස සටහන් වූ අතර,ගැණුම් මිල සටහන් වූයේ රුපියල් 285.61 ලෙසයි ෴


රිෂාඩ් බදියුදීන්ට නොතීසි

(06.06.2023 – 17:29 +0530 – hirunews.lk/sinhala)

යුද ගැටුම්වලින් විපතට පත් මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීමේ මුවාවෙන් සිදුකළ විල්පත්තු වන සංහාරයේ නැවත වගාව සඳහා නියම කළ මුදල නොගෙවීම හේතුවෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට අභියාචනාධිකරණය අද (06) නොතීසි නිකුත් කළා.

2020 නොවැම්බර් 16 වනදා අභියාචනාධිකරණය නියෝග කර තිබුණේ ඊට අදාළව රුපියල් මිලියන 1,067 ක් රජයට ගෙවන ලෙසයි.

කෙසේ වෙතත් මෙතෙක් හිටපු අමාත්‍යවරයා එම මුදල ගෙවා නොමැති බවයි පරිසර යුක්ති කේන්ද්‍රය අධිකරණය හමුවේ යළි පෙත්සමක් ගොනු කරමින් පෙන්වාදී තිබුණේ.

ඒ අනුව නඩුව අද (06) කැඳවු අවස්ථාවේදී හිටපු අමාත්‍යවරයාට එරෙහිව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා ෴


කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

(06.06.2023 – 17:48 +0530 – hirunews.lk/sinhala)

නැවත දැනුම් දෙනතුරු අරාබි මුහුදු ප්‍රදේශයේ යාත්‍රා නොකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙනවා.

ඒ, ගිණිකොණදිග අරාබි මුහුදු ප්‍රදේශයේ ක්‍රියාත්මක පීඩන අවපාතය අද (06) මධ්‍යම රාත්‍රියේදී සුළි කුණාටුවක් දක්වා ක්‍රමයෙන් වර්ධනය වීමේ හැකියාවක් පවතින බැවින්.

ඒ අනුව ඉදිරි පැය 24 තුල උතුරු අක්ෂාංශ 7 ත් 15 ත් සහ නැගෙනහිර දේශාංශ 62 සහ 68 ත් අතර මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 60 ත් 80 ත් දක්වා වැඩිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අරාබි මුහුද ආශ්‍රිත එම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින්නේ නම් වහා ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසට ඉදිරි නිවේදන පිළිබදව අවධානය යොමුකරන ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

මේ අතර, සබරගමුව පළාත සහ ගාල්ල, මාතර, කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට හෙටත් මිලිමීටර 100 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකියි.

එසේම කළුතර දිස්ත්‍රික්කයේ වළල්ලාවිට, බුලත්සිංහල සහ අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට තවදුරටත් නායයෑමේ අවදානම් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඊයේ (05) පෙරවරු 8 සිට අද පෙරවරු 8 දක්වා ගතවූ පැය 24 තුල මිලිමීටර් 227.1 ක වැඩිම වර්ෂාපතනය වාර්තා වී ඇත්තේ කළුතර – මතුගම ප්‍රදේශයෙන්.

මේ අතර පවතින අයහපත් කාලගුණ තත්වයෙන් දිස්ත්‍රික්ක 05 ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 17 කට බලපෑම් සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා ෴


ප්‍රේම සම්බන්ධතාවයට අවසර නොදුන්නැයි සිසුවියක් සියදිවි හානි කරගනී

(06.06.2023 – 18:03 +0530 – hirunews.lk/sinhala)

ප්‍රේම සම්බන්ධතාවයට දෙමව්පියන් විරුද්ධ වූ හෙයින් උසස් පෙළ සිසුවියක් ගෙළ වැළලාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා.

මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ දහනව (19) හැවිරිදි පෙරියකල්ලාරු ප්‍රදේශයේ පදිංචි ශිෂ්‍යාවක්.

එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකු සමඟ පවත්වාගෙන ප්‍රේම සම්බන්ධය නවත්වන ලෙසට දෙමව්පියන් මෙම සිසුවියට බැන වැදී තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඇය ඒ සම්බන්ධව ලිපියක සටහන් කිරීමෙන් අනතුරුව සිය දිවි හානි කරගෙන ඇති බවයි මුලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ ෴


කටුනායක ගුවන් යානා ගොඩබෑමේ ගාස්තු 50% න් අඩු වෙයි

(06.06.2023 – 19:23 +0530 – hirunews.lk/sinhala)

කටුනායක ගුවන් තොටුපොළට ගුවන් යානා ගොඩබෑමේ ගාස්තු වසරක (1) කාලයක් දක්වා සියයට 50 කින් අඩු කිරීමට රජය තීරණය කර ඇති බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අද (06) පාර්ලිමේන්තුවේදි කියා සිටියා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ සිවිල් ගුවන් සේවා පනත යටතේ නියෝග කිහිපයක් අද (06) විවාදයට ගත් අවස්ථාවේදීයි.

පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කළ යුතු බවද එම විවාදයට එක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන සඳහන් කළා ෴


විදේශ රැකියා අපේක්ෂිතයින්ට පොලිස් වාර්තා නිකුත් කිරීමේදී ලිහිල් ප්‍රතිපත්තියක්

(06.06.2023 – 21:53 +0530 – hirunews.lk/sinhala)

විදේශ රැකියා සදහා පිටත්ව යාමේදී ලබාගත යුතු පොලිස් නිෂ්කාශන වාර්තාවට පෙර වැරදි සහ සුළු වැරදි ඇතුළත් කිරීමේදී ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

විදේශ රැකියා සදහා පිටත්ව යාමෙට පෙර ලබාගන්නා පොලිස් වාර්තාවට සුළු වැරදි ඇතුළත් කිරීම නිසා විදේශ රැකියා අවස්ථා ලබාගැනීමට නොහැකිවී ඇති නිසා මේ සම්බන්ධයෙන් ලිහිල් පිළිවෙතක් අනුගමනය කරන ලෙසට විදේශ රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලීම් ඉදිරිපත්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව දණ්ඩ නීති සංග්‍රහයේ 378 වගන්තිය යටතේ ඇති වංක පරිහරණය, දණ්ඩ නීති සංග්‍රහයේ 389 වැනි වගන්තියේ සිට 392 වැනි වගන්තිය දක්වා ඇති සාපරාධී විශ්වාසය කඩ කිරීම, දණ්ඩ නීති සංග්‍රහයේ 400 වැනි වගන්තියේ සිට 403 වැනි වගන්තිය දක්වා ඇති වංචා කිරීම, විශ වර්ග, අබිං සහ අන්තරායක ඖෂධ ආඥා පනත යටතේ මහේස‍්‍රාත් අධිකරණය ඉදිරියේ පවරා තිබෙන නඩු මෙසේ පොලිස් වාර්තාවට ඇතුළත් නොකිරීමට තීරණය කර තිබෙනවා.

මීට අමතරව කිසියම් පුද්ගලයෙක් නීතිමය කටයුත්තකින් නිදොස් කොට නිදහස් කර ඇති අවස්ථාවකදී හෝ යම් නීති කටයුත්තකින් නිදහස් කර ඇති අවස්ථාවකදී එයද පොලිස් නිෂ්කාශන වාර්තාවට ඇතුළත් කිරීමද අවශ්‍ය නොවන බවයි වාර්තා වී ඇත්තේ.

එහෙත් ජාතික ආරක්ෂාව තහවුරු කිරීම පරමාර්ථ කරගත් සියලුම පනත් යටතේ ඇති වරදවල් හා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ හදුන්වාදෙන ලද පනත් යටතේ ඇති වරදවල් සම්බන්ධ පෙර වැරදි පොලිස් නිෂ්කාශන වාර්තාවට ඇතුළත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

කොරියානු රැකියා සහ වෙනත් රටවල රැකියා සදහා පිටත්ව යන ශ්‍රමිකයින්ගේ පොලිස් වාර්තාවලට සුළු වැරදි සහ නිදොස් කොට නිදොහස්වූ අධිකරණමය කරුණු සම්බන්ධයෙන් ඇතුළත් කිරීම නිසා රැකියා අවස්ථා අහිමිවීම සම්බන්ධයෙන් විදේශ රැකියා අපෙක්ෂිතයින් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර කරුණු ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් ඔහු කැබිනට් මණ්ඩලයේද අවධානය යොමු කර තිබූ අතර පොලිස් වාර්තා ඉදිරිපත් කිරීමේදී ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලෙසට ඉල්ලා තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *