ගම්පොළ ප්‍රදේශයේ භූකම්පනයක්

ගම්පොළ ප්‍රදේශයේ භූකම්පනයක්


ගම්පොළ ප්‍රදේශයේ භූකම්පනයක්

(06.06.2023 – 10:11 +0530 – hirunews.lk/sinhala)

ගම්පොළ ප්‍රදේශයේ ඊයේ (05) රාත්‍රී භූකම්පනයක් සිදුව තිබෙනවා.

රාත්‍රී 10:49 ට පමණ මෙම භූකම්පනය සිදුව ඇති බව භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කළේ.

රික්ටර් මාපක 2 ක පමණ සුළු භූකම්පනයක් මෙලෙස සිදුව ඇති අතර එය කම්පන මාපකවල සටහන්ව ඇති බව ද එම කාර්යාංශය සඳහන් කර සිටිනවා.

මහකනදරාව, හක්මන, පල්ලෙකැලේ, බුද්ධංගල යන මාපකවල මෙය සටහන්ව තිබෙන බවයි සඳහන් වන්නේ.

+


ආරක්ෂක සහයෝගීතාවය ඉහළ නැංවීම පිළිබඳව විශේෂ සාකච්ඡාක්

(06.06.2023 – 09:45 +0530 – hirunews.lk/sinhala)

නව දිල්ලියේ ඊශ්‍රායල තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් අවිහායි සෆ්රානි, ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න හමුවි තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යාංශයේ දී ඊයේ (05) මෙම හමුව සිදුවූ අතර එහිදී රටවල් දෙකෙහි ආරක්ෂක සහයෝගීතාවය ඉහළ නැංවීම පිළිබඳව සාකච්ඡා කර ඇති බවයි එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ෴


හික්කඩුවේ දී යුද හමුදා බස්රථයක ගැටුණු විදේශිකයා මරුට

(06.06.2023 – 09:51 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ හික්කඩුව ප්‍රදේශයේ දී යුද හමුදා බස් රථයක ගැටීමෙන් විදේශිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (05) සිදුවූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ අවුරුදු 70 පමණ වයසැති පුද්ගලයෙක්.

මොහුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර ඔහුගේ මෘත ශරීරය මේ වන විට කරාපිටිය ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා බස් රථය පැදවූ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර අකුරැස්ස – වැලිගම ප්‍රධාන මාර්ගයේ උඩුකාව ප්‍රදේශයේ දී බස් රථ දෙකක් (2) එකිනෙක ගැටී ඊයේ (05) පස්වරුවේ සිදුවූ අනතුරකින් 15 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා ෴


වරාය ඇමතිගෙන් සිංගප්පූරු ආයෝජකයින්ට ආරාධනා

(06.06.2023 – 10:01 +0530 – hirunews.lk/sinhala)

උතුරු කොළඹ වරායේ සංවර්ධන කටයුතු සඳහා එක්වන ලෙසට වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සිංගප්පූරු ආයෝජකයින්ගෙන් ඉල්ලීමක් කරනවා.

ඒ, සිංගප්පූරු ප්‍රධාන වරායේ මෙහෙයුම් සහ සංවර්ධන කටයුතු නිරීක්ෂණය කිරීමේ අවස්ථාවකට පසුගියදා එක්වෙමින්.

එහිදී සිංගප්පූරු වරායේ මෙහෙයුම් සහ සංවර්ධන කටයුතු සිදු කරනු ලබන ජාත්‍යන්තර පෞද්ගලික සමාගමේ ප්‍රධානීන් හමුවී අමාත්‍යවරයා සාකච්ඡාවක ද නිරත වී තිබෙනවා ෴


ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර නැව් මඟින් භාණ්ඩ ප්‍රවාහනය ඇරඹේ

(06.06.2023 – 10:08 +0530 – hirunews.lk/sinhala)

දකුණු ඉන්දියාවේ පොන්ඩිචෙරි සිට කන්කසන්තුරේ දක්වා භාණ්ඩ ප්‍රවාහන නැව් සේවයක් ජූනි මස 10 වෙනිදා සිට ආරම්භ කිරීමට හේලිස් සමාගමට අවසර ලැබී තිබෙනවා.

ඒ අනුව එම සමාගම භාණ්ඩ ප්‍රවාහන කටයුතුවල නිරත වන අතර තවත් සමාගම් හතරක් (4) ඊට අවසරය ඉල්ලා ඇතැයි වාර්තා වෙනවා.

ඉන්දියාවේ කරෙයිකාල් හා කන්කසන්තුරේ අතර මගී ප්‍රවාහන සේවා ව මැයි මස 15 වෙනිදා සිට ආරම්භ කිරීමට මුලින් සැලසුම් කොට තිබුණ ද එම සැලසුම දියත් කිරීමට ඉන්දියාව පාර්ශ්වයෙන් තවත් කාලයක් ඉල්ලා සිටීම නිසා එම මගී නැව් සේවා ආරම්භ කිරීම කල් දමා තිබෙනවා.

කෙසේ වෙතත් ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර භාණ්ඩ ප්‍රවාහන කටයුතු ජූනි මස 10 දා සිට ආරම්භ වෙනවා ෴


වසරේ ගත වූ කාලය තුළ වෙඩි තැබීම් සිද්ධීන් 27 ක් වාර්තා වෙයි – 19 ක් මරුට

(06.06.2023 – 10:15 +0530 – hirunews.lk/sinhala)

වසරේ ගත වූ කාලය තුළ වෙඩි තැබීමේ සිද්ධීන් 27 ක් වාර්තා වී ඇති බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව සඳහන් කළේ, එම වෙඩි තැබීම්වලින් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව ඇති බවයි.

ආසන්නතම සිදු වීම ඊයේ (05) මීගොඩ වල්පිට – බටවල ප්‍රදේශයෙන් වාර්තා වූ අතර එහි දී සමූපකාර රක්ෂණ සමාගමේ නව සභාපතිවරයා තුවාල ලැබුවා.

ඔහු තනතුරේ වැඩ භාරගැනීම සඳහා නිවසේ සිට සිය මෝටර් රථයෙන් ගමන් කරමින් සිටිය දී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු (2) මෙම වෙඩි තැබීම සිදු කර පලාගොස් තිබුණා.

පොලිසිය සඳහන් කළේ, වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම සඳහා පොලිස් කණ්ඩායම් 5 ක් පත් කර ඇති බවයි ෴


‘නිව් ඩයමන්ඩ්’ සහ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකා අනතුරු ගැන සොයන්න පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කෙරේ

(06.06.2023 – 10:31 +0530 – hirunews.lk/sinhala)

‘නිව් ඩයමන්ඩ්’ සහ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකා අනතුරු පිළිබඳ සොයා බලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කර තිබෙනවා.

මෙහි සභාපති ධුරයට අමාත්‍ය ‍‍වෛද්‍ය රමේෂ් පතිරණ පත් කර ඇති බවයි කතානායක මහින්ද යාපා අබේවර්ධන නිවේදනය කළේ.

ඊට අමතරව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් 14 දෙනෙකුද මෙම විශේෂ කාරක සභාවට නම් කර තිබෙනවා.

+


ලෝක දෙකක් එකතුකරන නවතම ඇපල් ‘හෙඩ්සෙට්’ එක ලබන වසරේ (2024) වෙළඳපොළට

(06.06.2023 – 11:22 +0530 – hirunews.lk/sinhala)

නවීනත්වයට සරිලන ලෙස වැඩි දියුණුකළ ‘හෙඩ්සෙට්’ එකක් නිපදවීමට ඇපල් සමාගම කටයුතු කර තිබෙනවා.

‘Apple Vision Pro’ ලෙස නම්කර ඇති එම උපාංගය ඇපල් සමාගම වසර 10 කින් පමණ නිපදවූ පළමු ප්‍රධාන උපාංගය ලෙසයි සැලකෙන්නේ.

ඇපල් සමාගමේ ප්‍රධාන විධායක ටීම් කුක් පවසන්නේ නව උපාංගය මගින් යතාර්ථ ලෝකය සහ අථත්ය (virtual) ලෝකය අතර හොඳින් මිශ්‍ර කෙරෙන බවයි.

පැය දෙකක් (2) පමණ කාලයක් එහි බැටරිය ක්‍රියාත්මකව පවතින අතර එහි මිල ඩොලර් 3,499 ක් ගන්නා බවයි සඳහන් වන්නේ.

ලබන වසර වනවිට එය අමෙරිකාවේ වෙළෙඳපොළට නිකුත් කිරීමට අදහස් කෙරෙනවා.

+


රාජ්‍ය ඇමතිනී ඩයනාගේ අධිකරණ තීන්දුව කල් යයි

(06.06.2023 – 11:35 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමේ තීන්දුව ප්‍රකාශ කිරීම ජුලි මස 25 වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියම කර තිබෙනවා.

මෙම තීන්දුව අද (06) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි.

එහෙත් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළේ අදාළ තීන්දුව ප්‍රකාශ කිරීම ජුලි මස 25 වනදා දක්වා කල් තබන බවයි.

සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔසල හේරත් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණ අතර රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බැවින් ඇයට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සුදුසුකමක් නොමැති බවට තීන්දු කරන ලෙස ඉල්ලා ඔහු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

+


ඇහැලේපොල වලව්ව මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත පවරාදීමට අදාළ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට

(06.06.2023 – 12:30 +0530 – hirunews.lk/sinhala)

ඓතිහාසික ඇහැලේපොල වලව්ව මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත පවරාදීමට අදාළ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් ඊට අදාළ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා.

මහනුවර රජවීදියේ පිහිටි ඇහැළේපොළ වලව්ව ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ පාලන සමයේදී ඇහැලේපොල මහ අධිකාරම් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ජීවත්වූ නිවසයි.

මෙම ඓතිහාසික ඇහැලේපොළ වලව්ව තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාරයක් ලෙසින් පවත්වාගෙන යෑම අපරාධයක් බවයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග ප්‍රකාශකර සිටින්නේ.

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ දී (ක්‍රි.ව.1844) මෙය හමුදා බැරැක්කයක් ලෙස භාවිතයට යොදාගෙන තිබු අතර පසුකාලීනව සිර මැදිරියක් හා බෝගම්බර රිමාන්ඩ් බන්ධනාගාරයක් ලෙස මෙම වලව්ව පවත්වාගෙන යනු ලැබුවා.

‍‍ඓතිහාසික ඇහැලේපොල වලව්ව මහනුවර ශ්‍රී දළදා මාළිගාව ආශ්‍රීත පූජාභූමි ප්‍රදේශයේ පිහිටා ඇති අතර 2005 වසරේදී පුරා විද්‍යා ගොඩනැඟිල්ලක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා ෴


‘බ්‍රිතාන්‍යයේ හා සමාන නීතිරීති මෙරට විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රයටද හඳුන්වා දීමට අපේක්ෂා කරනවා’ ඇමති බන්දුල කියයි

(06.06.2023 – 13:06 +0530 – hirunews.lk/sinhala)

බ්‍රිතාන්‍යයේ හා සමාන නීතිරීති මෙරට විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රයටද හඳුන්වා දීමට අපේක්ෂා කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (06) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීයී.

මේ අතර ‘සරල කරන ලද එකතු කළ අගය මත බද්ද’ හෙවත් SVAT ක්‍රමය ලබන වසරේ (2024) ජනවාරි පළමුවනදා (01) සිට ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමට අදාළ පනත් කෙටුම්පතක් සකස් කිරීමටද කැබිනට් අනුමැතිය හිමිව තිබෙන බව සඳහන් ෴


නාගචෝල රක්ෂිතයේ නිධන් හෑරූ පිරිසක් අත්අඩංගුවට

(06.06.2023 – 13:19 +0530 – hirunews.lk/sinhala)

මුල්ලියාවේලිහි නාගචෝල රක්ෂිත ප්‍රදේශයට අනවසරයෙන් ඇතුළු වී කැණීම් සිදු කරම්න් සිටි පුද්ගලයන් අට දෙනෙකු (8) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පෙරේදා (04) පොලිස් විශේෂ කාර්ය බළකා මුලතිවු කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබෙන අතර යකඩ සවලක්, කුළු ගෙඩියක්, උදළු 2 ක්, අලවංගු 2 ක්, ස්කැනර් යන්ත්‍රයක් සහ පූජා උපකරණ ද සැකකරුවන් සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 17 ත් 62 ත් අතර පසුවන තඹුත්තේගම, කොන්යාය, පුදම්වයල්, රාජාංගණය සහ නාරංගස්වැව ප්‍රදේශවල පදිංචිකරුවන් ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *