වසර ආරම්භයේ පැවති යකඩ මිල 50% කින් අඩු වේ

වසර ආරම්භයේ පැවති යකඩ මිල 50% කින් අඩු වේ


වසර ආරම්භයේ පැවති යකඩ මිල 50% කින් අඩු වේ

(06.06.2023 – 09:02 +0530 – hirunews.lk/sinhala)

වසර ආරම්භයේ පැවති යකඩ මිල මේ වන විට 50% කින් පමණ අඩු වී ඇති බව යකඩ ආනයනකරුවන් පවසනවා.

ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීම ඊට ප්‍රධාන වශයෙන් බලපා ඇති බවයි මෙල්වා සමාගමේ අධ්‍යක්ෂ මහින්දරත්න තෙන්නකෝන් ප්‍රකාශ කළේ.


මහනුවර මානව හිමිකම් කාර්යාලය විවෘත නොකළොත් මාරාන්තික උපවාසයක්

(06.06.2023 – 09:07 +0530 – hirunews.lk/sinhala)

දැනට මුද්‍ර තබා, පොලිස් ආරක්ෂාව යොදා ඇති මානව හිමිකම් කොමිෂන් සභාවේ මහනුවර දිස්ත්‍රික් කාර්යාලය අද (06) විවෘත කිරීමට බලධාරින් පියවර නොගතහොත් කාර්යාලය ඉදිරිපිට මාරන්තික උපවාසයක් ආරම්භ කරන බව ස්ථාන මාරුවක් ලබා දී ඇති එහි සම්බන්ධීකරණ නිලධාරිනි කුමුදුනී විතාන පවසනවා.

එම කාර්යාලයේ සම්බන්ධීකරණ නිළධාරිනිය ලෙස වසර 08 ක කාලයක් සේවය කළ මෙම කාන්තාව කොළඹ පිහිටි මානව හිමිකම් කොමිසමේ ප්‍රධාන කාර්යාලයට මාරුකොට ඒ වෙනුවට වෙනත් නිලධාරියෙකු පත් කිරීම හේතුවෙන් දැනට මාස දෙකකට (2) ආසන්න කාලයක් ගැටළුකාරි තත්ත්වයක් උද්ගතව තිබෙනවා.

කොමිෂන් සභාවේ සමාජිකයන්ගේ කිසිදු අනුදැනුමකින් තොරව අදාළ පත් කිරීම සිදුකර තිබෙන බැවින් මේ සම්බන්ධයෙන් තමන් ඉදිරිපත් කළ අභියාචනාව සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමු නොකර සභාපතිනිය හා ලේකම්වරයා ඇතුලු පිරිසක් තමන් සේවය අතහැර ගියාසේ සලකා පසුගිය මැයි මස 04 වැනිදා ලිපියක් මගින් දන්වා තිබෙන බව ඇය කියා සිටියා.

තත්ත්වය එසේ තිබියදි කොමිෂන් සභාවේ ලේකම්වරයා ඇතුලු පිරිසක් පසුගිය 30 වැනිදා මහනුවර කාර්යාලයට සීල් තබා එහි තිබූ කැබ් රථය කොළඹ ප්‍රධාන කාර්යාලයට රැගෙන ගිය අතර එදින සිටි මේ දක්වා මානව හිමිකම් කාර්යාලය පවතිනුයේ පොලිස් ආරක්ෂාව යටතේයි.

කෙසේවෙතත් අද (06) දිනයේ එම කාර්යාලය විවෘත නොකළහොත් තමන් මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බවයි ස්ථාන මාරුවක් ලබාදී ඇති එහි සම්බන්ධීකරණ නිලධාරිනි කුමුදුනී විතාන කියා සිටියේ ෴


අද (06) රැස්වන පාර්ලිමේන්තුවට අනුමැතිය සඳහා නියෝග රැසක්

(06.06.2023 – 09:12 +0530 – hirunews.lk/sinhala)

සිවිල් ගුවන් සේවා පනත යටතේ නියෝග, වෙළෙඳ නැව් පනත යටතේ නියෝග 13 ක් සහ නැව් බඩු ගෙන යන්නන්ට, යාත්‍රා ක්‍රියාකරුවන් නොවන පොදු ප්‍රවාහකයන්ට සහ කන්ටේනර් මෙහෙයුම්කරුවන්ට බලපත්‍ර ලබාදීමේ පනත යටතේ නියෝග විස්සකට (20) වැඩි සංඛ්‍යාවක් අනුමැතිය සඳහා අද (06) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අද (06) සිට ලබන 09 වැනිදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමටත් 07 වැනිදා සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන්ගේ ගැටළු පිළිබඳ සභාව කල් කල්තබන අවස්ථාවේ විවාදය පැවැත්වෙනු ඇති.

එමෙන්ම එළඹෙන 08 වැනිදා 2021 අංක 30 දරන විසර්ජන පනත යටතේ යෝජනා සම්මතය, ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු සංශෝධන පනත් කෙටුම්පත, වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ නියෝග විවාදයට ගැනීමට නියමිතයි ෴


ත්‍රිරෝද රියක ගැටී අයෙක් මරුට

(06.06.2023 – 09:15 +0530 – hirunews.lk/sinhala)

දඹුල්ල කුරුණෑගල මාර්ගයේ දම්බවත්ත හන්දිය අසලදී පාරේ ගමන් කළ පුද්ගලයකු අනතුරකට ලක්ව ඊයේ (05) මියගොස් තිබෙනවා.

මෙම අනතුර සිදුව ඇත්තේ ඊයේ (05) උදෑසන දම්බවත්ත හන්දිය අසලදී දඹුල්ල දෙස සිට කුරුණෑගල දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් මාර්ගය හරහා ගමන් කළ මෙම පුද්ගලයා ගැටීමෙනුයි.

අනතුරින් බරපතළ තුවාල ලැබූ මෙම පුද්ගලයා කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය බවයි පොලිසිය පවසන්නේ.

මියගිය අය වයස අවුරුදු 72 ක් වූ දම්බවත්ත, තෝරයය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අනතුර සම්බන්ධයෙන් දොරටියාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා ෴


විදෙස් රැකියා ලබා දෙන බවට පවසමින් වංචා කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

(06.06.2023 – 09:25 +0530 – hirunews.lk/sinhala)

විදෙස් රැකියා ලබා දෙන බව පවසමින් කාන්තාවන් එක් රැස් කළ මාළු ව්‍යාපාරිකයෙකු විදේශ රැකියා නියුක්ති කාර්‍යාංශයේ විශේෂ විමර්ශණ ඒකකය විසින් ඊයේ (05) රාත්‍රියේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 48 හැවිරිදි රත්ගම ප්‍රදේශයේ පදිංචි කරුවෙක් බවයි වාර්තා වන්නේ.

විදේශ රැකියා ලබා දෙන බවට අත් පත්‍රිකා බෙදා හරිමින් මෙම ව්‍යාපාරිකයා මෙම කටයුත්ත සිදුකර ඇති බවයි විදේශ රැකියා නියුක්ති කාර්‍යාංශය පවසන්නේ.

උපාය ධූතිකාවක් මාර්ගයෙන් මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගත් බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ ෴


සඳහිරි සෑය පුන්‍යභාරයෙන් අනුරාධපුර මහ රෝහලට රුධිර කාන්දු පෙරණ යන්ත්‍රයක්

(06.06.2023 – 09:35 +0530 – hirunews.lk/sinhala)

සඳහිරි සෑය පුන්‍යභාරය විසින් අනුරාධපුර මහ රෝහලේ වකුගඩු රෝගීන්ට අවශ්‍ය කරන රුධිර කාන්දු පෙරණ යන්ත්‍රයක් පරිත්‍යාග කළ බව ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

එහි වටිනාකාම රුපියල් මිලියන 3 කට අධිකයි ෴


ගජේන්ද්‍රකුමාර්ගේ තවත් ආධාරකරුවන් දෙදෙනෙක් (2) අත්අඩංගුවට

(06.06.2023 – 09:44 +0530 – hirunews.lk/sinhala)

දෙමළ ජාතික ජනතා පෙරමුණේ (TNPF) නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයාගේ කාන්තා දේශපාලන අංශයේ ප්‍රධානියා වන සර්ගුණදේවි ජගතීස්වරන් සහ තවත් ආධාරකරුවකු වන පී. උදයසිවම් නමැති අය පොලිසිය විසින් ඊයේ (05) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කිළිනොච්චිය මරදන්කේණී පොලිසිය විසින් මේ දෙදෙනා (2) අත්අඩංගුවට ගන්නා ලද්දේ මන්ත්‍රීවරයා සමඟ ගොස් අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන පාසලක රැස්වීමක් පැවැත්වීම හා පොලිසියේ රාජකාරීවලට බාධා කිරීම යන චෝදනා යටතේයි.

අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයන් කිළිනොච්චිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ජූනි මස 07 වෙනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියෝග කළ කිළිනොච්චිය මහේස්ත්‍රාත්වරයා එදිනට ඔවුන්ගේ වෛද්‍ය වාර්තා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසත් පොලිසියට නියෝග කොට තිබෙනවා.

ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ මරදන්කේණී පොලිසිය විසින් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

මේ අතර දෙමළ ජාතික ජනතා පෙරමුණේ ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයාට ප්‍රකාශයක් සටහන් කර ගැනීම සදහා අද (06) දින මරදන්කේණි පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දී ඇති ඇති නමුත් ඔහු මාධ්‍යයට පවසා ඇත්තේ තමන්ට පාර්ලිමේන්තු සැසි වාරයට සහභාගී වීමට අවශ්‍ය නිසා තමන් එහි යන බවයි.

මේ පිළිබදව තමන් නියෝජ්‍ය කථානායකවරයාට දැනුම් දී ඇති බව ද ඔහු සදහන් කළා ෴

තමන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු බැවින් කතානායක කාර්යාලයෙන් උපදෙස් ලබාගෙන ඉදිරි කටයුතු සිදු කරන බව සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් පවසනවා.

පොලිස් නිලධාරියෙකු සමඟ පසුගියදා යාපනය වඩමාරච්චි ප්‍රදේශයේදී ඇතිවූ බහින්බස් වීමේ සිද්ධියකට අදාළව පොලිසියේ පෙනී සිටින ලෙසට මන්ත්‍රීවරයාට මරදන්කර්නි පොලිසිය දැනුම් දී තිබුණා.

එමෙන්ම මෙම සිද්ධියට ඔහුගේ පක්ෂයේ වඩමාරච්චි – නැගෙනහිර ප්‍රදේශයේ සංවිධායකවරිය ලෙස කටයුතු කරන කාන්තාවක් ද අත්අඩංගුවට ගෙන හෙට (07) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

කෙසේ වෙතත් තමන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු බැවින් පොලිසිය කර ඇති දැනුම්දීම සම්බන්ධයෙන් කතානායකවරයා දැනුවත් කරන බවයි මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් කියා සිටියේ ෴

+++++++++++

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර්ට විදේශ ගමන් තහනමක්

(06.06.2023 – 13:43 +0530 – hirunews.lk/sinhala)

දෙමළ ජාතික ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා.

ඒ පොලිසිය විසින් කළ ඉල්ලීමකට අනුව කිලිනොච්චි මහේස්ත්‍රාත් අධිකරණය විසින්.

යාපනය – මරදන්කේනි ප්‍රදේශයේ පිහිටුවා ඇති සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථානයකදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවූ අතර, ඊට අදාළව මෙම විදෙස් ගමන් තහනම පනවා ඇති බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාගේ පක්ෂයේ සංවිධායකවරියක සහ තවත් පුද්ගලයෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර, තමන්ට අද (06) දිනයේදී කොල්ලුපිටිය පොලිස් ස්ථානයේ නිලධාරින් දෙදෙනෙකු (2) පැමිණ විදෙස් ගමන් තහනම පිළිබඳ දැනුම්දීමක් සිදුකළ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

කෙසේ වෙතත් අප වාර්තාකරු ප්‍රකාශ කළේ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා මන්ත්‍රීවරයාට මරදන්කේනි පොලිසියට පැමිණෙන ලෙස අවස්ථා ගණනාවකදී දැනුම්දී ඇති බවයි.

එහෙත් ඔහු එහි නොපැමිණීම නිසා පොලිසිය කිලිනොච්චි මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර මෙම විදෙස් ගමන් තහනමට අදාළ නියෝගය ලබාගෙන තිබුණා.

මේ අතර ‘සිංහල රාවය’ සංවිධානය අද (06) කතානායකවරයා වෙත ලිපියක් භාරදී තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් සම්බන්ධයෙන් දැනුවත් කිරීමටයි ෴

+++++++++

++++++++++

ගජේන්ද්‍රකුමාර්ට යට නොවූ පොලිස් සැරයන්ගේ කතාව

(06.06.2023 – 19:49 +0530 – sinhala.adaderana.lk)

ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්‍ත්‍රීවරයා සමග ආන්දෝලනාත්මක සිද්ධිය ඇතිවූ පොලිස් නිලධාරීයා වන්නේ පොලිස් සැරයන් සනත් ගුණවර්ධන මහතාය.

ඔහු 1990 වසරේදී ඔඩ්ඩුසුඩාන් පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කරමින් සිටින අතරතුර LTTEයේ පැහැරගැනීමට ලක්වී එම කඳවුරක වධ බන්ධනවලට ලක් වූ අයෙකි.

එල්.ටී.ටී.ඊ.යෙන් නිදහස ලබා පැමිණි සනත් ගුණවර්ධන පොලිස් සැරයන් ධුරයට උසස් කෙරුණු අතර යළි උතුරු පළාතට ස්ථාන මාරුවක් ලද ඔහු එහි රාජකාරී කරමින් සිටින අතරතුරයි මෙම සිද්ධියට මුහුණ දී තිබුණි.

මේ අතර පොලිස් නිලධාරීන් පිරිසක් සමග ආරවුලක් ඇති කරගත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතාගේ විදෙස් ගමන් තහනම් කිරීමට කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණය අද (06) නියෝග කර තිබේ.

මේ අතර මන්ත්‍රිවරයා සිය බලතල අවභාවිත කර ඇති බැවින් ඔහුට එරෙහිව නිසි පියවර ගන්නා ලෙස ඉල්ලා සිවිල් සංවිධානයක් කථානායකවරයා වෙත සංදේශයක් අද භාරදුනි.

වඩමාරච්චි ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථානයක් අසලදී පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා සහ පොලිස් නිලධාරීන් පිරිසක් අතර ආරවුලක් ඇතිවූයේ පසුගිය දෙවැනිදාය (02).

සිද්ධියට අදාළව කාන්තාවක් සහ තවත් පුද්ගලයෙක් පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හෙට දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

එමෙන්ම මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සිදුවීම පිළිබඳ තමන්ට කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙස මේ වන විට පොලිසියට දැනුම්දී තිබේ.

මේ අතර කොල්ලුපිටිය පොලිසියේ නිලධාරීන් පිරිසක් අද (06) සිය නිවසට පැමිණ සිංහල භාෂාවෙන් ලිඛිත නිවේදනයක් තමාට ලබාදුන් බව පොන්නම්බලම් මන්ත්‍රීවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා තිබුණි.

මන්ත්‍රිවරයා සඳහන් කර තිබුණේ නමුත් සිංහල ලිවීමට හෝ කියවීමට නොහැකි නිසා තමා එය භාරගැනීම ප්‍රතික්ෂේප කළ බවය.

පසුව පොලිස් නිලධාරීන් එය සිංහලෙන් තමා ඉදිරියේ කියවූ බවත් එහි ප්‍රකාශ වූ පරිදි තමාට ජුනි 08 වැනිදා උදෑසන 10 ට මරදන්කේනි පොලිසියේ පෙනී සිටීමට සිදුව ඇති බවත් මන්ත්‍රිවරයා පවසා තිබුණි.

එමෙන්ම තමා පොලිසියේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන තෙක් සිය විදෙස් ගමන් තහනම් කරමින් නියෝගයක් කිලිනොච්චි අධිකරණයෙන් නිකුත් කර ඇති බවත් මන්‍ත්‍රිවරයාගේ ට්විටර් ගිණුමේ සඳහන්ව ඇත.

පොලීසිය පවසන්නේ එම පණිවිඩය දෙමළ බසින් ලිඛිතව යළිත් වරක් මන්ත්‍රිවරයා වෙත ලබාදීමට අද (6) පස්වරුවේදී පියවර ගත් බවය.

මේ අතර ගජේන්ද්‍ර කුමාර් මන්ත්‍රිවරයා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී බලතල අවභාවිත කර ඇති බැවින් එම හැසිරීම සම්බන්ධයෙන් නිතීමය පියවර ගන්නැයි ඉල්ලා කථානායකවරයා වෙත ලිපියක් භාරදීමට සිංහල රාවය සංවිධානය පාර්ලිමේන්තුව පිවිසුම අසලට අද පැමිණියේය.

පසුව පාර්ලිමේන්තුවේ සහකාර වේත්‍රධාරිවරයා එහි පැමිණ ලිපිය භාරගත්තේය.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *