තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම්වරියට තනතුර එපා වේ

තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම්වරියට තනතුර එපා වේ


තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම්වරියට තනතුර එපා වේ

(05.06.2023 – lankadeepa.lk)

රජයේ ප්‍රබල නිලධාරියකුගෙන් සහ දේශපාලන අධිකාරියේ ප්‍රබලයන්ගෙන් රාජකාරියට එල්ලවන බලපෑම් නිසා තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් තනතුර අතහැර මාරුවක් ලබා යෑමට තීරණය කළ බව තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් චන්දිමා මනම්පේරි මහත්මිය ලංකාදීපයට පැවැසුවාය.

මීට වසර එක හමාරකට (1½) පමණ පෙර තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් තනතුරේ වැඩ බාරගත් චන්දිමා මනම්පේරි මහත්මිය සිය කටයුතු කිරීමේ දී නීතියෙන් පිට හිතවත්කම් මත රාජකාරිය පාවා නොදුන් නිලධාරිනියක බව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීහු පවසති.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ එවකට පැවැති රජයට එරෙහිව ගෙන ගිය අරගලයේ දී නාඳුනන පිරිස් විසින් ගිනි තබන ලද එම ප්‍රදේශයේ දේශපාලනඥයකුගේ නිවෙස්වලට වූ හානි සඳහා ව්‍යාජ ඇස්තමේන්තු සකස් නොකිරීම, දේශපාලන හිතවතුන්ට රජයේ ඉඩම් ලබා නොදීම සහ ඒවා අත්පත් කර ගැනීමට අවස්ථාව නොදීම හේතුවෙන් ප්‍රදේශයේ දේශපාලන අධිකාරියේ ප්‍රබලයන් ප්‍රාදේශීය ලේකම්වරිය සමග විරසකවී ඇතැයි දැනගන්නට ඇත.

තමාට ලබාදුන් නිල රථය අව්වේ නවතා තැබී යැයි කියමින් දිසාපතිවරයා තමාගෙන් කිහිපවිටක්ම වාර්තා කැ‌ඳවූ බවත් අරගලකරුවන් ගිනි තැබූ දේශපාලකයන්ගේ නිවාසවලට පූර්ණ හානි වාර්තා නොකිරීම සම්බන්ධයෙන් ද ප්‍රාදේශීය දේශපාලනඥයන් අනවසරයෙන් අල්ලා ගත් ඉඩම්වලට බලපත්‍ර නිකුත් නොකිරීම සම්බන්ධයෙන් ද දිසාපතිවරයා කිහිපවතාවක්ම වාර්තා කැ‌ඳවූ බවත් ප්‍රාදේශීය ලේකම්වරිය පැවැසුවාය.

තමා නිවෙසට යන එන සෑම අවස්ථාවකදීම විවිධ පුද්ගලයන් යොදවා තමාට විවිධ බලපෑම් කළ බවත් දරුවන්ගේ සහ තමාගේ ජීවිතවලට තර්ජනයක් වූ නිසා ප්‍රාදේශීය ලේකම් තනතුරින් යන බවත් ඇය කීවාය.

මේ අතර 2021 අගෝස්තු 11 වැනිදා තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් තනතුරේ වැඩ බාරගත් චන්දිමා මනම්පේරි මහත්මිය ඉන්ධන හිඟයක් පැවැති සමයේ ප්‍රදේශයට ලැබුණු ඉන්ධන තොග තම පෞද්ගලික මැදිහත්වීම මත ගැටලු ඇති නොවන සේ බෙදා හැරීමට කටයුතු කළ බවද ප්‍රදේශවාසීහු පවසති.

ඉතා දක්ෂ රාජ්‍ය නිලධාරිනියක වන චන්දිමා මනම්පේරි මහත්මිය ප්‍රාදේශීය ලේකම් ධුරයෙන් ඉවත්ව ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ පවතින ග්‍රාමීය නායකයන් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය ලෙස මාරුවක් ලබා පෙරේදා (03) පිටත්ව ගියාය.

මේ අතර ‘කිරිඳිඔය ඒකාබද්ධ ගොවි සංවිධානය’, ප්‍රාදේශීය ලේකම්වරියගේ හදිසි මාරුව සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යවමින් දැනුම් දී ඇත.

ජනතාවගේ ගැටලු විසඳීමට දිවා රෑ නොබලා කටයුතු කළ ඇය අතිදක්ෂ නිලධාරිනයක බව ජනාධිපතිවරයාට යැවූ ලිපියේ සඳහන් වේ.

නිලධාරිනියකට එහා ගිය ගෞරවනීය සේවයක් ඉටු කළ මෙම ප්‍රාදේශීය ලේකම්වරියගේ රාජකාරියට බාධා කළ අය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි ද ඇය නැවත එම තනතුරේම පිහිටුවීමට කටයුතු කරන්නැයි ද එම ලිපිය මගින් ඉල්ලා ඇත.

මේ අතර ඇය ප්‍රාදේශීය ලේකම් තනතුරේ වැඩ බාරගැනීමට පෙර සිදුවූ දූෂණ සහ අක්‍රමිකතා රැසක් ඇය සේවය කළ වසර එක හමාරක (1½) කාලයේ දී නිවැරැදි කළ බව ද ප්‍රදේශවාසීහු කියති.

~ අමිල සම්පත් ශ්‍රී

+++++++++

චන්දිමා මනම්පේරි මහත්මිය

+


රාජාංගනයේ හිමි රුපියල් කෝටි ගානක සල්ලි වලින් කරලා තියෙන දේ (06.06.2023)

+


දැදුරු ඔයේ ගිලී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

(06.06.2023 – 07:23 +0530 – hirunews.lk/sinhala)

දැදුරු ඔය පාලම අසල දිය නාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (06) දියේ ගසාගෙන ගොස් තිබෙනවා.

බරපතල තත්ත්වයේ පසු වූ ඔහු හලාවත රෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ පානදුර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 26 ක් වූ පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ.

ඔහු අනාරාධපුර විනෝද චාරිකාවක් ගොස් නැවත පැමිණෙමින් සිටිය දී දැදුරු ඔයේ දිය නෑමට ගිය අවස්ථාවේ දී මෙම අනතුරට මුගුණ පා ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ ෴


පුළුල් සන්ධානයක් සඳහා සාකච්ඡාවක්

(06.06.2023 – 07:41 +0530 – hirunews.lk/sinhala)

සාමය සහ සංහිඳියාව අගයන දෙමළ ඩයස්පෝරාව සහ විදේශගත ශ්‍රී ලාංකිකයන් එක් කර පුළුල් ජාතික සන්ධානයක් පිහිටුවීමට රජය තීරණය කර තිබෙනවා.

එහි මූලික පියවරක් ලෙස ඊළාම් මතවාදයට එරෙහිව දෙමළ ඩයස්පෝරාවේ නියෝජිතයන් සහ මහා සංඝරත්නය අතර සුහදතාව ගොඩනැඟීමේ වැඩපිළිවෙළක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බව වාර්තා වෙනවා.

මෙරට සංවර්ධන කටයුතු සඳහා දෙමළ ඩයස්පෝරාවේ සහයෝගය කඩිනම් කර ගැනීමේ අරමුණින් මෙම නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇති බවයි සඳහන් වන්නේ.

කැනඩාවේ දෙමළ ඩයස්පෝරාවේ ප්‍රධාන ක්‍රියාකාරිකයකු වන රෝයි සමාතානම් අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ සහ අටමස්ථානාධිපති හිමිපාණන් සමඟ ද මූලික සාකච්ඡාවක නිරත වී තිබෙනවා.

ජාතික සංහිඳියාව ගොඩනැඟීමේ සැලසුම් පිළිබඳව පල්ලේගම හේමරතන හිමියන් සංචාරයක නිරත වුණා.

හේමරතන හිමියන් පැවසුවේ රජ කාලයේ සිටම ජාතික සහජීවනය ගොඩනැඟීමට මහා සංඝරත්නය විශාල දායකත්වයක් ලබා දී තිබෙන බවත් දෙමළ ඩයස්පෝරාවට සහ සාමය සහ සංහිඳියාව අගයන විදේශයන්හි වෙසෙන අනෙකුත් ජනතාවට ද මෙම සාකච්ඡා සඳහා එක්වන ලෙස ආරාධනා කරන බවයි. ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් ලබා දෙන බවත් හේමරතන හිමියන් පැවසුවා.

දේශපාලන මැදිහත්වීම්වලින් තොරව මේ රටට ආදරය කරන පුරවැසියන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කටයුතුවලට පූර්ණ සහයෝගය ලබා දෙන බව ද උන්වහන්සේ ප්‍රකාශ කරනු ලැබුවා.


දියණිය අපයෝජනය කළ පියාට වසර 110 ක සිර දඬුවමක්

(06.06.2023 – 08:24 +0530 – hirunews.lk/sinhala)

සිය 11 හැවිරිදි දියණිය බරපතළ ලිංගික අපයෝජනයට ලක් කළ පියෙකුට, බරපතළ වැඩ සහිත වසර 110 ක සිරදඬුවමක්, රුපියල් ලක්ෂ 06 ක වන්දි මුදලක් සහ රුපියල් අසුදහසක දඩ මුදලක් ගෙවීමට බලපිටිය මහාධිකරණය ඊයේ (05) නියෝග කර තිබෙනවා.

සැකකාර පියා 2008 වසරේ ජනවාරි පළමු (01) වනදා සිට අවස්ථා ගණනාවක දී සිය දියණියව බරපතළ ලෙස ලිංගික අපයෝජනය කළ බවට ඌරගස්මහන්දිය පොලිසිය විසින් මෙම නඩුව ගොනුකර තිබුණා.

දැරියගේ මව විදෙස් ගතව සිටි කාලයේ සෑම දිකම බීමතින් පැමිණ තම පියා තමන්ව ලිංගික අපයෝජනයට ලක්කළ බවට දැරිය අසල්වැසි කාන්තාවක් සමඟ පවසා තිබෙනවා.

අනතුරුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කිරීමෙන් පසු සැකකාර පියා අත්අඩංගුවට ගෙන බලපිටිය අධිකරණයේ චෝදනා ගොනුකර නඩු පැවරීමට කටයුතුකර තිබුණා ෴


පොසොන් සතියේ දී රට පුරා ගෙවල් බිඳුම් සහ කොල්ලකෑම් රැසක්

(06.06.2023 – 08:35 +0530 – hirunews.lk/sinhala)

පොසොන් සතිය ආරම්භ වී ගත වූ දින තුන තුළ රටපුරා ගෙවල් බිඳුම්, වාහන සොරකම් කිරීම්, කොල්ලකෑම් හා දේපළ සොරකම් කිරීමේ සිද්ධින් රැසක් වාර්තා වී තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, ඒ අතරින් ගෙවල් බිඳුම් සහ දේපල සොරා ගැනීම් වැඩි වශයෙන් වාර්තා වී ඇති බවයි.

මීට අමතරව වාහන කොල්ලකෑම් සම්බන්ධයෙන් ද දිවයින පුරා පොලිස් ස්ථානවලට පැමිණිලි ලැබී තිබෙනවා.

මේ අතර ක්ෂණික ණය පහසුකම් ලබාදෙන බව පවසමින් අන්තර්ජාලය හරහා දැන්වීම් පළකර රුපියල් ලක්ෂ ගණනක මුදල් වංචා කර පුද්ගලයෙකු මේ මස 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

කොළඹ, ගම්පහ, කැස්බෑව, රාගම, වේයන්ගොඩ, කෑගල්ල, අනුරාධපුර, ඇතුලු තවත් ප්‍රදේශ රැසකින් මොහුට එරෙහිව පැමිණිලි ලැබීමෙන් අනතුරුවයි පොලිසිය විමර්ශනයක් ආරම්භ කරනු ලැබුවේ.

අත්අඩංගුවට ගත් සැකකරු 31 හැවිරිදි කදාන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ගම්පහ – කැකුලන්ගොඩ ප්‍රදේශයේ තාවකාලිකව නවාතැන්ගෙන සිට තිබෙනවා.

සැකකරු සන්තකයේ තිබී සිම් කාඩ්පත් 74 ක්, ස්මාර්ට් ජංගම දුරකථන 04 ක් සහ කුඩා ජංගම දුරකථන 03 ක් සොයාගනු ලැබුවා.

සැකකරු ක්ෂණික ණය පහසුකම් ලබාදෙන බවට පවසා අන්තර්ජාලයේ දැන්වීම් පළ කර එම දැන්වීම්වලට අනුව සැකකරුගෙන් ණය ලබා ගැනීම සඳහා ඉල්ලු‍ම් කරන අයගේ ජාතික හැඳුනුම්පතේ ඡායාපිටපතක් ලබාගෙන ඊට සිම්කාඩ් පත් මිලදී ගන්නා බවට හෙලිව තිබෙනවා.

පසුව හැදුනුම්පතේ තොරතුරු සහ බැංකු ගිණුම් විස්තර උපයෝගි කරගෙන සැකකරු ඉල්ලු‍ම්කරුවන්ගේ ගිණුම්වලට රහසිගතව ඇතුල්වී මෙම වංචා කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ ෴


වාණිජ බැංකුවල පොලී අනුපාත තවදුරටත් ඉහළ අගයක

(06.06.2023 – 08:51 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා මහ බැංකුව පොලි අනුපාත පහත දමා ඇතත් වානිජ බැංකු තවමත් ඉහළ ණය පොලි අනුපාත අයකරමින් සිටින බවට ගණුදෙනුකරුවන් චෝදනා කරනවා.

වසර තුනකට (3) පමණ පසු මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකයන් පසුගිය පළමු (01) වැනිදා පහත දමනු ලැබුවා.

එහිදී නිත්‍ය තැන්පතු සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතික පිළිවෙලින් 13% දක්වා සහ 14% දක්වා අඩු කිරීමටයි පියවර ගෙන තිබුණේ.

මීට පෙර නිත්‍ය තැන්පතු අනුපාතිකය 15.05% ක් ලෙස සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 16.5% ක අගයක පැවතුණා.

ඒ අනුව, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය එදින ප්‍රකාශ කළේ, වාණිජ බැංකු ද ණය පොලී අනුපාතය 02.05% කින් පහත දමනු ඇති බවයි.

කෙසේ වෙතත් තවමත් මෙරට වාණිජ බැංකු සිය පොලි අනුපාත පහත දැමීමට පියවර ගෙන නැහැ ෴


අල්ලස් ලබා ගත් ගොවිජන සේවා මධ්‍යස්ථානයේ නිලධාරීන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(06.06.2023 – 08:46 +0530 – hirunews.lk/sinhala)

රුපියල් ලක්ෂයක (100,000) මුදලක් අල්ලස් ලෙස ලබාගත් අලවතුගොඩ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ නිලධාරීන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අලවතුගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව අල්ලස් ලබාගැනීමේ චෝදනාව මත සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරන්නේ.

පැමිණිල්ල සිදුකළ අදාළ පුද්ගලයා දීර්ඝ කාලයක සිට නිවසක් සාදා භුක්ති විඳින මල්ගමන්දෙණිය ප්‍රදේශයේ පිහිටි කුඹුරු ඉඩමේ කොටස කුඹුරු ඉඩම් ලේඛනයෙන් ඉවත් කර එය ගොඩ ඉඩමක් ලෙස නම් කර ඒ සඳහා ඉඩම් සහතිකයක් නිකුත් කිරීමට සැකකරුවන්ගෙන් එම අල්ලස් මුදල ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

අල්ලස් මුදල ලබා ගන්නා අවස්ථාවේදී අලවතුගොඩ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ කෘෂිකර්ම පර්යේෂණ සහ නිෂ්පාදන සහකාරවරයෙකු සහ ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ ෴


දියතලා කන්දේ ගින්නක්

(06.06.2023 – 08:55 +0530 – hirunews.lk/sinhala)

හඟුරන්කෙත දියතලා කන්ද ප්‍රදේශයේ ගින්නක් හටගෙන තිබෙනවා.

හඟුරන්කෙත පොලිසියට ලද තොරතුරක් මත මෙම ගින්න පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙම ප්‍රදේශය ජනශුන්‍ය ප්‍රදේශයක් වන අතර නුවරඑළිය මහනගර සභාව, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ගුවන් හමුදාව හ යුද හමුදාව එක්ව ගින්න පැතිරීම වැළැක්වීම සඳහා කටයුතු කරමින් සිටින බව වාර්තා වෙනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර හඟුරන්කෙත පොලිසිය වැඩිදුර විමර්ශනය සිදු කරනු ලබනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *