පොලිස් රාජකාරියට බාධා කළ ගජෙන්ද්‍රගේ පක්ෂයේ සංවිධායකවරිය අත්අඩංගුවට

පොලිස් රාජකාරියට බාධා කළ ගජෙන්ද්‍රගේ පක්ෂයේ සංවිධායකවරිය අත්අඩංගුවට


පොලිස් රාජකාරියට බාධා කළ ගජෙන්ද්‍රගේ පක්ෂයේ සංවිධායකවරිය අත්අඩංගුවට

(05.06.2023 – 19:27 +0530 – hirunews.lk/sinhala)

සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් සහ පොලිස් නිලධාරියෙකු අතර යාපනයේදී ඇතිවූ බහින්බස් වීමේ සිද්ධියට මැදිහත්වූ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයේ වඩමාරච්චි – නැගෙනහිර ප්‍රදේශයේ සංවිධායක ලෙස කටයුතු කරන ඇය කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (05) ඉදිරිපත් කෙරුණු අතර එහිදී නියෝග කෙරුණේ ඇයව අනිද්දා (07) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.

මෙම මතභේදාත්මක තත්ත්වය ඇතිවුණේ ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා යාපනය – වඩමාරච්චි නැගෙනහිර ප්‍රදේශයේ ජන හමුවකට පසුගිය 02 වනදා සහභාගි වු අවස්ථාවේයි.

එම ජනහමුව පැවති ස්ථානයට යාබදව සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබූ අතර මන්ත්‍රිවරයා මෙලෙස බහින්බස්වීමක් ඇති කරගෙන තිබුණේ එහි ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරියෙකු සහ බුද්ධි අංශ නිලධාරියෙකු සමගයි.

බුද්ධි අංශ නිලධාරියෙකු විසින් තමන්ට වෙඩි තැබීමට උත්සහ කළ බවට සිද්ධිය පිළිබද සමාජ මාධ්‍යයට තොරතුරු එක්කරමින් මන්ත්‍රීවරයා චෝදනා කළා.

කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට අද (05) පෙරවරුවේ කරුණු වාර්තා කරමින් පොලිසිය සදහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් සහ අදාළ සැකකාර කාන්තාව පොලිස් රාජකාරියට බාධා සිදුකළ බවයි.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් අද (05) අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔහුද අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි පොලිසිය සදහන් කලේ ෴

+


මිරිස් කුඩු ගසා රන් මාල කොල්ල කන ජාවාරම යළිත්

(05.06.2023 – 19:45 +0530 – hirunews.lk/sinhala)

මුහුණට මිරිස්කුඩු එල්ලකර රන්මාල කොල්ලකෑ පුද්ගලයින් 05 දෙනෙකු ජීව අත්බෝම්බයක් සමග දකුණු කළුතර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කළුතර, පන්විලහේන වත්ත ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරුවන් අවුරුදු 30 ට අඩු වයස්වල පසුවන තරුණයින් බවයි පොලිසිය සදහන් කළේ.

ඔවුන් ත්‍රිරෝද රථ දෙකකින් (2) සහ සොරකම් කල යතුරුපැදියකින් (1) ගොස් මහමග ගමන්ගන්නා කාන්තාවන්ගේ මුහුණට මිරිස්කුඩු ප්‍රහාර එල්ලකර රන්මාල කොල්ලකා තිබෙනවා.

එමෙන්ම ව්‍යාපාරික ස්ථාන වලට අනවසරෙන් ඇතුලු‍ වී ජෙනරේටර්, වාහන සේදුම් යන්ත්‍ර, ජංගම දුරකථනය සහ තවත් භාණ්ඩ කොල්ල කා ඇති බවටයි වාර්තා වන්නේ ෴

+


ලසිත් මාලිංග සොයන පුංචි පන්දු යවන්නා

(05.06.2023 – 21:08 +0530 – hirunews.lk/sinhala)

මාලිංග වගේම අපේ රටේ ක්‍රීඩා ලෝලීන් සෙවු පුංචි ක්‍රිකට් ක්‍රීඩකයා ගැන මුළු රටටම හෙළි කිරීමට හිරු ප්‍රවෘත්ති සමත් වුණා.

ලොව බිහිවූ විශිෂ්ටතම පන්දු යවන්නෙකු වන ‘ලසිත් මාලිංග’ ගේ පන්දු යැවීමේ ඉරියව්වට සමාන අයුරින් පන්දු යවන කුඩා දරුවෙකුගේ වීඩීයෝවක් පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අතර ඒ සම්බන්ධයෙන් ලසිත් මාලිංගගේ ද අවධානය යොමු වී තිබෙනවා.

ලසිත් මාලිංග සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණේ මෙම පුංචි පුතා ගැන යම් අයෙක් තොරතුරු දන්නේනම් තමාට දැනුම් දෙන ලෙසයි.

අදාළ දරුවා වීරවිල කුඩාගම්මාන 19 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු නමින් ‘දිනෙත් අනුහස්’.

වයස අවුරුදු 9 ක් වන අනුහස් ප්‍රාථමික විද්‍යාලයක ඉගෙනුම ලබන දරුවෙක්.

දිනෙත් අනුහස් හිරු ප්‍රවෘත්ති අංශයට දැක්වූයේ මෙවන් අදහසක් :

“මම ලසිත් මාලිංග මාමා බලන්න හරිම කැමතියි. මම කැමතියි ලෙදර් බෝලෙන් සෙල්ලම් කරන්න. මට ලෙදර් බෝලෙකුයි බැට් එකකුයි හම්බ වුණොත් ඇති. බෑග් එකක් ඕනේ ඉස්කෝලේ යන්න. තාම ඉස්කෝලේ දාන්නේ එක (1) වසරේ ඉදන් දාපු සපත්තු දෙක”

ඔස්ට්‍රේලියාවේ රැඳීසිටින ලසිත් මාලිංග ඉදිරි දිනකදී මෙරටට පැමිණිමෙන් පසු දිනෙත්ව හමුවීමට නියමිත බවයි වාර්තා වන්නේ.

කැළයේ පිපුණු මල් කැළයටම පරව යන්නට නොදී ඒ මල්වල සුවඳින් ලොවම සුවදවත් කරන්නට අවැසි පරිසරය සකසා දෙන්නට ලසිත් මාලිංගට හෝ ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන ඔබට හෝ හැකි වුවහොත් අනාගතයේ දිනක දෙනෙත් අනුහස්ට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීම සිහිනයක් නොවනු ඇති ෴

+


මදුරන්කුලියේ නිදන් හෑරීමක් මුල් කරගනිමින් විවාදාත්මක තත්ත්වයක්

(05.06.2023 – 23:09 +0530 – hirunews.lk/sinhala)

මදුරන්කුලිය ප්‍රදේශයේ ඉඩමක නිදන් හෑරීමේ චෝදනාව මත එම ඉඩමේ හිමිකරු මදුරන්කුලිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ මෙම ඉඩමේ ඇති නිවසක හිමිකරු විසින් කාන්තාවක් හා දැරියක්ද රඳවාගෙන සිටි බවටයි.

ඔවුන්ගේ බවට සැක කෙරෙන ඇඳුම් කිහිපයක් නිදන් හෑරූ බව කියන ස්ථානයේ තිබී සොයාගෙන ඇති අතර දැරිය හා කාන්තාව සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් මෙතෙක් අනාවරණය වී නැහැ.

මෙවැනි පසුබිමක ගම්වාසීන් හා ඉඩමේ මුරකරු අතර විවාදාත්මක තත්වයක්ද හටගත්තා ෴

+


ක්ෂණික ණය දෙනවා කියලා ජනතාව ගොනාට ඇන්දවූ මොහුට ඔබත් රැවටුනාද ? එහෙනම් ඔබේ බැංකු ගිණුම පරීක්ෂා කරන්න (05.06.2023)

+


අලි සබ්‍රි රහීම්ට හා ප්‍රංශ ජාතිකයාට හැදි දෙකකින් බෙදූ ලංකාවේ රේගුව

(05.06.2023 – 12:16 +0530 – ada.lk)

රුපියල් අට කෝටි පනස් තුන් ලක්ෂ දස දහස් නව සියයක් (8,53,10,900) වටිනා කිලෝ ග්‍රෑම් 04 යි ග්‍රෑම් 611 බරැති රත්තරන් තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ඒමට තැත් කළ ප්‍රංශ ජාතිකයෙකු 2023/06/03 දින ශ්‍රී ලංකා රේගුවේ මැණික් සහ ස්වර්ණාභරණ තක්සේරු අංශයේ සහ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.

35 හැවිරිදි මෙම ප්‍රංශ ජාතිකයා මීට පෙර අවස්ථා කීපයකදීම ශ්‍රී ලංකාවට පැමිණ තිබූ අතර මෙවර ඔහු පැය 24 ක කාළයක් සදහා පමණක් මෙරටට පැමිණීම සැළකිල්ලට ගනිමින් ඔහුගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී මෙම රත්තරන් තොගය සොයා ගෙන අත් අඩංගුවට ගැනීමට රේගු නිලධාරීන් සමත් වී තිබුණි.

මොහු 2023/06/03 දින උදෑසන 06:45 ට ප්‍රංශයේ පැරිස් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.501 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

මොහු රැගෙන ආ ගමන් මලු තුළ රන් මාළ කීපයක් මෙන්ම, බැලූ බැල්මට සොයා ගැනීමට අපහසු වන අන්දමට කළු පැහැති තීන්ත ආලේප කරන ලද රන් පොලු තොගයක් ද සඟවා ගෙන තිබියදී රේගු නිලධාරීන් විසින් සොයා ගෙන එම භාණ්ඩ සහ ප්‍රංශ ජාතිකයා අත් අඩංගුවට ගෙන තිබුණි.

මේ පිළිබඳ විධිමත් රේගු පරීක්ෂණය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ එස්. ශිවඥානම් මහතා විසින් පවත්වා තිබූ අතර , එහිදී මෙම රත්තරන් තොගය රාජසන්තක කළ අතර, මෙම ප්‍රංශ ජාතිකයාට රුපියල් කෝටි 07 ක (7,00,00,000) දඩ මුදලක් ගෙවන ලෙස ද නියෝග කර තිබේ.

මෙම දඩ මුදල ගෙවීමට මෙම ප්‍රංශ ජාතිකයා අසමත් වීමත් සමග, ඔහු මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් ඉන්දික ද සිල්වා මහතා වෙත රේගු නිලධාරීන් විසින් ඉදිරිපත් කර තිබේ. එහිදී මෙම ප්‍රංශ ජාතිකයා 2023/06/08 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

එහෙත් ඉකුත් 2023/05/23 දින පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ‘අලි සබ්‍රි රහීම්’ රුපියල් කෝටි 08 ක් වටිනා රත්තරන් තොගයක් නීතිවිරෝධී ලෙස රැගෙන ආ විට, ඔහුට එම වටිනාකමෙන් 10% ක ප්‍රමාණයක්, එනම් රුපියල් හැත්තෑ පන් ලක්ෂයක (75,00,000) දඩ මුදලක් ගෙවන ලෙස නියෝග කළ රේගු නිලධාරීන්, මෙවර ඒ හා සමාන වටිනාකමකින් යුතු රත්තරන් තොගයක් නීතිවිරෝධී ලෙස රැගෙන ආ ප්‍රංශ ජාතිකයෙකුට රුපියල් කෝටි 07 ක, එනම් රැගෙන ආ භාණ්ඩ තොගයේ වටිනාකමට 100% සමාන වන ආකාරයට දඩ මුදලක් නියම කිරීම පිළිබඳව සමාජය තුළ පුළුල් කතිකාවතක් ගොඩ නැගී තිබේ ෴


Western strategy to neutralize Sinhala Buddhists in Sri Lanka – by Shenali Waduge

(04.06.2023 – shenaliwaduge.com)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *