විකාශන අධිකාරි පනත ගැන සාකච්ඡාවට විපක්ෂයේ අනුකමිටුව ලබන සතියේ රැස්වෙයි

විකාශන අධිකාරි පනත ගැන සාකච්ඡාවට විපක්ෂයේ අනුකමිටුව ලබන සතියේ රැස්වෙයි


විකාශන අධිකාරි පනත ගැන සාකච්ඡාවට විපක්ෂයේ අනුකමිටුව ලබන සතියේ රැස්වෙයි

(05.06.2023 – 14:06 +0530 – hirunews.lk/sinhala)

යෝජිත විකාශන අධිකාරී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට පත් කළ විපක්ෂ එකමුතුවේ විශේෂ අනුකමිටුව ලබන සතියේ රැස්වීමට නියමිතයි.

එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමක දී සඳහන් කළේ අද (05) පස්වරුවේ එම අනු කමිටුව රැස්වීමට නියමිතව තිබුණ ද තවත් පාර්ශ්ව කිහිපයක යෝජනා ලබාගත යුතුව ඇති හෙයින් එය ලබන සතියේ රැස්වීමට තීරණය කළ බවයි.

මෙම පනත් කෙටුම්පතට අදාළව අනුකමිටුව මගින් කරනු ලබන නිරීක්ෂණ ඉදිරියේ දී විපක්ෂ නායකවරයා ඇතුලු විපක්ෂයේ සියලු නායකයන්ට දැනුම්දීමටයි නියමිතව ඇත්තේ.

එමෙන්ම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මෙරට මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ ඉදිරි දිනවල දී සාකච්ඡා කිරීමට මෙම අනුකමිටුව සූදානමින් සිටින බව ද වාර්තා වෙනවා.

මේ අතර විවිධ පාර්ශ්ව අදහස් පළ කර ඇත්තේ යෝජිත පනත් කෙටුම්පත තුළින් මාධ්‍යයේ යහ පැවැත්මට බලපෑමක් එල්ලවිය හැකි බවයි ෴

+++++++++

යෝජිත විකාශන අධිකාරී පනත් කෙටුම්පත ගැන විපක්ෂයේ තීරණය

(05.06.2023 – 14:51 +0530 – hirunews.lk/sinhala)

රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතිරි වී ඇති කොටසත් විනාශ කිරීමේ අරමුණින් වත්මන් රජය ගෙන ඒමට නියමිත විකාශන අධිකාරි පනතට විරුද්ධ වීමට සහ එය පරාජය කිරීමට ගත යුතු හා ගත හැකි උපරිම ක්‍රියාමාර්ග පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් අධිකරණයේත් ගනු ලැබීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයේ විධායක සභාව ඒකමතිකව තීරණය කළ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (05) සඳහන් කර තිබෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය තුළ සිව්වැනි (4) කුළුණ වන්නේ නිදහස් මාධ්‍ය බවත් ව්‍යවස්ථාදායක, විධායකය සහ අධිකරණය සංවරණ සහ තුළණ මඟින් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ශක්තිමත් කරද්දි සිව්වැනි (4) සංවරණ සහ තුලනය ලෙස නිදහස් මාධ්‍ය ලෝකයම පිළිගන්නා බවත් විපක්ෂ නායකවරයා මෙහි දී ප්‍රකාශ කර සිටියා.

නමුත් වත්මන් රජය මෙවැනි විකාශන අධිකාරී පනත් හරහා නිදහස් මාධ්‍ය විනාශ කිරීමට සූදානම් බවත් මෙවැනිම ආකාරයේ පනතක් 1997 එවක රජය ඉදිරිපත් කළ මොහොතේ 1997 මැයි මස 05 වැනි දා ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒ.ආර්.බී. අමරසිංහ විනිසුරුවරයා කියා සිටියේ එම පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් ය.

වර්තමානයේ ඉදිරිපත් වී ඇති මේ පනතත් එදා මෙන්ම සම්පූර්ණයෙන්ම රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි, දරදඩු, ප්‍රජාතන්ත්‍රවාදී විරෝධි, ප්‍රජාතන්ත්‍රවාදය කෙළසන, බරපතල, ජනතා නිදහස අවලංගු කරන පනතක් බවත් මේ අවස්ථාවේ සියලුම මාධ්‍ය එකට එකතු වී මේ පනත පරාජය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ආඥාදායී, දරදඩු, මුග්ධ මේ විකාශන අධිකාරී පනත සහමුළින්ම පරාජය කළ යුතු බවත් නිදහස් මාධ්‍ය දිනවිය යුතු බවත් රැකගෙන ආරක්ෂා කළ යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මෙරට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට එල්ලවන මරු පහරවල් පරාජය කළ යුතු බවයි.

විධායකය විසින් විවිධ භෝජන සංග්‍රහ පවත්වා විනිසුරුවන් දැඩි ලෙස අපහසුතාවට පත් කර ඇති බවත් අති වැදගත් අධිකරණ ක්‍රියාදායමක් ක්‍රියාත්මක මේ මොහොතේ එවැනි භෝජන සංග්‍රහ පැවැත්වීම අමනෝඥ ක්‍රියාවක් බවත් එබැවින් ස්වාධීන අධිකරණයට සහ අපක්ෂපාතී විනිසුරුවන්ට මෙවැනි බලපෑම් සිදු නොකරන ලෙසත් රටේ ජනතාව තුළ ඇති විශ්වාසය පළුදු වෙන ක්‍රියාදාමයන් සිදු නොකරන ලෙසත් විපක්ෂ නායකවරයා තවදුරටත් ඉල්ලා සිටි බවයි වාර්තා වන්නේ.

එසේ ම අප රට තුළ ප්‍රජාතන්ත්‍ර විරෝධී දේවලට මෙන්ම ඒකාධිපතීත්වයට ආඥාදායකත්වයට කිසිදු තැනක් නොමැති බවත් ප්‍රජාතන්ත්‍රවාදය සුරකින්න කළ හැකි සියලු ම දේ කරන්න සූදානම් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

+


රුපියල තවත් අතිප්‍රමාණ වෙයි

(05.06.2023 – 14:59 +0530 – hirunews.lk/sinhala)

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (05) තවත් අතිප්‍රමාණ වී තිබෙනවා.

ඒ අනුව, අද (05) ඩොලරයක විකුණුම් මිල දැක්වුණේ රුපියල් 298.85 ක් ලෙසයි.

ගැණුම් මිල රුපියල් 285.61 ක් බවයි මහ බැංකුව නිවේදනය කළේ.

පසුගිය සිකුරාදා ඩොලරයක විකුණුම් මිල රුපියල් 300.32 ක් ලෙස සටහන් වූ අතර, ඩොලරයක ගැණුම් මිල රුපියල් 287.42 ලෙසත්, දැක්වුණා ෴


අවුරුදු 10 ක සිසුවකු හෙරොයින් සමඟ අල්ලයි

(05.06.2023 – 15:06 +0530 – hirunews.lk/sinhala)

යාපනයේ වඩමරච්චි තුන්නාලේ ප්‍රදේශයේ වයස අවුරුදු 10 ක සිසුවකු හෙරොයින් පානය කරමින් සිටියදී ඊයේ (04) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පේදුරුතුඩුව පොලිසිය විසින් මෙම සිසුවා අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිසියට ලැබුණ තොරතුරක් හේතුවෙන්.

අදාළ සිසුවා අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහු හෙරොයින් පානය කොට සිට ඇති අතර තවත් හෙරොයින් පැකැට්ටුවක් ද ඔහු සන්තකයේ තිබී පොලිසියට හමු වී තිබෙනවා ෴


මාරාන්තික HMPV වෛරසය ගැන සෞඛ්‍ය අංශ අවධානයෙන්

(05.06.2023 – 15:26 +0530 – hirunews.lk/sinhala)

මාරාන්තික ශ්වසන ආසාදන සහිත HMPV වෛරසය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

HMPV වෛරසයේ බලපෑමක් මෙතෙක් ශ්‍රී ලංකාවට නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ කොවිඩ් 19 රෝගය පිළිබඳ ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි ප්‍රකාශ කරනවා.

HMPV වෛරසය අමෙරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල් කිහිපයක ඉහළ ව්‍යාප්තියක පවතින බව ඔහු එහිදී සඳහන් කළා.

කොවිඩ් ආසාදනයේ සහ උණ රෝගයේ රෝග ලක්ෂණ සහිත මෙම වෛරසය මාරාන්තික ශ්වසන ආසාදන ඇති කරවන බවත්, මෙතෙක් මෙම වෛරසය මෙරටට ව්‍යාප්ත වී නොමැති බවත් මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය සහ අදාළ බළධාරීන් අවධානයෙන් කටයුතු කරන බවත් වෛද්‍ය අන්වර් හම්දානි වැඩිදුරටත් සඳහන් කළා ෴


ගෑස් සිලින්ඩර සහිත ලොරි රථයක් සොරාගත් පුද්ගලයකු අත්අඩංගුවට

(05.06.2023 – 16:01 +0530 – hirunews.lk/sinhala)

ගෑස් සිලින්ඩර 648 ක් සහිත ලොරි රථයක් සොරාගත් පුද්ගලයකු වවුනියාව, ගනේෂපුරම් ප්‍රදේශයේදී ඊයේ (04) සවස සැකපිට අත්අඩංගුවටගත් බව වවුනියාව නෙළුක්කුලම පොලිසිය පවසනවා.

ව්‍යාපාරික කාන්තාවකගේ නිවසේ දොරටුව බිඳ ඇතුලු වී ඇති සැකකරු රුපියල් දෙකෝටියකට (2,00,00,000) අධික වටිනාකමින් යුත් ලිට්‍රෝ ගෑස් සිලින්ඩර සහ ලොරි රථයක් සොරකම් කොට ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අදාළ ව්‍යාපාරික කාන්තාව විසින් නෙළුක්කුලම පොලිස් ස්ථානය වෙත කළ පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ශනයක දී ව්‍යාපාරික කාන්තාවගේ වැඩිමහල් පුත්‍රයා වූ සැකකරු හා ගෑස් සිලින්ඩර සහිත ලොරි රථය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලොරි රථයේ සේවය කළ රියදුරු ගෑස් සිලින්ඩර බෙදාහැරීම් සිදු කොට ව්‍යාපාරික කාන්තාවගේ නිවසේ ලොරි රථය නවතා ඇති අවස්ථාවක නිවසේ කිසිවෙකු නොමැති බවට සැලවීමත් සමඟ පැමිණ ඇති සැකකරු නිවසේ දොරගුළු බිඳ ගෑස් සිලින්ඩර තොගයක් ලොරි රථයට පටවා රැගෙන ගොස් ඇති බවයි මිලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

පොලිසිය සඳහන් කළේ පියා මියගිය පසු දේපල බෙදීයාම සම්බන්ධයෙන් ඇති වූ පුද්ගලික ආරවුලක් මත සිය මවගේ ව්‍යාපාර කඩාකප්පල් කිරීමේ අරමුණින් සැකකරු මෙම කොල්ලකෑම සිදු කර ඇති බවට හෙළි වී තිබෙන බවයි.

අත්අඩංගුවටගත් සැකකරු වවුනියාව, ගනේෂපුරම් ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයක්.

සැකකරු වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


WhatsApp සඳහා Screen Share පහසුකම හඳුන්වාදීමට සූදානමක

(05.06.2023 – 16:08 +0530 – hirunews.lk/sinhala)

ලොව ජනප්‍රියතම Messaging App එකක් වන WhatsApp සඳහා Meta සමාගම විසින් මේ වන විට විවිධ නව විශේෂාංග නිරන්තරයෙන්ම හඳුන්වා දෙමින් සිටිනවා.

ඒ අනුව, මීට පෙර යැවු පණිවුඩ Edit කිරිමේ පහසුකමත්, Chat Lock කිරිමේ පහසුකමත් සහ එකම WhatsApp ගිණුම එකවර දුරකථන කිහිපය භාවිත කිරීමේ හැකියාව ආදි පහසුකම් රැසක් හඳුන්වා දීම සිදු කරනු ලැබුවා.

Meta සමාඟම විසින් මීළඟට WhatsApp Calls සඳහා ScreenShare පහසුකම ලබා දීමට සූදානම් වන බවයි වාර්තා වෙන්නේ.

මේ පහසුකම Voice, Video දෙක සඳහාම සහාය දක්වයි.

කෙසේ වෙතත් මේ පහසුකම මඟින් Screen Share කිරීමක් නැරඹීම සඳහා ඇමතුමේ සිටින සියලුම පරිශීලකයින් WhatsApp හි නවතම සංස්කරණය භාවිතා කළ යුතුයි.

මේ පහසුකම දැනටමත් බොහෝ Beta පරිශීලකයන් සඳහා නිකුත් කර ඇති අතර නුදුරේදීම මේ පහසුකම එළිදක්වනු ඇති බවට බලාපොරොත්තු විය හැකි බවයි වාර්තා වෙන්නේ ෴


මුදල් වංචාකළ නීතිඥවරයෙකු ඇප මත මුදාහැරේ

(05.06.2023 – 17:13 +0530 – hirunews.lk/sinhala)

ව්‍යාජ ඔප්පු සකස් කර රුපියල් ලක්ෂ 75 ක මුදලක් වංචා කිරීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් නීතිඥවරයෙකු දැඩි ඇප කොන්දේසි මත මුදාහැර තිබෙනවා.

ඒ කොළඹ – කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවේ ඊට අදාළ නඩුව අද (05) කැදවූ අවස්ථාවේදීයි.

එහිදී රුපියල් 50,000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 ක ශරීර ඇප දෙකක් (2) මතයි නීතිඥවරයා මුදාහැර ඇත්තේ.

එමෙන්ම නීතිඥවරයාගේ විදෙස්ගමන්ද තහනම් කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

2011 වසරේ සිදුවූ ඉඩම් ගනුදෙනුවකට අදාළව මෙම මූල්‍ය වංචාව සිදුව ඇති අතර අදාළ නීතිඥවරයා නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ෴


කලුතරට මිලිමීටර 150 ඉක්ම වූ තද වැසි

(05.06.2023 – 17:15 +0530 – hirunews.lk/sinhala)

කලුතර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට අද (05) රාත්‍රි කාලයේදී මිලිමීටර 150 ඉක්මවූ තදවැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මීට අමතරව සබරගමුව පළාතට සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලට ද මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ෴


ඖෂධ මිල පහළට

(05.06.2023 – 17:20 +0530 – hirunews.lk/sinhala)

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි ඖෂධ වල මිල ජුනි 15 වැනිදා සිට පහළ දමන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කරනවා. ඔහු සඳහන් කළේ ජුනි 15 සිට ඖෂධ මිල 16% කින් අඩු කරන බවයි ෴


සමාජ මාධ්‍ය ඔස්සේ නිළියක් හා මිතුරු වී මුදල් වංචාකළ ‘ෆේස්බුක් ඇඩ්මින්’ ඇප මත නිදහස්

(05.06.2023 – 18:05 +0530 – hirunews.lk/sinhala)

ෆේස්බුක් ගිණුමක් හරහා රංගන ශිල්පිණියක් සමඟ හිතවත්ව ඇය විවාහ කර ගන්නා බවට පොරොන්දු ලබාදී එම රංගන ශිල්පිණියගෙන් වරින් වර රුපියල් ලක්ෂ 65 ක පමණ මුදලක් ලබාගෙන වංචා කිරීමේ චෝදනා මත රිමාන්ඩ් භාරයේ පසු වූ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු දැඩි ඇප කොන්දේසි මත මුදාහැරීමට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරිය අද (05) නියෝග කළා.

ඒ රුපියල් ලක්ෂයක (1) මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 30 බැගින් වූ ශරීර ඇප 2 ක් මතයි.

එහිදී අධිකරණය සැකකරුට වැඩිදුරටත් නියෝග කර සිටියේ සෑම මසකම අවසන් ඉරිදා දිනයේ පෙරවරු 9 ත් 12 ත් අතර දී ගම්පහ කොට්ඨාස වංචා විමර්ශන අංශය හමුවේ පෙනී සිටින ලෙසයි.

සැකකරුගේ විදේශ ගමන්ද තහනම් කෙරුණ අතර, එම විදේශ ගමන් තහනම ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත කඩිනමින් ලබාදෙන ලෙසට ද අධිකරණ රෙජිස්ටාර්වරිය වෙත මහේස්ත්‍රාත්වරිය විසින් නියෝග කරනු ලැබුවා.

මෙලෙස ඇප නියම වූයේ රත්නපුරය – කහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන බොරාල ලියනගේ ලසන්ත ලියනගේ නැමැති සැකකරුටයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *