ජෙරම්ගේ FR පෙත්සම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවයි

ජෙරම්ගේ FR පෙත්සම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවයි


ජෙරම්ගේ FR පෙත්සම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවයි

(05.06.2023 – 12:29 +0530 – hirunews.lk/sinhala)

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (05) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබුවා.

එස්. තුරෙයිරාජා, කුමුදුනි වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ එය කැඳ වූ බවයි වාර්තා වන්නේ.

එහිදී අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කළ ඇල්ලේ ගුණවංශ හිමි ඇතුළු පිරිසක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා කරුණු දැක්වීමට අවස්ථාව ඉල්ලා සිටි අතර එම ඉල්ලීමට පෙත්සම්කාර ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න විරෝධය පළ කර තිබෙනවා ෴

තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරොම් ප්‍රනාන්දු ගොනු කළ පෙත්සම් විභාගය ජුලි 28 වැනිදාට කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම අද (05) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම තීරණය ලබා දී තිබෙනවා ෴


විවිධ පුද්ගලයන්ගෙන් මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට

(05.06.2023 – 14:06 +0530 – hirunews.lk/sinhala)

ගම්පහ නගරයේ අපරාධ නිවාරණ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් විසින් ඊයේ (04) සැකකටයුතු පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම පුද්ගලයා සතුව තිබී ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකතන 04 ක්, කුඩා ජංගම දුරකතන 03 ක් සහ දුරකතන සිම්පත් 75 ක් පොලිසිය විසින් සොයා ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම සැකකරු සම්බන්ධයෙන් සිදු කළ වැඩිදුර විමර්ශනයේදී හෙළි වි ඇත්තේ ඔහුට එරෙහිව ගම්පහ, කැස්බෑව, රාගම, වේයන්ගොඩ, හෙට්ටිපොළ, පානදුර දකුණ, මතුරට, තිහගොඩ, කෑගල්ල, අනුරාධාපුරය, ග්‍රෑන්ඩ්පාස් සහ ගොඩකවෙල පොලිස් ස්ථානවලට පැමිණිලි ලැබී ඇති බවත් මොහු අන්තර්ජාලය හරහා විවිධ පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලින් මුදල් මොහුගේ ගිණුමට බැර කර ගැනීම් සිදු කර මුදල් වංචා ක‍ර ඇති බව අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 31 ක් වන කඳාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු අද (05) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


විභාග දෙපාර්තමේන්තුවේ ලිපි ශීර්ෂයෙන් දිස්ත්‍රික්ක පහකට (5) බෙදූ ප්‍රශ්න පත්‍රයක් ගැන පරීක්ෂණ අරඹයි

(05.06.2023 – 14:15 +0530 – hirunews.lk/sinhala)

සාමාන්‍ය පෙළ විභාගයේ පසුගිය බදාදා දිනයේ පැවැති ඉතිහාසය විෂයට අදාළ අනුමාන ප්‍රශ්න පත්‍රයක් විභාග දෙපාර්තමේන්තුවේ ලිපි ශීර්ෂය සහිතව දිස්ත්‍රික්ක 05 කට බෙදාහැරීමේ සිද්ධියක් ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා.

ගාල්ල දිස්ත්‍රික්කයේ උපකාරක පන්ති ගුරුවරුන් පිරිසක් විසින් ඉතිහාසය විෂයට අදාළව අනුමාන ප්‍රශ්න පත්‍රයක් ලෙස ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආරම්භ කර මාතර, අම්පාර, මොණරාගල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලට මෙලෙස බෙදා හැර ඇති බවටයි ලංකා ගුරු සංගමය චෝදනා කළේ.

කෙසේ වෙතත් එය සාමාන්‍ය පෙළ විභාගයට ලබාදුන් ඉතිහාසය ප්‍රශ්න පත්‍රයට කිසිදු සමාන බවක් තිබී නැහැ.

එසේ වුවත් කිසිදු අනුමාන ප්‍රශ්න පත්‍රයක් සදහා විභාග දෙපාර්තමේන්තුවේ ලිපි ශීර්ෂය භාවිත කිරීමට කිසිවෙකුටත් අයිතියක් නොමැති බැවින් පරීක්ෂණයක් සිදුකරන බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ‘හිරු ප්‍රවෘත්ති අංශය’ කළ විමසීමකදී සදහන් කළේ.

මෙම අනුමාන ප්‍රශ්න පත්‍රය ලබාදීම සදහා එක් අයෙකුගෙන් රුපියල් දහසක මුදලක්ද අයකරගෙන ඇති බවටයි ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු හිරු ප්‍රවෘත්ති අංශයට වැඩිදුරටත් කියා සිටියේ ෴


අපේක්ෂා රෝහලේ ස්වයංක්‍රීය එන්නත්කරණ යන්ත්‍රය ගන්න පරමාණුක බලශක්ති නියාමන සභාවෙන් නිර්දේශ ලබාගෙන නැහැ

(05.06.2023 – 14:20 +0530 – hirunews.lk/sinhala)

මහරගම අපේක්ෂා රෝහලට මහජන ආධාර ලෙස එක්රැස් වූ රුපියල් කෝටි හතරක (4) මුදලින් ස්වයංක්‍රීය එන්නත්කරණ යන්ත්‍රය මිලදී ගැනීමට පෙර ඒ පිළිබඳ පරමාණුක බලශක්ති නියාමන සභාවෙන් නිර්දේශ ලබාගෙන නොමැති බවට වාර්තා වෙනවා.

විකිරණශීලි එස්.ඩී.ජී. ඖෂධය එන්නත් කිරීම සඳහා මිල දී ගත් අදාළ ස්වයංක්‍රිය එන්නත්කරණ යන්ත්‍රය මේ වනවිට භාවිතයෙන් ඉවත් කර ඇති බවට අප අනාවරණ කළේ අද (05) උදෑසන හිරු ප්‍රවෘත්ති ඔස්සේයි.

පිලිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ දී ලබාදෙන විකිරණශීලි එස්.ඩී.ජී. ඖෂධය එන්නත් කිරීම සඳහා අදාළ ස්වයංක්‍රීය එන්නත්කරණ යන්ත්‍රය මිල දී ගනු ලැබුවේ එම ප්‍රතිකාර සේවා සිදු කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල ආරක්ෂාව සඳහායි.

කෙසේ වෙතත් මේ වනවිට අදාල ස්වයංක්‍රීය එන්නත්කරණ යන්ත්‍රය භාවිතයට ගත නොහැකි වී ඇත්තේ ඊට භාවිත කරන ‘සම්බන්ධක කැතීටර’ අවසන් වීම හේතුවෙන් බවයි හිරු ප්‍රවෘත්ති කළ සෙයා බැලීමක දී අනාවරණ වුණේ.

එම කැතීටර මිල දී ගැනීමට මුදල් නොමැති වීම මෙම තත්වයට හේතුවී තිබෙනවා.

අප මේ සම්බන්ධයෙන් මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර ගෙන් විමසීමක් කළා.

ඔහු කියා සිටියේ අදාළ ස්වයංක්‍රිය එන්නත්කරණ යන්ත්‍රය භාවිතයෙන් ඉවත් කළ ද රෝගීන්ට එම එන්නත සාමාන්‍ය ක්‍රමවේදය යටතේ ලබාදීම සිදු කෙරෙන බවයි.

කෙසේ වෙතත් ඉන් සෞඛ්‍ය කාර්ය මණ්ඩල විකිරණවලට නිරාවරණය වීමක් සිදුවේ ද යන්න සම්බන්ධයෙන් අප රෝහල් අධ්‍යක්ෂවරයාගෙන් ප්‍රශ්න කළා.

එහිදී ඔහු කියා සිටියේ පරමාණුක බලශක්ති නියාමන සභාව මගින් ඒ සම්බන්ධයෙන් ලිඛිත නිර්දේශයක් ලබාදී ඇති බවයි.

රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම අද (05) පැවති මාධ්‍ය හමුවකදී ද ඒ පිළිබඳව අදහස් පළ කරමින් කියා සිටියේ අදාළ මිල දී ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ වූ තාක්ෂණික ඇගයීම් කමිටුව පිළිබඳ වහාම විමර්ශනයක් සිදු කළ යුතු බවයි.

+++++++++

+


කිතුල් හකුරු කර්මාන්තකරුවන් ගැටලුවක

(05.06.2023 – 14:24 +0530 – hirunews.lk/sinhala)

කිතුල් හකුරු කර්මාන්තය සදහා පවතින ගැටලු කිහිපයක් හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවකට පත්ව ඇති බව සම්ප්‍රදායික කිතුල් හකුරු නිෂ්පාදකයන් පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ සුළු පිරිසක් විසින් වැඩි ලාභයක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් කිතුල් හකුරු ලෙස සීනි වැඩි වශයෙන් යෙදු නිෂ්පාදන වෙළඳ පොලට නිකුත් කිරීම ඉන් ප්‍රධාන ගැටලුව වි ඇති බවයි.

එමගින් කිතුල් හකුරු කර්මාන්තයේ ප්‍රමිතියට දැඩි බලපෑමක් එල්ල වි ඇති බව සම්ප්‍රදායික කිතුල් හකුරු කර්මාන්ත නිෂ්පාදකයින් පෙන්වා දෙනවා.

එමෙන්ම කිතුල් වගාවට රිළවුන් විසින් සිදුකරන හානියද දැඩි ලෙස කර්මාන්තයට බලපා ඇති බවයි සම්ප්‍රදායික කිතුල් හකුරු කර්මාන්ත නිෂ්පාදකයින් සඳහන් කළේ.

මේ අතර, පොහොර මිල දි ගැනීමේ වවුචර් පතක් මෙතෙක් තමන්ට නොලැබුනු බව රත්නපුර දිස්ත්‍රිකයේ ගොවින් චෝදනා කරනවා.

එම ගොවීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ පොහොර මිල දී ගැනීමේ පහසුකම් කඩිනමින් සළසා දෙන ලෙසයි.

++++++++++

+


සූර්ය කෝෂ වලින් පණ ගැන්වෙන ධීවර බෝට්ටු මුල්ම වරට යාපනය මුහුදේ ගමන් අරඹයි

(05.06.2023 – 14:29 +0530 – hirunews.lk/sinhala)

ප්‍රථම වතාවට සූර්ය කෝෂ වල බලයෙන් ධාවනය කළ හැකි මෝටර් බෝට්ටු යාපනයේ වැල්වෙට්ටිතුරේ ප්‍රදේශයේ ධීවරයින් වෙත ඊයේ (04) දා ලබා දී තිබෙනවා.

ධීවර අමාත්‍යංශයේ උපදෙස් මත අත්හදා බැලීමේ ව්‍යාපෘතියක් වශයෙන් මෙම සූර්ය කෝෂ මෝටර් බෝට්ටු වල පර්යේෂණ ධාවන කටයුතු වැල්වෙට්ටිතුරේ මුහුදේදී ක්‍රියාත්මක කෙරුණා.

මෙම බෝට්ටු කිසිදු ඉන්ධන භාවිතයකින් තොරව අශ්ව බල 13 කින් යුත් එන්ජිම සම්පූර්ණයෙන්ම සූර්ය කෝෂ වල බලයෙන් ක්‍රියාත්මක වෙනවා ෴


දරුවන්ට ශ්වසන රෝග වැළදීමේ අවදානමක්

(05.06.2023 – 14:34 +0530 – hirunews.lk/sinhala)

පවතින වැසි තත්ත්වය හමුවේ දරුවන් හට ශ්වසන රෝග වැළදීම ඉහළ යා හැකි බව සෞඛ්‍ය අංශ පවසනවා.

මේ හේතුවෙන් ඒ පිළිබද වඩාත් අවධානයෙන් කටයුතු කිරීම වැදගත් බවයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා ප්‍රකාශ කළේ.

එමෙන්ම මේ මාසයේ ගතවූ දින පහතුළ ඩෙංගු රෝගීන් 1221 දෙනෙකු හදුනාගෙන තිබෙනවා.

සාමාන්‍යයෙන් දෛනිකව ඩෙංගු රෝගීන් 400 ක පමණ සංඛ්‍යාවක් වාර්තා වෙමින් තිබෙනවා.

බස්නාහිර, සබරගමුව, ඌව සහ මධ්‍යම පළාත්වලටත්, ගාල්ල, මාතර, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලටත් තවදුරටත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ඉක්මවූ තද වැසි පතිත විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

එමෙන්ම වැසි ඇතිවනවිට තාවකාලිකව තද සුළං ද ඇතිවිය හැකියි.

මේ අතර පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා ෴


ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් ගැන කිලිනොච්චි අධිකරණයට කරුණු වාර්තා කරයි

(05.06.2023 – 14:38 +0530 – hirunews.lk/sinhala)

සමස්ත ලංකා දෙමළ කොංගස්‍රයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් සහ පොලිස් නිලධාරියෙකු අතර යාපනයේදී ඇතිවු බහින්බස් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චි අධිකරණයට අද (05) කරුණු වාර්තා කෙරුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා යාපනය – වඩමාරච්චි නැගෙනහිර ප්‍රදේශයේ ජන හමුවකට පසුගිය 02 වැනිදා සහභාගි වු අවස්ථාවේ මතභේදාත්මක තත්ත්වයක් උද්ගත වුණා.

ඒ එම ජනහමුව පැවති ස්ථානයේ සිටි බුද්ධි අංශ නිලධාරින් දෙදෙනෙකු (2) හා මන්ත්‍රිවරයා අතරයි.

මෙහිදි එම ස්ථානයට යාබදව සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථානයක් පැවති අතර එහි ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරියෙකු සමගයි මන්ත්‍රිවරයා බහින්බස්වීමක් ඇති කරගෙන තිබුණේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් කිලිනොච්චි අධිකරණයට අද (05) පෙවරුවේ කරුනු වාර්තා කෙරුණා.

මේ අතර, අදාළ සිදුවීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් වාර්තාවක් ද කැඳවා තිබෙනවා ෴


මීගමුව ඒත්තුකාලේ දිය නෑමට ගිය අයෙක් (1) අතුරුදන්

(05.06.2023 – 14:40 +0530 – hirunews.lk/sinhala)

මීගමුව ඒත්තුකාල මුහුදු වෙරළේ දිය නෑමට ගිය පුද්ගලයකු (1) දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා.

මියගිය අය ඊයේ (04) සවස් කාලයේ පිරිසක් සමඟ ඒත්තුකාල මුහුදු වෙරළේ දිය නාමින් සිට තිබෙන අතර මොහු එකවර දියේ ගිලී අතුරුදන් වී ඇතැයි පොලිසිය පවසනවා.

මෙලෙස අතුරුදන්ව ඇති අය වයස අවුරුදු 26 ක් වූ මැටියගනේ, වැවුඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මීගමුව පොලිසිය සහ නාවික හමුදාව එක්ව අතුරුදන් වූ අය සෙවීමේ කටයුතු මේ වන් විට ආරම්භ කර තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *