ගෑස් මිල ගැන සාකච්ඡා කිරීමට ලාෆ්ස් විධායක මණ්ඩලය අද (05) රැස්වේ

ගෑස් මිල ගැන සාකච්ඡා කිරීමට ලාෆ්ස් විධායක මණ්ඩලය අද (05) රැස්වේ


ගෑස් මිල ගැන සාකච්ඡා කිරීමට ලාෆ්ස් විධායක මණ්ඩලය අද (05) රැස්වේ

(05.06.2023 – 07:24 +0530 – hirunews.lk/sinhala)

ලිට්රෝ ගෑස් මිල අඩු කිරීමත් සමඟ ලාෆ්ස් ගෑස් මිලෙහි සංශෝධනයක් සිදුවේ ද යන්න සම්බන්ධයෙන් විධායක මණ්ඩලය අද (05) පස්වරුවේ රැස්වී සාකච්ඡා කරන බව එම සමාගම ප්‍රකාශ කළා.

කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල අද (05) සිට රුපියල් 452 කින් අඩු වන අතර ඒ අනුව එහි නව මිල සටහන් වන්නේ රුපියල් 3,186 ක් ලෙසයි.

එමෙන්ම කිලෝග්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක් රුපියල් 181 කින් අඩු වන අතර එහි නව මිල රුපියල් 1,281 ක්.

කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල ද රුපියල් 83 කින් අඩු කර රුපියල් 598 කට අලෙවි වෙනවා.

මේ අතර ගෑස් මිල අඩු කළ ද බේකරි නිෂ්පාදනවල මිල ගණන්වල කිසිදු වෙනසක් සිදු නොවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන ප්‍රකාශ කළා ෴


විභාග රාජකාරී නිසා සම්මුඛ පරීක්ෂණවලට සහභාගී වීමට නොහැකිවූ විදුහල්පතිවරුන්ට දැනුම්දීමක්

(05.06.2023 – 07:47 +0530 – hirunews.lk/sinhala)

සාමාන්‍ය පෙළ විභාග රාජකාරීවලට සහභාගී වීම හේතුවෙන් විදුහල්පති සේවයේ තුන්වන (3) පන්තියට බදවාගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා 500 කට අධික සංඛ්‍යාවකට සහභාගීවීමට නොහැකි වී තිබෙනවා.

විදුහල්පති තනතුරට 4,700 දෙනෙකු බඳවාගැනීමට අදාළවයි එම සම්මුඛ පරීක්ෂණ පවත්වනු ලැබුවේ.

ඒ අනුව සුදුස්සන් 6,000 කට අධික පිරිසක් සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවා තිබුණා.

කෙසේ වෙතත් විභාග රාජකාරී හේතුවෙන් සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගී වීමට නොහැකිවූවන්ට මේ මස 10 වැනිදා පෙරවරු 10 ට අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පැමිණෙන ලෙසයි අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් දැනුම් දෙන්නේ ෴


උඩදුම්බර රක්ෂිතයක ගින්නක්

(05.06.2023 – 07:54 +0530 – hirunews.lk/sinhala)

උඩදුම්බර, කහටගොල්ල රක්ෂිතයේ නවනගල ප්‍රදේශයේ කන්දක ඊයේ (04) හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.

උඩදුම්බර පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත ඒ සම්බන්ධව ආපදා කළමනාකරණ නිලධාරීන්, වන ජීවී නිලධාරීන් සහ අඩවි වන නිලධාරීන් මෙම ගින්න සම්බන්ධව දැනුවත් කිරීමට කටයුතු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

මේ වන විට ගින්න පාලනය වී ඇති අතර අක්කර 03 ක පමණ භූමි ප්‍රමාණයක් ගින්න හේතුවෙන් විනාශ වී ගොස් තිබෙනවා.

ගිනි ගත් ප්‍රදේශයේ නිවාස නොමැති අතර උඩදුම්බර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා ෴


ගලෙන්බිදුණුවැවට හදිසියේ ගොඩබැස්සවූ හෙළිකොප්ටරය නිසා නොසන්සුන්තාවයක්

(05.06.2023 – 08:06 +0530 – hirunews.lk/sinhala)

ගලෙන්බිදුණුවැව – කොකාවැව ප්‍රදේශයේ පාසලක ක්‍රීඩා පිටියකට හදිසියේ හෙළිකොප්ටර් යානයක් ගොඩබැස්වීම හේතුවෙන් ප්‍රදේශවාසීන් අතර නොසන්සුන්තාවයක් ඇතිව තිබුණා.

මෙම හෙළිකොප්ටර් යානය පෞද්ගලික ආයතනයකට අයත් වන අතර ඊයේ (04) උදෑසන හදිසියේ කොකාවැව ප්‍රදේශයට ගොඩ බස්සවා තිබෙනවා.

කෙකාවැව ප්‍රදේශයේ පවත්වා ගෙන යන දේවාලයක කපු මහතෙකු හමුවීම සඳහා පැමිණි පිරිසක් යළි රැගෙන යාමටයි මෙම හෙළිකොප්ටරය පැමිණ ඇත්තේ.

එම පිරිස ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි ඇති බවටයි වාර්තා වන්නේ.

හෙළිකොප්ටරය ගොඩ බැස්සවීමත් සමග ප්‍රදේශවාසීන් ක්‍රීඩාපිටියට පැමිණ ඒ පිළිබඳව සොයා බැලීමක් සිදු කර තිබෙනවා ෴


රිය අනතුරු දෙකක් (2) : එක් (1) පුද්ගලයෙක් ජීවිතක්ෂයට

(05.06.2023 – 08:50 +0530 – hirunews.lk/sinhala)

පොලොන්නරුව – මඩකලපුව මාර්ගයේ මියන්කුලම ප්‍රදේශයේදී ඊයේ (04) වෑන් රථයක අනතුරක් සිදු වී තිබෙනවා.

පොලොන්නරුව දෙස සිට සේරුවිල දෙසට ධාවනය වූ වෑන් රථයක පිටුපස ටයරය පුපුරා යාමෙන් වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවකට පෙරළීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බවයි පොලිසිය පවසන්නේ.

මෙම අනතුරෙන් වෑන් රථයේ ගමන් කළ පුද්ගලයන් 3 දෙනෙකු, කාන්තාවන් 6 දෙනෙකු සහ කුඩා දරුවන් දෙදෙනෙකු (2) තුවාල ලබා වාලච්චේන රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා මඩකලපුව රෝහලට මාරු කර යවා තිබෙනවා.

මෙම පිරිස වැලිකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර වන්දනා ගමනක් යමින් සිටියදී මෙම අනතුරට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

වාලච්චේන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

එමෙන්ම, ඊයේ (04) බණ්ඩාරවෙල දුල්ගොල්ල අතුරු මාර්ගයක ධාවනය වූ ත්‍රිරෝද රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකි වීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුර සිදුව ඇත්තේ ත්‍රිරෝද රථයේ රියැදුරුට ත්‍රිරෝද රථය පාලනය කර ගත නොහැකිව රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොසින්.

අනතුරින් බරපතළ තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියදුරු හා මගීන් දෙදෙනෙකු (2) බණ්ඩාරවෙල රෝහලට ඇතුළත් කිරීමේදී එක් මහියකු මිය ගොස් ඇහි බව පොලිසිය පවසනවා.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ 70 හැවිරිදි බණ්ඩාරවෙල දුල්ගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

රියැදුරු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල රෝහලටත් අනෙක් තුවාලකරු දියතලාව රෝහලටත් මාරු යවා තිබෙනවා.

බණ්ඩාරවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා ෴


දඩ මුදල් නොගෙවූ ප්‍රංශ ජාතිකයා රිමාන්ඩ්

(05.06.2023 – 08:57 +0530 – hirunews.lk/sinhala)

නීතිවිරෝධී ලෙස රුපියල් මිලියන 80 ක වටිනාකමකින් යුත් රත්‍රං මෙරටට ගෙන ඒමට තැත්කළ ප්‍රංශ ජාතිකයෙකුට රේගුව විසින් නියම කළ දඩ මුදල ගෙවා ගැනීමට නොහැකිව මේ මස 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් ඉන්දික ද සිල්වා හමුවට ඊයේ (04) ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

මෙලෙස රුපියල් මිලියන 70 ක දඩ මුදලක් නොගෙවීම නිසා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ 35 හැවිරිදි ප්‍රංශ ජාතිකයෙක්.

පසුගිය 03 වැනිදා අලුයම මොහු කටුනායක ගුවන් තොටුපලට පැමිණ ඇති අතර, සැකකරුගේ ගමන් මළු තුළ තිබී කිලෝග්‍රෑම් 4 ක් බරැති රන් පොලු තොගයක් රේගු නිලධාරීන් සොයාගෙන තිබුණා.

කළු පැහැති තීන්ත වර්ගයක් ආලේප කර ඇළුමිනියම් ෆොයිල්වල ඔතා ගමන් මලු සඟවාගෙනයි මෙම රන් පොලු මෙරටට රැගෙන විත් ඇත්තේ.

සිදුකළ විමර්ශනවලින් අනතුරුව රන් තොගය රාජසන්තක කළ රේගුව මෙම ප්‍රංශ ජාතිකයාට රුපියල් මිලියන 70 ක දඩ මුදලක් නියම කරනු ලැබුවා.

දඩ මුදල නොගෙවීම නිසා සැකකරු අධිකරණය හමුවට පැමිණවීමෙන් අනතුරුවයි මෙලෙස රක්ෂිත බන්ධනාාගර ගත කරනු ලැබුවේ ෴


වැඩ භාර ගැනීමට යමින් සිටි සභාපතිට වෙඩි ප්‍රහාරයක්

(05.06.2023 – 09:40 +0530 – hirunews.lk/sinhala)

බත්තරමුල්ල සමුපකාර රක්ෂණ සංස්ථාවේ අභිනව සභාපතිවරයා ලෙස වැඩ භාරගැනීමට යමින් සිටි දර්ශන සමරවික්‍රම නැමැති අයෙකුට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

පාදුක්ක, වල්පිට ගැමුණු මාවතේ දී අද (05) උදෑසන 07:35 ට පමණ එම වෙඩිතැබීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

වෙඩි වැදීමෙන් තුවාල ලැබු 62 හැවිරිදි පුද්ගලයා මේ වනවිට හෝමාගම මුලික රෝහලට ඇතුළත් කර ඇති බවයි මීගොඩ පොලීසිය පවසන්නේ.

වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා සිය නිවසේ සිට වල්පිට ගැමුණු මාවතට සිය මෝටර් රථය ඇතුළු කිරීමට සූදානම් වූ අවස්ථාවේදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු (2) විසින් පිස්තෝලයකින් වෙඩි ප්‍රහාර හතරක් (4) එල්ල කර ඇති බව සිදුකළ මූලික විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

රෝහල් ගත කළ පුද්ගලයාගේ අතකට තුවාල සිදුව ඇති අතර, ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවයි වාර්තා වන්නේ.

වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා මෙයට පෙර සමුපකාර රක්ෂණ සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කර තිබෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ ෴

+


සාමාන්‍ය පෙළ විභාග කාලසීමාව තුළ ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් 117 අංකය අමතන්නැයි ඉල්ලීමක්

(05.06.2023 – 10:30 +0530 – hirunews.lk/sinhala)

සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන ඉදිරි දින කිහිපය තුළ ආපදා තත්වයක් ඇතිවුවහොත් 117 ක්‍ෂණික ඇමතුම් අංකයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත දැනුම්දෙන ලෙස විභාග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා.

එවැනි අවස්ථාවක දී විභාග අපේක්ෂකයන්ට සිය මධ්‍යස්ථාන වෙත ගමන් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට එම මධ්‍යස්ථානය කටයුතු කරනු ඇති.

පසුගිය සතියේ එවැනි සුළු ආපදා තත්ත්වයන් කිහිපයක් වාර්තා වී තිබූ අතර එම අවස්ථාවන්හිදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ යුද හමුදාව විසින්, සිසුන් මධ්‍යස්ථාන වෙත යොමුකිරීම සදහා අවශ්‍ය පහසුකම් සළසා තිබුණා.

එමෙන්ම මේ දක්වා සාමාන්‍ය පෙළ විභාගය කිසිදු ගැටලුවකින් තොරව සාමාන්‍ය පරිදි පැවැත්වෙන බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ ෴


තිළිණි ප්‍රියමාලිගේ නඩුව අගෝස්තුමස 11 වැනිදා යළි කැඳවයි

(05.06.2023 – 11:00 +0530 – hirunews.lk/sinhala)

වාහනයක් ලබාදෙන බව පවසා මාතර ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 80 ක මුදලක් ලබාගෙන සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා ලබා සිටින තිළිණි ප්‍රියමාලිට එරෙහි නඩුව අද (05) කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී විත්තිකාර තිලිණි ප්‍රියමාලි අධිකරණයේ පෙනී නොසිටි අතර ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය ප්‍රකාශ කරන ලද්දේ තම සේවාදායිකාව අසනීප තත්ත්වයෙන් කොළඹ පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි.

ඒ අනුව නඩුව අගෝස්තු මස 11 වනදා යළි කැඳවීමට නියම කළ විනිසුරුවරයා එදින පිළිගත් වෛද්‍ය වාර්තාවක් සමග විත්තිකාරිය අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවටත් නියෝග කර තිබෙනවා ෴


8 වැනි මහලින් වැටී චීන ජාතිකයෙකු ජීවිතක්ෂයට

(05.06.2023 – 12:38 +0530 – hirunews.lk/sinhala)

කොම්පඤ්ඤවීදිය යූනියන් පෙදෙසේ, ඉදිකරමින් පවතින නිවාස සංකීර්ණයක 8 වැනි මහලින් වැටී චීන ජාතිකයෙකු මියගොස් ඇතැයි කොම්පඤ්ඤවීදිය පොලිසිය පවසනවා.

මෙම චීන ජාතිකයා එහි සහකාර ඉංජිනේරුවෙකු වශයෙන් කටයුතු කරන (24) තරුණයෙක් බව සඳහන්.

මොහු ගොඩනැගිල්ලේ ඉදිකිරීම් නිරීක්ෂණය කරමින් සිටියදී ඊයේ (04) සවස 05:00 ට පමණ එම ගොඩනැගිල්ලෙන් බිමට වැටී ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදීත් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ ෴


උඩදියලුම ප්‍රදේශයේ දී වනඅලි ප්‍රහාරයකින් තරුණියක් මියයාමේ සිද්ධියේ අදාළ තරුණියගේ පෙම්වතා රක්ෂිත බන්ධනාගාරගත කරයි

(05.06.2023 – 13:13 +0530 – hirunews.lk/sinhala)

කොස්ලන්ද උඩදියලුම ප්‍රදේශයේ දී වනඅලි ප්‍රහාරයකින් තරුණියක් මියයාමේ සිද්ධියේ අදාළ තරුණියගේ පෙම්වතා බව කියූ තරුණයා ලබන 08 වනදා දක්වා රක්ෂිත බන්ධාගාර ගතකර තිබෙනවා.

එම තරුණයා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණ වෙත පසුගිය දා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලස රක්ෂිත බන්ධාගාර ගතකර තිබෙන බවයි සඳහන් වන්නේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් තරුණයා ලබාදුන් පරස්පර විරෝධී ප්‍රකාශ සහ නොසැළකිලිමත්කමෙන් සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් සඳහා පසුබිම සැකසීම යන චෝදනා මත පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴


සේවක අර්ථසාධක අරමුදලට අදාළ මුදල් ආයෝජනය කර ඇති ආයතන පිළිබඳ වාර්තාවක් කැඳවයි

(05.06.2023 – 13:59 +0530 – hirunews.lk/sinhala)

සේවක අර්ථසාධක අරමුදලට අදාළ මුදල් ආයෝජනය කර ඇති ආයතන පිළිබද වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස විදෙස් රැකියා සහ ශ්‍රමය පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාව මහ බැංකුවට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ මහ බැංකුවේ සහ කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් එම කමිටුව හමුවට පසුගියදා කැඳවූ අවස්ථාවේදියි.

සේවක අර්ථසාධක අරමුදලේ ක්‍රියාකාරීත්වය ක්‍රමානුකූල කිරීම සදහා ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීම වෙනුවෙන් ඊට අදාළ විශේෂඥයින් මෙම ආංශික අධික්ෂණ කාරක සභාව හමුවට කැඳවීමටයි තීරණය කර ඇත්තේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *