ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ගේ සිදුවීම : මහජන ආරක්ෂක ඇමැති වාර්තාවක් කැඳවයි

ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ගේ සිදුවීම : මහජන ආරක්ෂක ඇමැති වාර්තාවක් කැඳවයි


ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ගේ සිදුවීම : මහජන ආරක්ෂක ඇමැති වාර්තාවක් කැඳවයි

(04.06.2023 – 13:56 +0530 – hirunews.lk/sinhala)

දෙමළ ජාතික ජනතා පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් සහ පොලිස් නිලධාරීන් අතර යාපනයේදී ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍ය ටිරාන් අලස් වාර්තාවක් කැඳවා තිබෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ, එම සිදුවීම සම්බන්ධයෙන් හෙට (05) අධිකරණයට කරුණු වාර්තා කරන බවයි.

මෙහිදී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් විසින් පහරදීමට තැත්කරනු හා ප්‍රචණ්ඩ ලෙස හැසිරෙනු ලබන වීඩියෝවක් ද සමාජ ජාලවල පළ වී තිබෙනවා.

ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මෙලෙස හැසිරුණේ යාපනය වඩමච්චි නැඟෙනහිර මර්ධන්කර්නි ප්‍රදේශයේදී පසුගිය සිකුරාදා ජනතාව හමුවෙමින් සිටින අවස්ථාවකදීයි ෴

+


මත්ද්‍රව්‍ය පාලනයට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්

(04.06.2023 – 13:37 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කර මුලිනුපුටා දැමීමේ ක්‍රමවේද පිළිබඳව කරුණු සොයාබලා, නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කිරීමට තීරණය කර තිබෙනවා.

පසුගියදා රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදි මෙම තීරණය ගෙන තිබෙනවා.

ඒ අනුව, අදාළ යෝජනාව ලබන 08 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර පාර්ලිමේන්තුව ලබන 06 වනදා සිට 09 වනදා දක්වා රැස්වීමට නියමිත අතර 07 වනදා කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ඇතුළු ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්‍ෂේත්‍රය මුහුණ පාන ගැටලු‍ පිළිබඳ කල් තැබීමේ විවාදයක් පැවැත්වීමට නියමිතයි.

මෙයට අමතරව ලබන 09 වනදා පෞද්ගලික මන්ත්‍රී යෝජනා ඉදිරිපත් කිරීමට ද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී එකඟතාව පළවී තිබෙනවා.

රජයේ සියලු‍ ආයතන, රජය සතු ගොඩනැගිලිවල ස්ථාන ගතකිරීම සඳහා චමින්ද විජේසිරි මන්ත්‍රීවරයාගේ යෝජනාව ද වගා හානි සිදුකරන රිලවුන් ගහනය පාලනය කිරීම සඳහා නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මන්ත්‍රීවරයාගේ යෝජනාව ද විවාදයට ගැනීමට නියමිතයි ෴


මුදල් විශුද්ධිකරණයට එරෙහිව ජනපතිගෙන් දැඩි තීන්දුවක්

(04.06.2023 – 14:52 +0530 – hirunews.lk/sinhala)

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම පිළිබඳ ශ්‍රී ලංකාවේ මීළඟ ප්‍රවේශය නුදුරේදීම ක්‍රියාවට නංවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

රටේ ව්‍යාපාර කිරීමේ පහසුව, ව්‍යාපාර ශ්‍රේණි ගත කිරීම සහ විදේශ ආයෝජන ආකර්ශනය කරගැනීමේ හැකියාව කෙරෙහි එය ඍජුවම බලපාන බවයි ඔහු සඳහන් කර සිටින්නේ.

ඊයේ (03) නුවරඑළියේදී ජාතික නීතීඥ සමුළුව අමතමින් ජනාධිපතිවරයා පවසා සිටියේ මේ සඳහා පවතින නීති රාමුවේ හිදැස් හඳුනාගැනීම වැදගත් බවයි.

එසේ නොමැතිවුවහොත් ශ්‍රී ලංකාව නැවත වරක් උපාය මාර්ගික ඌනතා සහිත රටක් ලෙස ලැයිස්තුගතවීමේ අවදානමක් ද පවතින බවයි සඳහන් කර සිටින්නේ.

ඒ අනුව ජාතික ප්‍රතිපත්තියක් අනුව රට ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාවද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කර තිබෙනවා ෴


දෙහිඅත්තකණ්ඩියේදී තරුණයින් දෙදෙනෙකු (2) දියේ ගිලී ජීවිතක්ෂයට

(04.06.2023 – 15:26 +0530 – hirunews.lk/sinhala)

දෙහිඅත්තකණ්ඩිය – හේනානිගල දකුණ වැවේ දියනාමින් සිටි තරුණයින් දෙදෙනෙකු (2) අද (04) උදෑසන දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

හබරාදුව – වංචාවල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 17 සහ 19 වයස්වල පසුවූ තරුණයින් දෙදෙනෙකුයි (2) මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

මොවුන් තවත් පිරිසක් සමග ඊයේ (03) වන්දනාවේ පැමිණ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ ඥාතී නිවසක නතරවී තිබෙනවා.

අනතුරුව ඔවුන් අද (04) උදෑසන දිය නෑම සදහා හේනානිගල දකුණ වැවට පැමිණි අවස්ථාවේදීයි තරුණයන් දෙදෙනෙකු (2) මෙලෙස දියේ ගිලී ජීවිතක්ෂයට පත්වී ඇත්තේ.

මේ අතර සිය මිතුරන් පිරිසක් සමඟ ඔක්කම්පිටිය කුඹුක්කන් ඔයේ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු (1) දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එම සිසුවා මෙවර සාමාන්‍ය පෙළ විභාගයටද පෙනී සිටින අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ ෴


පොලිස් පරීක්ෂකගේ මුහුණ සපා කා ගංජා ජාවාරම්කරුවකු පලා ගිහින්

(04.06.2023 – 15:27 +0530 – hirunews.lk/sinhala)

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ මුහුණ සපා කා පලා ගිය ගංජා ජාවාරම්කරුවකු සොයා හිගුරක්ගොඩ පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

හිඟුරක්ගොඩ දොර දෙක ප්‍රදේශයේ නිවෙසක සිටි ගංජා ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගැනීමට යාමේදී එම ජාවාරම්කරු අත් විලංගු ද සහිතව නිලධාරියාගේ මුහුණ සපා කා පළා ගොස් ඇති බව පොලීසිය පවසනවා.

එම නිවෙසට පොලිසියෙන් ඇතුළු වූ අවස්ථාවේදී මෙම ජාවාරම්කරු විසින් සුනඛයකු ලිහා දමා ඇති අතර එම සුනඛයා සපා කෑමෙන් තුවාල ලැබූ පොලිස් සැරයන්වරයකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බව වැඩිදුරටත් හිඟුරක්ගොඩ පොලීසිය පවසනු ලබනවා ෴


සංඥා භාෂා බැති ගී සරණියක්

(04.06.2023 – 15:56 +0530 – hirunews.lk/sinhala)

පොසොන් පොහොය නිමිති කොට ගෙන ඊයේ (03) පොසොන් පෝදා සිරිකොත පක්ෂ මූලස්ථානයේදී විවිධ ආගමික උත්සව කීපයක් පැවැත්වුණු අතර ලෝකයේ ප්‍රථම වරට සංඥා භාෂා බැති ගී සරණියක් ද පැවැත්වුණා.

විශේෂ අවශ්‍යතා ඇති මෙම පුද්ගලයින් සමාජගත වීමට සවි බලයක් වශයෙන් මෙම සංඥා භාෂා භක්ති ගී ප්‍රසංගය එක්සත් ජාතික විශේෂ අවශ්‍යතා සංසදයේ සභාපති අශාදි පෙරේරා මහත්මියගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කර තිබුණා.

මෙම බැති ගී සරණිය ජාත්‍යන්තර විද්‍යුත් මාධ්‍යවල ද විකාශනය කරනු ලැබුවේ ප්‍රථම වරටය.

මේ අනුව මෙම බැති ගී සරණිය සදහා සහභාගී වූයේ ශ්‍රවණාබාධිත සහ කථන හැකියාව යන දෙකම නොහැකි පිරිස් වන අතර ඒ හේතුවෙන් සංඥා භාවිතයෙන් මෙම බැති ගී සරණිය පවත්වා තිබෙනවා.

මෙම බැති ගී සරණියට ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වන ලෙස සාමාජිකයන් සහභාගී කරවාගෙන තිබීම විශේෂත්වයක් ෴


රුපියල් කෝටි 35 ක් වටිනා මැණිකක් සොරකම් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

(04.06.2023 – 16:10 +0530 – hirunews.lk/sinhala)

මීගොඩ පොලිස් වසමේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකින් සොරකම් කරන ලද රුපියල් කෝටි 35 ක් පමණ වටිනා බව කියන මැණිකක් සහ රුපියල් ලක්ෂ 27 ක් පමණ වටිනා අත් ඔරලෝසුවක් සමගින් ‘චාටර් චූටි’ නැමැති සැකකරුවෙක් හෙරොයින් පාර්සලයක් සමගින් අද (04) දින අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසනවා.

ඉකුත් වෙසක් පොහෝ දින සැකකරු විසින් මෙම සොරකම සිදුකර තිබුනු අතර අදාල මැණික විකිණීමට භාර ගත් ව්‍යාපාරිකයෙකු සහ මැණික් ගලෙහි හැඩය වෙනස් කිරීමට භාර ගත් තවත් සැකකරුවන් දෙදෙනෙකු (2) ද සැකපිට අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු මීගොඩ හෙට්ටියාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර අත් අඩංගුවට ගත් අවස්ථාවේදී සැකකරු සංතකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 20 මිලි ග්‍රෑම් 300 ක් ද සොයා ගත් බවත් සැකකරැ දැඩි ලෙස හෙරොයින් පානයට හුරු වූ අයෙකු බවත් නිවාසවලට පැන සොරකම් කිරීම පුරුද්දක් ලෙස සිදු කර ඇති බවත් අනාවරණය වී ඇති බවයි පොලීසිය පවසන්නේ ෴


දිස්ත්‍රික්ක තුනකට (3) නායයාමේ අවදානමක්

(04.06.2023 – 16:14 +0530 – hirunews.lk/sinhala)

පවතින වර්ෂාවත් සමග දිස්ත්‍රික් තුනකට (3) නායයාමේ අවදානමක් පනවා තිබෙනවා.

බදුල්ල, ගාල්ල සහ කළුතර යන දිස්ත්‍රික්වලටයි මෙම නායයාමේ අවදානම පනවා ඇත්තේ.

මේ අතර පැවති වර්ෂාපතනය සමඟ ගිං ගගේ ජල මට්ටම බද්දේගම ප්‍රදේශයෙන් වැඩිවෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම කළුගගේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් මගුරු ගගේ ජල මට්ටමද ඉහළ යමින් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ෴


යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් 31 දෙනෙකුට විශ්වවිද්‍යාලයට ඇතුළු වීම තහනම් කරයි

(04.06.2023 – 16:26 +0530 – hirunews.lk/sinhala)

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකට අදාළව එම විශ්වවිද්‍යාලයේ සිසුන් 31 දෙනෙකුට විශ්වවිද්‍යාලයට ඇතුළුවීම තාවකාලිකව තහනම් කර තිබෙනවා.

විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා ව්‍යාපාර පීඨයේ සිසුන් දෙපිරිසක් අතරයි මෙම ගැටුම ඇතිවී ඇත්තේ.

ඒ අනුව ගැටුමට අදාළව එම පීඨයේ දෙවන වසරේ සිසුන් 16 දෙනෙකු සහ තෙවන වසරේ සිසුන් 15 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඔවුන්ට කළමනාකරණ අධ්‍යයන හා ව්‍යාපාර පීඨයට ඇතුළුවීම තහනම් කර තිබෙනවා.

ගැටුමෙන් එක් සිසුවෙකු තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ ෴


තලාව ප්‍රදේශවාසින් විසින් දුම්රිය මගීන් සඳහා දන්සලක්

(04.06.2023 – 17:02 +0530 – hirunews.lk/sinhala)

තලාව ප්‍රදේශවාසින් විසින් සංවිධානය කරනු ලැබූ කොස් සහ කට්ට සම්බෝල දන්සලක් ඊයේ(03) දින දුම්රිය මාර්ගය ආසන්නයේ පවත්වා තිබුණා.

ඔවුන් ඒක පවත්වලා තිබුනේ දුම්රිය මාර්ගය ආසන්නයේ.

මෙහිදී ඔවුන් විසින් සංඥා වළලු ආකාරයට සකසාගත් රිටි මගින් අමුණා ගත් කොස් පාර්සල් ගමන් ගන්නා දුම්රියේ සිටි මගීන්ට ලබා දීම සිදුකෙරුණා.

+


යොහානිට ඩුබායි හි ගෝල්ඩන් වීසා

(04.06.2023 – 20:11 +0530 – hirunews.lk/sinhala)

ගායිකාවක් සහ නිරූපිකාවක් වන යොහානි ද සිල්වා හට ඩුබායි හි ගෞරවනීය ගෝල්ඩන් වීසා හිමි වී තිබෙනවා.

ගෝල්ඩන් වීසා යනු කලා, සංස්කෘතිය සහ විනෝදාස්වාදය ඇතුළු විවිධ ක්ෂේත්‍ර සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දුන් පුද්ගලයින්ට ඩුබායි හි බලධාරීන් විසින් පිරිනමනු ලබන ගෞරවනීය ප්‍රදානයකි.

යොහානි ද සිල්වා යනු ගායිකාවක් සහ නිරූපිකාවක් වන අතර ඇයගේ සිත් ඇදගන්නාසුළු රංගනයන් සහ සුවිශේෂී සංගීත ශෛලිය සඳහා ලොව පුරා ප්‍රසිද්ධියක් උසුලනවා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *