අලුත්ම සෙල්ලම ‘චිප් යතුරු’ කාර් ස්කෑන් කර අගුළු කඩන ගැජට්ටුවෙන් වාහන ඉස්සීම
අලුත්ම සෙල්ලම ‘චිප් යතුරු’ කාර් ස්කෑන් කර අගුළු කඩන ගැජට්ටුවෙන් වාහන ඉස්සීම
(04.06.2023 – gossiplankanews.com)
තලවතුගොඩ පෞද්ගලික රෝහලක රථගාලක තිබී මෝටර් රථයක් සොරාගත් පුද්ගලයන් දෙදෙනකු (2) ස්කෑනර් යන්ත්‍රයක් භාවිත කර වාහනය පණ ගැන්වීමෙන් පසු එය සොරකම් කර ඇති බව පොලිසිය පසුගිය සතියේ සොයාගෙන තිබේ.
මෙම අලුත් ගැජට්ටුවෙන් කරන්නේ මෑත කාලීනව වාහන සමග එන ‘චිප් යතුරු’ එනම් අගුළ තුළට බැස්සවීමකින් තොරව රේඩියෝ තරංග ඇසුරින් ස්ටාර්ට් කළ හැකි යතුරක රහස්‍ය දත්ත කොටස් ස්කෑන් කර සොයාගනීමය.
රුපියල් 50,000 ක් පමණ වටිනා මෙම ස්කෑනර් යන්ත්‍රය සැකකරුවන් විසින් චීනයේ සිට ගෙන්වා ඇති බව පොලිසිය පවසයි.
ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු පැවසුවේ පුද්ගලයන්ට වාහනයට ගොඩ නොවී ක්‍රියාත්මක කළ හැකි ස්කෑනිං යන්ත්‍ර භාවිත කර මේ ආකාරයේ සොරකම් සිදු කිරීමට හැකි වීම භයානක ප්‍රවණතාවක් බවයි.
තලවතුගොඩ සිද්ධියේදී පුද්ගලික රෝහලේ රථවාහන අංගනයේ සැකකරුවන් වාහන එකින් එක පරීක්ෂා කර අනතුරු ඇඟවීමේ පද්ධතියක් සවි කර ඇත්දැයි සොයා බලා තිබෙන අතර අනතුරු ඇඟවීම් ඇති වාහන මගහැර ඇති බව පොලිසිය පවසයි. පසුව කැමරා නිරීක්ෂණයෙන් බැහැරව නවතා තිබූ වාහනයක් ඔවුන් තෝරාගෙන තිබුණි.
ස්කෑනරය සවිකර මෝටර් රථය පණ ගැන්වීම සඳහා මෙම පුද්ගලයන් දෙදෙනා (2) වාහනයේ වීදුරුවක්ද කඩා ඇත.
තලංගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොෂාන් අනුරුද්ධ මහතා පැවසුවේ පැමිණිල්ල මත වහා ක්‍රියාත්මක වූ ඔවුන් CCTV දර්ශන පරීක්ෂාවේදී සොරකම් කළ වාහනය සමඟ තවත් වාහනයක් රථගාලෙන් පිටව ගොස් ඇති බව හදුනගත් බවය.
වාහනයේ අංකය ලුහුබැඳ ගිය ඔවුන් පැය 24 ක් ඇතුළත කඩුවෙල ප්‍රදේශයේ ස්ථානයක නවතා තිබූ මෝටර් රථය සොයා ගෙන තිබුණි. සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගන්නටද හැකිවිය. පොලිසිය වාහනය පරීක්ෂා කිරීමේදී ස්කෑනර් යන්ත්‍රයක් සහ සිම් කාඩ්පත් විශාල ප්‍රමාණයක් එහි තිබී සොයා ගන්නා ලදී.
සොරාගත් වාහනය මාතර නගරයේ ගරාජයකට රැගෙන ගොස් වාහන අමතර කොටස් සඳහා පවතින අධික ඉල්ලුම සැලකිල්ලට ගෙන කොටස්වලට වෙන්කර අලෙවි කිරීමට සූදානම් කර තිබූ බව වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය පවසයි.
එක් සැකකරුවෙකු මාතර ප්‍රදේශයේ ගරාජය හිමිකරුවෙක් වන අතර ඔහු කාර්මික පාඨමාලා හදාරා ඇත.
සැකකරුවන් දෙදෙනා (2) ජුනි මස 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර වැඩිදුර විමර්ශන සිදුකෙරේ.
පැල්මඩුල්ලේ රිය අනතුරකින් එක් අයෙක් මියයයි – අටදෙනෙකුට (8) තුවාල
(04.06.2023 – 10:14 +0530 – hirunews.lk/sinhala)
රත්නපුර – පැල්මඩුල්ල මාර්ගයේ ලොල්ලුපිටිය ප්‍රදේශයේදී වන්දනාවේ ගිය බස් රථයක් අත් ට්‍රැක්ටරයක පිටුපස ගැටී ඊයේ (03) රාත්‍රියේ සිදුවූ කාන්තාවක් මියගොස් කුඩා දරුවෙකු ඇතුලු අටදෙනෙකු (8) තුවාල ලබා තිබෙනවා.
රියදුරුට නින්ද යෑම හේතුවෙන් මෙලෙස බස් රථය, අත් ට්‍රැක්ටරයේ පිටුපස ගැටී ඇති බව සඳහන්.
එහිදී අත්ට්‍රැක්ටරයේ ගමන් ගත් කාන්තාවක් මාර්ගයට විසිවී ගොස් බස් රථයට යටවී තිබෙනවා.
තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා රත්නපුර රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තාවන්නේ ෴
එළවළු සහ මාළුවල මිල ගණන් අහස උසට නැඟලා
(04.06.2023 – 10:47 +0530 – hirunews.lk/sinhala)
අද වන විට මෙරට වෙළෙඳපළේ එළවළු සහ මාළුවල මිල ගණන් අහස උසට නැඟ ඇති බව පාරිභෝගිකයන් මෙන්ම ආපනශාලා හිමිකරුවන් ද චෝදනා කරනවා.
කුණු බක්කිවල තිබෙන එළවළු සෝදා කෑමට ගැනීමට පවා සිදු වී ඇතැයි ජනතාව මැසිවිලි නඟන්නේ දේශපාලකයන්ට ද දොස් තබමින්.
කුඩා ආපන ශාලා හිමියන් චෝදනා කරන්නේ සාම්බාරු හොද්ද සාදා ගැනීමට ද අද වන විට හැකියාවක් නැතැයි පවසමින්.
විදුලි බිල සහ වතුර බිල ගෙවා ගැනීමට ද දැන් හැකියාවක් නැති බවත් සිල්ලර වෙළෙදුන් හෝ පාරිභෝගික ජනතාව ද නැතිව වෙළෙඳපොළ හිස්ව පවතින බව වෙළෙඳසල් හිමියන් මැසිවිලි නඟනවා ෴
ලිට්රෝ ගෑස් මිල පහළට
(04.06.2023 – 10:54 +0530 – hirunews.lk/sinhala)
අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්රෝ ගෑස් සමාගම සිය මිල ගණන් සංශෝධනය කර තිබෙනවා..
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 452 කින් පහත දමා ඇති බවයි වාර්තා වන්නේ.
එහි නව මිල වන්නේ රුපියල් 3,186 ක්.
මේ අතර කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 181 කින් පහත දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 1,281 ක්.
කිලෝගෑම් 2.3 ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 83 කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 598 ක් ලෙසින් දැක්වෙනවා.
+
මනුදම් සදහම් පොසොන් කලාපය උත්කර්ෂවත්ව
(04.06.2023 – 11:17 +0530 – hirunews.lk/sinhala)
කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ අනුග්‍රහය ඇතිව ක්‍රියාත්මක මනුදම් සදහම් පොසොන් කලාපය යටගල පුරාණ රජමහා විහාරස්ථානය සහ හබරාදුව නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙනවා.
යටගල පුරාණ රජමහා විහාරය කේන්ද්‍ර කරගෙන පැවැත්වෙන මනුදම් සදහම් පොසොන් කලාපය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරනු ලැබුවා.
පොසොන් කලාපය ආලෝකවත් කළ අමාත්‍යවරයා පොසොන් තොරණ, ජල තොරණ විවෘත කළා. ඉන්පසුව පොසොන් භක්ති ගීත වැඩසටහනකට ද එක්ව භක්තිගීත ඉදිරිපත් කළ පාසල් සහ දහම්පාසල් ළමුයින්ට සහතිකපත් සහ මුදල් ත්‍යාග ප්රදානය කරනු ලැබුවා.
මෙම අවස්ථාවට දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ, ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ යන මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියා.
නායයෑමේ අවදානමක්
(04.06.2023 – 11:53 +0530 – hirunews.lk/sinhala)
පසුගිය පැය 24 තුළ වර්ෂාපතනය ම්.මී. 75 ඉක්මවා ඇති බැවින් වර්ෂාව තවදුරටත් පවතී නම් නායයෑම්, බෑවුම් කඩා වැටීමේ, ගල් පෙරළීමේ, පස් කණ්ඩි කඩා වැටීමේ සහ පොළොව ගිලා බැසීමේ අවදානම පිළිබඳව විමසිලිමත් වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ අවදානම පිළිබඳව අවධානයෙන් සිට අවශ්‍ය වුව හොත් ආරක්ෂාකාරී තැනකට යෑමට සූදානම් වන ලෙසයි.
එම ආයතනය විසින් නාය යෑමේ අවදානමක් ඇති ප්‍රදේශ ලෙස පූර්වයෙන් හඳුනා ගෙන ඇත්තේ කළුහර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල හා පාලින්දනුවර යන ප්රදේශයි ෴
මත්ද්‍රව්‍ය සන්තකගේ තිබූ තිදෙනෙක් පොලිස් දැලේ
(04.06.2023 – 12:30 +0530 – hirunews.lk/sinhala)
ඇල්ල, කිතල්ඇල්ල ප්‍රදේශයේදී ඊයේ (03) හෑෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 ක් හා වියළි ගංජා ග්‍රෑම් 21 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු අත්අඩඟුවට ගෙන තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බළකා හපුතලේ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා ඇල්ල පොලිස් ස්ථානයට භාර දී තිබෙන බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 22 ක ඇතුල්ගස්හින්න ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඇල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
මේ අතර බුත්තල මහගොඩයාය ප්‍රදේශයේදී ද නීති විරෝධී මත්පැන් කසිප්පු ලීටර් 38 ක් හා මත්පැන් පෙරීමට ගන්නා ගෝඩා ලිටර් 27 ක් සන්තකයේ තබා ගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙකු (2) ඊයේ (03) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගහ් සැකකරුවන් අවුරුදු 31 හා 51 වයස්වල පසුවන්නන් වන අතර ඔවුන් බුත්තල ප්‍රදේශයේ පදිංචිකරුවන්.
බුත්තල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා ෴
බලපත් නැතිව පස් ප්‍රවාහනය කළ 03 ක් අත්අඩංගුවට
(04.06.2023 – 13:09 +0530 – hirunews.lk/sinhala)
රක්වාන, දර්ශනගම ප්‍රදේශයේ ඊයේ (03) සිදු කළ වැටලීමකදී බලපත්‍ර නොමැති ටිපර් රථ තුනකින් (03) පස් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බළකා කහවත්ත කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත කරන ලද මෙම වැටලීමේදී පස් පුරවන ලද ලොරි රථ 03 ක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 30, 42 හා 52 වයස්වල පසුවන්නන් වන අතර ඔවුන් පල්ලෙකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවන් ෴
ආගමන විගමන දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ තිබී පුද්ගල මළ සිරුරක් හමුවෙයි
(04.06.2023 – 13:14 +0530 – hirunews.lk/sinhala)
බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ පුටුවක් මත තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ එම දෙපාර්තමේන්තුවේ පිරිසිදු අංශයට අනුයුක්තව සේවය කළ 73 හැවිරිදි හෝකන්දර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.
ඔහු මියයාමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර කොළඹ ජාතික රෝහලට රැගෙන ගොස් ඇති බවයි පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴