ජනපති නීතීඥ සමුළුව අමතයි

ජනපති නීතීඥ සමුළුව අමතයි


ජනපති නීතීඥ සමුළුව අමතයි

(03.06.2023 – 14:27 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂ එකට එක්වුවත් මේ මොහොතේ ඒ කිසිවකට සියයට 50 ක ඡන්ද පදනමක් නොමැති බවත්, එබැවින් සියලුදෙනා එක්විය යුත්තේ මැතිවරණයක් සඳහා නොව ආර්ථික අර්බුදයෙන් රට ගොඩනැගීමට බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ 2023 – 2024 ජාතික නීතීඥ සමුලුව ඊයේ (02) නුවරඑළියේදී අමතමින්.

තවමත් මෙරට තරුණ පරපුර ඇතුලු ජනතාවගෙන් අතිමහත් බහුතරයක් අතර මැතිවරණ හා දේශපාලනය පිළිබද විශ්වාසය කඩවී ඇති බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

නීතිය හා සාමය දේශපාලන සහ ආර්ථික ස්ථාවරත්වය යළි පිහිටුවීමෙන් අදහස් වන්නේ ශ්‍රී ලංකාව මුලුමනින්ම මිදී ඇති බව නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා කියා සිටියේ මෙම සමස්ත ක්‍රියවලිය සාර්ථක කරගැනීම සදහා ඉදිරියේදී විශාල කැපකිරීම් කළ යුතු බවයි.

නීති සම්මන්ත්‍රණය අමතමින් ජනාධිපති වික්‍රමසිංහ ප්‍රකාශ කළේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම පිළිබඳ ශ්‍රී ලංකාවේ මීළඟ ‘රට තක්සේරුව’ (?) ළඟදීම ආරම්භ කරන බවයි.

ව්‍යාපාර කිරීමේ පහසුව ශ්‍රේණිගත කිරීම සහ විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා මෙම ක්ෂේත්‍රයේ අනුකූලතාවය ඉතා වැදගත් බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර තිබෙනවා.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ එසේ කිරීමට අපොහොසත් වුවහොත් රට උපාය මාර්ගික ඌනතා සහිත රටක් ලෙස ලේබල් කිරීමේ අවදානමක් ඇති අතර එය ආර්ථික සංවර්ධනයට අහිතකර ලෙස බලපානු ඇති බවයි ෴

+


නිරිත දිග මෝසම ඉදිරි දින කිහිපය තුළදී

(03.06.2023 – 14:53 +0530 – hirunews.lk/sinhala)

නිරිත දිග මෝසම ඉදිරි දින කිහිපය තුළ දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ, අනුව බස්නාහිර, සබරගමුව මධ්‍යම සහ දකුණු පළත්වල විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

සබරගමුව පළාත, ගාල්ල මාතර සහ නළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර සිටිනවා.

වයඹ පළාතේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර, නැගෙනහිර පළාත්වලත් ස්ථාන කිහිපයක සවස් කාලයේ දී හෝ රාත්‍රි කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි අදාළ නිවේදනයේ වැඩිදුටත් සඳහන් වන්නේ ෴


ලොව විශාලම කැස්බෑ විශේෂයකට අයත් ‘දාර කැස්බෑ’ සිරුරක් පානදුර වෙරළට

(03.06.2023 – 15:36 +0530 – hirunews.lk/sinhala)

ලෝකයේ විශාලතම කැස්බෑ විශේෂයට අයත් ‘දාර කැස්බෑවෙකු’ගේ සිරුරක් අද (03) දහවල් පානදුර වෙරළට ගොඩගසා තිබෙනවා.

පානදුර වෙරළ ආරක්ෂක බළකා නිලධාරීන් පවසන්නේ මෙරට මුහුදු සීමාවේදී මෙම සත්ත්වයින් දැකගැනීම ඉතා දුර්ලභ බවයි.

මෙලෙස පානදුර වෙරළට ගොඩගසා තිබූ සත්ත්වයා අඩි 06 යි අඟල් 07 ක පමණ දිගකින් යුක්ත වන බව සඳහන්.


අමාත්‍ය කංචනගෙන් දැනුම්දීමක්

(03.06.2023 – 16:35 +0530 – hirunews.lk/sinhala)

හෙට (04) වනවිට ප්‍රමාණවත් ඉන්ධන සියලු පිරවුම්හල්වල පවතිනු ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

මේ වනවිට ලංකා ඛනිජ තෙල් සංස්ථාව මෙන්ම, අයි.ඕ.සී. සමාගම ද අඛන්ඩව ඉන්ධන බෙදා හරිමින් පවතින බවයි ඔහු සඳහන් කළේ.

පිරවුම්හල් 121 ක් මැයි 27 වනදා සිට 31 දක්වා කාලය තුල කිසිදු ඇණවුමක් ලබාදී නොමැති බව ද මේ වනවිට අනාවරණ වී තිබෙනවා.

එසේම, බොහෝ පිරවුම්හල් අවම තොග පවත්වා ගැනීමට කටයුතු කර නැහැ.

අමාත්‍යවරයා පවසන්නේ ඛනිජ තෙල් සංස්ථාවේ පිරවුම්හල් සියයට 50 ක අවම තොගයක් පවත්වා ගැනීම අවශ්‍ය වන බවයි.

එම කොන්දේසි උල්ලංඝනය කර ඇති පිරවුම්හල්වල බලපත්‍ර සම්බන්ධයෙන් යළි සමාලෝචනය කිරීමට ද කටයුතු කරන බව අමාත්‍ය කංචන විජේසේකර වැඩිදුරටත් කියා සිටියා.

පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් අද (03) පෙරවරුවේත් ටැංකි රථ 200 ක් පමණ බෙදා හැරීම් කටයුතු සදහා පිටත්ව ඇති බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා. කෙසේ වෙතත් තවදුරටත් ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් අසළ පෝලිම් දක්නට ලැබෙන බවයි ප්‍රදේශ රැසක හිරු වාර්තාකරුවන් සඳහන් කළේ ෴


ලාෆ්ස් ගෑස් මිලත් අඩුවෙයි

(03.06.2023 – 16:46 +0530 – hirunews.lk/sinhala)

ලාෆ්ස් ගෑස් මිල ද සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව එම සමාගම සඳහන් කරනවා.

එම සමාගම පවසා සිටියේ සංශෝධිත මිල ගණන් ඉදිරියේ දී ප්‍රකාශ කරන බවයි.

මේ අතර කිලෝග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 400 කින් පමණ පහළ යනු ඇති බව ලිට්‍රෝ සමාගම පැවසීය.

පසුගිය මස 03 වනදා ලිට්‍රෝ සමාගම සිදුකළ මිල සංශෝධනයේදී ද ගෑස් මිල අඩු කළා.

එහිදී කිලෝග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100 කින්, කිලෝග්‍රෑම් 5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 40 කින් සහ කිලෝග්‍රෑම් 2.3 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 19 කින් පහළ දැමීම සිදු වුණා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3,638 ක්, කිලෝග්‍රෑම් 5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,462 ක් සහ කිලෝග්‍රෑම් 2.3 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 681 ක් ලෙස මේ වනවිට මිල සටහන්ව තිබෙනවා.

හෙට (04) රාත්‍රියේ සිදුවන මිල සංශෝධනයෙන් අනතුරුව කිලෝග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3,238 ක් දක්වා පහළ යනු ඇති බවයි අපේක්ෂා කරන්නේ.

මේ අතර සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පැවසුවේ ගෑස් මිල සංශෝධනයේ වාසිය ජනතාවට ලබාදීම සඳහා පාරිභෝගික අධිකාරිය මැදිහත්ව වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවයි ෴


රිදියගමදී මියගිය බෙංගාල ව්‍යාඝ්‍රයේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සඳුදා (05)

(03.06.2023 – 17:11 +0530 – hirunews.lk/sinhala)

රිදියගම සෆාරි උද්‍යානයේ සිටියදී මියගිය බෙංගාල ව්‍යාඝ්‍රයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර තිබෙනවා.

ඒ උඩවලව ජාතික වනෝද්‍යානයේ පශු වෛද්‍ය අංශය මගින්. කෙසේ වෙතත්, එහි වාර්තාව ලබන සතියේ සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිත බැවින් ඒ පිලිබද තොරතුරු මාධ්‍ය වෙත ප්‍රකාශ කළ නොහැකි බවයි අදාළ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ පශු වෛද්‍ය නිලධාරිනිය සඳහන් කළේ.

අවුරුදු 6 ක් පමණ වයසැති කැප්‍රියෝ නම් බෙංගාල ව්‍යාඝ්‍රයා ඊයේ (02) අලු‍යම මියගොස් තිබුණා.

රිදියගම සෆාරි උද්‍යානය යනු දෙස් විදෙස් සංචාරකයින්ගේ ඉමහත් ආකර්ෂණයක් දිනා ගත් මෙරට ප්‍රධානම සංචාරක ගමනාන්තයක් වන අතර, එම උද්‍යානය තුළ බෙංගාල ව්‍යාඝ්‍රයන් සිටියේ 5 දෙනෙකු පමණක් බව සඳහන්.

උද්‍යානයේ සේවකයින් මෙම සත්ත්වයාගේ රෝගී තත්ත්වය පිළිබඳව දුරකතනය ඔස්සේ ස්ථානභාර පශු වෛද්‍යවරියට දැනුම් දීමට පෙරේදා (01) උත්සාහ කර ඇතත්, ඇය එම ඇමතුම්වලට ප්‍රතිචාර දක්වා තිබුණේ නැහැ. ඒ, ඊයේ (02) දිනය රාජකාරි දිනයක් මෙන්ම ඇයගේ නිල නිවාසයද සෆාරි උද්‍යානය තුළම පිහිටා ඇති පසුබිමකයි.

මෙම වෛද්‍යවරියගේම සේවා කාලය තුළදී ‘ශාන්’ නමැති කොටි පැටවාද මියගිය නමුත් එම සත්වයාගේද මරණ පරීක්ෂණ වාර්තාවක් නිකුත් කර නැහැ.

එමෙන්ම ‘කේශර’ නම් සිංහ පැටවාද මිය ගියේ මෙම ස්ථානභාර පශු වෛද්‍යවරියගේ කාලසීමාව තුළයි.

ස්ථාන භාර පශු වෛද්‍යවරිය වන ‘අමිලා කලු‍තන්ත්‍රිගේ’ ගෙන් අප ඒ පිළිබඳ විමසීමක් කළා.

ඇය කියා සිටියේ අදාළ ව්‍යාඝ්‍රයාගේ මරණය හදිසි මරණයක් බවයි.

එම ව්‍යාඝ්‍රයා විවෘත කලාපයේ මහජන ප්‍රදර්ශනයට මුදා හැර සිටියදී මෙලෙස මරණයට පත්ව ඇති බවත් රෝගී තත්ත්වයකින් පසුවූයේ නම් එම කලාපයට මුදා නොහරින බවත් ඇය කියා සිටියා.

එමෙන්ම, අදාළ ව්‍යාඝ්‍රයාගේ අසනීප තත්ත්වය දැනුම්දීමට තමන් වෙත කිසිදු දුරකථන ඇමතුමක් ලැබී නොමැති අතර, දුරකථන දත්ත පරීක්ෂා කර ඒ පිළිබද තහවුරු කර ගත හැකි බවයි ස්ථාන භාර පශු වෛද්‍යවරිය වන අමිලා කලු‍තන්ත්‍රිගේ සදහන් කළේ ෴

+


පොලිස් නිලධාරීන්ට පහරදුන් පුද්ගලයෙක් අත්අඩංගුවට

(03.06.2023 – 17:25 +0530 – hirunews.lk/sinhala)

පැමිණිල්ලක් විසඳීමට ගිය පොලිස් සැරයන්වරයකු සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුට (2) එල්ල වූ පහරදීමක් හේතුවෙන් බරපතළ තුවාල ලබා අනුරාධපුර රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබෙනවා.

මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ ඔයාමඩුව පොලිසියේ නිලධාරීන් තිදෙනෙක් (3).

වැල්ලමල්ගම ප්‍රදේශයේ නිවසක විදුලි වයරයක් කපා දැමීම සම්බන්ධයෙන් 119 හදිසි ඇමතුම් අංකයට ලද පැමිණිල්ලක් මත මෙම පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් තිබෙනවා.

එම අවස්ථාවේදී එහි සිටි පිරිස් පොලිස් නිලධාරීන්ට පහරදී ඇති අතර පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගිය ත්‍රිරෝද රථයට ද පහර දී අලාභහානි කර ඇති බව පොලීසිය සදහන් කළේ.

පහරදීමට සම්බන්ධ එක් (1) සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ ෴


පොලිස් පරීක්ෂකවරයාගේ කාර් රථයේ ගැටුණු ත්‍රීරෝද රථ රියදුරෙකු ජීවිතක්ෂයට

(03.06.2023 – 17:29 +0530 – hirunews.lk/sinhala)

අධික ලෙස බීමත්ව සිටි පොලිස් පරීක්ෂකවරයාගේ කාර් රථයේ ගැටුණු ත්‍රීරෝද රථ රියදුරෙකු ඊයේ (02) මියගොස් තිබෙනවා.

බත්තරමුල්ල ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇති අතර තලංගම පොලිසිය විසින් සැකකාර පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.

පොලිස් පරීක්ෂකවරයා පැද වූ කාර් රථය තවත් කාර් රථයක ගැටී ත්‍රීරෝද රියෙ ගැටී ඇති බවයි මූලික පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වී අත්තේ.

අත්අඩංගුවට ගත් ගත් සැකකාර පොලිස් පරීක්ෂකවරයා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැර තිබෙනවා ෴


ණය සහන මත ජපන් ව්‍යාපෘති යලි ඇරඹෙයි

(03.06.2023 – 17:34 +0530 – hirunews.lk/sinhala)

ජපාන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය මෙන්ම ජපන් ණය මත ක්‍රියාත්මක දැනට අත්හිටුවා තිබෙන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම සහ නව ව්‍යාපෘති ආරම්භ කිරීම රඳා පවතින්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවල ප්‍රගතිය මත බව ජපාන තානාපති කාර්යාලය පවසනවා.

ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ මූල්‍ය පහසුකම් යටතේ ආරම්භ කිරීමට නියමිතව තිබූ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.2 ක සැහැල්ලු දුම්රිය පද්ධතිය නැවත ආරම්භ කිරීමට කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය ලබා දීම සිදුකොට තිබෙනවා.

මාලඹේ සහ කොළඹ කොටුව යා කරමින් මෙම මාර්ගය ඉදිකිරීමට නියමිත අතර යහපාලන රජය මගින් ආරම්භ කිරීමට තීරණය කරන ලද මෙම ව්‍යාපෘතිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ රජය මගින් නැවත්වීමට තීරණය කරනය කර තිබෙනවා.

පසුගියදා පැවති ජපාන සංචාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට යෝජනා කළ බව සඳහන්.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව අවධානය සිටින අතරතුර දැනට නවතා තිබෙන ව්‍යාපෘති නැවත ආරම්භ කරන්නේ කෙසේද යන්න පිළිබඳව සහ නව ව්‍යාපෘති ආරම්භ කරන්නේ කෙසේද යන්න පිළිබඳව සොයා බලනු ඇතැයි ජපාන තානාපති කාර්යාලය පවසා තිබෙන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ ෴


දන්සලේ ගුටි කෙළියක්

(03.06.2023 – 20:33 +0530 – hirunews.lk/sinhala)

දන්සලක් පැවැත්වෙන අතරතුර එහි පැමිණි දෙපිරිසක් අතර ගැටුමක් හට ගෙන තිබෙනවා.

රිටිගල ප්‍රදේශයේ දන්සලක එම සිද්ධිය වාර්තා වී තිබුණු බව සඳහන්.

අදාළ ගැටුමට හේතුවී ඇත්තේ පෝලිමේ අනුපිළිවෙල සම්බන්ධයෙන් ඇතිවු ගැටලුවක් බව‍යි වාර්තා වන්නේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *