වැලිකඩ පොලිසිය තුළ මියගිය මෙහෙකාරියගේ සියලු රෝහල් වාර්තා සීඅයිඩියට ලබාදෙන ලෙස අධිකරණ නියෝගයක්

වැලිකඩ පොලිසිය තුළ මියගිය මෙහෙකාරියගේ සියලු රෝහල් වාර්තා සීඅයිඩියට ලබාදෙන ලෙස අධිකරණ නියෝගයක්


වැලිකඩ පොලිසිය තුළ මියගිය මෙහෙකාරියගේ සියලු රෝහල් වාර්තා සීඅයිඩියට ලබාදෙන ලෙස අධිකරණ නියෝගයක්

(03.06.2023 – 09:47 +0530 – hirunews.lk/sinhala)

සොරකමක් සම්බන්ධයෙන් වැලිකඩ පොලිසියේ අත්අඩංගුවේ සිටියදී රෝගාතුර වූ කාන්තාවක මියයෑමේ සිද්ධියට අදාළව ඇය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර කරනුලැබූ ප්‍රතිකාරවලට අදාල සියලු ලේඛන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී.එන්.එල්. ඉලංගසිංහ එම රෝහලේ අධ්‍යක්ෂවරයාට ඊයේ (02) නියෝග කර තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ ව්‍යාපාරිකාවක මෙන්ම චිත්‍රපට අධ්‍යක්ෂිකාවක වූ කාන්තාවකගේ නිවසේ සේවය කරමින් සිටි මෙහෙකාරියක වූ බදුල්ලේ පදිංචි 43 හැවිරිදි කාන්තාවක්.

ඇය අවසන් වරට සේවය කළ බොරැල්ල කොටාපාර ප්‍රදේශයේ පිහිටි නිවසේ සී සී ටී වී දර්ශන ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙස මහේස්ත්‍රාත්වරයා එම නිවසේ හිමිකරුට නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ (02) මීට අදාළ නඩුව කැදවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් සහ අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේ වැලිකඩ පොලිසිය මෙම කාන්තාව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත්තේ මහමග වැටී සිටි කාන්තාවක් ලෙස හුවා දක්වමින් බවයි.

එලෙස මහමග වැටී සිටි කාන්තාවක් ලෙස හුවා දක්වමින් යමෙකු රෝහල් ගත කළේ නම්, ඒ සදහා පොලිස් රෙගුලාසි මත අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග රැසක් ඇති බවත්, ඇය වැටී සිටි ස්ථානයේ සාක්ෂි සටහන්, එලෙස ඇතුළත් කළ පොලිස් නිළධාරියා සටහන් කළ යුතු බවත් නීතීඥවරයා අධිකරණය හමුවේ කියා සිටියා.

මෙම කාන්තාව අදාළ ව්‍යාපාරිකාවගේ නිවසේ මෙහෙකාරිය ලෙස සේවය කරමින් සිටියදී රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිටියදී හදිසියේ අසනීප වී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගියේ පසුගිය 11 වනදායි.

එම කාන්තාවගේ සැමියා අධිකරණයට මෝසමක් ඉදිරිපත් කරමින් ඇගේ මරණය සැක සහිත බව ප්‍රකාශ කළා.

ඉන් අනතුරුවයි එම කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් වැලිකඩ පොලිසියේ නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කරගනු ලැබුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා පසුගියදා පොලිස් ක්‍ෂේත්‍ර බලකා මූලස්ථානයට මාරු කරනු ලැබුවා.

ඊට අමතරව වැලිකඩ පොලිසියේ නිලධාරීන් හතරදෙනෙකු (4) ගේ සේවයද අත්හිටවනු ලැබූ අතර, තවත් පොලිස් කොස්තාපල්වරයෙකු සහ කොස්තාපල්වරියක ස්ථාන මාරු කර තිබුණා.

මෙම සිද්ධියට අදාළ නඩුව මේ මස 21 වනදා යළි කැදවනු ඇති ෴


බැංකු කාඩ්පතක් සොරකම් කර රන් භාණ්ඩ මිලදී ගත් කාන්තාවක් අත්අඩංගුවට

(03.06.2023 – 10:00 +0530 – hirunews.lk/sinhala)

විදේශගතව සිට වව්නියාව – කුරුමංකාඩු ප්‍රදේශයේ ඥාති නිවසකට පැමිණ සිටි කාන්තාවකගේ බැංකු කාඩ්පත සොරකම් කර රුපියල් දහතුන් ලක්ෂයකට (13,00,000) අධික රන් භාණ්ඩ මිලදී ගත් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලද පැමිණිල්ලකට අනුව ඊයේ (02) අත්අඩංගුවට ගත් සැකකාරිය විදේශගතව සිට මෙරටට පැමිණි කාන්තාව මුණ ගැසීම සඳහා එම නිවසට පැමිණි අවස්ථාවේදියි මෙලෙස බැංකු කාඩ්පත සොරකම් කර තිබුණු බව සඳහන්.

කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි සැකකාර කාන්තාව බැංකු කාඩ්පත උපයෝගී කරගනිමින් රන් වළලු, මුදු සහ රන් මාලයක් මිලදී ගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා ෴


තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසකට ඊශ්‍රායලයේ රැකියා

(03.06.2023 – 10:23 +0530 – hirunews.lk/sinhala)

ඊශ්‍රායලයේ සාත්තු සේවයේ රැකියා සඳහා 12 දෙනෙකුගෙන් යුත් තවත් කණ්ඩායමක් ලබන 05 වනදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

‘විදේශ සේවා නියුක්ති කාර්යාංශය’ සහ ‘ඊශ්‍රායලයේ ජනගහන හා සංක්‍රමණ අධිකාරිය’ අතර 2000 වසරේ දී ඇති කරගෙන ඇති ගිවිසුමක් අනුව ශ්‍රී ලාංකිකයින්ට මෙලෙස ඊශ්‍රායලයේ රැකියා අවස්ථා උදාවී ඇති බවයි වාර්තා වන්නේ.

ඊශ්‍රායලයේ සාත්තු සේවය සදහා පිටත්ව යා හැක්කේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පමණක් බවත්, පිටස්තර පුද්ගයින් මඟින් එම අවස්ථාවන් උදාකර ගැනීම සදහා උත්සාහ නොකරන මෙන් ද රජය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

2022 වසරේ සිට මේ දක්වා කණ්ඩායම් 58 ක ශ්‍රී ලාංකිකයින් 362 දෙනෙකු ඊශ්‍රායලයේ සාත්තු සේවය සදහා පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව ලබන 05 වනදා දිවයිනෙන් පිටත්ව වන්නේ 59 වන කණ්ඩායමයි.

කෙසේ වෙතත් පිටත්ව යන කණ්ඩායමට ගුවන් ටිකට් පත් ප්‍රදානය කිරීම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර අතින් සිදු කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ ෴


කර්මාන්ත ශාලාවේ මුද්‍රණ යන්ත්‍රයක හිස ගැටී තරුණයෙක් ජීවිතක්ෂයට

(03.06.2023 – 10:48 +0530 – hirunews.lk/sinhala)

වස්කඩුව ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙමින් තිබූ මුද්‍රණ යන්ත්‍රයක හිස ගැටී සිදුවූ අනතුරකින් තරුණයෙකු මියගොස් තිබෙනවා.

වස්කඩුව, පොකුණවත්ත පාරේ පිහිටි එම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ මුද්‍රණ යන්ත්‍රය පිරිසිදු කිරීමේ කටයුතුවල නිරතව සිටී තරුණයෙකු එසේ මියගොස් ඇති බව සඳහන්.

අද (03) අලුයම් එම අනතුර සිදුව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කළුතර උතුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා ෴


රුපියල 24% කින් අතිප්‍රමාණ වෙයි

(03.06.2023 – 11:00 +0530 – hirunews.lk/sinhala)

මේ වසරේ (2023) ගත වූ කාලය තුළ ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 24.2 කින් අතිප්‍රමාණ වී තිබෙනවා.

ඊයේ (02) දක්වා රුපියලේ හැසිරීම සම්බන්ධයෙන් මහ බැංකුව නිකුත් කළ වාර්තාවට අනුව ශ්‍රී ලංකා රුපියල ජපන් යෙන්වලට සාපේක්ෂව සියයට 30 කින්, ස්ටර්ලින් පවුමට සාපේක්ෂව සියයට 19.4 කින් අතිප්‍රමාණ වී තිබුණා.

එමෙන්ම යුරෝවලට සාපේක්ෂව සියයට 23 කින් සහ ඉන්දීය රුපියලට සාපේක්ෂව සියයට 23.5 කින් රුපියල අතිප්‍රමාණ වී ඇති බවයි මහ බැංකුව නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ ෴


නිමි ඇඳුම් දන්සලක්

(03.06.2023 – 11:37 +0530 – hirunews.lk/sinhala)

පොසොන් පොහොය නිමිත්තෙන් අද (03) සංවිධානය කර තිබූ ‘නිමි ඇඳුම් දන්සලක්’ පිළිබඳ පුවතක් වාර්තා වී තිබෙනවා.

රුපියල් කෝටි දෙකක් (2,00,00,000) වටිනා නිමි ඇඳුම් කට්ටල 29,000 එහිදී බෙදාදීමට කටයුතු කර ඇති බවයි වාර්තා වී ඇත්තේ.

මෙම අපූර්ව දන්සල ‘විජිත් ෆුඩ් සිටි’ සහ ‘අබේගුණවර්ධන ටෙක්ස්ටයිල්’ අනුග්‍රහයෙන් පැවැත්වෙන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙය අද (03) දවසේ ගාල්ලේදී පවත්වනු ලබනවා ෴

+


ලංකාවේ කෘෂිකර්මය දියුණු කිරීම සඳහා බිල් ගේටට්ස්ගේ සහයෝගය

(03.06.2023 – 12:25 +0530 – hirunews.lk/sinhala)

ලංකාවේ කෘෂිකර්මය දියුණු කිරීම සඳහා ලෝක ප්‍රකට මයික්‍රොසොෆ්ට් ආයතනයේ හිමිකරු බිල් ගේට්ස්ගේ බිල්ගේට්ස් පදනම ඉදිරිපත් වී තිබෙනවා.

කෘෂි ක්ෂේත්‍රයේ ඵලදාව වැඩි කිරීම හා පෝෂණය වැඩි කිරීමේ කටයුතු වෙනුවෙන් ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමේ මෘදුකාංගයක් හදුන්වාදෙමින් බිල්ගේට්ස් පදනම මෙරට කෘෂිකර්මය නැංවීමට ඉදිරිපත්ව සිටින අතර ඒ සඳහා වන මූලික සාකච්ඡාව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පවත්වා ඇති බව සඳහන්.

මෙරට කෘෂි කර්මාන්තය දියුණු කිරීම සඳහා ඩොලර් මිලියන 250 ක ප්‍රදානයක් මෙම ව්‍යාපෘතියෙන් ලැබෙන අතර කෘෂි ක්ෂේත්‍රයේ දත්ත එකතු කිරීම, සහල් සහ අනෙකුත් භෝග වගාවන්ගේ පෝෂණය වැඩි කිරීම මෙහි මූලික අරමුණ බවයි වාර්තා වන්නේ.

‘බිල් සහ මිලින්ඩා ගේට්ස් පදනමේ’ නිලධාරීන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් සතියේ මුණ ගැසුණු අවස්ථාවේ මෙම ව්‍යාපෘතියට එකඟතාවය පළ කර තිබෙනවා.

නව මෘදුකාංගයෙන් සෘජුවම පොහොර භාවිතයේ සිට ඵලදාව ලබා ගැනීම දත්වාත්, ලබාගන්නා ඵලාදව සංරක්ෂණය කිරීම උදෙසාත් අවශ්‍ය මඟපෙන්වීම ලබා දෙන බව ජනාධිපති කාර්යාලයේ පැවති මූලික සාකච්ඡාවේ දී සඳහන් වී ඇති බව සඳහන්.

මීට අමතරව සමාජ ආරක්ෂණ වැඩපිළිවෙල ඩිජිටල්කරණය කිරීමට ද බිල් ගේට්ස් පදනම ඉදිරිපත්ව සිටියි. ඊට අමතරව රටේ මූල්‍ය පද්ධතිය මෙන්ම දේශගුණික විපර්යාස සම්බන්ධ අංශය ද මෙම මෘදුකාංගය ඔස්සේ ඩිජිටල්කරණයට ලක් කරනු ලබනවා ෴


ග්‍රාම නිලධාරීන් නිවසට නොපැමිණියේ නම් දැනුම් දෙන්න

(03.06.2023 – 12:54 +0530 – hirunews.lk/sinhala)

මේ වසරට අදාළ ඡන්ද නාමලේඛන සංශෝධනයට අදාළ සංගණන කටයුතු සඳහා ග්‍රාම නිලධාරීන් මෙතෙක් නිවෙස්වලට පැමිණ නොමැතිනම් ඒ සම්බන්ධයෙන් දැනුවත් කරන ලෙස ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

ඡන්ද හිමි නාමලේඛන සංශෝධනයට අදාළ සංගණන කටයුතු ජූනි මස 16 වනදායින් අවසන් වීමට නියමිතයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති කමල් කිත්සිරි කිය සිටියේ ග්‍රාම නිලධාරින්ට මුහුණපෑමට සිදුව ඇති ප්‍රායෝගික ගැටළු හේතුවෙන් ඡන්ද නාමලේඛන සංශෝධන කටයුතු එදිනට අවසන් කළ නොහැකි බවයි ෴


උණුසුම ඉහළට බිළිඳුන් සිටින මව්වරුන්ට දැනුම්දීමක්

(03.06.2023 – 13:49 +0530 – hirunews.lk/sinhala)

වරින් වර වැසි ඇද හැලුනද දිවා කාලයේ පවතින අධික උණුසුම හේතුවෙන් මාස හයට (6) අඩු බිළිඳුන් සිටින මව්වරුන් අවධානයෙන් කටයුතු කළ යුතු බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා ප්‍රකාශකර සිටියේ අධික උණුසුමත් සමඟ දරුවන් විජලනය වීම වළක්වාගැනීම සඳහා මාස 6 ට අඩු දරුවන්ට නිසි පරිදි මව්කිරි ලබාදිය යුතු බවයි.

එමෙන්ම මාස 6 ට වැඩි දරුවන්ට ලු‍ණු ස්වල්පයක් මිශ්‍ර කර දියර වර්ග ලබාදිය යුතු බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා ෴


පුත්තලම – ත්‍රිකුණාමල මාර්ගයේ රිය අනතුරකින් තරුණයන් දෙදෙනෙකු (2) මරුට

(03.06.2023 – 14:19 +0530 – hirunews.lk/sinhala)

පුත්තලම – ත්‍රිකුණාමලය ඒ 12 මාර්ගයේ 18 කණුව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් යතුරුපැදියක ගමන් ගත් තරුණයන් දෙදෙනෙකු (2) මියගියා.

අද (03) අලුයම සිදුවූ මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ තිඹිරිගස්කටුව සහ හොරගොඩ ප්‍රදේශවල පදිංචි අවුරුදු 21 සහ 22 යන වයස්වල පසුවන්නන්. පුත්තලම දෙස සිට අනුරාධපුර දෙසට ධාවනය වූ යතුරුපැදියක් එම දිශාවටම ගමන් කළ කන්ටේනර් රථයකට ඉස්සර කිරීමට යාමේදී ඉදිරියෙන් පැමිණි කැබ් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා ෴


පුවක් වගාකරුවන් ගැටලුවක

(03.06.2023 – 14:26 +0530 – hirunews.lk/sinhala)

පුවක්වලට නිසි මිලක් නොමැතිවීම හේතුවෙන් තමන් ගැටලු‍ රැසකට මුහුණදී ඇති බව පුවක් වගාකරුවන් පවසනවා.

ඌවපරණගම, මස්පන්න, ගලනිය, බඹරපාන සහ හාලිඇල ප්‍රදේශවල පුවක් වගාකරුවන් පවසා සිටියේ නිසි ඉල්ලු‍මක් නොමැතිවීම නිසා කරුංකා තොග ද අලෙවි කර ගැනීමට නොහැකි තත්වයක් මතුව ඇති බවයි ෴


රුපියල් ලක්ෂයක අල්ලසක් ලබා ගත් පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට

(03.06.2023 – 16:03 +0530 – hirunews.lk/sinhala)

රුපියල් ලක්ෂයක (100,000) මුදලක් අල්ලස් ලෙස ලබා ගත් සපුගස්කන්ද පොලිසියට අනුයුකත්ව සේවය කරන පොලිස් පරීක්ෂකවරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ රාගම – කඩවත මාර්ගයේ ටෙලිකොම් ආයතන ඉදිරිපිටදීයි. සැකකාර පොලිස් පරීක්ෂකවරයාගේ මෝටර් රථය තුලදී අදාළ අල්ලස් මුදල ලබා ගන්නා අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

නීතිමය බාධාවකින් තොරව සම්බාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාම සඳහා කඩවත පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා හරහා අවශ්‍ය කටයුතු කර දෙන බව පවසමින් සැකකාර පොලිස් පරීක්ෂකවරයා අදාළ ආයතනයේ කළමනාකරුගෙන් මෙම රුපියල් ලක්ෂයක අල්ලස් මුදල ඉල්ලා ඇති බව සඳහන් ෴


ජෙරොම්ගේ බිරිඳ සහ දරුවන් ලංකාවට

(03.06.2023 – 15:42 +0530 – hirunews.lk/sinhala)

ජෙරොම්ගේ බිරිඳ සහ දරුවන් ඊයේ (03) රාත්‍රියේ සිංගප්පූරුවේ සිට ලංකාව බලා පැමිණ තිබෙනවා.

සිංගප්පූරු ගුවන් සමාගමට අයත් ගුවන් යානයකින් ඔවුන් ලංකාවට පැමිණි බවයි ගුවන් තොටුපළ ආරන්චි මාර්ග පවසන්නේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *