පින්බර පොසොන් පොහොය අදයි (03)

පින්බර පොසොන් පොහොය අදයි (03)


පින්බර පොසොන් පොහොය අදයි (03)

(03.06.2023 – 06:27 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා වාසී බෞද්ධ ජනතාව මහත් ශ්‍රද්ධාවෙන් ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවන් පවත්වන පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදට (03) යෙදී තිබෙනවා.

ශ්‍රී ලාංකික ජන සමාජය සමාජ, සංස්කෘතික හා ආගමික, අධ්‍යාත්මික ලෙස සංවර්ධනය කිරීම උදෙසා අද වැනි පොසොන් පොහෝ දිනක සිදු වූ ඓතිහාසික සුවිශේෂී සිදු වීම හේතු වුණා.

එදා දෙවානම් පියතිස්ස රජ සමයේ සිදූ වූ අසිරිමත් මහින්දාගමනයෙන් අනුරාධපුරය, මිහින්තලය ආලෝකමත් වූව පමණක් නොව ශ්‍රී ලාංකික ජනසමාජයම ආලෝකමත් වූවා.

එවක් පටන් බෞද්ධයො විසින් පොසොන්පුර පෝය දිනය ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවෙන් මිනිදු මහරහතන් වහන්සේ සිහි කෙරෙන අතර, පින් අනුමෝදම් කරමින්, සැදැහැවත් ජනතාව ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවේ නිරත වෙනවා.

පොසොන් පුර පසළොස්වක පොහොය දිනය (පොසොන් පොහොය දිනය, පොසොන් උත්සවය) ක්‍රි.පූ. 3 වන සියවසේ දී ශ්‍රී ලංකාවට බුදුදහම පැමිණීම සමරනු ලබන අතර එය දිවයින පුරා බෞද්ධයන් විසින් සමරනු ලබන ඓතිහාසික හා ආගමික වැදගත්කමකින් යුත් උත්සවයකි.

ජුනි මස පුර පසළොස්වක පොසොන් උත්සවය වසර 2000 කට පෙර ඉන්දියාවේ අශෝක අධිරාජයාගේ පුත් මිහිඳු මහරහතන් වහන්සේ විසින් දේවානම්පියතිස්ස රජු බුදු දහම වැළඳගත් අවස්ථාව සිහිපත් කරයි.

සැමරුම් උත්සවයේ ප්‍රධාන මධ්‍යස්ථානය මිහින්තලය වන අතර, රාජකීය මිෂනාරි භික්ෂුව මිහිඳු මාහිමියන් පාලක රජුට ප්‍රථම ධර්ම දේශනය කළ පුරාණ ආරාම සංකීර්ණය වන අතර විශාල වන්දනාකරුවන් පිරිසක් රැස්වන පුරාණ අගනුවර වන අනුරාධපුරයේදී.

බෞද්ධයන්ට මෙම උතුම් පොසොන් දිනය වැදගත්කම අතින් දෙවැනි වන්නේ වෙසක් දිනයට පමණි.

දිවයින පුරා පොසොන් උත්සවය සමරනු ලැබුවද, ප්‍රධාන උත්සව අනුරාධපුරයේ සහ මිහින්තලේ දක්නට ලැබේ.

සුදුවතින් සැරසුණු බැතිමතුන්ගේ දිගු පෝලිම් බොහෝ පියගැටපෙළවල් දිගේ මිහින්තලා කඳු මුදුනට නැඟ පළමුව විහාරස්ථානයටත්, පසුව ඒ අසල කඳුකරය අලංකාර කර ඇති දාගැබ් වෙතටත් පැමිණේ.

මීට අමතරව, බොහෝ බැතිමතුන් පර්වතය මුදුනට නැඟී, මිහිඳු මහරහතන් වහන්සේ සිය ආරම්භක දේශන පැවැත්වූ ස්ථානයට පැමිණේ.

ශ්‍රී ලංකාවේ සිල් ව්‍යාපාර, බෝධි පූජා, දන්සල්, පොසොන් භක්ති ගීත, පොසොන් තොරණ සහ පහන් කූඩු වැනි බොහෝ ආගමික කටයුතු ශ්‍රී ලංකාවේ මෙම පොසොන් සමයේදී සංවිධානය කරනු ලැබේ.

පොසොන් දිනයේදී මෙම උතුම් පුණ්‍යකර්මය සනිටුහන් කිරීම සඳහා ශ්‍රී ලංකාව පුරා සිටින බොහෝ විහාරස්ථාන අටසිල් බැතිමතුන්ගෙන් සහ වන්දනාකරුවන්ගෙන් පිරී යයි.

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ සමඟ ඉත්ථිය, උත්ථිය, සම්බල, බද්දසාල මහරහතන් වහන්සේලා ලක්දිවට බුදුදහම රැගෙන පැමිණීම සහ ලක්දිව බුදු සසුන පිහිටු වීම;

ශ්‍රී ලංකාද්වීපයේ ප්‍රථම මහණ උපසම්පදාව සිදු කිරීම හා බුදු බව ලබා රුවන් ගෙයි වැඩ හිඳිමින් ධර්මය මෙනෙහි කළ බුදුරදුන්ගේ ශරීරයෙන් සවනක් ඝණ රැස් විහිදීම;

දේවානම්පියතිස්ස රජු සමඟ 40,000 ක් පමණ පිරිස චුල්ලහත්ථිපදෝපම සූත්‍රය අසා තෙරුවන් සරණ යෑම;

සුමන සාමණේරයන් වහන්සේගේ ආරාධනයෙන් මිස්සක පව්ව අබියසට පැමිණි දෙවියන්ට මහින්ද මහ රහතන් වහන්සේ විසින් සමචිත්ත පරියාය සූත්‍රය දේශනා කිරීම ආදිය පොසොන් පොහොයේ වැදගත්කම් ලෙස ද පෙන්වා දිය හැකිය ෴

+


හිරු ශ්‍රද්ධාභිවන්දනා වැඩසටහන අද ඓතිහාසික සෝමාවතී පුදබිමේ දී

(03.06.2023 – 06:40 +0530 – hirunews.lk/sinhala)

මෙවර පොසොන් පුන් පොහොය වෙනුවෙන් ‘හිරු ටී.වී.’ ප්‍රමුඛ හිරු මාධ්‍ය ජාලය සංවිධාන කරනු ලබන හිරු ශ්‍රද්ධාභිවන්දනා වැඩසටහන ඓතිහාසික සෝමවතිය සෑ රදුන් අබියස දී අද (03) දිනය පුරා පැවැත්වෙනවා.

සම්බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා කුල දරුවන් පැවිදි කිරීම ඇතුළු පින්කම් මාලාවක් සම්මා සම්බුදු රාජාණන්වහන්සේගේ දකුණු දළදා වහන්සේ තැන්පත් කර ඇති ඓතිහාසික සෝමවතිය පුද බිම කේන්ද්‍ර කරගනිමින් සිදු කිරීමට නියමිතයි.

සිරිලකට සම්බුදුදහම උරුම වූ පොසොන් පුන් පොහෝ දිනය වෙනුවෙන් හිරු ශ්‍රද්ධාභිවන්දනා මහා පුණ්‍යකර්මය මෙවර පැවැත්වෙන්නේ බුද්ධ රශ්මියෙන් ප්‍රභාවත් වන බුදුන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ තැන්පත් කර ඇති ඓතිහාසික සෝමවතිය පුද බිම කේන්ද්‍ර කරගනිමින්.

සෝමවතිය රජමහ විහාරයේ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනාවෙන් දැහැමි සිත් පෙරදැරිව හිරු ශ්‍රද්ධාභිවන්දනා වැඩසටහන අද (03) උදෑසන 05:30 ට ආරම්භ වූ අතර එය සජීවි ලෙස ‘හිරු ටී.වී.’ ඔස්සේ විකාශය වුණා.

හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක සම්බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා කුල දරුවන් පැවිදි කිරීමේ හිරු ශාසනාවතරණය මහා පින්කම මෙවර ඓතිහාසික සෝමවතිය පුද බිම අබියසදී පැවැත්වෙන්නේ දසවන වරටයි.

හිරු ශාසනාවතරණය මහා පිංකමේ දී මෙවර කුල දරුවන් 10 දෙනෙක් සඟ සසුනට පූජා කෙරෙනවා.

හිරු ශාසනාවතරණයෙන් මෙතෙක් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සසුනට පූජා කර ඇති කුල දරුවන් සංඛාව 150 කට ආසන්නයි.

උන්වහන්සේ සියලු දෙනාගේ අධ්‍යාපනික කටයුතු හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ අනුග්‍රහයෙන් සුපෝෂණය කිරීම ද හිරු ශ්‍රද්ධාභිවන්දනා පුණ්‍යකර්මයට සමගාමීව සිදු කෙරෙන මා හැඟි කටයුත්තක්.

එමෙන්ම භික්ෂූන්වහන්සේ 150 නමක් විෂයෙහි සංඝගත දක්ෂිණාවක් දිනයේ දී සිදු කිරීමට නියමිතයි.

මෙලෙස හෙට (04) දින සම්බුද්ධ ශාසනය වෙනුවෙන් පූජා කෙරෙන කුල දරුවන් සෙත් පිරිත් සජ්ඡායනා මැද අතපැන් වත්කර භාරදීම ඊයේ (02) පස්වරුවේදී සිදු කෙරුණා.

සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ තැන්පත් කර ඇති සෝමවතිය සෑරදුන් වහන්සේ උදෙසා පංච මහා තූර්ය නාදයෙන් ශබ්ද පූජා පවත්වා සිදු කෙරෙණ මහාභිදාන පුණ්‍ය කර්මයක්ද අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

සෝමවතිය සෑරඳුන් වහන්සේ උදෙසා මහා කප්රුක් පූජාවක්ද සිදු කෙර‍න අතර රටට සහ ජාතියට සෙත්පතා මහා අධිෂ්ඨාන පූජාවක් ද සිදු කිරීමට නියමිතයි.

ඓතිහාසික සෝමවතිය පුද බිම අභියස දී පැවැත්වෙන හිරු ශ්‍රද්ධාභිවන්දනා පින්කම් මාලාව සඳහා බැතිසිතින් එක්වන සැදැහැවතුන් වෙනුවෙන් විශේෂ පහසුකම් රැසක්ද සලසා දී තිබෙනවා ෴


උතුරු නැගෙනහිර බෞද්ධයන්ට කෙනෙහිලි… පංසලක්වත් හදන්න දෙන්නේ නෑ…

(03.06.2023 – 08:40 +0530 – lankacnews.com)

උතුරු නැගෙනහිර ප්‍රදේශවල බෞද්ධයන්ට විශාල කෙනෙහිලිකම් සිදුවන බවත් ඔවුන්ට පන්සලක් හැදීමට ඉඩ නොදෙන තත්ත්වයක් මතුවී ඇති බව ජනාධිපති නීතිඥ චිරන්ත වලලියද්ද මහතා පවසයි.

ඒ අනුව ව්‍යවස්ථානුකූලව අනිකුත් ආගම් අදහන පුද්ගලයන්ට බෞද්ධාගමට බලපෑම් කිරීමට නොහැකි ආකාරයෙ නව නීතියක් ගෙන ආයුතු බවත් චිරන්ත වලලියද්ද මහතා පෙන්වා දෙයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකදී ඔහු මෙම අදහස් පල කර ඇත.

රනිල් වික්‍රමසිංහ මහතා හැර රටේ නායකත්වයට වෙනත් විකල්ප නායකයෙකු නොපෙනෙන බව ද ඒ මහතා එහිදී සදහන් කර තිබේ.

+


දිය රකුසාට ජීවිත දෙකක් බිලිවෙයි

(03.06.2023 – 07:33 +0530 – hirunews.lk/sinhala)

මහවෙල – රජ්ජම්මත ප්‍රදේශයේදී සුදු ගඟේ දිය නෑමට ගිය පිරිසක් අතරින් එක් (1) පුද්ගලයෙකු දියේ ගිලී නාලන්දා රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගොස් තිබෙනවා.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 22 ක් වු පාමුල්ල, කිහිලුව ප්‍රදේශයේ පදිංචි යුධ හමුදා සෙබළෙක්.

මෘත ශරීරය හදිසි මරණ පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කර ඥාතීන්ට භාරදී ඇති බවයි වාර්තා වී ඇත්තේ.

අදාළ පුද්ගලයා රාජකාරී කරනු ලබන යුධ හමුදා කඳවුරේ නිලධාරීන් පිරිසක් සමඟ රාජකාරී කටයුත්තක් සඳහා ඉහත ප්‍රදේශයට පැමිණ දිය නෑමට ගොස් සිටියදී අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ගල්කිරියාගම- උස්සාන පාලම අසලදී හැවැන්වැල්ල ඔයේ දිය නෑමට ගිය පිරිසක් අතරින් එක් පුද්ගලයෙකු දියේ ගිලී බරපතල තත්ත්වයේ ගලේවෙල රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවට ගල්කිරියාගම පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 37 ක් වූ උස්සාන, දේවහුය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෘත ශරීරය ගලේවෙල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි වාර්තා වන්නේ ෴


ක්‍රෙඩිට් කාඩ් පොලියත් පහළට

(03.06.2023 – 07:49 +0530 – hirunews.lk/sinhala)

වාණිජ බැංකු සහ මුල්‍ය ආයතන මඟින් නිකුත්කර ඇති ණය කාඩ්පත්වල පොලී අනුපාතය ද පහත යනු ඇතැයි අපේක්ෂා කරන බව මහබැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සඳහන් කරනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව පොලී අනුපාත පහළ දැමීම නිසා මෙසේ ණය කාඩ්පත්වල පොලී අනුපාතය පහළ දමීමට අපේක්ෂා කරන බවයි ඔහු සඳහන් කළේ ෴


පානදුර ඝාතනයට අනුබල දුන් සැකකරුවෙකු අල්ලයි

(03.06.2023 – 08:03 +0530 – hirunews.lk/sinhala)

පානදුර ඇඟලුම් කර්මාන්තශාලාවක් තුළදී තරුණයෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් පුද්ගලයෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජීව අත්බෝම්බයක් සමග ඊයේ (02) අත්අඩංගුවට ගත් සැකකරු පානදුර – හිරණ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 25 ක පුද්ගලයෙක්.

පානදුර දකුණ – වෑකඩ ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබුණේ පසුගිය 31 වනදායි.

මෙලෙස මියගොස් තිබුණේ පානදුර මෝදරවිල මහල් නිවාස සංකීර්ණයේ පදිංචි අවුරුදු 23 ක පුද්ගලයෙක්. කෙසේ වෙතත් මෙම ඝාතනය සිදුකළ ප්‍රධාන සැකකරු සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි ෴


ලිට්‍රෝ ගෑස් මිල පහළට

(03.06.2023 – 09:04 +0530 – hirunews.lk/sinhala)

ලිට්‍රෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල හෙට (04) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කරන බව එහි සභාපතිවරයා සඳහන් කර තිබෙනවා.

ඔහු පවසන්නේ රු. 300 කට වැඩි අගයකින් අඩු කිරීමටට අපේක්ෂා කරන බවයි ෴


අන්සතු වාහනයක් නීතිවිරෝධී ලෙස කොටස් කර සන්තකයේ තබා ගත් පුද්ගලයෙකුට වසර 4 ක සිර දඩුවම්

(02.06.2023 – 23:17 +0530 – hirunews.lk/sinhala)

අන්සතු වාහනයක් නීතිවිරෝධී ලෙස කොටස් කර සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට පුද්ගලයෙක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

එම පුද්ගලයා හිටපු පොලිස් නිලධාරියෙකු බව සඳහන්.

වරදකරුට කොළඹ මහාධිකරණය බරපතල වැඩ සහිත වසර හතරක (4) සිර දඬුවම් නියම කර තිබෙනවා.

කොළඹ මහාධිකරණ විනිසුරුවරයා විසින් තීන්දුව ලබා දුන් අතර සිර දඬුවමට අමතරව විත්තිකරුට රුපියල් 10,000 ක දඩයක්ද නියම කරනු ලැබූ බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ ෴


OnmaxDT පිරමීඩ ජාවාරම්කාරයෝ හැදුවේ ජනාධිපතිතුමාවත් අන්දන්න. මමයි ඒක නතර කලේ – තරිඳු රත්නායක (02.06.2023)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *