රිදියගම සෆාරි උද්‍යානයේ සිටි ‘කැප්‍රියෝ’ නම් බෙංගාල ව්‍යාඝ්‍රයා මියයයි

රිදියගම සෆාරි උද්‍යානයේ සිටි ‘කැප්‍රියෝ’ නම් බෙංගාල ව්‍යාඝ්‍රයා මියයයි


රිදියගම සෆාරි උද්‍යානයේ සිටි ‘කැප්‍රියෝ’ නම් බෙංගාල ව්‍යාඝ්‍රයා මියයයි

(02.06.2023 – 16:05 +0530 – hirunews.lk/sinhala)

රිදියගම සෆාරි උද්‍යානයේ සිටි බෙංගාල ව්‍යාඝ්‍රයෙකු මියගොස් තිබෙනවා.

උද්‍යානයේ සේවකයින් මෙම සත්ත්වයාගේ රෝගී තත්ත්වය පිළිබඳව දුරකතනය ඔස්සේ ස්ථානභාර පශු වෛද්‍යවරියට දැනුම් දීමට ඊයේ (01) උත්සාහ කර තිබුණත් ඇය එම ඇමතුම්වලට ප්‍රතිචාර දක්වා තිබුණේ නැහැ.

රිදියගම සෆාරි උද්‍යානය යනු දෙස් විදෙස් සංචාරකයින්ගේ ඉමහත් ආකර්ෂණයක් දිනා ගත් මෙරට ප්‍රධානම සංචාරක ගමනාන්තයක්.

එම උද්‍යානයේ සිටි ‘කැප්‍රියෝ’ නම් අවුරුදු 6 ක් පමණ වයසැති බෙංගාල ව්‍යාඝ්‍රයා අද (02) අලුයම මියගොස් තිබුණා.

මෙම සෆාරි උද්‍යානය තුළ බෙංගාල ව්‍යාඝ්‍රයන් සිටියේ 5 දෙනෙකු පමණයි.

අප කළ සොයා බැලීමකදී අනාවරණ වුණේ ‘කැප්‍රියෝ’ නම් ව්‍යාඝ්‍රයාව පරීක්ෂා කිරීම සඳහා ස්ථාන භාර පශු වෛද්‍ය අමිලා කලුතන්ත්‍රිගේ මහත්මිය ඊයේ (01) දිනයේදී නොපැමිණි බවයි.

උද්‍යානයේ සේවකයින් වෛද්‍යවරියට දුරකතනය ඔස්සේ සත්ත්වයාගේ රෝගී තත්ත්වය පිළිබඳව දැනුම් දීමට උත්සාහ කර තිබුණත් ඇය එම ඇමතුම්වලට ප්‍රතිචාර දක්වා තිබුණේ නැහැ.

ඒ, ඊයේ (01) දිනය රාජකාරි දිනයක් මෙන්ම ඇයගේ නිල නිවාසයද සෆාරි උද්‍යානය තුළම පිහිටා ඇති පසුබිමකයි.

මියගිය කැප්‍රියෝගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයක් පවා සිදු නොකර තවමත් උද්‍යානයේ රථයක ඇත්තේ මෙලෙසින්.

මෙම වෛද්‍යවරියගේම සේවා කාලය තුළදී ‘ශාන්’ නමැති කොටි පැටවාද මියගිය නමුත් එම සත්වයාගේද මරණ පරීක්ෂණ වාර්තාවක් නිකුත් කර නැහැ.

එමෙන්ම ‘කේශර’ නම් සිංහ පැටවාද මිය ගියේ මෙම ස්ථානභාර පශු වෛද්‍යවරියගේ කාලසීමාව තුළයි.

මීට පෙරත් අවස්ථා රැසකදී ‘හිරු ප්‍රවෘත්ති’ රිදියගම සෆාරි උද්‍යානයේ සිදුවන සත්ව හිංසන ඇතුළු ක්‍රියා පිළිබඳව අනාවරණ කළත් බලධාරීන් ඒ පිළිබඳව නෑසූ කන්ව මුනිවත රැකීම කණගාටුවට කරුණක්.

+


ජාතික පොසොන් උත්සවයට සමගාමීව රථවාහන සැලැස්මක්

(02.06.2023 – 16:38 +0530 – hirunews.lk/sinhala)

පොසොන් උත්සව සමයේ දෙස් විදෙස් බොදු බැතිමතුන් විශාල සංඛ්‍යාවක් අනුරාධපුරය, මිහින්තලය, තන්තිරිමලය, අවුකන, විජිතපුර සහ නාමල් උයන ඇතුළු පූජනීය ස්ථාන වන්දනා කිරීම සඳහා පැමිණෙන අතර, ඊට සාපේක්ෂව විශාල රථවාහන සංඛ්‍යාවක් ද අනුරාධපුර නගරය වෙත ඇතුළු වීම අපේක්ෂා කරන බවයි පොලිසිය සඳහන් කරන්නේ.

මෙසේ පැමිණෙන බැතිමතුන්ගේ සහ ඔවුන්ගේ වාහන හා දේපලවල ආරක්ෂාව තහවුරු කිරීම, රථවාහන පාලනය නිසි කළමනාකරණයකින් යුක්තව ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරනු ලබන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව අනුරාධපුර පූජා නගරයට සහ මිහින්තලය පූජා නගරයට පැමිණෙන මහජනතවගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 2500 ක් පමණ හා සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් 900 ක් පමණ විශේෂ රාජකාරී යෙදවීමට මේ වන විට සැළසුම් කර ඇති බවද පොලිසිය සඳහන් කළා.

මෙම පොසොන් උත්සවයට පැමිණෙන රථවාහන ගාල් කිරීම සඳහා අනුරාධපුර පූජා නගරය මූලික කරගෙන රථවාහන ගාල් 20 ක් පමණ හා මිහින්තලය පූජා නගරය මූලික කරගෙන රථවාහන ගාල් 06 ක් පමණ ස්ථාපිත කර තිබෙනවා.

තවද බැතිමතුන් සඳහා විවේකීව කාලය ගත කිරීම සඳහා අනුරාධපුර නගරයේ ගිමන් හරින ස්ථාන 06 ක් සහ මිහින්තලේ නගරයේ ස්ථාන 05 ක් සුදානම් කර ඇති බව සඳහන්.

එමෙන්ම එම ප්‍රදේශයන්හි බැතිමතුන් විසින් පරිහරණය කරනු ලබන වැව් හා ජලාශ ආවරණය වන පරිදි පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් 150 කට අධික පිරිසක්ද, ශ්‍රි ලංකා ජීවිතාරක්ෂක සංගමයේ සාමාජිකයන් 130 ක් පමණද, නාවික හමුදා නිලධාරීන් 15 ක් , සිවිල් ආරක්ෂක බලකා ජීවිතාරක්ෂක නිලධාරීන් 40 ක් වශයෙන් ජීවිතාරක්ෂක නිලධාරීන් 355 ක පමණ පිරිසක් යොදවා ඇති අතර බැතිමතුන් වැඩි වශයෙන් භාවිතා කරනු ලබන වැව් හා ජලාශ ආශ්‍රිතව බෝට්ටු යොදවා බැතිමතුන්ගේ ආරක්ෂාවට පියවර ගෙන ඇත.

එමෙන්ම ආරක්ෂක නිලධාරීන් නිරන්තරයෙන් මෙම ජලාශ ආශ්‍රිතව මුර සංචාරක රාජකාරිවල නිරත වීමටද කටයුතු යොදා ඇත.

වන්දනා කටයුතු සඳහා පැමිණෙන තරුණ පිරිස් හා පුද්ගලයින් මත්පැන්, මත්ද්‍රව්‍ය ඇතුළු නීති විරෝධී දෑ රැගෙන පැමිණීම වැළැක්වීම සඳහා පූජා නගරය වෙත පිවිසීමට ඇති ප්‍රධාන මාර්ගයන් ආවරණය වන පරිදි මාර්ග බාධක 08 ක් පමණ සහ පූජා භූමිය ඇතුලත මාර්ග බාධක 07 ක් පමණ ස්ථාපිත කර ඇති අතර ඒ සඳහා පොලිස් නිල සුනඛයින්ගේද සහය ලබා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පූජා නගරයට පැමිණෙන බැතිමතුන්ට හිරිහැර වන හා බාධා වන ආකාරයට බිමත්ව අශෝබන ලෙස හැසිරෙන, පුරාවිද්‍යා ස්ථානවලට හානි වන අයුරින් කටයුතු කරන හෝ පරිසර දූෂණය වන ආකාරයට කටයුතු කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ කටයුතු සඳහා විශේෂ වැටලීම් කණ්ඩායම් යොදවා වැටලීම් සිදු කිරීමටත්, පූජා නගරය ආවරණය වන පරිදි මෙම කාලසීමාව තුළ දිවා රාත්‍රි යතුරු පැදි සංචාර, ජංගම සංචාර අයදවීමට සැළසුම් කර ඇති අතර, ඒ සඳහා පොලිස් යතුරු පැදි 120 ක් හා පොලිස් රථවාහන 100 ක් පමණ යොදවා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

තවද, පැමිණෙන බැතිමතුන්ගේ හා දේපළවල ආරක්ෂාව සඳහා අවශ්‍ය අවස්ථාවලදී පොලිස් විශේෂ කාර්ය බලකා හා යුධ හමුදා නිලධාරීන්ගේ සහාය ලබා ගැනීමටද කටයුතු කරන බවද වැඩිදුරටත් සඳහන්.

මෙම කාල සීමාව තුල අනුරාධපුර පොසොන් කළාපය තුල පැය 24 පුරා විශේෂ පොලිස් මෙහෙයුම් මැදිරියක් ක්‍රියත්මක වන අතර බැතිමතුන්ට හදිසි තත්ත්වයන්හිදි දැනුම් දිම සඳහා එම මැදිරියේ අංක 025 222 2226 දරණ දුරකථනය ස්ථාපිත කර තිබෙනවා ෴


පොල් උලකින් පහරදී කාන්තාවක් ඝාතනය කරලා

(02.06.2023 – 17:08 +0530 – hirunews.lk/sinhala)

කැකිරාව – සෙක්කුපිටිය ප්‍රදේශයේ නිවසකදී, පොල් උලකින් පහරදී කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 35 හැවිරිදි දෙදරු මවක්.

ඇය ඊයේ (01) රාත්‍රියේ කාමරයේ නිදා සිටියදී කිසියම් පුද්ගලයෙකු විසින් ඇය ඝාතනය කර ඇති බවටයි සැමියා පොලීසියට ප්‍රකාශ කර ඇත්තේ.

ඇයගේ සැමියා සහ දරුවන් දෙදෙනා (2) වෙනත් කාමරයක නිදා සිට ඇති අතර අද (02) උදෑසන ඇයගේ සිරුර දුටු බව සැමියා පොලිසියට සඳහන් කර තිබෙනවා.

මොවුන් අකුරණ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර සෙක්කුපිටිය නගරයේ කුලී නිවසක සිට ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් තිබෙනවා ෴


ඩොලරය ඉහළට

(02.06.2023 – 17:39 +0530 – hirunews.lk/sinhala)

ඇමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල සහ විකුණුම් මිල පෙර දිනට සාපේක්ෂව සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව අද (02) නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 287.42 ක් ලෙස සටහන් වූ අතර ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 300.32 ක් ලෙස සටහන් වුණා ෴


පානදුර ඝාතන සිදුවීමට අදාළව සිසුවෙක් අත්අඩංගුවට

(02.06.2023 – 17:56 +0530 – hirunews.lk/sinhala)

පානදුර ඇඟලුම් කර්මාන්ත ශාලාවක් ඉදිරිපිට දී 23 හැවිරිදි තරුණයෙකු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පාසල් සිසුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ සැකකාර සිසුවා ඝාතනය සිදු කළ ප්‍රධාන සැකකරුට සහාය වීම සඳහා ඔහු සමග ත්‍රීරෝද රථයකින් පැමිණ ඇති බවයි.

පානදුර ඇඟලුම් කර්මාන්ත ශාලාවක් ඉදිරිපිටදී එම තරුණයෙකු පසුගිය (31) වැනිදා කඩුවකින් පහර දී තිබූ අතර ඔහුගේ හිස ප්‍රදේශයට දරුණු පහරවල් කිහිපයක් එල්ල කර ඇති නිසා එම ස්ථානයේ දීම මියගොස් සිටි බවයි වාර්තා වූයේ.

මෙලෙස මියගොස් ඇත්තේ මෝදරවිල තට්ටු නිවාස සංකීර්ණයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙක්.

කලක පටන් දෙපිරිසක් අතර ඇතිව තිබූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදු කර ඇති බවයි මුලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වූයේ.

අදාළ තරුණයාට කඩුවෙන් පහරදෙන ආකාරය එහි තිබූ සීසීටීවී කැමරාවේ ද සටහන්ව තිබුණා.

ඝාතනය සිදු කළ සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා පානදුර දකුණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු ක‍රනු ලබනවා ෴


අවුරුදු 05 ට අඩු දරුවන්ගේ පෝෂණ තත්ත්වය පරීක්ෂා කිරීමේ දීපව්‍යාප්ත සමීක්ෂණයක්

(02.06.2023 – 19:46 +0530 – hirunews.lk/sinhala)

ජාතික පෝෂණ මාසයට සමගාමීව අවුරුදු 05 ට අඩු දරුවන්ගේ පෝෂණ තත්ත්වය පරීක්ෂා කිරීමේ දීපව්‍යාප්ත සමීක්ෂණයක් සිදුකිරීමට නියමිතයි.

පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ චිත්‍රමාලි ද සිල්වා ප්‍රකාශ කළේ, මේ යටතේ දරුවන්ගේ බර උස හා කෘෂ බව පරීක්ෂා කරන බවයි.

පවුල් සෞඛ්‍ය නිලධාරීන් මගින් එම සමීක්ෂණය සිදුකරන බවයි ඇය සඳහන් කර සිටියේ.

පසුගිය වර්ෂයේ කළ සමීක්ෂණයෙන් අවුරුදු 5 ට අඩු දරුවන්ගෙන් 15.3% ක් අඩු බර දරුවන් ලෙස හඳුනා ගැණුනු බවයි වාර්තා වන්නේ.

මීට සමගාමීව පාසල් දරුවන්ගේ පෝෂණ තත්ත්වය පරීක්ෂා කිරීමේ සමීක්ෂණයක් ද ක්‍රියාත්මක බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ ෴


සිසුන් පිරිසක් පහර දී සාමාන්‍යපෙල සිසුවෙක් රෝහල් ගත කෙරේ

(02.06.2023 – 20:59 +0530 – hirunews.lk/sinhala)

අපොස සාපෙල විභාගයට පෙනී සිටී පානදුර ජනප්‍රිය පාසලක සිසුවෙකුගේ යටි බඩට පයින් පහරදීමෙන් මුත්‍රා මාර්ගයෙන් රුධිරය වහනයවී රෝහල් ගතකර ඇතැයි පානදුර දකුණ පොලිසිය පවසනවා.

පහරදීම සිදුකල සිසුන් පස්දෙනෙකු (5) අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

පහරකෑ පාසල් සිසුවා විද්‍යාව දෙවන ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයා පළමු ප්‍රශ්න පත්‍රයට පෙර පැය දෙකක (2) පමණ විවේක කාලයක් තිබීම නිසා එම කාලයේ පාඩම් කරමින් සිටියදී තවත් සිසුන් පස් (5) දෙනෙකු ඔහු සමග ආරවුලක් ඇතිකරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පහරකෑමෙන් පසු සිසුවා පානදුර මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර, ඔහුගේ මුත්‍රා මාර්ගයෙන් රුධිරය වහනය විමක් සිදුව ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරනවා.

සිසුවා රෝහලින් කැටුවවිත් පළමු ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයා ඇති අතර, විභාගය අවසානයේ පියා සමග පැමිණ පැමිණිල්ලක් කර සිසුවා නැවත රෝහල් ගතකර ඇති බව පොලිසිය සදහන් කරන්නේ ෴


ප්‍රදේශ කිහිපයක පහත්බිම් ජලයෙන් යටවෙයි

(02.06.2023 – 21:02 +0530 – hirunews.lk/sinhala)

ඇද හැලුණු වර්ෂාවත් සමඟ කළු සහ ගිං යන ගංඟා ආශ්‍රිත පහත්බිම් ජලයෙන් යටව තිබෙනවා.

කළු ගඟේ ජල මට්ටම ඉහළ ගොස් තිබුණද ඔරු ආධාරයෙන් කළු ගඟ මත නිර්මාණය කර ඇති පොසොන් තොරණට හානි සිදුව නැහැ.

අධික වර්ෂාව හේතුවෙන් ගාල්ල බටුවන්ගල ප්‍රදේශයේ පස්කඳු නායයෑම් සිදුව තිබුණා.

මේ අතර පවතින වර්ෂාපතනය හේතුවෙන් කලවාන මතුගම ප්‍රධාන මාර්ගයේ කුකුළේගම බෙලිඅත්තවිල ප්‍රදේශය ජලයෙන් යටව තිබෙනවා.

රත්නපුර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ මෙම ප්‍රදේශවල ජනතාවට ගංවතුර තත්ත්වය සම්බන්ධයෙන් අනතුරු අඟවා ඇති බවයි ෴


සිව් (4) හැවිරිදි දැරියක් අපයෝජනය කළ පුද්ගලයෙකු රිමාන්ඩ්

(02.06.2023 – 21:38 +0530 – hirunews.lk/sinhala)

සිව් (4) හැවිරිදි දැරියක් අපයෝජනය කිරීමේ චෝදනාව මත වරකාපොළ තුල්හිරිය ප්‍රදේශයේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක පාලිකාවගේ 74 හැවිරිදි සැමියා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

අධිකරණයේදී මෙවැනි පුද්ගලයින්ට නීතිඥ සහාය ලබා නොදෙන්නැයි ඉල්ලමින් එම මධ්‍යස්ථානයේ දරුවන් රඳවා යන මව්පියන් සහ ප්‍රදේශවාසීන් එක්ව අද විරෝධතාවයකද නිරත වුණා ෴


කළුගඟ මධ්‍යයේ තොරණක්

(02.06.2023 – 22:01 +0530 – hirunews.lk/sinhala)

පොසොන් උත්සවය වෙනුවෙන් රත්නපුර ප්‍රදේශයේ කළුගඟ මධ්‍යයේ තොරණක් නිර්මාණය කර තිබෙනවා.

මෙම අපූර්ව තොරණ නිර්මාණය කර ඇත්තේ ‘මෝගම ෆ්‍රෙන්ඩ්ස් ලයිෆ්’ තරුණ සංවිධානය විසින් බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

ඊයේ (01) රාත්‍රියේ ඇදහැලුණු අධික වර්ෂාව මධ්‍යයේ කළු ගඟේ ජල මට්ටම ඉහළ යද්දී තොරණට කිසිදු හානියක් නොවන අයුරින් එය ආරක්ෂා කරගැනීමට එම තරුණයින් සමත් වී තිබෙන බවට ද වාර්තා වී තිබෙනවා.

+


හෝමාගම නගරය අවට විශේෂ රථ වාහන සැලසුමක්

(02.06.2023 – 22:45 +0530 – hirunews.lk/sinhala)

හෝමාගම නගරය කේන්ද්‍රකරගනිමින් පැවැත්වෙන ධර්ම රශ්මි පොසොන් කලාපය හේතුවෙන් එම මාර්ගයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව පොලිසිය සඳහන් කරනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මෙම විශේෂ රථවාහන සැලැස්ම හෙට (03) සිට 05 වනදා දක්වා සෑම දිනකම පස්වරු 06 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.

අදාළ රථවාහන සැලැස්ම පහතින් :

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *