ශීතාගාර පහසුකම් නොමැතිව ප්‍රවාහනය කෙරෙමින් තිබූ යෝගට් සහ අයිස්ක්‍රීම් තොගය විනාශ කෙරේ

ශීතාගාර පහසුකම් නොමැතිව ප්‍රවාහනය කෙරෙමින් තිබූ යෝගට් සහ අයිස්ක්‍රීම් තොගය විනාශ කෙරේ


ශීතාගාර පහසුකම් නොමැතිව ප්‍රවාහනය කෙරෙමින් තිබූ යෝගට් සහ අයිස්ක්‍රීම් තොගය විනාශ කෙරේ

(02.06.2023 – 08:54 +0530 – hirunews.lk/sinhala)

ලංකාවේ ප්‍රසිද්ධ කිරි ආශ්‍රිත නිෂ්පාදන ආයතනකට අයත් බෙදාහැරීමේ රථයක ශීතාගාර පහසුකම් නොමැතිව ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් තුන්ලක්ෂ හැත්තෑපන්දහසක් (3,75,000) වටිනා යෝගට් සහ අයිස් ක්‍රීම් තොගය විනාශ කිරීමට කටයුතු කළ බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසනවා.

ප්‍රසිද්ධ නාමයක් යටතේ නිෂ්පාදනය කරනු ලබන යෝගට් සහ අයිස්ක්‍රීම් බෙදාහැරීමේ රථයක අවශ්‍ය ශීතාගාර පහසුකම් නොමැතිව ප්‍රවාහනය කරමින් තිබියදී යෝගට් 2,144 ක් ද අයිස්ක්‍රීම් ලීටරයේ බඳුන් 120 ක් ද ලීටර් දෙකේ බඳුන් 62 ක්ද ලීටර් හතරේ බඳුන් 5 ක්ද සමග ලොරි රථය හබරාදූව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව සඳහන්.

එ අනුව අත්අඩංගුවට ගත් ද්‍රව්‍ය සහ ලොරි රථය බී-වාර්තාවක් මගින් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය වෙත (31) දින ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ තුනක (3) ශරීර ඇප මත සැකකරුවන් මුදාහැර අදාල ආහාර ද්‍රව්‍ය විනාශ කිරීමටත් නියෝග කොට තිබෙනවා.

ඒ අනුව සැකකරුවන්ට රුපියල් දසදහසක (10,000) ක දඩයක් නියම කළ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසන අතර නැවත ව්‍යාපාර කටයුතු සිදුකිරීමට නම් අවශ්‍ය ශීතාගාර පහසුකම් යොදා අධිකරණයේ අවසරය ලබා ගත යුතු බවට නියෝග කර තිබෙනවා ෴


රුපියල් කෝටි 20 ක රන් භාණ්ඩ සොරකම් කළ බැංකුවේ නියෝජ්‍ය කළමනාකරු අත්අඩංගුවට

(02.06.2023 – 08:58 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය බැංකුවකින් රුපියල් කෝටි 20 කට අධික වටිනාකමින් යුතු වූ රන් භාණ්ඩ සොරකම් කිරීමේ චෝදනාවක් සම්බන්ධව එම බැංකුවේ නියෝජ්‍ය කළමනාකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මඩකලපුව ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක ‘සුරැකීම්’ ලෙස තබා තිබූ රන් භාණ්ඩ මෙලෙස සොරකම් කර ඇති බවයි පොලීසිය පවසන්නේ.

අත්අඩංගුවට ගත් නියෝජ්‍ය කළමනාකාරවරයා වැඩ තහනමකට ලක්වී සිටි අතරතුර මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ ෴


භාණ්ඩ කිහිපයක ආනයන සීමා ලිහිල් කිරීමට රජය තීරණය කරයි

(02.06.2023 – 10:12 +0530 – hirunews.lk/sinhala)

ආනයන කරනු ලබන භාණ්ඩ 300 ත් 400 ත් අතර ප්‍රමාණයක ආනයන සීමා ලිහිල් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසා සිටියේ, ලබන සතියේ සිට එම ආනයන සීමා ලිහිල් කිරීමට පියවර ගන්නා බවයි.

ඉල්ලුමට වැඩි ශක්තිමත් ඩොලර් සැපයුමක් මෙරට පවතින බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශකර සිටියේ.

+


බෙහෙත් කොටන තුවක්කුවක් ළඟ තබා ගත්තාට ඇප

(02.06.2023 – 10:57 +0530 – hirunews.lk/sinhala)

බුත්තල ජනාවාස 10 ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත බෙහෙත් කොටන තුවක්කුවක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (01) උදෑසන විශේෂ කාර්ය බළකා බුත්තල කඳවුරේ නිලධාරීනට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබෙන අතර අත්අඩංගුවට ගත් සැකකරු බුත්තල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු 34 හැවිරිදි බුත්තල, පැල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු ඊයේ (01) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 2 ක ශ‍රීර ඇප මත නිදහස් කර තිබෙනවා.

ලබන අගෝස්තු 12 දින නැවත නඩුව කැඳවීමට නියමිතයි ෴


ආසියාවේ වැඩිම විදුලි බිල තිබෙන රටවල් අතරට ලංකාවත්

(02.06.2023 – 11:02 +0530 – hirunews.lk/sinhala)

මේ වන විට ශ්‍රී ලංකාව ආසියාවේ වැඩිම විදුලි බිල තිබෙන රටවල් අතරට පැමිණ සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ප්‍රකාශ කරනවා.

ඉහළ ගිය විදුලි බිල හමුවේ මෙරට බහුතරයක් ජනතාව දැඩි අපහසුතාවයකට මුහුණ දී සිටින අතර ඇතැම් විදුලි පාරිභෝගිකයින් පවසන්නේ සිය මාසික විදුලි බිල්පත මේ වන විට දැරිය නොහැකි අයුරින් ඉහළ ගොස් ඇති බවයි ෴


ශ්‍රී ලංකාවේ සිට රැගෙන යමින් තිබූ රුපියල් කෝටි 71 ක රත්‍රං තොගයක් ඉන්දීය ආරක්ෂක අංශ භාරයට

(02.06.2023 – 11:08 +0530 – hirunews.lk/sinhala)

නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරට සිට ඉන්දියාවට රැගෙන යමින් තිබූ රුපියල් කෝටි 71 ක් පමණ වටිනා රත්‍රං තොගයක් ඉන්දීය ආරක්ෂක අංශ විසින් සොයා ගෙන තිබෙනවා.

ඒ, එරට වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව, ආදායම් බුද්ධි අංශය සහ රේගුව දින කිහිපයක සිට සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදීයි.

කිලෝග්‍රෑම් 32 ක් පමණ බරැති මෙම රත්‍රං තොගය තමිල්නාඩු මුහුදේ තීරයේ ධීවර බෝට්ටු දෙකක (2) තිබී සොයා ගෙන තිබෙනවා ෴


හොරණ කුඹුරු ඉඩම් ගොඩකරන්නෙකුට නීතිය තදින්ම

(02.06.2023 – 11:37 +0530 – hirunews.lk/sinhala)

හොරණ, කනන්විල ප්‍රදේශයේ කුඹුරු ඉඩම් ගොඩ කළ පුද්ගලයකුට එරෙහිව නීතිය තදින් ක්‍රයාත්මක කරන ලෙස කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර උපදෙස් ලබා දී තිබෙනවා.

කුඹුරු ඉඩම් ගොඩ කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති මොහොතක හොරණ, කනන්විල ප්‍රදේශයේ පුද්ගලයකු කුඹුරු ඉඩම් කිහිපයක් බලහත්කාරයෙන් ගොඩ කරන බවට කෘෂිකර්ම ඇමැතිවරයාට පැමිණිලි ලැබී ඇති බැවින් මේ පිළිබඳව සොයා බලා නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඇමැතිවරයා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇති බවයි වාර්තා වන්නේ.

පසුව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මේ පිළිබඳව සොයා බලා කුඹුරු ඉඩම් ගොඩ කිරීම නැවැත්වීමට පියවර ගත් බව සඳහන් වෙනවා ෴


උප පොලිස් පරීක්ෂක බිරිඳට පහර දුන් සැමියා අත්අඩංගුවට

(02.06.2023 – 12:02 +0530 – hirunews.lk/sinhala)

උප පොලිස් පරීක්ෂක බිරිඳට පහර දී තුවාල සිදු කල සැමියා දින හතරකට (4) රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අම්පාර මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (01) නියෝග කර තිබෙනවා.

සැමියාගේ තාඩන පීඩන ඉවසීමට නොහැකි වූ උප පොලිස් පරීක්ෂකවරිය බක්කිඇල්ල පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන බව සඳහන්.

දෙපාර්ශවයම කැඳවූ පොලිස් ස්ථානාධිපතිවරයා අවවාද කර කරුණු පහදා සමථ කර ඔවුන් පොලිස් ස්ථානයෙන් පිටත් කර තිබෙනවා.

උප පොලිස් පරීක්ෂකවරිය නිවස බලා ත්‍රිරෝද රියකින් යන අවස්ථාවේ දී මග රැක සිටි සැමියා මෙම පහරදීම සිදු කර ඇත. තුවාල ලැබූ පොලිස් පරීක්ෂකවරිය ප්‍රතිකාර සඳහා අම්පාර රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි ෴


කේරළ ගංජා සමඟ සැකකරුවකු අත්අඩංගුවට

(02.06.2023 – 12:40 +0530 – hirunews.lk/sinhala)

ත්‍රීකුණාමලය, මොල්ලිපොතාන ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 01 කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවකු ඊයේ (01) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නැඟෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගෝකණ්ණ ආයතනය සහ ශ්‍රී ලංකා නාවික පැරකුම්බා යන ආයතන ත්‍රිකුණාමලය, පොලිසිය හා එක්ව සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතු පුද්ගලයකු පරීක්ෂාවට ලක් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

එහිදී මෙම පුද්ගලයා විසින් අලෙවි කිරීම සඳහා රැගෙන යමින් තිබූ කේරළ ගඦා තොගය ද අත්අඩංඟුවට ගත් බව සඳහන්.

එහි වටිනාකම රුපිසල් 627,000 ක්. මෙම කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා තඹලගමුව පොලිසිය වෙත භාර දීමට කටයුතු කර තිබෙනවා ෴


සංචාරක මඟපෙන්වන්නෙකු අත්බෝම්බයක් සමඟ දැලේ

(02.06.2023 – 12:55 +0530 – hirunews.lk/sinhala)

සංචාරක මඟපෙන්වන්නෙකු ජීව අත්බෝම්බයක් සමඟ බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රාජගිරිය ප්‍රදේශයේ පදිංචි ‘තඩියා’ යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන පුද්ගලයෙක්.

පොලීසිය පවසන්නේ කුලී රථ සමාගම්වලින් වාහන කුලී පදනම මත ලබා ගෙන ඒවාට අදාළ මුදල් නොගෙවා විවිධ ප්‍රදේශවල වාහන අතහැර යෑම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු හට චෝදනා එල්ල වී ඇති බවයි ෴


මෙරට රෝගීන්ගේ පෙනීම දුර්වල කළ ඖෂධය ගැන ඉන්දීය රජයෙන් විමර්ශනයක්

(02.06.2023 – 13:46 +0530 – hirunews.lk/sinhala)

ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මයෙන් පසු ‘ප්‍රෙඩ්නිසිලොන්’ නම් දියර ඖෂධය භාවිත කිරීම හේතුවෙන් මෙරට රෝගීන්ට ඇති වූ අසාත්මිකතා සැලකිල්ලට ගෙන එම ඖෂධය සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට ඉන්දීය මධ්‍යම ඖෂධ තත්ත්ව පාලන සංවිධානය පියවර ගෙන තිබෙනවා.

ගුජරාටයේ පිහිටි ඉන්දීය ඖෂධ නිෂ්පාදන සමාගමක් විසින් අදාළ ඖෂධය නිෂ්පාදනය කර ඇති අතර, මෙරට රෝගීන් 30 කට අධික පිරිසක් එම ඖෂධය භාවිතයෙන් සංකූලතාවන්ට ලක්වූ බවටයි වාර්තා වුණේ.

මේ හේතුවෙන් කොළඹ ජාතික අක්ෂි රෝහල, දින කිහිපයකට වසා දැමුණු අතර, නුවරඑළිය සහ මඩකලපුව රෝහල්වල රෝගීන්ට සංකූලතා මතු වුණා.

ඒ අනුව, අදාල ඖෂධය දිවයින පුරා රෝහල් තුළ භාවිතයෙන් ඉවත් කිරීමටයි පියවර ගැණුනේ.

ඇතැම් රෝගීන්ට පෙනීම දුර්වලවීමේ තත්ත්වයන් ද මතු වූ අතර, මේ හේතුවෙන් මේ සම්බන්ධයෙන් සොයා බලන ලෙස රජය ඉන්දීය රජයෙන් ඉල්ලීමක් ද කරනු ලැබුවා.

මේ වනවිට ඉන්දීය රජයේ ඖෂධ පරීක්ෂක නිලධාරින් විසින් එම දියරමය ඖෂධය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර ඒවායේ ප්‍රතිඵල අපේක්ෂාවෙන් පසුවන බවයි ඉන්දීය වාර්තාවල දැක්වුණේ.

අදාළ පරීක්ෂණ වාර්තා ලැබුණු පසු එහි සවිස්තරාත්මක වාර්තාවක් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත යොමු කිරීමට නියමිත බව ඉන්දීය මධ්‍යම ඖෂධ තත්ත්ව පාලන සංවිධානයේ නිලධාරියෙකු උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

මේ අතර, සංකූලතාවන්ට ලක්වූ රෝගීන්ට සිදුවූ අසාධාරණයට යම් වන්දි මුදලක් ලබාදීමට අවශ්‍ය පියවර ගත යුතු බවයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව කියා සිටියේ ෴


ගුරු මාරු ලිපි ලැබී ඇති ගුරුවරුන්ට නිවේදනයක්

(02.06.2023 – 14:06 +0530 – hirunews.lk/sinhala)

2021.12.31 දිනට සේවා කාලය සම්පූර්ණ කරන ලද, ගුරු ස්ථාන මාරු ලිපි ලැබී ඇති සියලු ගුරුවරුන් 2023.06.12 දින වන විට තම සේවා ස්ථානයට වාර්තා කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටිනවා.

ඒ පිළිබඳව අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය ගුරුවරයකු සිටී නම්, සේවයට වාර්තා කිරීමෙන් පසු අදාළ පාසලේ විදුහල්පති මඟින් තමන්ගේ අභියාචනය ගුරු මාරු අංශයට යොමු කරන ලෙස ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

මේ සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශයේ ගුරු මාරු අංශයට පෞද්ගලිකව පැමිණීම අවශ්‍ය නොවන බවත් සඳහන් වෙනවා.

අභියාචනයට යොමු කළ අයදුම්පත් පිළිබඳ අභියාචනා තීරණය කඩිනමින් දැනුම් දෙන බව ද අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දෙනු ලබනවා ෴


සිසුවියක් අපයෝජනයට කළ කාර්මිකයෙකු අත්අඩංගුවට

(02.06.2023 – 14:43 +0530 – hirunews.lk/sinhala)

මානසික ආබාධයකින් පෙළෙන 14 හැවිරිදි සිසුවියක් අපයෝජනයට ලක් කළ කාර්මිකයෙකු සීදූව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ටොෆි චොක්ලට් ලබාදෙන බව පවසා සිසුවිය රවටා මෙම අපයෝජනය සිදු කර ඇති බව පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *