ජාත්‍යන්තර වෙළඳ සන්නාම ව්‍යාජ ලෙස යොදා නිමි ඇඳුම් අලෙවි කිරීමේ ජාවාරමක්

ජාත්‍යන්තර වෙළඳ සන්නාම ව්‍යාජ ලෙස යොදා නිමි ඇඳුම් අලෙවි කිරීමේ ජාවාරමක්


ජාත්‍යන්තර වෙළඳ සන්නාම ව්‍යාජ ලෙස යොදා නිමි ඇඳුම් අලෙවි කිරීමේ ජාවාරමක්

(02.06.2023 – 07:49 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තරව පිළිගත් වෙළඳ සන්නාම ව්‍යාජ ලෙස යොදා ටී ෂර්ට්, ඩෙනිම් කළිසම් ආදි නිම් ඇඳුම් තොග වශයෙන් අලෙවි කරන ස්ථානයක් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය මගින් වටලා තිබෙනවා.

ජනතාවගෙන් ලද පැමිණිලි මත මෙම වැටලීම සිදුකර තිබුණේ පිටකොටුව ප්‍රදේශයේදියි.

මේවා අන්තර්ජාලය හරහා පාරිභෝගිකයින් රවටමින් අධික මිල ගනන් යටතේ අලෙවි කර ඇති බව සඳහන්.

ඒ අනුව මෙම වෙළදසැලේ හිමිකරුට නඩු පැවරූ බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ බස්නාහිර පළාත් සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කළුතර ආරච්චි කියාසිටියේ ෴


කොළඹ කොටුවේ සිට කුරුණෑගල බලා ධාවනයට නියමිත යාල්දේවි දුම්රිය අනුරාධපුර දක්වා ධාවනය කෙරේ

(02.06.2023 – 07:50 +0530 – hirunews.lk/sinhala)

අද (02) උදෑසන 08:55 ට කොළඹ කොටුවේ සිට කුරුණෑගල බලා ධාවනයට නියමිත දුම්රිය අනුරාධපුරය දක්වා දීර්ඝ කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

මෙම තීරණය ගෙන ඇත්තේ යාල්දේවී දුම්රියේ මගී ධාරිතාව ඉක්මවා යෑම හේතුවෙන් ය ෴


ජූනි අග දී ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන කිහිපයක් සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට පියවර

(02.06.2023 – 08:08 +0530 – hirunews.lk/sinhala)

මේ මාසය අවසානය වන විට ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන කිහිපයක් සම්පූර්ණයෙන්ම තහනම් කරන බව පරිසර අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළා.

ජාතික පරිසර සතිය හා ජගත් පරිසර දින සැමරුමට සමගාමීව පරිසර අමාත්‍යාංශ පරිශ්‍රයේ ඊයේ (01) පැවති වැඩසටහනක් අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ප්ලාස්ටික් ඉඳිආප්ප වට්ටි, ප්ලාස්ටික් මල් මාලා, හැඳි – ගෑරුප්පු ආදී භාණ්ඩ කිහිපයක් මේ යටතේ තහනම් කරන බවයි ෴


දිස්ත්‍රික්ක පහකට (5) නායයෑමේ අවදානමක්

(02.06.2023 – 08:15 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල, කළුතර, කෑගල්ල, මාතර හා රත්නපුර දිස්ත්‍රික්කවලට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයෑම් අවදානම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල, විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර, රත්නපුර, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තම්න්තුව ප්‍රකාශ කළා.

මේ අතර ඇදහැලෙන වැසි හේතුවෙන් ගිං ගඟ පිටාර ගැලීම නිසා නෙළුව, තවලම යන ප්‍රදේශවල පහත් බිම් මේ වනවිට ජලයෙන් යටවී ඇති බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ ෴


ත්‍රීරෝද රථ ගාස්තු පහළට

(02.06.2023 – 08:19 +0530 – hirunews.lk/sinhala)

පෙට්‍රල් මිල පහත දැමීම සහ ඉන්ධන කෝටාව ඉහළ දැමීම පිළිබඳව අවධානය යොමුකර ත්‍රිරෝද රථ ගාස්තු පහත දැමීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියැදුරන්ගේ හා හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සුදිල් ජයරුක් පවසනවා.

ඒ අනුව පළමු (1) කිලෝමීටරයට රුපියල් 100 ක් සහ දෙවැනි (2) කිලෝමීටරයට රුපියල් 80 ක් ලෙස ත්‍රිරෝද ගාස්තුව සංශෝධනය කරන බවයි ඔහු පවසන්නේ.

සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියැදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමේ දී ඔහු ප්‍රකාශ කරන ලද්දේ සිය සංගමයේ සාමාජික ත්‍රිරෝද රථ මාස කීපයක සිට පළමු (1) කිලෝමීටරයට රුපියල් 100 ක් සහ දෙවැනි කිලෝමීටරයට රුපියල් 80 ක් පමණක් අය කරමින් ප්‍රවාහන කටයුතු කළ බවයි.

ජනතාවට සාධාරණය ඉටුකිරීමට ත්‍රිරෝද රථ ගාස්තු නියාමනයක් අවශ්‍ය වන්නේ එකම ප්‍රවාහන මාධ්‍යයේ ගාස්තු දෙකක් තිබීම නැති කිරීමට බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා ෴


දෙදෙනෙකුට (2) කඩුවලින් පහර දුන් අ‍යෙක් දැලේ

(02.06.2023 – 08:23 +0530 – hirunews.lk/sinhala)

කඩුවලින් පහර දී පුද්ගලයන් දෙදෙනකුට (2) බරපතළ තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරුවකු යතුරුපැදියක් සමඟ ඊයේ (01) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සිදුවීම සිදුවී ඇත්තේ පසුගිය 25 දින යාපනය පොලිස් වසමේදීයි. සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී තවත් සැකකරුවන් දෙදෙනකු (2) අපරාධය සඳහා යොදා ගත් යතුරුපැදියක් ද අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

මෙම අපරාධය සඳහා යොදාගන්නා ලද කඩුවක්, මුහුණ ආවරණය කරන ලද කළු පාට රෙදි කැබලි 04 ක් වන්නාරපන්නෙයි මාර්ගයේ ළඳු කැලෑවක තිබී සොයා ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 19 හ 20 වයස්වල පසුවන මානිප්පායි සහ කොකුවිල් ප්‍රදේශවල පදිංච්කරුවන්.

මොවුන් අද (02) යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


‘ගොඩවෙල්ලා’ මට්ටු කළ හැකියි – කෘෂිකර්ම අමාත්‍යාංශය

(02.06.2023 – 08:26 +0530 – hirunews.lk/sinhala)

වී වගාවේ ව්‍යාප්ත වෙමින් පවතින ‘ගොඩවෙල්ලා’ හෙවත් ‘ස්පොඩොප්ටෙරා’ දළඹුවන් වළක්වා ගත හැකි වසංගත තත්ත්වයක් බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

දළඹු හානිය පවතින ලියැදි හොඳින් පිරී ඉතිරී යන ලෙස ජලය පිරවීම, වල්පැල විනාශ කිරීම, පක්ෂීන්ට වසා සිටිය හැකි ස්ථාන පිහිටුවීම මෙන්ම රසායනික ක්‍රම හරහා ද එම උවදුර පාලනය කර ගත හැකි බවයි එම අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ෴


කොහුවල ගුවන් පාලමේ ඉදිකිරිම් තවදුරටත් – විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලිසියෙන් ඉල්ලීමක්

(02.06.2023 – 08:42 +0530 – hirunews.lk/sinhala)

සැළසුම් කළ පරිදි කොහුවල ගුවන් පාලමේ ඉදිකිරීම් අවසන් වී නොමැති බැවින් එම කටයුතු ලබන ජූලි මස 31 වැනිදා දක්වා දීර්ඝ කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය තීරණය කර තිබෙනවා.

ඒ හේතුවෙන් අද (02) සිට ලබන මස 31 වැනිදා දක්වා කාලසීමාව තුළ තවදුරටත් රථවාහන ගමනාගමනය සීමා කෙරෙන බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය ඉල්ලා සිටින්නේ.

ඒ සඳහා විකල්ප මාර්ග ද පොලිසිය නම් කර තිබෙනවා.

ඒ අනුව හොරණ දෙස සිට කොළඹට ගමන් කිරීමේ දී 120 මාර්ගයේ පැපිලියාන මංසන්ධියෙන් දකුණට හැරී ගම්සභා හන්දිය ඔස්සේ හයිලෙවල් මාර්ගය ඔස්සේත්, පැපිලියාන මංසන්ධියෙන් හැරී නැදිමාල හරහා දෙහිවලට ගමන් කර ගාලු පාර ඔස්සේත් කොළඹට පැමිණිය හැකි බවයි පොලිසිය කියා සිටියේ.

එමෙන්ම නාවල දෙස සිට දෙහිවලට ගමන් කිරීමේදී නුගේගොඩ පාලම අසළින් දකුණට හැරී හයිලෙවල් මාර්ගය ඔස්සේ කොළඹ දෙසට ගොස් කිරුළපන – ස්ටෙපට් මාර්ගයෙන් පාමංකඩ පාලම අසලින් දකුණට හැරී දෙහිවල දෙසට ගමන් කළ හැකියි ෴


මෙරටට ‘අයිස්’ ගෙන්වූ ඉන්දියානුවකු ඇතුළු 8 ක් අත්අඩංගුවට

(02.06.2023 – 08:45 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට අයිස් මත්ද්‍රව්‍ය රැගෙන ඒමේ ජාවාරමක නිරත ඉන්දියානු ජාතිකයකු (1) ඇතුළු 8 දෙනෙකු කල්පිටිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කල්පිටියේ සිට අක්කරෙයිපත්තුව දක්වා ලංගම බස් රථයකින් ‘අයිස්’ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 3 යි ග්‍රෑම් 18 ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිදු කළ විමර්ශනයේදී ඉන්දියානු ජාතිකයා ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව‍යි පොලිසිය පවසන්නේ.

මෙම මත්ද්‍රව්‍ය ඉන්දියාවේ සිට ලංකාවට රැගෙන විත් ඇත්තේ පසුගිය මැයි 31 වැනි දිනයි.

මෙම ඉන්දියන් ජාතිකයා රෙදිපිළි මෙරටට රැගෙන ඒමේ ව්‍යාපාරයක් සිදු කරන බව සමාජයට පෙන්වමින් වසර් 12 ක කාලයක් තිස්සේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මොවුන්ගේ මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට අවශ්‍ය මූල්‍යමය කටයුතු මෙහෙය වූ බව කියන ‘පේසාලේ ගජන්’ නමැත්තා ද අත්අඩංගුවට ගෙන තිබෙන අතර මෙම ජාවාරම් ජාලයේ අනෙකුත් සාමාජිකයන් සොයා කල්පිටිය පොලිසිය විමර්ශන සිදු කරනවා ෴


කේරළ ගංජා සමඟ පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට

(02.06.2023 – 09:16 +0530 – hirunews.lk/sinhala)

කේරළ ගංජා කිලෝග්‍රෑම් එකකට (1) අධික ප්‍රමාණයක් සමඟ ත්‍රිකුණාමලය පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, තඹලගමුව-97 මංසන්ධිය අසල දී පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ (01) සිදුකළ වැටලීමකදියි.

54 හැවිරිදි මෙම සැකකරු තඹලගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

වැඩිදුර පරීක්ෂණවල දී හෙළිවී ඇත්තේ කාලයක් තිස්සේ මොහු කේරළ ගංජා ප්‍රවාහනයේ යෙදී සිට ඇති බවයි ෴


තැන තැන හෙරොයින් අල්ලයි

(02.06.2023 – 09:45 +0530 – hirunews.lk/sinhala)

රත්මලාන, වැල්ලවත්ත හා දෙහිවල ප්‍රදේශවලදී හෙරොයින් ග්‍රෑම් 06 යි මිලිග්‍රෑම් 360 ක් සමඟ සැකකාරියක් ද, හෙරොයින් ග්‍රෑම් 17 යි මිලිග්‍රෑම් 100 ක් හා හෙරොයින් ග්‍රෑම් 05 යි මිලිග්‍රෑම් 200 ක් සමඟ සැකකරුවන් දෙදෙනකු (2) ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබෙන අතර සැකකරුවන් ගල්කිස්ස පොලිසියට ඉදිරිපත් කර අද (02) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අත්අඩංගුවට ගත් සැකකාරිය 47 හැවිරිදි රත්මලාන ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර අනෙක් සැකකරුවන් දෙදෙනා (2) වයස අවුරුදු 27 හා 28 වයස්වල පසුවන රත්මලාන හා තඹුත්තේගම ප්‍රදේශවල පදිංචිකරුවන් ෴

මේ අතර, තලංගම, බත්තරමුල්ල ප්‍රදේශයේදී ද හෙරොයින් ග්‍රෑම් 05 යි මිලිග්‍රෑම් 200 ක් ළඟ තබා ගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු 24 හැවිරිදි බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු අද (02) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිර්‍රිමට නියමිතයි ෴

මාලිගාවත්ත ලක්සෙත සෙවණ මහල් නිවාස සංකීර්ණය අසල දී ද හෙරොයින් ග්‍රෑම් 05 යි ග්‍රෑම් 228 ක් හා හෙරොයින් ග්‍රෑම් 05 යි මිලිග්‍රෑම් 123 ක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 35 හා 43 වයස්වල පසුවන මාලිගාවත්ත ප්‍රදේශයේම පදිංචිකරුවන්.

ඔවුන් අද (02) මාලිගාවත්ත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


හොරෙන් මැණික් ගැරූ දෙදෙනෙකුට (2) පොලිස් ඇප

(02.06.2023 – 10:29 +0530 – hirunews.lk/sinhala)

බලපත්‍ර නැතිව මැණික් ගරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු (2) මැණික් ගැරීමට යොදා ගන්නා ලද උපකරණ ද සමඟ ඊයේ (01) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 25 හා 35 වයස්වල පසුවන දෝතලාවත්ත, මස්කෙලිය ප්‍රදේශයේ පදිංචිකරුවන්.

සැකකරුවන් ලබන 07 දින හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දී පොලිස් ඇප මත නිදහස් කර තිබෙනවා.

මස්කෙළිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා ෴


උප පොලිස් පරීක්ෂකවරයකුට සහ පොලිස් කොස්තාපල්වරියකට පහරදුන් යුධ හමුදා සෙබළකු අත්අඩංගුවට

(02.06.2023 – 10:51 +0530 – hirunews.lk/sinhala)

උප පොලිස් පරීක්ෂකවරයකුට සහ පොලිස් කොස්තාපල්වරියකට පහරදුන් යුධ හමුදා සෙබළකු සහ තවත් පුද්ගලයෙකු තිහගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිහගොඩ පොලිස් ස්ථානයට රැගෙන ඒමේදී මෙම දෙදෙනා (2) පොලිස් නිලධාරීන්ට මෙලෙස පහර දී ඇති බවයි පොලිසිය පවසන්නේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *