රන් භාණ්ඩ සොරකමේ ආ පුද්ගලයාගෙන් සේවකයාට ඇසිඩ් ප්‍රහාරයක්

රන් භාණ්ඩ සොරකමේ ආ පුද්ගලයාගෙන් සේවකයාට ඇසිඩ් ප්‍රහාරයක්


රන් භාණ්ඩ සොරකමේ ආ පුද්ගලයාගෙන් සේවකයාට ඇසිඩ් ප්‍රහාරයක්

(01.06.2023 – 19:06 +0530 – hirunews.lk/sinhala)

රන් භාණ්ඩ මිලදී ගන්නා මුවාවෙන් මහරගම නගර මධ්‍යයේ පිහිටි රන් භාණ්ඩ අලෙවි සැලකට ඇතුළු වූ පුද්ගලයකු රන් භාණ්ඩ සොරා ගැනීමට යාමේදී ඊට විරෝධය පෑ එහි සේවකයෙකුට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කොට පලා ගොස් තිබෙනවා.

ඇසිඩ් ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය සඳහන් කළා.

අද (01) දහවල් මහරගම නගර මධ්‍යයේ පිහිටි රන් භාණ්ඩ වෙළෙදසලකින් රන් මාලයක් මිලදී ගන්නා මුවාවෙන් පුද්ගලයකු පැමිණ ඇති අතර පසුව ඔහු එහි සේවකයකු සමඟ කතාබහ කරමින් අලෙවිය සඳහා තබා තිබූ රන්මාල තොගයක් පරීක්ෂා කරමින් සිටින අතරතුරදී එක්වරම එහි තිබූ රන් භාණ්ඩ කිහිපයක් සඟවා ගැනීමට උත්සාහ දරනු දුටු සේවකයා ඊට විරෝධය පා ඔහුව අල්ලා ගැනීමට උත්සාහ කර ඇති බවයි වාර්තා වී ඇත්තේ.

පොලිසිය සඳහන් කළේ එම අවස්ථාවේදී දෙදෙනා අතර පොර බැදීමක් සිදුව ඇති අතර එහිදී යාබදව රැඳී සිටි තවත් පුද්ගලයන් කිහිප දෙනකු පැමිණ කොල්ලකරු අල්ලා ගැනීමට සැරසීමේදී සැකකරු අත තිබූ ඇසිඩ් දියරය සේවකයාගේ සිරුරට දමා ගසා පලා ගොස් ඇති බවයි.

ඇසිඩ් ප්‍රහාරයෙන් සේවකයාගේ මුහුණෙහි එක් පසක තුවාල සිදුව ඇති අතර ඔහු ප්‍රතිකාර සදහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බවත් ඔහුගේ තත්ත්වය සාමාන්‍ය බවත් පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

සැකකරු අත්අඩංගුවට ගෙන නොමැති අතර පලා ගිය මාර්ගයේ සවිකර ඇති ආරක්ෂිත කැමරා පරීක්ෂාකොට අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ ෴


ළමුන් පැහැර ගන්නා බවට සංසරණය වන පුවත ගැන විමර්ශනයක්

(01.06.2023 – 18:07 +0530 – hirunews.lk/sinhala)

සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ පුද්ගලයින්ගේ ඡායාරූප, හඩපට, වීඩියෝ දර්ශන උපයෝගී කර ගනිමින් ටොෆි, චොක්ලට් වැනි ආහාර වර්ග ලබා දී පාසල් දරුවන් පැහැර ගැනීමට උත්සාහ කරන බවට සංසරණය වන පුවත් සම්බන්ධයෙන් පොලිසිය විසින් විමර්ශන සිදු කරමින් පවතින බව වාර්තා වී තිබෙනවා.

එමෙන්ම පසුගිය දිනවල ළමුන් පැහැරගැනීමට තැත් කිරීමේ සිදුවීම් සම්බන්ධව පැමිණිලි කිහිපයක් පොලිස් ස්ථාන වෙත වාර්තා වී තිබුණ ද ඒ සම්බන්ධව විමර්ශනය කිරිමේ දි එම ඇතැම් පැමිණිලි අසත්‍ය බවට අනාවරණය වී තිබෙනවා.

පැහැර ගැනීමට තැත් කිරීම් වලට අදාල අනෙකුත් පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශනයේදී ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ආකාරයේ කිසිඳු තොරතුරක් මෙතෙක් තහවුරු වී නොමැති බවයි වාර්තා වන්නේ.

මෙලෙස අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය හා අන්තර් ජාල ඔස්සේ ප්‍රචාරය කරන පුද්ගලයන්ට හා එම ප්‍රචාරයන්ට සහාය දක්වමින් කටයුතු කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද පොලිසිය සඳහන් කර සිටිනවා.

මීට පෙරද මේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම දැනුවත් කිරීම් සිදු කර ඇති අතර කිසිදු වගකීමකින් තොරව මහජනතාව අතර නොසන්සුන්තාවයක් ඇති වන ආකාරයේ පල කරනු ලබන මෙවැනි පුවත්වලට නොරැවටෙන ලෙසට ශ්‍රී ලංකා පොලිසිය මහජනතාව දැනුම් දී තිබෙනවා ෴


බැංකු පොලී අනුපාතිකය අඩුකිරිම ගැන විශේෂ නිවේදනයක්

(01.06.2023 – 18:21 +0530 – hirunews.lk/sinhala)

වාණිජ බැංකුවලින් ණය පොලිය අනුපාතිකය 2.5% කින් පහල තැබීමට තීරණය කළ බව අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කරනවා.

මේ අතර, ශ්‍රී ලංකා මහ බැංකුව මගින් ප්‍රතිපත්තිමය පොලී අනුපාතික අඩුකිරීමේ වාසිය බැංකු මගින් ජනතාවට සම්ප්‍රේෂණය කෙරෙතැයි අපේක්ෂා කෙරෙන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

ඔහු මේ බව පැවසුවේ ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.

බැංකු පොලී අඩුවුවහොත් නැවතත් ව්‍යාපාර සඳහා බැංකු මූල්‍ය පහසුකම් ලබාගැනීම වර්ධනය වී ආර්ථික කටයුතු යථා තත්ත්වයට පත්වෙතැයි ඔහු පැවසුවා.

+


බෲනෝ රිමාන්ඩ් – CID යටත් මහේස්ත්‍රාත්වරයාගෙන් නියෝගයක්

(01.06.2023 – 19:37 +0530 – hirunews.lk/sinhala)

බුදුදහමට අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකළ බව කියන ‘ජයනි නතාෂා එදිරිසූරිය’ නමැති කාන්තාවට එම ප්‍රකාශය සිදු කිරීම සඳහා ආධාර අනුබල දුන් බවට සැකපිට අත්අඩංගුවට ගත් යූටියුබ් නාලිකාවේ හිමිකරු ‘බෲනෝ දිවාකර’ ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ ඔහු අද (01) කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පැමිණිල්ල කැඳවූ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා සැකකරු මෙම සිද්ධියට සම්බන්ධ වී ඇත්තේ කෙසේදැයි පොලිසියෙන් ප්‍රශ්න කළා.

ඊට පිළිතුරු දෙමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සදහන් කළේ බුදුදහමට සහ සිදුහත් කුමරුට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකළ නතාෂා එදිරිසූරියට එම ප්‍රකාශය සිදු කිරීම සඳහා මෙම සැකකරු ආධාර අනුබල දී ඇති බවයි.

ඒ අනුව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ සැකකරු වරදක් සිදුකර ඇති බවත් විමර්ශන කටයුතු මූලික අවධියේ පවතින බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලීමක් කළා.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් මහේස්ත්‍රාත්වරයා, යළි විමසා සිටියේ මෙම සැකකරු ඊට ආධාර අනුබල දීමක් සිදු කළ බවට තහවුරු කිරීම සඳහා සාක්ෂි ඉදිරිපත් වී ඇත්ද යන්නයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදී පෙන්වා දුන්නේ නතාෂා එදිරිසූරියට එම ප්‍රකාශය සිදු කිරීම සඳහා පහසුකම් සැලසීම, මහජනතාව රැස්කිරීම, වේදිකාව සකසාදීම සැකකරු විසින් සිදුකර ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවයි.

අපහාසාත්මක ප්‍රකාශ අඩංගු වීඩියෝ පටය මෙම සැකකරුට අයත් යූ ටියුබ් නාලිකාවට එක්කර ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා.

යම් ප්‍රකාශයක් අන්තර්ජාලයට එක්කළ පමණින් ඔහු අපරාධයකට ආධාර අනුබල දීම සිදුකළ බවට චෝදනා කරන්නේ කෙසේ දැයි ප්‍රශ්න කළ සැකකරුගේ නීතිඥවරයා දණ්ඩ නීති සංග්‍රහයේ 120 වන වගන්තිය යටතේ තම සේවාදායකයාට එල්ල කර ඇති චෝදනාව පවත්වාගෙන යෑමට නොහැකි බවටයි තර්ක කළේ.

එමෙන්ම මෙම නඩුවට පාදක වන ප්‍රකාශය තුළින් රජය අපහසුතාවයකට පත් වීමක් සිදු නොවන බවත් එය පදනම් විරහිත බවත් ඔහු සඳහන් කළා.

එමෙන්ම සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුති පනතේ තුනේ දෙක (3-2) වගන්තිය ප්‍රකාරව යම් වරදකට ආධාර අනුබලදීම නැමැති චෝදනාව ඉදිරිපත් කළ නොහැකි බැවින් තම සේවාදායකයා ඇපමත මුදා හරින ලෙසයි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ නීතිඥවරයා අමතමින් ‘ඕනෑම ප්‍රකාශයක් අන්තර්ජාලයට එක්කළ හැකි නමුත් ඉන් ප්‍රශ්නයක් මතුවන බවට කලින් පෙනී යන්නේ නම් එය සිදු නොකර සිටිය හැකි’ බවයි සඳහන් කළේ.

ඒ අනුව කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකාර බෲනෝ දිවාකර ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ අතර එදිනට විමර්ශණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

+


ජෙරම්ගේ පෙත්සමට ඇල්ලේ හිමියන්ගෙන් අතරමැදි පෙත්සමක්

(01.06.2023 – 19:40 +0530 – hirunews.lk/sinhala)

තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරොම් ප්‍රනාන්දු ඉදිරිපත් කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන්නැයි ඉල්ලමින් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අතරමැදි පෙත්සමක් ගොනු කර තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන බවට නීතිපතිවරයා පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබාදී තිබියදී එවැනි පෙත්සම ගොනු කර තිබෙන බවයි අතරමැදි පෙත්සම්කරුවන් චෝදනා කර ඇත්තේ.

ඉදිරිපත්වූ පැමිණිලි මත විමර්ශනයක් පැවැත්වෙන අවස්ථාවක මෙවැනි පෙත්සමක් ඉදිරිපත් කිරීමට කිසිදු නීතිමය පදනමක් නොමැති බවත් එබැවින් එම මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරන ලෙස පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු පිරිස සිය අතරමැදි පෙත්සම හරහා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

මේ අතර, ‘සිංහල රාවය ජාතික සංවිධානයේ’ ප්‍රචාරක ලේකම් ඇතුලු පිරිසක් අද (01) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පැය දෙකහමාරකට (2½) වැඩි කාලයක් ප්‍රකාශයක් ලබාදුන් අතර, පැමිණිල්ලක්ද ඉදිරිපත් කළා.

බුදුදහමට අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකල බව කියන ‘ජයනි නතාෂා එදිරිසූරිය’ට එරෙහි නඩුවේ විනිසුරු හට බලපෑම් සිදුකර ඇති බවයි එම පැමිණිල්ලෙන් ඔවුන් දක්වා ඇත්තේ ෴


දියණිය විකුණූ පියා රිමාන්ඩ්

(01.06.2023 – 19:45 +0530 – hirunews.lk/sinhala)

සිය දියණිය පිටස්තර පුද්ගලයෙකුට අලෙවි කර මුදල් ඉපැයූ පියෙකු ඇතුළු තුන් (3) දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මතුගම මහේස්ත්‍රාත් අධිකරණය අද (01) නියෝග කළා.

අගලවත්ත පොලිසියේ ළමා සහ කාන්තා කාර්යාංශයේ නිලධාරින් විසින් සැකකාර පියා අත්අඩංගුවට ගනු ලැබුවේ දියණියගේ මව සිදු කළ පැමිණිල්ලක් අනුවයි.

අත්අඩංගුවට ගත් පිරිසට දියණියගේ ඥාතියෙකු සහ ව්‍යාපාරිකයෙකුද ඇතුළත්.

රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද මතුගම – අගලවත්ත ප්‍රදේශයේ පදිංචි සැකකාර පියා සිය නිවසේ කලක් තිස්සේ රහසිගත සුදුපොලක් පවත්වාගෙන ගොස් ඇත්තේ අත්අඩංගුවට ගත් 38 හැවිරිදි ව්‍යාපාරිකයාගෙන් මුදල් ලබා ගනිමින්.

එම මුදල් ආපසු පියවීම වෙනුවට ව්‍යාපාරිකයා සමග සමීප ඇසුරක් පවත්වාගෙන යන ලෙස සැකකාර පියා 15 හැවිරිදි වැඩිමහල් දියණියට අනුබල ලබාදී තිබෙනවා.

ඒ අනුව වසරකට (1) ආසන්න කාලයක් වැඩිමහල් දියණිය ව්‍යාපාරිකයා සමඟ සම්බන්ධතාවක් පවත්වා ගෙන යන අතරතුරදි ඇයගේ මව සිදුකළ පැමිණිල්ලකට අනුව පොලිසිය විමර්ශණ ආරම්භ කළ අතර එහිදී අනාවරණ වී ඇත්තේ දියණිය ලිංගික අතවරයකට ලක්ව ඇති බවයි.

මවගේ සහෝදරයෙකු විසින් ද එම 15 හැවිරිදි දියණිය මීට වසර දෙකකට (2) පෙර ලිංගික අපයෝජනයට ලක්කර ඇති බව විමර්ශන වලදි වැඩිදුරටත් අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව අධිකරණයට ඉදිරිපත් කළ පියා ලබන 08 වනදා දක්වාත් සිද්ධියට සම්බන්ධ දියණියගේ මාමා සහ ව්‍යාපාරිකයා ලබන 15 වැනිද දක්වාත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කෙරුණේ.

+


අවමගුලට මුදල් නොමැතිව සැමියෙකු රහසේම වැළලු බිරිදගේ සිරුර ගොඩගැනේ

(01.06.2023 – 19:48 +0530 – hirunews.lk/sinhala)

මුදල් නොමැතිකම හේතුවෙන් මියගිය තම බිරිදගේ දේහය රහසිගතව නිවස පිටුපස මිහිදන් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමේ පුවතක් අනුරාධපුරයෙන් වාර්තා වනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධුපුර – විජයපුර, පණ්ඩුකාභයපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි අයෙක්.

දින කිහිපයක සිට අදාළ කාන්තාව අතුරුදන් බවට ඇයගේ ඥාතී සොහොයුරියක විසින් මැදවච්චිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

ඒ අනුව විමර්ශන ආරම්භ කළ මැදවච්චිය පොලිසිය අදාළ කාන්තාව පදිංචිව සිටි නිවසට ගොස් සෝදිසි කර ඇති අතර එහිදී අදාළ සැමියා පිළිබද ඇතිවූ සැකයක් මත ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර තිබෙනවා.

ඔවුන් නීත්‍යානුකූලව විවාහ නොවුනත් වසර ගණනාවක සිට අඹුසැමියන් ලෙස ජීවත්ව ඇති බව එහිදී අනාවරණ වී තිබෙනවා.

පසුගිය දිනෙක නිවසට පැමිණි අවස්ථාවේ ඇය කුස්සියේ මිරිස් අඹරන ගල අසළ බිත්තියට හේත්තු වී නිසොල්මන්ව සිටිනු දැක කළ සොයාබැලීමකදී ජීවිතක්ෂයට පත්ව ඇති බව තහවුරු වුණේ යැයි එම පුද්ගලයා පොලිසියට ප්‍රකාශ කර තිබුණා.

ඇය අධි රුධිර පීඩනයෙන් පෙලුණු බවත් කුලී වැඩ කර ඉපැයූ මුදලින් ඖෂධ රැගෙන තමා නිවසට පැමිණි බවත් ඔහු වැඩිදුරටත් පොලිසියට පවසා තිබෙනවා.

අවමංගල කටයුතු සදහා තමන් සතුව මුදල් නොතිබූ බැවින් රහසිගතව එලෙස ඇයගේ සිරුර මිහිදන් කළ බවයි මෙම සැමියා පොලිසියට දුන් ප්‍රකාශයේ වැඩිදුරටත් සදහන් වන්නේ.

ඒ අනුව අද (01) පස්වරුවේ අදාළ කාන්තාවගේ සිරුර මිහිදන් කර තිබූ ස්ථානයෙන් ගොඩගත් අතර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදුකිරීමෙන් අනතුරුව මරණය පිළිබදව තොරතුරු අනාවරණ කරගත හැකි බව පොලිසිය සදහන් කළා.

සැකකාර පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

මේ අතර පානදුර දකුණ – වෑකඩ ප්‍රදේශයේ ඇගළුම් කාර්මාන්ත ශාලාවකට ඇතුළුවී තියුණු ආයුධයකින් පහරදි පුද්ගලයෙකු ඝාතනය කල සැකකරු හදුනාගෙන තිබෙනවා.

ඔහු පානදුර හිරණ ප්‍රදේශ පදිංචි 23 හැවිරිදි අයෙකු වන අතර පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ප්‍රදේශයෙන් පලාගොස් ඇති සැකකරු ත්‍රිරෝද රථයෙන් පැමිණ පහරදීමට උත්සහ කළ අවස්ථාවේ ඝාතනයට ලක්වු පුද්ගලයා ඇගලුම් කර්මාන්තශාලවට ඇතුළු වි තිබෙනවා.

අනතුරුව සැකකරු ඔහු පසුපස ලුහුබැද ගොස් කර්මාන්තශාලාවට ඇතුළු වී 09 වතාවක් තියුණු ආයුධයකින් පහරදි ඝාතනය කර තිබුණා.

මියගිය පුද්ගලයා 23 හැවිරිදි මෝදරවිල ප්‍රදේශයේ පදිංචි අයෙක්.

මේ අතර, ගාල්ල – කොටුව මුහුදු තීරයේ තිබී නාදුනන කාන්තා මළ සිරුරක් හමුව තිබෙනවා. වයස අවුරුදු 35 ත් 40 ත් අතර වයසැති අඩි පහක් (5) පමණ උසැති මෙම කාන්තා මළ සිරුර කරාපිටිය රෝහලේ තැන්පත් කර ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

එසේම සුරියකන්ද කපුකන්ද ප්‍රජා ශාලාව අසල පිහිටි කැලැබද ප්‍රදේශයක තිබී පුද්ගල මළ සිරුරක් හමුවී මියගිය පුද්ගලයා 36 හැවිරිදි ඇල ඉහල පාර, කොලොන්න ප්‍රදේශයේ පදිංචි අයෙකු බවට අනාවරණය වි තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *