ජුලි අවසන්වන විට උද්ධමනය තනි ඉලක්කමකට – මහබැංකු අධිපති

ජුලි අවසන්වන විට උද්ධමනය තනි ඉලක්කමකට – මහබැංකු අධිපති


ජුලි අවසන්වන විට උද්ධමනය තනි ඉලක්කමකට – මහබැංකු අධිපති

(01.06.2023 – 15:02 +0530 – hirunews.lk/sinhala)

ජුලි මාසය අවසන් වන විට මෙරට උද්ධමනය තනි අගයකට ගෙන ඒම අපේක්ෂාව බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කළා.

මාසික මුදල් ප්‍රතිපත්ති විවරණයට මහබැංකුවේදී අද (01) එක්වෙමින් ඔහු කියා සිටියේ බංග්ලාදේශයෙන් ලබාගත් ඇමරිකානු ඩොලර් මිලියන 200 ක ණය මුදල අගෝස්තු – සැප්තැම්බර් වන විට ගෙවා දැමීමට අපේක්ෂා කරන බවයි.

මේ අතර ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අද (01) තවත් ශක්තිමත් වූ අතර ඇමරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 283.87 ක් ලෙස සහ විකුණුම් මිල රුපියල් 297.23 ක් ලෙස දැක්වුණා.

විනිමය අනුපාතයේ සිදුවන මෙම වෙනස්වීම් පිළිබදව අද (01) පැවති මාධ්‍ය හමුවේදී මහබැංකු අධිපතිවරයා මෙලෙස අදහස් පළකළා.

ඊයේ (31) රැස්වූ මුදල් මණ්ඩලය ප්‍රතිපත්ති පොලී අනුපාත අඩු කිරීමට තීරණය තීරණය කරනු ලැබුවා.

ඒ නිත්‍ය තැන්පතු සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතික පිළිවෙලින් සියයට 13 දක්වා සහ සියයට 14 දක්වායි.

මෙරට ආර්ථික තත්ත්වය සාමාන්‍ය තත්ත්වකට සහ වර්ධනයකට ඉදිරි කාලයේදී ලක්වනු ඇති බවයි මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර මහබැංකුවේ පොලී අනුපාත අඩුකිරීමත් සමග මෙරට වාණිජ බැංකුවල ණය පොලී අනුපාතිකය සියයට 02.05 කින් අඩුවනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළා.

+


මන්නා පහරක් වැදී කොස්තාපල්වරයෙක් රෝහලේ

(01.06.2023 – 14:50 +0530 – hirunews.lk/sinhala)

විශ්‍රාමික යුද හමුදා සෙබලකු එල්ල කළ මන්නා පහරකින් පොලිස් කොස්තාපල්වරයෙකුගේ අතේ ඇඟිලි වෙන්වී ගොස් තිබෙනවා.

119 හදිසි ඇමතුම් අංකයට පුද්ගලයකු කලහාකාරී ලෙස හැසිරෙන බවට ලද පැමිණිල්ලකට අනුව තලාව පොලිසියේ නිලධාරීන් එම ස්ථානයට ගොස් ඇති බවයි වාර්තා වී ඇත්තේ.

මෙම ස්ථානයට පොලිස් නිලධාරීන් යන විට විශ්‍රාමික යුද හමුදා සෙබලා ඔහුගේ නිවසේ තිබූ භාණ්ඩවලට මෙන්ම එහි සිටි පුද්ගලයකුට ද පහරදී තිබෙනවා.

පොලිස් නිලධාරීන් එම ස්ථානයේ සිටියදීම විශ්‍රාමික සෙබලා මන්නා පිහියක් රැගෙන ඔහුගේ බිරිඳට පහර දීමට සූදානම් වීමේදී එය වැළැක්වීමට ගිය කොස්තාපල්වරයාගේ අතේ ඇඟිලි වෙන්වන ලෙසට එම ප්‍රහාරය එල්ල වී ඇති බවයි ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

තුවාල ලැබූ කොස්තාපල්වරයා අනුරාධපුර මහ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබෙනවා ෴


නැවකින් ඇද වැටී විදෙස් ජාතිකයකු ජීවිතක්ෂ‍යට

(01.06.2023 – 14:56 +0530 – hirunews.lk/sinhala)

නෞකාවකින් මුහුදට ඇද වැටුණු විදේශිකයකු මරණයට පත් වී ඇතැයි වාර්තා වෙනවා.

මෙලෙස මරණයට පත් වී ඇත්තේ ලිතුවේනියානු ජාතිකයෙක් වන අතර ඔහු එම නෞකාවේ ප්‍රධාන ඉංජිනේරුවරයා ද වෙනවා.

මෙම නෞකාව ගාල්ල වරායේ නැංගුරම්ලා තිබියදී මෙම විදෙස් ජාතික ඉංජිනෙරුවරයා මුහුදට ඇද වැටී ඇති බවත් ඔහු කරාපිටිය රෝහලට ඇතුළත් කිර්‍රිමෙන් පසු මිය ගිය බවයි ගාල්ල වරාය පොලිසිය පවසන්නේ.

මියගිය අයගේ මෘත ශරීරය කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ලිතුවේනියා තානාපති කාර්යාලය දැනුම්වත් කිරීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

වැඩිදුර විමර්ශන කටයුතු ගාල්ල වරාය පොලිසිය ව්සින් සිදු කරනු ලබනවා ෴


හෙට (02) සිට ත්‍රිරෝද රථ ගාස්තු අඩු කෙරේ

(01.06.2023 – 15:12 +0530 – hirunews.lk/sinhala)

හෙට (02) සිට දෙවන (2) කිලෝමීටරය සඳහා අය කරන ගාස්තුව රුපියල් 80 දක්වා අඩු කිරීමට සමස්ත ලංකා ත්‍රිරෝද රථ හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ඒ, ඉන්ධන මිල අඩු කිරීම සහ ඉන්ධන කෝටාව වැඩි කිරීම සලකා බැලීමෙන් අනතුරුවයි ෴


මෙරට පළමු අර්තාපල් පෙති නිෂ්පාදන කර්මාන්තශාලාවේ අත්හදාබැලීම් සාර්ථකයි

(01.06.2023 – 15:32 +0530 – hirunews.lk/sinhala)

රුපියල් මිලියන 100 ක වියදමින් ඉදි කෙරුණු මෙරට ප්‍රථම අර්තාපල් පෙති නිෂ්පාදන කර්මාන්තශාලාවේ අත්හදා බැලීමේ පර්යේෂණ මේ වනවිට සාර්ථක වී ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යාංශයේ කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩසටහන සහ බණ්ඩාරවෙල – කහත්තේවෙල ජනතා ගොවි සමාගම ඒකාබද්ධවයි මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇත්තේ.

2021 වසරේ දත්ත වලට අනුව මෙරට ආහාර සැකසුම් ආයතනය විසින් අර්තාපල් පෙති ආනයනය කරන අතර, 2021 වසරේදී ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් බිලියන 21 ක්.

නව අර්තාපල් පෙති කර්මාන්තශාලාවේ නිෂ්පාදන විදේශීය මෙන්ම, දේශීය වෙළඳපොලට නිකුත් කිරීමට අපේක්ෂිතයි.

දිනකට අර්තාපල් පෙති කිලෝග්‍රෑම් 1000 ක් සැකසීමේ හැකියාව ඇති මෙම කර්මාන්තශාලාවෙන් අර්තාපල් ගොවීන් 200 කගෙන් නිෂ්පාදන මිලදී ගනු ලබනවා ෴


සිමෙන්ති මිල අඩුවෙයි

(01.06.2023 – 15:44 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි දින කිහිපය තුළ සිමෙන්ති කිලෝග්‍රෑම් 50 ක සිමෙන්ති කොට්ටයක මිල අඩු කිරීමට අපේක්ෂා කරන බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ කිලෝග්‍රෑම් 50 ක සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 300 කින් පමණ අඩු කිරීමට අපේක්ෂා කරන බවයි ෴


“ඉන්ධන හිඟයක් නෑ”- විදුලිබල හා බලශක්ති ඇමති

(01.06.2023 – 16:48 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන හිඟයක් සම්බන්ධයෙන් ජනතාව අනියත බියක් ඇති කරගත යුතු නැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඛනිජ තෙල් සංස්ථාව සහ ලංකා අයි.ඕ.සී. සමාගම සතුව ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බවයි.

ඇතැම් ප්‍රදේශවල යම් ඉන්ධන හිඟයක් නිර්මාණය වී ඇත්තේ මිල සංශෝධනය සැලකිල්ලට ගනිමින් ඇතැම් ඉන්ධනහල් හිමියන් ඉන්ධන ඇණවුම් නොකිරීම හේතුවෙන් බවද කංචන විජේසේකර අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටිනවා.

කෙසේ වෙතත් අමාත්‍යවරයා කියා සිටියේ අලෙවි නියෝජිතයින් විසින් 50% ක අවම ඉන්ධන තොගයක් සෑම විටම පවත්වාගෙන යා යුතු වන අතර ඒ ආකාරයෙන් කටයුතු නොකරන ඉන්ධනහල් සමාලෝචනය කර ඔවුන්ගේ බලපත්‍ර අත්හිටුවන ලෙසයි ෴


අනුරාධපුර පොසොන් මංගල්‍යය වෙනුවෙන් ලංගම බස් රථ 500 ධාවනයට

(01.06.2023 – 17:08 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ ජාතික, ආගමික හා සංස්කෘතික වශයෙන් සුවිශේෂී වැදගත්කමක් හිමිවන පොසොන් පොහෝ දිනය නිමිති කරගෙන මිහින්තලය, අනුරාධපුර අටමස්ථානය සහ තන්තිරිමලේ ඇතුළු බෞද්ධ සිද්ධස්ථාන වන්දනා කිරීම සඳහා විශේෂ ප්‍රවාහන සැළසුමක් සකස් කරන ලෙස ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් ලංකා ගමනාගමන මණ්ඩලය වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතාගේ ප්‍රධානත්වයෙන් රජරට, කොළඹ සහ මහනුවර ප්‍රදේශීය කළමනාකරුවන් ඇතුළු නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවති සාකච්ඡාවකින් අනතුරුව බස්රථ 500 ක් යොදවමින් මගී ජනතාව වෙත ප්‍රවාහන පහසුකම් සැලසීමට ලංකා ගමනාගමන මණ්ඩලය කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ වෙනුවෙන් අනුරාධපුර ඩිපෝව මගින් බස්රථ 85 ක්, පොලොන්නරුව ඩිපෝව මගින් බස්රථ 125 ක්, හොරොව්පතාන ඩිපෝව මගින් බස්රථ 45 ක්, කැකිරාව ඩිපෝව මගින් බස්රථ 35 ක්, කැබිතිගොල්ලෑව ඩිපෝව මගින් බස්රථ 32 ක්, දඹුල්ල ඩිපෝව මඟින් බස්රථ 50 ක් ලෙස රජරට ප්‍රදේශයේ බැතිමතුන් සඳහා බස්රථ 372 ක් ධාවනයේ යෙදවීමට කටයුතු කර තිබෙනවා.

ඊට අමතරව අනුරාධපුරය හා මිහින්තලය සම්බන්ධ කරමින් තවත් බස් රථ 60 ක්, මහනුවර සිට අනුරාධපුරය දක්වා විශේෂ බස්රථ 20 ක්, කුරුණෑගල සිට අනුරාධපුරය දක්වා දිනකට විශේෂ ගමන් වාර සඳහා බස් රථ 50 ක් වශයෙන්, බස්රථ 502 ක් මෙවර අනුරාධපුර පොසොන් වන්දනා සමය වෙනුවෙන් ලංකා ගමනාගමන මණ්ඩලය විසින් ධාවනයට එක් කර ඇති බව සඳහන්.

එමෙන්ම අනුරාධපුර – පුත්තලම හරහා කොළඹ දක්වා සහ අනුරාධපුර දඹුල්ල හරහා කොළඹ දක්වා මර්ගයේත් අනුරාධපුර ඇල්ල හරහා කොළඹ දක්වා මාර්ගයේත් කොළඹ හා ගම්පහ ප්‍රාදේශික මගින් අනුරාධපුරය දක්වා සාමාන්‍ය ගමන්වාරවලට අමතරව අතිරේක බස්රථ 05 බැගින් ධාවනයේ යෙදවීමට නියමිතයි.

මෙම සියලු සේවාවන් ජුනි මස 02 වන දින ප.ව.06:00 සිට ජුනි මස පස් (05) වැනි දින ප.ව.06:00 දක්වා ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් උපදෙස් ලබාදී ඇති බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා ෴


ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වාර්ෂික වාර්තාව ජනපතිට

(01.06.2023 – 17:24 +0530 – hirunews.lk/sinhala)

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ 2022 වර්ෂයට අදාළ වාර්ෂික වාර්තාව එහි සභාපති ජනාධිපති නීතිඥ ආචාර්ය හර්ෂ කබ්රාල් විසින් මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත අද (01) ජනාධිපති කාර්යාලයේ දී නිල වශයෙන් පිළිගන්වා තිබෙනවා.

ජාතික ඉතිරිකිරීමේ බැංකුව, ආර්ථික රාමුව තුළ සිය ක්‍රියාකාරීත්වය සහ සමාජ හා පාරිසරික අංශ සමඟ ඇති සබඳතාව පිළිබිඹු කරමින් ‘අපගේ ශක්තිය ශක්තිමත් කිරීම’ යන තේමාවෙන් යුතුව සිය ඒකාබද්ධ වාර්ෂික වාර්තාව එළිදක්වා තිබෙන බවයි වාර්තා වන්නේ.

2022 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා බැංකුවේ කාර්ය සාධනය, උපාය මාර්ග, ආයතනික පාලනය, අවදානම් කළමනාකරණය ඇතුලුව ජාතික ඉතිරිකිරීමේ බැංකුව පිළිබඳ සවිස්තරාත්මක විශ්ලේෂණයක් මෙම වාර්තාවේ අඩංගු වෙනවා ෴


IMF නියෝජිතයන් වරාය නගරයේ සංචාරයක

(01.06.2023 – 17:34 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ නිල සංචාරක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස අද (01) පෙරවරුවේ වරාය නගරයේ සහ වරාය පර්යන්තවල චාරිකාවකට එක් වී තිබෙනවා.

මෙහි දී South Asia Gateway Terminal සහ කොළඹ ඩොක්යාඩ් සමාගමේ සංචාරයක නිරත වූ මෙම ධූත පිරිස එම ආයතනවල මෙහෙයුම් කටයුතු නිරීක්ෂණය කර තිබෙන බවයි වාර්තා වී ඇත්තේ.

අදාළ ආයතන මගින් මෙරට ආර්ථිකයට දක්වන දායකත්වය සහ ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාව එහි දී සිදු කර ඇති බව ද වාර්තා වී තිබෙනවා.

දැනට සිදු කෙරෙන මෙහෙයුම් කටයුතු, සේවක සුබ සාධනය, බදු දායකත්වය පිළිබඳ මෙහි එම ධූත පිරිසේ දැඩි අවධානයට ලක් වූ බව ද සඳහන්.

ධූත පිරිසේ ප්‍රධානී IMF නියෝජ්‍ය කළමනාකරණ අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා සඳහන් කළේ අදාළ මෙහෙයුම් කටයුතු වඩාත් ආකර්ෂණීය ලෙස සිදු වෙමින් පවතින බවයි.

ඉන් අනතුරුව ධූත පිරිස කොළඹ වරාය නගරයේ සංචාරයකට එක් වූ අතර පැමිණෙන විදේශ ආයෝජකයන් සඳහා රටේ පවතින නීති රාමුව සහ සහනදායි බදු ප්‍රතිපත්ති ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ ඔවුන්ගේ දැඩි අවධානය යොමු වූ බවද වාර්තා වෙනවා ෴


රුපියල් කෝටි තුනකට (3) අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 07 ක් අත්අඩංගුවට

(01.06.2023 – 17:49 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේ සිට මුහුදු මාර්ගය ඔස්සේ රැගෙන එන මත්ද්‍රව්‍ය කොළඹ ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයකට බෙදා හැරීමේ මහා පරිමාණ ජාවාරමක් පිළිබද තොරතුරු පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.

මෙම ජාවරමේ ප්‍රධාන සැකකරු ලෙස ‘ගංගා ධරන් ජෙසු දාසන්’ හෙවත් ‘ගජන්’ හදුනාගෙන ඇති අතර ඔහු මන්නාරම ප්‍රදේශයේ සැගව සිටින බවටයි හෙළිව ඇත්තේ.

කල්පිටිය – අල්අක්ෂා ප්‍රදේශයේ දි බස්රථයකින් ‘අයිස්’ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අද (01) අලුයම පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුනා.

ඔහු ළග තිබී රුපියල් කෝටි තුනකට (3,00,00,000) අධික වටිනාකමකින් යුත් ‘අයිස්’ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3 යි ග්‍රෑම් 18 ක් සොයාගත් අතර, ඔහුගෙන් ලබාගත් තොරතුරු වලට අනුව තවත් සැකකරුවන් තුන්දෙනෙකු (3) නොරොච්චෝලේ කරඹ ප්‍රදේශයේදී අද (01) දහවල් අත්අඩංගුවට ගනු ලැබුවේ වෑන් රථයකින් ගමන් කරමීන් සිටියදීයි.

එලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයන් තිදෙනා (3) ගෙන් අනාවරණය කරගත් කරුණු වලට අනුව තවත් සැකකරුවන් තුන්දෙනෙකු (3) පොලිසිය අත්අඩංගුවට ගත්තේ කල්පිටිය ප්‍රදේශයේදීයි.

ඔවුන් ඉන්දියාවේ සිට බෝට්ටුවෙන් මෙරටට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට සහය ලබාදී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

තවත් සැකකරුවෙකු (1) තලෙයිමන්නාරමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව සිද්ධියට අදාලව මේ වන විට සැකකරුවන් 08 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *