බෲනෝ දිවාකර ජුනි 07 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

බෲනෝ දිවාකර ජුනි 07 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ


බෲනෝ දිවාකර ජුනි 07 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

(01.06.2023 – 11:49 +0530 – hirunews.lk/sinhala)

බුදුදහමට අපහාසාත්මක ප්‍රකාශකයක් සිදුකිරීමට ආධාර අනුබල දීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් ‘බෲනෝ දිවාකර’ නැමැති සමාජ ක්‍රියාකරු ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණා.

ඒ සැකකරු අද (01) දින කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එමෙන්ම, බෞද්ධ දර්ශනයට සහ සංස්කෘතියට අපහාස වන අයුරින් ප්‍රකාශ නිකුත් ‘නතාෂා එදිරිසුරිය’ ද ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

ඇයගේ ප්‍රකාශයට අදාළව ඊයේ (31) අත්අඩංගුවට ගත් සමාජ ක්‍රියාකාරියෙකු වූ ‘බෲනෝ දිවාකර’ නැමැත්තාට එල්ලවී ඇති චෝදනාව වී ඇත්තේ ‘නතාශා එදිරිසුරිය’ ඉදිරිපත් කළ ප්‍රහසන වැඩසටහන යූ-ටියුබ් නාලිකාව ඔස්සේ ප්‍රචාරය කිරීමයි ෴


කල්ලඩි පාලමෙන් කලපුවට පැන්න කාන්තාවක් මරුට

(01.06.2023 – 12:19 +0530 – hirunews.lk/sinhala)

මඩකලපුව, කල්ලඩි පාලමෙන් කලපුවට පැන කාන්තාවක් ඊයේ (31) සිය දිවි හානි කර ගෙන ඇති බව තිබෙනවා.

පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව සිදු කළ සොයා බැලීමේදී මෙම කාන්තාවගේ මළ සිරුර සොයා ගෙන ඇති බව වාර්තා වෙනවා.

ඊයේ (31) සවස් කාලයේ මඩකලපුව, කල්ලඩි පාලමෙන් කාන්තාවක් කලපුවට පැන ඇති බවට මඩකලපුව පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම කාන්තාවගේ මළ සිරුර සොයා ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.

මියගිය කාන්තාව වයස අවුරුදු 21 ක් වූ මඩකලපුව, වන්ඩි ලේන්හි පදිංචිකාරියක්.

ඇයගේ මෘත ශරීරය මඩකලපුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මඩකලපුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා ෴


කැකිරාවේ දී දුම්රියේ ගැටී පුද්ගලයෙකු මරුට

(01.06.2023 – 12:36 +0530 – hirunews.lk/sinhala)

කැකිරාව දුම්රියපල ආසන්නයේදී දුම්රියේ ගැටීමෙන් ඊයේ (31) රාත්‍රියේදී පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය පවසනවා.

ඊයේ (31) රාත්‍රියේ මඩකලපුව සිට මහව දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියේ ගැටීමෙන් එම පුද්ගලයා මෙලෙස එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර සිද්ධියෙන් මිය ගිය එම පුද්ගලයාගේ සිරුර අදාළ දුම්රිය කාර්ය මණ්ඩලය විසින් කැකිරාව දුම්රියපල වෙත රැගෙනවිත් භාරදීමට පියවර ගෙන තිබිණි.

මෙලෙස දුම්රියේ ගැටීමෙන් මිය ගොස් ඇත්තේ කැකිරාව ඔලුකරඳ, දුම්රිය නගරය ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවු. 56 ක අවිවාහක පුද්ගලයකු බවට සිදුකර ඇති පොලිස් විමර්ශනවලදී අනාවරණය කරගෙන තිබෙනවා.

මෙම අනතුර සම්බන්ධයෙන් කැකිරාව පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි ෴


ආනමඩුවෙන් වාර්තාවූ දළඹුවා මැදිරිගිරියටත්

(01.06.2023 – 12:58 +0530 – hirunews.lk/sinhala)

ආනමඩුව ප්‍රදේශයෙන් වාර්තා වූ ‘සේනා’ දළඹු විශේෂයට සමාන දළඹුවා පොලොන්නරුව – මැදිරිගිරිය ප්‍රදේශයට ද ව්‍යාප්ත වී තිබෙනවා.

එම ලේකම් කොට්ඨාශයේ යාය 03 ප්‍රදේශයේ ගොවින් පවසන්නේ මෙම දළඹු විශේෂය සිය කුඹුරු අක්කර 50 ක පමණ ප්‍රදේශයක දක්නට ලැබෙන බවයි.

ඒ අනුව, සිය වගාවන් ආරක්ෂා කර ගැනීම සදහා අවශ්‍ය උපදෙස් සහ කටයුතු සිදුකරන ලෙස ගොවීන් බලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා ෴


ශ්‍රී ලංකාවේ අපනයන වෙළෙඳපොළ කඩා වැටෙයි

(01.06.2023 – 13:09 +0530 – hirunews.lk/sinhala)

වසර 2 කට පසු අඩුම අපනයන ආදායම වාර්තා වී තිබෙන්නේ මේ වසරේ (2023) අප්‍රේල් මාසයේදී බව ශ්‍රී ලංකා මහ බැංකු නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දෙනවා.

මේ වසරේ (2023) අප්‍රේල් මාසයේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 849 ක්.

එය පසුගිය වසරේ (2022) අප්‍රේල් මාසයට සාපේක්ෂව සියයට 12.6 ක පහළ යෑමක් බවයි මහ බැංකුව පෙන්වා දෙන්නේ.

විදේශීය ඉල්ලුම අඩු වීම සහ ඇඟලුම් ඇතුළු කාර්මික අපනයන ආදායම පහළ යෑම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙනවා.

මේ වසරේ (2023) ජනවාරි සිට අප්‍රේල් දක්වා කාල පරිච්ඡේදයේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 3,846 ක් වූ අතර එය පෙර වසරේ (2022) අනුරූප කාලසීමාව හා සැසඳීමේදී සියයට 9 ක පහළ යෑමක්.

අප්‍රේල් මාසයේදී ඇඟලුම් අපනයන සියයට 24.1 කින් පහළ ගොස් තිබෙනවා.

අමෙරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය, එක්සත් රාජධානිය වැනි බොහෝ ප්‍රධාන වෙළෙඳපොළ වෙත සිදුකරන ඇඟලුම් අපනයන පහළ ගොස් තිබීම කැපී පෙනෙන හා අවධානයට යොමු විය යුතු කරුණක්.

මේ වසරේ (2023) පෙබරවාරි මාසයේ සිට ඇඟලුම් අපනයන ආදායමේ පහළ යෑමක් නිරීක්ෂණය කළ හැකියි.

පෙබරවාරි මාසයේ අමෙරිකානු ඩොලර් මිලියන 431 ක් වූ ඇඟලුම් අපනයන ආදායම මාර්තු මාසයේදී ඩොලර් මිලියන 417 ක් සහ අප්‍රේල් මාසයේදී ඩොලර් මිලියන 344 ක් දක්වා කැපී පෙනෙන ලෙස පහළ ගොස් තිබෙනවා.

ආනයන ක්‍රියාකාරීත්වය සැලකීමේදී රෙදිපිළි සහ රෙදිපිළි උපාංග ආනයන පහළ යෑමක් අප්‍රේල් මාසයේදී දක්නට ලැබෙනවා.

ඒ අනුව ඉදිරි මාසවලදී ඇඟලුම් අපනයන තවදුරටත් මන්දගාමී විය හැකි බව පෙන්නුම් කරනවා.

මේ තත්ත්වය තුළ මෙරට ඇඟලුම් කර්මාන්තය බරපතළ කඩා වැටීමකට ලක් වීම වැළැක්විය නොහැකි වනු ඇති.

මෙරට ප්‍රධාන පෙළේ ඇඟලුම් නිෂ්පාදකයින් කිහිප දෙනෙක්ම සිය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගතකරණය කරමින් සිටින අතර ඒ යටතේ ඇතැම් කර්මාන්තශාලා වසා දැමීමට කටයුතු කර තිබෙනවා.

මෙම තත්ත්වය තුළ බරපතල විරැකියා අර්බුදයක් නිර්මණය කිරීමේ අවදානමක් ද පවතිනවා.

ඇඟලුම් පමණක් නොව ප්‍රධාන අපනයන කාණ්ඩ බොහොමයක ආදායම පහළ යෑමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරමින් තිබෙනවා.

රබර් නිෂ්පාදිත, ප්‍රධාන වශයෙන් ටයර් සහ අත්වැසුම් අපනයනය මාර්තු මාසයේදී වාර්තා කළ ඩොලර් මිලියන 87 ට සාපේක්ෂව අප්‍රේල් මාසයේදී ඩොලර් මිලියන 53 ක් දක්වා අඩු වී තිබෙනවා.

රෙදිපිළි, ඇඟලුම් හා රබර් හැර සෙසු කාර්මික අපනයන ද මාර්තු මාසයට සාපේක්ෂව අප්‍රේල් මාසයේදී ඩොලර් මිලියන 312 සිට 264 දක්වා අඩු වී තිබීම කැපී පෙනෙන කරුණක්.

තේ අපනයන ආදායම ඉහළ ගිය ද අපනයන පරිමාවන් පහළ ගොස් තිබෙනවා. එනම් ආදායම ඉහළ යෑමට එකම හේතුව අපනයන මිල ගණන් ඉහළ යෑම මිස තේ නිෂ්පාදනයේ වර්ධනයක් පෙන්නුම් කිරීම නොවේ.

ආනයන ක්‍රියාකාරීත්වය තවදුරටත් සලකා බැලීමේදී අන්තර් භාණ්ඩ හා ආයෝජන භාණ්ඩ ආනයන වියදම් පහළ ගොස් තිබෙනවා. මින් ගම්‍ය වන්නේ රට තුළ නව ආයෝජන හෝ නව නිෂ්පාදන වර්ධනය වීමක් සිදුව නොමැති බවයි.

ඒ අනුව තවදුරටත් විදේශ සංචිත ඉලක්ක සපුරා ගැනීමට සිදුවන්නේ, විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සහ සංචාරක ආදායම මත පමණක් වීම ආර්ථිකයට එතරම් යහපත් තත්ත්වයක් නොවෙයි ෴


රුපියල තවත් ශක්තිමත් වෙයි

(01.06.2023 – 13:09 +0530 – hirunews.lk/sinhala)

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත් වී තිබෙනවා.

ඒ අනුව, අද (01) ඩොලරයක ගැණුම් මිල රුපියල් 283.87 ක් ලෙස සටහන් වූ අතර, එහි විකුණුම් මිල දැක්වුණේ රුපියල් 297.23 ක් ලෙසයි.

එමෙන්ම, ස්ටර්ලින් පවුමක ගැණුම් මිල රුපියල් 352.30 ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 370.94 ක් ලෙසත් දැක්වෙනවා ෴


මිල සංශෝධනය හමුවේ පිරවුම්හල් රැසක දිගු පෝලිම් – ත්‍රිරෝද රථ රියදුරන් කණගාටුවෙන්

(01.06.2023 – 13:30 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන මිළ අඩු කළ ද ප්‍රදේශ රැසක පිරවුම්හල් වන ඉන්ධන නොමැති බවට පාරිභෝගික ජනතාව චෝදනා කරනවා. ඇතැම් ඉන්ධන පිරවුම්හල් වල ඉන්ධන පැවැතිය ද දිගු පොලිම් පවතින බවයි ප්‍රදේශ රැසක හිරු වාර්තාකරුවන් කියා සිටියේ.

ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15 කින් අඩු කිරිමට පියවර ගත්තා. ඒ අනුව එහි නව මිළ රුපියල් 318 ක්.

කෙසේ වෙතත්, ඔක්ටේන් 95 යුරෝ 4 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20 කින් ඉහළ දමා තිබෙනවා. රුපියල් 365 ක්ව පැවති මෙම ඉන්ධන ලීටරයක මිල ඉහල දමා ඇත්තේ රුපියල් 385 ක් දක්වායි.

ලංකා සුපිරි ඩීසල් ෆෝ ස්ටාර් යුරෝ 4 වර්ගයේ ඉන්ධන ලීටරයක මිල රුපියල් 10 කින් ඉහල දමා ඇති අතර එහි නව මිල සටහන් වූයේ රුපියල් 340 ක් ලෙසයි.

එමෙන්ම, ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 50 කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 245 ක් වනවා. ලංකා කාර්මික භූමිතෙල් මිල රුපියල් 60 කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 270 ක් ලෙස සටහන් වුණා.

කෙසේ වෙතත්, ඉන්ධන මිළ සංශෝධනය වුව ද දිවයිනේ ඇතැමි ප්‍රදේශ වල පිරවුම්හල් වල ඉන්ධන නොමැති බවට වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් අප සිදු කළ සොයා බැලිමකදි අනාවරණය වුයේ නව මිළට පවතින ඉන්ධන තොග අලෙවි කිරිමට පිරවුම්හල් හිමියන් අකමැති විම මෙම තත්ත්වයට හේතු වී ඇති බවයි.

කෙසේ වෙතත්, ඇතැම් පිරවුම්හල් වැඩි වු ඉන්ධන පමණක් නිකුත් කිරිමට ද පියවර තිබෙනවා.

මේ අතර, ඉන්ධන මිළ සංශෝධනය වුවත් තමන්ට ඉන් කිසිදු වාසියක් නොමැති බවට වෘත්තිය ත්‍රීරෝද රථ සංගම් පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ මෙවර ඉන්ධන මිළ සංශෝධනය අනුව රුපියලක මිළ අඩු කිරිමක් පාරිභෝගිකයින්ට ලබා දිය හැකි බවයි.

මෙවර ඉන්ධන මිල ගැලපුමට අනුව ඔටෝ ඩීසල් මිලෙහි වෙනසක් සිදුකර නැහැ ෴


ගාල්ලේ සංචාරක ප්‍රවර්ධනය ගැන සාකච්ඡාවක්

(01.06.2023 – 13:40 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල දිස්ත්‍රික්කයේ සංචාරක කර්මාන්තයේ නිරත පුද්ගලයන්ගේ ගැටළු විසදිම සඳහා විශේෂ සාකච්ඡාවක් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි ඊයේ (31) පැවැත්වුණා.

ඊට සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ, මෙන්ම සංචාරක ක්ෂේත්‍රයේ නිරත ව්‍යාපාරිකයින් වන ඩඩ්ලි සිරිසේන ඇතුළු පිරිසක් එක්ව සිටියා.

එහිදි ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන සඳහන් කළේ ප්‍රධාන සංචාරක පුරවරයක් වු උණවටුන ප්‍රදේශයේ සංචාරක පොලිසිය පිහිටා ඇත්තේ තමන්ට අයත් හෝටලයේ ආරක්ෂක මුර කුටියේ බවයි ෴


පොලිස් කොස්තාපල්වරියකට අතවර කළ සැරයන්ට ඇප

(01.06.2023 – 14:06 +0530 – hirunews.lk/sinhala)

පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර කළ පොලිස් සැරයන්වරයකු රුපියල් ලක්ෂයක් (100,000) බැගින් වූ ශරීර ඇප දෙකක් (2) මත මුදා හැරීමට වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

2022 වසරේ අගෝස්තු මස පොලිස් කොස්තාපල්වරියක් විසින් සිදු කළ පැමිණිල්ලක් මත උලුක්කුලම පොලිසිය විසින් විමර්ශන සිදුකර සැකකාර පොලිස් සැරයන්වරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවයි පොලිසිය පැවසුවේ ෴


උත්තර පත්‍ර රැගෙන ගිය වෑන් රථයක් අනතරකට ලක් වෙයි

(01.06.2023 – 14:19 +0530 – hirunews.lk/sinhala)

අපොස සාමාන්‍ය පෙළ උත්තර පත්තර රැගෙන ගිය වෑන් රථයක් කාහිංගල ප්‍රදේශයේ දී ඊයේ (31) සවස අනතුරට පත් වී තිබුණා.

අනතුරින් තුවාල ලැබූ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂකවරයෙකු සහ පොලිස් සැරයන්වරයෙකු ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

පොලීසිය පවසන්නේ, රියදුරුට වෑන් රථය පාලනය කර ගැනීමට නොහැකිව එය මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටී ඇති බවයි.

අනතුරෙන් පසුව එම වෑන් රථයේ තිබූ උත්තර පත්‍ර ආරක්ෂිතව අදාළ ස්ථානවලට පිටත් කර හැරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *