පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය ධාවන සැලසුමක්

පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය ධාවන සැලසුමක්


පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය ධාවන සැලසුමක්

(01.06.2023 – 07:01 +0530 – hirunews.lk/sinhala)

පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරය දක්වා ගමන් කරන බැතිමතුන්ගේ ගමන් පහසුව සඳහා විශේෂ දුම්රිය ධාවන සැලසුමක් සකස් කර ඇති බව දුම්රිය දෙපාර්තමෙන්තුව පවසනවා.

ඒ අනුව, හෙට (02) දින සිට ලබන 05 වැනිදා දක්වා බෙලිඅත්ත සහ අනුරාධපුරය අතර පහත පරිදි දුම්රිය ධාවනය සිදු කරන බවයි ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සටහන්ව ඇත්තේ.


ලෝක පූජිත අජාන් බ්‍රහ්මවංශ හිමි ගුවන් යානයට අමතක වෙලා

(01.06.2023 – lankadeepa.lk)

ජාත්‍යන්තර පිළිගැනීමකට ලක්ව සිටින බ්‍රිතාන්‍ය ජාතික අජාන් බ්‍රහ්මවංශ හිමියන් ඊයේ (31) අලුයම බැංකොක් නුවර බලා යෑමට කටුනායක ගුවන්තොටුපොළට වැඩම කර සිටිය ද, උන්වහන්සේ නියමිත ගුවන් යානය වෙත රැගෙන නොයාම හේතුවෙන් පැය 12 කට අධික කාලයක් එහි රස්තියාදු වීමට සිදු වූ අතර, පසුව මැලේසියාව බලා පිටත්ව යන වෙනත් ගුවන් යානයකින් පිටත් කර යවා ඇත.

අජාන් බ්‍රහ්මවංශ හිමියන් ඊයේ (31) අලුයම 01:10 ට තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව යෑමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානයෙන් බැංකොක් බලා යාමට පෙරේදා (30) රාත්‍රී 10:00 ට පමණ කටුනායක ගුවන්තොටුපොළ වෙත වැඩම කර ඇත.

ගුවන්තොටුපොළ සියලු නිෂ්කාෂණ කටයුතු නිමා කර, නියමිත ගුවන් යානයට පිවිසීම සඳහා උන්වහන්සේ විශේෂ අමුත්තන්ගේ මැදිරියෙහි අසුන් ගෙන සිට ඇත.

මේ අතර, එම ගුවන් යානයෙන්ම තායිලන්තයේ බැංකොක් නුවර බලා යෑමට අග්‍රාමාත්‍යවරයා සහ මැති ඇමැතිවරුන් රැසක් ද මෙම විශේෂ අමුත්තන්ගේ මැදිරියට පැමිණ ඇත.

ඉන් මඳ වේලාවකට පසු විශේෂ අමුත්තන්ගේ මැදිරියේ සිටි අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස තායිලන්තය බලා පිටත්ව යන ගුවන් යානයට විශේෂ බස් රථයකින් රැගෙන ගොස් ඇත.

විශේෂ අමුත්තන්ගේ මැදිරියේ සිටි අජාන් බ්‍රහ්මවංශ හිමියන්ගේ ගුවන් ගමන අවලංගු කර ඇති බව ගුවන්තොටුපොළ නිලධාරීන් ඊයේ (31) අලුයම 02:30 ට පමණ දැනුම් දී ඇත.

පසුව, උන්වහන්සේ ඊයේ (31) අලුයම යළිත් නිෂ්කාෂණ කටයුතු සිදු කර, ඊයේ (31) උදෑසන 10:45 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර බලා කටුනායක ගුවන්තොටුපොළෙන් පිටත්ව ගිය ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්. 314 දරන ගුවන් යානයෙන් පිටත් කර හැරිය බව ගුවන්තොටුපොළ කාර්ය භාර නිලධාරිවරයා පැවැසීය.

ඒ වන විට උන්වහන්සේ පැය 12 කට අධික කාලයක් කටුනායක ගුවන්තොටුපොළේ රස්තියාදු වී ඇතැයි පැවැසේ ෴


කඩුවකින් පහර දී තරුණයකු ඝාතනය කරලා

(01.06.2023 – 06:57 +0530 – hirunews.lk/sinhala)

පානදුර වෑකඩ ප්‍රදේශයේදී කඩුවකින් පහර දී බරපතළ තුවාල ලැබූ පුද්ගලයකු ඊයේ (31) මියගොස් තිබෙනවා.

මෙලෙස මරණයට පත් වී ඇත්තේ 23 හැවිරිදි මෝදරවිල තට්ටු නිවාසවල පදිංචිකරුවෙක්.

මෙම මරණය පිළිබඳ විමර්ශනය සිදු කරන පානදුර දකුණ පොලිසිය පවසන්නේ මෙම අපරාධය සිදු කිරීම සඳහා සැකකරු ත්‍රිරෝද රථයකින් පැමිණ, පහර දීමට උත්සාහ කළ අවස්ථාවේ මියගිය අය පෞද්ගලික ඇඟලුම් කම්හලක භූමියකට දිව ගොස් ඇති බවයි.

එහිදී ඔහු පසුපස දිව ගිය සැකකරු ඒ තුළට ඇතුළු වී කඩුවකින් පහර දී මෙම ඝාතනය සිදු කර තිබෙන බව පොලිසිය අනාවරණය කොට තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කර පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියෝග කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

සැකකරු මේ වන විට හඳුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පානදුර දකුණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා ෴


බැංකුවක තැන්පත් කිරීමට ගෙන ආ මුදල් සොරකම් කළ අය දැලේ

(01.06.2023 – 07:35 +0530 – hirunews.lk/sinhala)

අවිස්සාවේල්ල නගරයේ පෞද්ගලික බැංකුවකට මුදල් තැන්පත් කිරීමට රැගෙන ආ මුදල් සොරකම් කිරීම සම්බන්ධයෙන් සැක පුද්ගලයකු සහ ඊට අනුබල දුන් කාන්තාවක් ඊයේ (31) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මැයි 26 දින අවිස්සාවේල්ල පෞද්ගලික බැංකුවක තැන්පත් කිරීම සඳහා රැගෙන ආ රුපියල් 5,026,583 ක මුදලක් සොරකම් කර තිබෙන බවයි පොලිසිය පවසන්නේ.

මේ පිළිබඳ විමර්ශනය සිදු කරන අවිස්සාවේල්ල පොලිසිය ඊයේ (31) උදෑසන ගුරුගල්ල ප්‍රදේශයේදී මෙම සොරකමට සම්බන්ධ සැකකරු සහ ඒ සඳහා ආධාර සහ අනුබල දුන් සැකකාරියක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු 38 හැවිරිදි බුත්තල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර සැකකාරිය 19 හැවිරිදි රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක්.

මෙම මුදල් තැන්පත් කිරීමට අදාල පෞද්ගලික ආයතනයේ රියැදුරකු වශයෙන් සැකකරු සේවය කරන අතර ඔහු තවත් පුද්ගලයකු සමඟ වෑන් රථයකින් මුදල් තැන්පත් කිරීමට පැමිණි අවස්ථාවේදී මෙම සැකකාරිය ද සම්බන්ධ කර ගෙන මෙම සොරකම කර ඇති බව පොලිසිය පවසනවා.

මොවුන් සන්තකයේ තිබී රුපියල් 2,741,400 ක්, චෙක්පත් 04 ක්, ගමන් බෑග් 02 ක් සහ ජංගම දුරකතන 02 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරුවන් අද (01) අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


විගණනය නොවූ සමෘද්ධි බැංකු විගණනයට යටත් කරන්නැයි උපදෙස්

(01.06.2023 – 07:38 +0530 – hirunews.lk/sinhala)

විගණනයට යටත් නොවු සමෘද්ධි බැංකු විගණනයට යටත් කිරීමට පියවර ගන්නා ලෙස කෝපා කමිටුව සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ට උපදෙස් ලබා දි තිබෙනවා.

සමෘද්ධි බැංකු සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ පවතින බැවින් ඒවා විගණනයට යටත් කිරීම සුදුසු බවට විගණකාධිපතිවරයා සඳහන් කළේ එම දෙපාර්තමේන්තුවට මීට පෙර ලබාදුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය සදහා රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට කැදවු අවස්ථාවේදීයි.

ඊට අදාලව මත දෙකක් (2) පවතින හෙයින් නීතිපතිවරයාගේ උපදෙස් ඉල්ලා ඇති බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු එහිදි කෝපා කමිටුව හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත්, විගණනය කිරිම පිලිබද සලකා බලා කඩිනමින් අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එහිදි කෝපා කමිටුව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තු නිලධාරින්ට දැනුම් දි ඇත්තේ.

දමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමෘද්ධිලාභීන්ට මාළු දැල් ලබාදීමේදී විශාල මූල්‍ය අක්‍රමිකතාවක් සිදුවී ඇති බවට ද කෝපා කමිටුවේදි තොරතුරු අනාවරණය වී තිබෙනවා.

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට මේ වසරේ අප්‍රේල් 30 වනවිට සේවකයින් 22646 ක් සිටිය යුතු නමුත් දැනට සිටින්නේ 17512 දෙනෙකු පමණක් බවත් ඉතිරි පිරිස අන්තර්ග්‍රණය කිරීම ප්‍රමාද වීම සහ නිලධාරීන් 3027කට විධිමත් පත්වීම් ලිපි ලබාදී නොතිබීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කරනු ලැබුවා ෴


ජනාධිපති අද (01) ජාතිය අමතයි

(01.06.2023 – 07:48 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාතිය අමතා අද (01) රාත්‍රි 8 ට විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ප්‍රකෘත්තිමත් කිරීම වෙනුවෙන් පසුගිය මාස 09 තුළ රජය ගත් පියවර සම්බන්ධයෙන් මෙහිදී ජනාධිපතිවරයා ජනතාව දැනුවත් කරනු ඇති. එමෙන්ම සමාජ, ආර්ථික හා දේශපාලිනක ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළේ ඉදිරි පියවර සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කිරීමට නියමිතයි.

රටේ ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා වන මෙහෙයුම් යෝජනාවලිය ද ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් කරමින් ඉදිරිපත් කරනු ඇති.

ජනාධිපතිවරයා ජාතික අමතා සිදුකරන විශේෂ ප්‍රකාශය රාත්‍රි 8 ට ‘හිරු ටීවි’ ඔස්සේ බලාපොරොත්තු වන්න ෴


ගාල්ලේ නව පොල් කෘමි විශේෂයක්

(01.06.2023 – 07:52 +0530 – hirunews.lk/sinhala)

මෙරට පොල් වගාවට බරපතල ලෙස බලපෑම් එල්ල කළ හැකි නව කෘමියෙකු පළමුවරට ගාල්ලෙන් සොයා ගෙන ඇති බව පොල් සංවර්ධන මණ්ඩලය පවසනවා.

මෙම කෘමි උවදුරට ගොදුරු වූ පොල්ගස් 4000 කට වැඩි ප්‍රමාණයක් හදුනාගෙන ඇති බවයි එම මණ්ඩලයේ ගාල්ල ප්‍රාදේශීය කළමනාකරු එච්.ජී. හේමන්ත ප්‍රකාශ කළේ ෴


මහ බැංකු මුදල් මණ්ඩලයෙන් විශේෂ තීරණයක්

(01.06.2023 – 08:03 +0530 – hirunews.lk/sinhala)

මහබැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඊයේ (31) රැස්වූ මුදල් මණ්ඩලය තීරණය කර ඇත්තේ නිත්‍ය තැන්පතු සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතික පිළිවෙලින් සියයට 13 දක්වා සහ සියයට 14 දක්වා අඩු කර ඇති බවයි.

මීට පෙර නිත්‍ය තැන්පතු සහ අනුපාතිකය සියයට 15.5 ලෙස සහ නිත්‍යණය පහසුකම් අනුපාතිකය සියයට 16 දශම අගයක පැවතුණා.

මේ අතර මේ වසරේ මැයි 31 වන දා දක්වා වසරක කාලය තුළ ශ්‍රී ලංකා රුපයට ඩොලරයට සාපේක්ෂය සියයට 22.9 කින් අතිප්‍රමාණය වී තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *