ඉන්ධන මිල සංශෝධනය අද (31)

ඉන්ධන මිල සංශෝධනය අද (31)


ඉන්ධන මිල සංශෝධනය අද (31)

(31.05.2023 – 14:46 +0530 – hirunews.lk/sinhala)

මසකට වරක් සිදුවන ඉන්ධන මිල සංශෝධනය අද (31) රාත්‍රියේ සිදුකිරීමට නියමිතව තිබෙනවා.

ගතවූ මාස 05 තුළ අවස්ථා ගණනාවකදී ඉන්ධන මිල සංශෝධනයට ලක්වූ අතර අවසන් වරට ඉන්ධන මිල සංශෝධනයක් සිදුවූයේ පසුගිය අප්‍රේල් මස 30 මධ්‍යම රාත්‍රියේ දීයි.

එහිදී, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 7 කින්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 10 කින්, ලංකා ඔටෝ ඩීසල් රුපියල් 15 කින්, සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 125 කින් පහත දැමුණා.

මේ අතර, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 333 කට, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 365 කට සහ ලංකා ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 310 කට අලෙවි වෙනවා.

සුපර් ඩීසල් ලීටරයක් මේ වනවිට අලෙවි වන්නේ රුපියල් 330 කටයි.

මේ අතර, කිව්.ආර්. ක්‍රමවේදය යටතේ රථවාහන සඳහා ඉහළ දමන ලද ඉන්ධන කෝටාව මේ වනවිට ක්‍රියාත්මකයි.

යතුරු පැදි සහ ත්‍රිරෝද රථයකට ලබාදෙන ඉන්ධන කෝටාව ලීටර් 14 දක්වා ඉහළ දැමුණු අතර ලියාපදිංචි ත්‍රිරෝද රථ සඳහා ඉන්ධන කෝටාව ඉහළ දැමුණේ ලීටර් 22 දක්වායි.

එසේම, බස් රථ සහ ලොරි රථ සඳහා ඉන්ධන කෝටාව ලීටර් 125 දක්වා, මෝටර් රථ සහ වෑන් රථ සඳහ ලීටර් 40 දක්වා, ඉඩම් වාහන සඳහා ඉන්ධන කෝටාව ලීටර් 45 දක්වා ඉහළ දැමුණා.

+++++++++

ඉන්ධන මිල වෙනස් වෙයි

(31.05.2023 – 21:24 +0530 – hirunews.lk/sinhala)

2023 මැයි මස 31 වන දින මධ්‍යම රාත්‍රී 12:00 සිට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක් රුපියල් 15 කින් අඩු කර තිබෙනවා.

ඒ අනුව ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක නව මිල රුපියල් 318 වනවා.

ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යූරෝ 4 ලීටරයක් රුපියල් 20 කින් මිළ ඉහල යනු ලබනවා.

ඒ අනුව ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යූරෝ 4 ලීටරයක් නව මිල රැපියල් 385 ක් වනවා.

ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යුරෝ 4 ලීටරයක් රුපියල් 10 කින් මිල ඉහල යනු ඇති.

එ අනුව ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යුරෝ 4 ලීටරයක නව මිල රැපියල් 340 ක් වනවා.

ලංකා භූමිතෙල් ලීටරයක් රැපියල් 50 කින් අඩු කෙරෙනු ඇති.

ඒ අනුව ලංකා භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 245 ක් වනවා.

ලංකා කාර්මික භූමිතෙල් ලීටරයක් රුපියල් 60 කින් අඩු කෙරෙනු ඇති.

ඒ අනුව ලංකා කාර්මික භූමිතෙල් ලීටරයක නව මිල රැපියල් 270 ක් වනවා.

එමෙන්ම ලංකා IOC සමාගමත් CEYPETCO මිලට ගැළපෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබෙන බවයි වාර්තා වී ඇත්තේ.


තුර්කියේ ස්ථාන්බූල් සහ කටුනායක අතර සෘජු ගුවන් ගමන් ඇරඹේ

(31.05.2023 – 13:51 +0530 – hirunews.lk/sinhala)

මේ වසරේ අගෝස්තු මාසයේ සිට තුර්කියේ ස්ථාන්බූල් සහ කටුනායක අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කරන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කළා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් කියා සිටියේ මීට අදාළ සාකච්ඡාවක් ශ්‍රී ලංකාවේ තුර්කි තානාපතිනි ඩිමෙට් ශෙකිර්ජිඕලු සහ විෂය භාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අතර ඊයේ (30) පැවති බවයි.

දැනට තුර්කි ගුවන් සේවාවන් මාලදිවයින හරහා ශ්‍රී ලංකාවට පැමිණෙන අතර මෙහිදී පැය එකහමාරක (1½) අමතර කාලයක් වැය කිරීමට සිදුවන බවත් එම ප්‍රමාදයන් පිළිබඳව සංචාරකයින් එතරම් කැමැත්තක් නොදක්වන බවත් තානාපතිවරිය මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.

මෙම සාකච්ඡාවට එක්වූ තුර්කි ගුවන් සේවා සමාගමේ දකුණු ආසියානු කාර්යාලයේ ප්‍රධානි ෆාති බොස්කට් ඉල්ලා සිටියේ තුර්කි සංචාරකයින් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට වැඩි කැමැත්තන් දක්වන බැවින් ස්ථාන්බූල් සහ කටුනායක අතර සෘජු ගුවන් සේවා ආරම්භ කිරීමට අවශ්‍ය කාලය සහ ඉඩකඩ ලබාදෙන ලෙසටයි.

ගුවන් යාන 100 කට වැඩි සංචිතයක් පවතින තුර්කි ගුවන් සේවා සමාගම යුරෝපයේ වැන්කුවර්, නිව්යෝක් යන නගර අතර ද ගුවන් සේවා පවත්වන බැවින් යුරෝපා ජාතික සංචාරකයින් ද ශ්‍රී ලංකාවට රැගෙන ආ හැකි බවයි ඔහු කියා සිටියේ ෴


සාපෙළ ලියන සිසුවියකට තර්ජනය කර බිය වැද්දූ කත අත්අඩංගුවට

(31.05.2023 – 14:04 +0530 – hirunews.lk/sinhala)

ලොව පුරා ව්‍යාප්ත රාජ්‍ය නොවන ස්වේච්ඡා සංවිධානයක සාමාජිකාවක් මෙන්ම මානව හිමිකම් සංවිධානයක ජනමාධ්‍ය පිළිබඳ ජාතික අධ්‍යක්ෂවරියක් ඊයේ (30) උදෑසන පොලිස් කාන්තා හා ළමා කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එළෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 16 ට අඩු දැරිවියකගේ අඩනිරුවත් ඡායාරූප හා වීඩියෝ පට ඇයගේ මවගේ අවසරයකින් තොරව සොරකම් කොට සමාජ ජාලා ඔස්සේ පළකරන බවට තර්ජනය කිරීම හා එසේ පළ කර දැරිවියට අගතියක් කළේ යැයි ඇයගේ මව විසින් කරන ලද පැමිණිල්ලක් සැලකිල්ලට ගනිමින්.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බටේපොළ දූනගහ ප්‍රදේශයේ පදිංචිකාරියක්.

එම සැකකාරිය අත්අඩංගුවට ගැනීමෙන් පසු කොළඹ කාන්තා හා ළමා කාර්යංශයේ නිලධාරීන් විසින් ඇයව අලුත්කඩේ උසාවියට ඉදිරිපත් කර තිබෙනවා.

මෙම සිදුවීමෙන් අදාළ දැරියට දැඩි මානසික හිංසනයක් සිදු වී ඇති බවට ප්‍රකාශ වී ඇති අතර ඇය මේ වන විට සාමාන්‍ය පෙල විභාගයට පෙනී සිටින දැරියක් ද වෙනවා.

පොලිස් කාන්තා හා ළමා කාර්යංශය වැඩිදුර විමර්ශන සිදුකරන අතර මෙම නඩුව නැවත ලබන අගෝස්තු මස 02 දින කැඳවීමට නියමිතයි ෴


ශ්‍රී ලංකා ආර්ථිකය ගොඩනංවන්න පූර්ණය සහය දෙන බව චීන විදේශ කටයුතු උප ඇමති කියයි

(31.05.2023 – 14:11 +0530 – hirunews.lk/sinhala)

මෙරට ආර්ථිකය ගොඩනැගීම සඳහා ජනපති රනිල් වික්‍රමසිංහ ගෙන යන ප්‍රයත්නයට චීන රජය පූර්ණ සහය ලබාදෙන බව එරට විදේශ කටයුතු උප අමාත්‍ය සන් වෙයිඩොන්ග් ප්‍රකාශ කර තිබෙනවා.

ඒ, ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (30) හමුවූ අවස්ථාවේ දීයි.

තීරණාත්මක කාල පරිච්ඡේදය තුළ චීනය ශ්‍රී ලංකාවට ලබාදුන් සහය පිළිබදව එහිදී ජනාධිපතිවරයා සිය කෘතඥතාව පළ කර තිබෙනවා.

එහිදී චීන විදේශ කටයුතු උප අමාත්‍යවරයා, ජනාධිපතිවරයා වෙත පවසා ඇත්තේ ද්වීපාර්ශවික සබඳතා ශක්තිමත් කර ගැනීම සඳහා නව අවස්ථා සොයා බැලීමට චීනය උනන්දුවෙන් පසුවන බවයි.

+


මෙරට ප්‍රථම පාවෙන සූර්ය බලශක්ති සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ගිවිසුම් ගත වෙයි

(31.05.2023 – 14:13 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ ප්‍රථම පාවෙන සූර්ය බලශක්ති සංවර්ධන ව්‍යාපෘතිය සදහා කොරියානු තාක්ෂණ දියුණුව සදහා වූ ආයතනය සමග විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය අද(31) ගිවිසුමකට එළැඹුණා.

විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළේ ඒ සදහා ‘සුනිත්‍ය බලශක්ති අධිකාරිය’ට ඩොලර් මිලියන 5.2 ක ප්‍රදානයක් ලබා දී ඇති බවයි.

පාවෙන සූර්ය බලශක්ති සංවර්ධන ව්‍යාපෘතිය කොරියානු ඉංජිනේරු සමාගම විසින් සබරගමුව පළාතේ චන්ද්‍රිකා වැව සහ ඌව පළාතේ කිරිඉබ්බන්ආර වැව ආශ්‍රිතව සිදුකෙරෙනවා.

මෙම සංවර්ධනය ව්‍යාපෘතිය ලබන වසරේ (2024) දෙසැම්බර් මාසයේදී අවසන් කිරීමට සැළසුම් කර ඇති බව ද විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර වැඩිදුරටත් ප්‍රකාශ කළා ෴


13 හැවිරිදි දියණිය අපයෝජනය කළ පියෙකුට වසර 22 කට පසු සිරදඩුවම්

(31.05.2023 – 14:17 +0530 – hirunews.lk/sinhala)

මීට වසර 22 කට පෙර සිය 13 හැවිරිදි දියණිය අපයෝජනයට ලක් කර ගැබිණියක් කළ පියෙකුට හම්බන්තොට මහාධිකරණය වසර 45 ක බරපතල වැඩ සහිත සිරදඩුවමක් නියම කර තිබෙනවා.

මෙලෙස දඩුවම් නියම කෙරුණේ 63 හැවිරිදි පුද්ගලයෙකුටයි.

2001 වසරේ දී සැකකරු විසින් මෙම අපයෝජනය සිදුකර තිබූ අතර, හම්බන්තොට මහාධිකරණය විසින් රුපියල් 30,000 ක දඩයක් හා අගතියට පත් දැරියට රුපියල් ලක්ෂයක (100,000) වන්දියක් ගෙවන ලෙස ද සැකකරුට නියෝග කළා ෴


පේසාලේ මාර්ගයක තිබී මත්පෙති 23,000 ක් සොයා ගැනේ

(31.05.2023 – 14:28 +0530 – hirunews.lk/sinhala)

යුධ හමුදා නිලධාරීන් පේසාලේ මාර්ගයක තිබී මත්පෙති 23,000 ක් සොයා ගෙන තිබෙනවා.

පේසාලේ හතරවෙනි (4) කොටසේ වෙරළ තීරයට යන මාර්ගය අසළ පාර්සල් 23 ක මෙම පෙති බහා තිබූ බවයි යුද හමුදාව පවසන්නේ.


අලි මිනිස් ගැටුමට විසඳුම් ඉල්ලා වනජිවි දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවයක්

(31.05.2023 – 14:40 +0530 – hirunews.lk/sinhala)

අලි මිනිස් ගැටුමට දීර්ඝකාලීන විසදුම් ඉල්ලා, බත්තරමුල්ලේ පිහිටි වනජීවී දෙපාර්තමේන්තුව ඉදිරිපිට අද (31) නිහඩ විරෝධතාවක් පැවැත්වුණා.

‘අලි මිනිස් හුස්ම වෙනුවෙන් ආදරණිය අපි සංවිධානය’ විසිනුයි මෙය සංවිධානය කර තිබුණේ.

මේ එහිදී අදහස් දැක්වූ ‘වැසි වනාන්තර සුරකින්නෝ සංවිධානය’ ප්‍රකාශ කළේ මෙම ගැටලුව සදහා නිවැරදි විසදුමක් ලබාදීමට බලධාරින් කටයුතු කළ යුතුව ඇති බවයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *