අපොස සා.පෙළ අද (29) ඇරඹේ

අපොස සා.පෙළ අද (29) ඇරඹේ


අපොස සා.පෙළ අද (29) ඇරඹේ

(29.05.2023 – 07:32 +0530 – hirunews.lk/sinhala)

2022 වසරට අදාළ සාමාන්‍ය පෙළ විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,568 කදී අද (29) ආරම්භ වනවා.

එය ජුනි මස 08 වනදා දක්වා ක්‍රියාත්මකයි.

ඒ සඳහා අපේක්ෂකයින් 4,72,553 දෙනෙකු පෙනී සිටින බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළේ.

විභාග කටයුතු සම්බන්ධීකරණ සඳහා මධ්‍යස්ථාන 536 ක් පිහිටුවා ඇති අතර විභාග රාජකාරි සඳහා 35,000 ක කාර්ය මණ්ඩලයක් යොදවා තිබෙනවා.

විභාග කටයුතු පෙරවරු 08:30 ට ආරම්භ වන ඊට පැය භාගයකට (½) පෙර විභාග මධ්‍යස්ථානය වෙත පැමිණෙන ලෙසයි විභාග කොමසාරිස් ජනරාල්වරයා අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටියේ.

මේ අතර සාමාන්‍ය පෙළ විභාගය සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක්ද යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව කියා සිටියේ.

සිසුන්ට විභාග මධ්‍යස්ථාන වෙත යාමට සිසු සැරිය බස් සේවාව ක්‍රියාත්මකයි.

මේ අතර විභාගය පැවැත්වෙන දිනවල පාසල් නිල ඇඳුමින් පැමිණෙන සිසු සිසුවියන්ට ප්‍රමුඛතාව ලබාදෙන ලෙස ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ රියදුරන්ගෙන් ඉල්ලීමක් කරනවා ෴

++++++++

මරණ දඬුවම ලැබූ අයෙකුත් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට

(29.05.2023 – 14:55 +0530 – hirunews.lk/sinhala)

මරණ දඬුවම ලබා සිටින සිරකරුවෙකු ඇතුළු බන්ධනාගාර රැඳවියන් 10 දෙනෙකු මෙවර පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින මරණ දඬුවම ලැබූ අයෙකු ඇතුළු පස් දෙනෙකු (5) ද, වටරැක බන්ධනාගාරයේ රැඳවූවන් පස් දෙනෙකු (5) ද මෙම විභාගය සඳහා පෙනී සිටීමට නියමිත බව බන්ධනාගාර අතිරේක කොමසාරිස් ජනරාල් මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පවසන්නේ

විභාගය සඳහා පෙනී සිටින වැලිකඩ බන්ධනාගාරයේ රැඳවූවන් පිරිස නව මැගසින් බන්ධනාගාරයේ ස්ථාපනය කර ඇති විභාග මධ්‍යස්ථානයේදී හා වටරැක බන්ධනාගාරයේ රැඳවූවන් පිරිස එම බන්ධනාගාරය තුළ ස්ථාපනය කර ඇති විභාග මධ්‍යස්ථානයේදී පෙනී සිටිනු ලබනවා ෴


මුහුදේ නෑමට ගිය දෙදෙනෙක් (2) අතුරුදන්

(29.05.2023 – 07:34 +0530 – hirunews.lk/sinhala)

පමුණුගම තල්දියවත්ත මුහුදු තීරයේ දිය නෑමට ගිය පුද්ගලයින් දෙදෙනකු (2) අතුරුදන් වී ඇතැයි පොලිසිය පවසනවා.

ඊයේ (28) දහවල් කාලයේදී පමුණුගම පොලිස් වසමේ තල්දියවත්ත ප්‍රදේශයේදී තරුණයන් දෙදෙනෙකු (2) මුහුදේ දිය නාමින් සිට තිබෙනවා.

පසුව මුහුදේ රළ පහරට හසුව ඔවුන් මුහුද දෙසට ගසාගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අතුරුදන් වූ තරුණයන් දෙදෙනා (2) ගෙන් එක් (1) තරුණයකුගේ මළ සිරුර අද (29) අලුයම පමුණුගම වෙරළ තීරයට ගොඩ ගසා තිබෙනවා.

පමුණුගම පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ නාවික හමුදාව විසින් අතුරුදන් වූ අනෙක් පුද්ගලයා සෙවීමේ මෙහෙයුම් මේ වන විට ආරම්භ කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙලෙස දියේ ගිලී අතුරුදන් වී ඇත්තේ වයස අවුරුදු 22 ක් හා 36 ක තරුණ පුද්ගලයන් දෙදෙනෙක් (2). ඔවුන් කඳවලපිටිය හා රිකිල්ලගස්කඩ ප්‍රදේශවල පදිංචිකරුවන් ෴


රුපියල් කෝටියක් වටිනා භාණ්ඩ සමඟ ව්‍යාපාරිකයෙකු පැහැරගත් තුන්දෙනෙකු (3) ගේ කල්ලියක් අල්ලයි

(29.05.2023 – 07:57 +0530 – hirunews.lk/sinhala)

විදේශීය රටකින් ගෙන්වන ලද රුපියල් එක් කෝටි විසි ලක්ෂයකට (1,20,00,000) අධික වටිනාකමකින් යුත් භාණ්ඩ තොගයක් කටුනායක ගුවන් තොටුපළෙන් නිදහස් කර ගෙන යමින් සිටියදී, ගිනි අවි පෙන්වා ව්‍යාපාරිකයෙකු පැහැරගෙන යාමේ සිද්ධියකට මාස පහකට (5) පමණ පසු කාන්තාවක් (1) ඇතුළු තුන්දෙනෙකු (3) ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (28) අත්අඩංගුවට ගත් මොවුන් අතර සිටින කාන්තාව මෙම ව්‍යාපාරිකයාගේ සහයිකාව ලෙස කටයුතු කරමින් මෙම කොල්ලය සැළසුම් කර මෙහෙයවා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඇයත් සමඟ අත්අඩංගුවට ගත් අනෙක් දෙදෙනා (2) සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් බවට අනාවරණ වී තිබෙනවා.

විදේශ රටවලින් භාණ්ඩ ගෙනවිත් දීමේ ව්‍යාපාරයක නිරතවූ කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි මෙම ව්‍යාපාරිකයා ගෙන්වූ භාණ්ඩ තොගයක් මෙලෙස පැහැරගැනීමට ලක්ව තිබුණේ පසුගිය වසරේ දෙසැම්බර් මස 21 වනදායි.

කටුනායක ගුවන් තොටුපලේ සිට ඒවා රැගෙන යමින් සිටියදී කටුනායක 18 කණුව ප්‍රදේශයේදී ඔහු පසුපසින් තවත් වෑන් රථයකින් සහ යතුරුපැදියකින් පැමිණි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් පිරිසක් ගිනි අවි පෙන්වා බිය ගන්වා මෙම පැහැරගැනීම සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

කටුනායක පොලිසිය මේ පිළිබඳව දීර්ඝ විමර්ශනයක් සිදුකර පසුව කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේදී මෙවැනි භාණ්ඩ තොගයක් අලෙවි කිරීමට සැරසෙන පුද්ගලයෙකු පිළිබඳව තොරතුරු ලැබී ඒ ඔස්සේ සිදුකළ පරික්ෂණවලට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.

මෙලෙස පොලිස් භාරයට ගත් භාණ්ඩ අතර කැමරා උපකරණ, වාහන අමතර කොටස්, රන් සහ රූපලාවන්‍ය උපකරණ තොගයක් ඇතුළත් ෴

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් සතුව පවුම් 20ක් බරැති උණු කරන රන් කැබලි 02ක්, කැමරා 04ක්, රූපලාවන්‍ය උපකරණ සහ යතුරුපැදියක් සමඟ ව්‍යාජ පිස්තෝලයක් ද සොයා ගෙන තිබෙනවා.

සැකකරුවන් වයස අවුරුදු 27, 28 හා 47 ක් වන කැකුණදුර, කුරුණෑගල හා නුගේගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන්.

ඔවුන් අද (29) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

කටුනායක පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කෙරෙනවා ෴


වසර විස්සකට (20) පසු ‘සක්සුරින්’ හස්තියා යළි තායිලන්තයට

(29.05.2023 – 08:00 +0530 – hirunews.lk/sinhala)

වසර 20 කට පෙර තායිලන්තයෙන් මෙරටට ප්‍රධානයක් ලෙස ලද ‘සක්සුරින්’ නම් හස්තියා ජූලි මස 01 වනදා යලි එරටට රැගෙන යාමට තීරණය කර තිබෙනවා.

ඒ එම සත්වයාගේ අයහපත් සෞඛ්‍ය තත්වය සැළකිල්ලට ගෙන වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සඳහායි.

ඒ අනුව සක්සුරින් රුසියානු ගුවන් සේවයට අයත් විශේෂ යානයකින් තායිලන්තයට රැගෙන යාමට නියමිතයි.

එම ගුවන් යානයේ සක්සුරින් හස්තියා වෙනුවෙන් විශේෂ කූඩුවක් ද ඉදිකර අවසන් බව තායිලන්තයේ හිටපු මන්ත්‍රීවරියක වන කාන්චනා ශිල්පා සිය මුහුණු පොතට සටහනක් එක්කරමින් සඳහන් කර තිබෙනවා.

ටොන් තුන හමාරක් (3½) බරැති සක්සුරින්ගේ වයස අවුරුදු 35 ක්.

පසුගිය වසරේ (2022) මැද භාගයේ සක්සුරින් පිළිබඳ වැඩි කතා බහක් ඇතිවුණේ ජාත්‍යන්තර සත්ව හිමිකම් සංවිධානයක් එම සත්වයාගේ සෞඛ්‍ය තත්වය පිරිහී ඇති බවට කරුණු අනාවරණ කරනු ලැබුවා.

ඒ අනුව පසුගිය නොවැම්බර් මාසයේ සක්සුරින්ට ප්‍රතිකාර කිරීම සඳහා තායිලන්ත පශූ වෛද්‍ය කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණ, මාස 6 ක කාලයක් ප්‍රතිකාර කර තිබුණා ෴


ආගමික නිදහස සහ කරුණු විකෘති කිරීම ගැන නව පනත් කෙටුම්පතක්

(29.05.2023 – 08:04 +0530 – hirunews.lk/sinhala)

ආගමික නිදහස සහ කරුණු විකෘති කිරීම පිළිබඳව නව පනත් කෙටුම්පතක් ගෙන ඒමට ඉදිරියේ දී කටයුතු කරන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා.

ඔහු කියා සිටියේ පසුගිය දින කිහිපය තුළ දී ආගම් වලට අපහාස වන අන්දමේ ප්‍රකාශ නිකුත් කිරීමේ සිද්ධීන් බහුලව වාර්තාවූ බවයි. එබැවින් එවැනි ප්‍රකාශයන්ට එරෙහිව කටයුතු කළ හැකි ආකාරයේ නව කෙටුම්පතක් සම්පාදනය කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ ෴


මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

(29.05.2023 – 08:08 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (28) ග්‍රෑන්ඩ්පාස්, හේනමුල්ල ප්‍රදේශයේදී විව්ධ වර්ගයේ මත්ද්‍රව්‍ය තොගයක් ළඟ තබා ගත් කාන්තාවක් (1) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බළකා අතුරුගිරිය කඳවුරේ නිලධාරීනට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති අතර එහිදී හෙරොයින් ග්‍රෑම් 50 යි මිලිග්‍රෑම් 610, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 101 යි මිලි ග්‍රෑම් 100 ක්, කේරළ ගංජා කිලෝ 03 යි ග්‍රෑම් 240 ක් සහ මත් පෙති 900 ක් සමඟ මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 67 හැවිරිදි හේනමුල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්.

සැකකාරිය අද (29) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් සිදු කරනු ලබනවා ෴


මහියංගනය පුදබිම පූජා භූමියක් වෙයි

(29.05.2023 – 08:10 +0530 – hirunews.lk/sinhala)

මහියංගනය පුද බිම පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ සන්නස් පත්‍රය ප්‍රදානය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සහභාගීත්වයෙන් ඊයේ (29) සිදු කෙරුණා.

එහිදී මහියංගන චෛත්‍ය රාජයාණන්වහන්සේ සහ වළාකුළු බැම්ම ප්‍රතිසංස්කරණය කර සසුනට පූජා කිරීම මෙන්ම වැව මධ්‍යයේ ඉදිකෙරුණු අඩි 102 ක් උස හිටි පිළිම වහන්සේ සසුනට පූජා කිරීම ද සිදු කෙරුණා.

ඉන් අනතුරුවයි මහියංගන පුද බිම පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ රාජ්‍ය මහෝත්සවය පැවැත්වුණේ.

එම අවස්ථාවට මහා සංඝරත්නය ඇතුළු පක්ෂ විපක්ෂ දේශපාලඥයින් ද එක්ව සිටියා.

එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේ වචනයට සීමා නොවී බුදු දහම සුරැකීමට සියලුදෙනා එක්ව කටයුතු කළ යුතු බවයි ෴


ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ අපේක්ෂාව

(29.05.2023 – 08:18 +0530 – hirunews.lk/sinhala)

මේ වසර තුළ ඩොලර් බිලියන 2 ක විදෙස් ආයෝජන බලාපොරොත්තු වන බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය පවසනවා.

ඉන් ඩොලර් මිලියන 604 ක් වටිනා ව්‍යාපාර 22 ක් මේ වනවිටත් මෙරටට ලැබී ඇති බවයි එම අමාත්‍යාංශය පවසන්නේ.

කෘෂි, ඉදිකිරීම්, කර්මාන්ත ආදී ක්‍ෂේත්‍රවල ව්‍යාපාර වැඩි වශයෙන් මෙරටට ලැබී තිබෙනවා.

ඍජු විදේශ ආයෝජන ආකර්ශනය කෙරෙහි වැඩි අවධානයක් යොමුවී ඇති බවයි, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *