විදේශ අමාත්‍යංශයේ ලියකියවිලි සහතික කිරීමේදී කූඨ ජාවාරමක්

විදේශ අමාත්‍යංශයේ ලියකියවිලි සහතික කිරීමේදී කූඨ ජාවාරමක්


විදේශ අමාත්‍යංශයේ ලියකියවිලි සහතික කිරීමේදී කූඨ ජාවාරමක්

(25.05.2023 – 20:32 +0530 – hirunews.lk/sinhala)

විවිධ රාජ්‍ය ආයතන කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක මුදල් ගැරීමේ ජාවාරම් සම්බන්ධයෙන් ‘හිරු CIA’ මීට පෙර බොහෝ අවස්ථාවලදී අනාවරණ කර තිබෙනවා.

එලෙස බත්තරමුල්ල ආගමන විගමන කාර්යාලයේ ක්‍රියාත්මක වූ ජාවාරම අනාවරණ කර සතියක් ඉක්ම යද්දී තවත් එවැනිම වූ ජාවාරමක් හෙළි කර ගැනීමට ‘හිරු CIA’ කණ්ඩායම සමත් වුණා.

ඒ, කොළඹ කොටුවේ පිහිටි විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කාර්යාලය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන මුදල් ජාවාරමක්.

සිංහල හෝ දෙමළ භාෂාවෙන් තිබෙන උප්පැන්න, විවාහ, අධ්‍යාපන ඇතුළු සහතික, රැකියාවක් සඳහා හෝ පදිංචිය සඳහා විදේශගත වීමේදී ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කර විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් සහතික කරවා ගැනීම අනිවාර්ය කරුණක්.

ඒ යටතේ භාර දුන් දින සිට දින 3 ත් 7 ත් අතර කාලයක් තුළ සහතික කළ ඉංග්‍රීසි පිටපත අදාළ පාර්ශ්වයට හිමි වන අතර එක් සහතිකයක් සඳහා රජයේ නියමිත ගාස්තුව රුපියල් 1,200 ක්.

නමුත් කොළඹ කොටුවේ පිහිටි විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කාර්යාලය අවට සැරිසරන, ත්‍රිරෝද රථ රියදුරන් ලෙසින් පෙනී සිටින තැරැව්කරුවන්, රුපියල් 1,200 ක් වන එක් සහතිකයක් පැය දෙකකදී (2) සකසා ගෙනැවිත් දීමට රුපියල් 6,000 ක මුදලක් අය කරනවා.

මෙම ජාවාරම තහවුරු කර ගැනීම සඳහා ‘හිරු CIA’ කණ්ඩායමේ අප, රුපියල් 6,000 කුත් සමග ඔවුන්ට සහතිකයක් ලබාදුන්නා.

තැරැව්කරුවන් පැය දෙකක් (2) ඉක්ම යන්නට මත්තෙන් එම සහතිකය සකසා භාර දුන්නේ ජනතා සේවයට කැපවිය යුතු රාජ්‍ය ආයතනයක් අල්ලසට යට වී ඇති අයුරු මනාව පසක් කර දෙමින්.

+


දියවඩන නිළමේවරයාට එරෙහිව නඩු දැමූ හිටපු බස්නායක නිළමේවරයාට දඩයක්

(25.05.2023 – 19:58 +0530 – hirunews.lk/sinhala)

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ කාර්තු අයවැය ගිණුම් නිසි ලෙස ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑලට එරෙහිව හිටපු බස්නායක නිළමේවරයෙකු වන සුදන්ත සේනානායක විසින් පවරා තිබූ නඩුවක් නිශ්ප්‍රභා කරමින් නඩු ගාස්තු වශයෙන් රුපියල් ලක්ෂයක (1,00,000) මුදලක් ප්‍රදීප් නිලංග දෑල වෙත ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අද (25) ලබාදුන් නඩු තීන්දුව මහනුවර මහාධිකරණ අංක 01 දී මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද මහතා විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

ඒ අනුව හිටපු බස්නායක නිළමේ සුදන්ත සේනානායක විසින් අදාළ මුදල අධිකරණයේ දී දියවඩන නිළමේවරයා වෙත ලබා දීමට පියවර ගන්නා ලදි.

වර්ෂ 2012 දී සුදන්ත සේනානයක මහතා විසින් ශ්‍රී දළදා මාලිගාවේ කාර්තු අයවැය ගිණුම් වාර්තා නිසි ලෙස ඉදිරිපත් කර නොමැති බවට චෝදනා කරමින් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පවරනු ලැබුවා.

එම නඩුව විභාගයට ගැනීමට තිබිය දී දියවඩන නිළමේවරයා විසින් ඊට එරෙහිව ප්‍රතිශෝධන අයදුම්පතක් ඉදිරිපත් කරමින් සිදුකළ කරුණු දැක්වීමකට අනුව මහාධිකරණ විනිසුවරුවරයා විසින් එම නඩුව නිශ්ප්‍රභා කිරීමට තීරණය කරනු ලැබුවා.

සුදන්ත සේනානායක කාර්තු හතකරට (4) අදාළව ගිණුම් වාර්තා නිසි ලෙස ඉදිරිපත් නොකළ බව කියමින් අදාළ නඩුකර ගොනුකර තිබූ බැවින් එක් නඩුවකට රුපියල් 1,25,000 බැගින් රුපියල් ලක්ෂ පහක (5,00,000) මුදලක් නඩු ගාස්තු වශයෙන් දියවඩන නිලමේවරයාට ගෙවන ලෙස මහාධිකරණ විනිසුරුවරයා පෙත්සම්කරුට එහිදී නියෝග කළා.

එම නියෝගයට එරෙහිව අභියාචනා අධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කිරීමට සුදන්ත සේනානායක මහතා කටයුතු කර තිබූ අතර මහාධිකරණය මගින් ලබාදී තිබූ තීන්දුව ඒ ආකාරයෙන්ම එහිදී ද තහවුරු කර තිබෙනවා.

ඊට එරෙහිව සුදන්ත සේනානායක ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය අතර එහි දී අභියාචනාධිකරණයේ තීන්දුව වෙනස් කරමින් එක් නඩුකරයක් සඳහා රුපියල් 25,000 බැගින් රුපියල් ලක්ෂයක් (1,00,000) මුදලක් දෑල බණ්ඩාර මහතාට ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දෙනු ලැබුවා.

අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ඊයේ (25) මහනුවර මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද මහතා විසින් සිදු කරනු ලැබූ අතර ශ්‍රී දළදා මාලිගාවේ දියඩවන නිළමේ ප්‍රදීප් නිලංග දෑල වෙනුවෙන් නීතීඥ සමන් තන්තිරිගේ ද, සුදන්ත සේනානායක වෙනුවෙන් මතීෂ සෙනෙවිරත්න ද පෙනී සිටිනු ලැබුවා.

ඉන් පසුව මාධ්‍ය හමුවේ අදහස් පළ කළ දියවඩන නිලමේවරයා කියා සිටියේ එකම සුළු පිරිසක් විසින් එකම චෝදනා විවිධාකාරයෙන් නගමින් තමා අපහසුතාවයට පත් කිරීමට උත්සාහ කළද එම උත්සාහය සාර්ථක නොවූ බවයි.

එමෙන්ම මාධ්‍ය හමුවක් කැඳවා තිබූ සුදන්ත සේනානායක කියා සිටියේ සමස්ත බෞද්ධ ජනතාව වෙනුවෙන් තමා මෙම නඩුව ගොනු කළ බවයි.

+


ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමට ශ්‍රී ලංකා මහබැංකුවෙන් අඛණ්ඩ පියවර

(25.05.2023 – 21:16 +0530 – hirunews.lk/sinhala)

මෙරට ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමට ශ්‍රී ලංකා මහබැංකුව අඛණ්ඩව පියවර ගන්නා බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අවධාරණය කරනවා.

ජාත්‍යන්තර කම්කරු සංවිධානය සහ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය එක්ව සංවිධානය කළ ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රවර්ධනය සහ ව්‍යවසායකත්ව ප්‍රවර්ධනය පිළිබඳ ජාතික කථිකාවතට කොළඹදී අද (25) එක්වෙමිනුයි මහබැංකු අධිපතිවරයා මේ බව කියා සිටියේ.

එමෙන්ම පසුගිය කෙටිකාලය තුළ රජය සිදුකළ ප්‍රතිසංස්කරණ තුළ මෙරට ආර්ථිකයේ පැහැදිලි ස්ථාවරත්වයක් දක්නට ලැබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පැවසුවේ දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා එක්සත් ජනපද වෙළඳ නියෝජිතයන් සමඟ මුදල් අමාත්‍යංශයේදී පැවති සාකච්ඡාවකදීයි.

මේ අතර ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අද (25) දිනයේදී රුපියල සුළු වශයෙන් ශක්තිමත් වුණා.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකයන්ට අනුව ඩොලරයක විකුණුම් මිල දැක්වුණේ රුපියල් 310.95 ක් ලෙසයි. එහි ගැණුම් මිල රුපියල් 297.60 ක් ලෙස සටහන් වුණා.

එසේම, සංචාරක ව්‍යාපාරයේ තිරසාර දියුණුව තුලින් මීගමුවේ ආර්ථිකය ශක්තිමත් කිරීම පිළිබද විද්වත් කතිකාවක් අද (25) මීගමුව නගර ශාලාවේදී පැවැත්වුණා.

මේ අතර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ ගැටලු‍ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙසට විපක්ෂය, ලාංකීය එක්සත් ව්‍යවසායකයින්ගේ සංසදයට ආරාධනා කර තිබුණා ෴


පොල් ගෙඩි 20 ක් හොරකම් කළාට වසර 10 ක අත්හිටවූ සිරදඬුවමක්

(25.05.2023 – 23:28 +0530 – hirunews.lk/sinhala)

දිවුලපිටිය ප්‍රදේශයේ වත්තකට අනවසරයෙන් ඇතුළු වී පොල් ගෙඩි 20 ක් සොරකම් කිරීමේ චෝදනාවට වරදකරු වූ පුද්ගලයකුට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරයා අත්හිටවූ සිරදඬුවම් නියම කර තිබෙනවා.

මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරයා විසින් විත්තිකරුට වසරක (1) බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළ අතර, එය වසර 10 ක කාලයකට අත්හිටුවනු ලැබුවා.

ඉදිරි වසර 10 යහපත් හැසිරීමෙන් ගතකරන ලෙසයි එහිදී මහේස්ත්‍රාත්වරයා විත්තිකරුට අවවාද කර ඇත්තේ.

කෙහෙල්ඇල්ල ප්‍රදේශයේ එක්දරු පියෙකුට මෙලෙස අත්හිටවූ සිරදඬුවම් නියම වූයේ රුපියල් 1200 ක වටිනාකමකට තක්සේරු කර ඇති පොල් ගෙඩි 20 ක් සොරකම් කිරීමේ චෝදනාවටයි ෴


ලොරි රථයක දොර ගැලවී දරුවෙකුගේ පපුවේ වැදී දරුවා මරුට

(25.05.2023 – 21:50 +0530 – sinhala.adaderana.lk)

තම බාල සහෝදරයා සමග පාපැදි පදිමින් සිටි 13 හැවිරිදි පාසල් සිසුවෙකු අවාසනාවන්ත අනතුරකට ලක්වීමෙන් මියගොස් තිබේ.

මාර්ගයේ ධාවනය වෙමින් තිබූ රථයට ඉදිරිපස දොර ගැලවී දරුවාගේ පපු ප්‍රදේශයේ වැදීමෙන් මෙම අනතුර සිදුවී ඇත.

අනතුරෙන් මියගොස් ඇත්තේ වාද්දුව හබරලගහලන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි 13 හැවිරිදි ගගන කාවින්ද නම් පාසල් සිසුවෙකි.

වාද්දුව දෙස සිට හබරලගහලන්ද දෙසට ගමන් ගත් පාන් ලොරියක ඉදිරිපස දොර එකවරම ගැලවී පාපැදි පදිමින් සිටි මෙම දරුවාගේ ශරීරයේ වැදී ඇත.

අනතුරෙන් පසු රෝහල්ගතව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි එම දරුවා අද (25) දහවල් මියගොස් ඇති බව අප වාර්තාකරු පැවසීය.

ලොරි රථය පැදවූ රියදුරාව වාද්දූව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අද (25) දින පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

සිද්ධිය සම්බන්ධයෙන් වාද්දූව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි ෴


ලස්සන වෙන්න ලබාදෙන එන්නත ගැන ‘අද දෙරණ උකුස්සා’ සියල්ල හෙළිකරයි

(25.05.2023 – 19:23 +0530 – sinhala.adaderana.lk)

මෙරටදී භාවිතයට තහනම් කර තිබෙන, පිළිකා රෝගීන් සඳහා භාවිත කරන එන්නත් යොදාගෙන රූපලාවන්‍ය ව්‍යාපාරයක නියැලුනු පුද්ගලයකු නීතියේ රැහැනට හසුකරදීමට ‘අද දෙරණ උකුස්සා’ට හැකිවුණි.

‘උකුස්සා’ගේ අද (25) හෙළිදරව්ව ඒ පිළිබඳවය.

කාන්තාවන් මෙන්ම පිරිමින්ද සම පැහැපැත් කරගැනීම සඳහා විවිධ වර්ගයේ එන්නත් භාවිතය මේ දිනවල බහුලව සිදුකෙරෙයි.

ඒ සඳහා වැඩි වශයෙන් භාවිත කරන්නේ පිළිකා රෝගීන්ගේ අතුරු ආබාධ සමනය කිරීම සඳහා ලබාදෙන ‘ග්ලූටාතියන්’ නමැති එන්නතකි.

සෞඛ්‍ය අංශ එය මෙරට තුළ භාවිතය තහනම් කර තිබේ.

මෙම එන්නතින් සිදුවන්නේ, සමෙහි මෙලනින් මගින් ඇති කරන වර්ණ නිෂ්පාදනය අවම කිරීමය.

එවන් පසුබිමක එම එන්නත් විදෙස් රටවලින් මෙරටට ගෙන්වා අලෙවි කරන ජාවාරමක් පිළිබඳව තොරතුරක් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන් වෙත ලැබී තිබුණි.

ඒ අනුව ඔවුන් සමග එක්වී ‘අද දෙරණ උකුස්සා’ ගවේෂණයක නිරත වුයේ අදාළ ජාවාරම පිළිබඳව රටට අනාවරණ කිරීම සඳහාය.

මෙම ජාවාරම සිදුකරන පුද්ගලයා සිය ෆේස්බුක් හා ටික්ටොක් ගිණුම්වල ද විවිධ රූපරාමු පෙළක් පළකර තිබුණි.

අනතුරුව අප එහි සඳහන් දුරකතන අංකයට ඇමතුමක් ලබාගත්තේ සම පැහැපත් කරගැනීම සඳහා එන්නතක් ලබාගැනීමට අවශ්‍ය බව පවසමිනි.

ඉන් පසු ජාවාරම්කරු විශ්වාසය ගොඩනැගීම සඳහා ඔහුගෙන් සම පැහැපත් කිරීමේ එන්නත් ලබාගත් තරුණියන්ගේ රූප රාමු පෙළක් අප වෙත එවා තිබුණි.

ඉන් පසු සිදුවූ සියල්ල පිළිබඳ තොරතුරු හෙට (26) දිනයේදී රට හමුවේ අනාවරණ කිරීමට ‘අද දෙරණ උකුස්සා’ සූදානමින්.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *