බිම වැටී තිබූ දුරකථන පාර්සලය ළඟ තබා ගත් උප පොලිස් පරීක්ෂකගේ වැඩ තහනම්

බිම වැටී තිබූ දුරකථන පාර්සලය ළඟ තබා ගත් උප පොලිස් පරීක්ෂකගේ වැඩ තහනම්


බිම වැටී තිබූ දුරකථන පාර්සලය ළඟ තබා ගත් උප පොලිස් පරීක්ෂකගේ වැඩ තහනම්

(25.05.2023 – 12:34 +0530 – hirunews.lk/sinhala)

මාර්ගයේ වැටී තිබූ ජංගම දුරකථන 13 ක් සහිත පාර්සලයක් පොලිස් පොතේ සටහන් නොකර තමා සන්තකයේ තබාගත් පෑලියගොඩ පොලිසියේ උපපොලිස් පරීක්ෂකවරයෙකුගේ වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබෙනවා.

පසුගිය 13 වැනිදා රාත්‍රියේ මුර සංචාරයේ යෙදී සිටි කැබ් රථයේ නිලධාරීන්හට පාරේ ගමන් ගත් පුද්ගලයෙකු විසින් ජංගම දුරකතන සහිත පාර්සලය අහුලා ලබා දී තිබෙන බව සඳහන්.

ඉන්පසුව මෙම උප පොලිස් පරීක්ෂකවරයා එම පාර්සලය පොලිස්ථානයට ඉදිරිපත් නොකර ඔහු භාරයේ තබාගෙන තිබෙනවා.

ඒ අනුව මෙම උප පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනම් කර ඇති බවයි වාර්තා වන්නේ ෴


තවත් ලාංකික කාන්තාවක් මහල් නිවාසයකින් ඇද වැටී ජිවිතක්ෂයට

(25.05.2023 – 13:06 +0530 – hirunews.lk/sinhala)

මැලේසියාවේ ගෘහ සේවයේ නියුතු ශ්‍රී ලාංකික කාන්තාවක් මහල් නිවාස සංකීර්ණයක දෙවැනි (2) මහලෙන් වැටී ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජිවිතක්ෂයට පත්වී ඇත්තේ කුරුණෑගල – කොබෙයිගනේ අරලු‍ගස්වැව ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි වියේ පසුවූ එක්දරු මවක්.

පසුගිය වසරේ දෙසැම්බර් 18 වන දින මාලබේ ප්‍රදේශයේ පදිංචි ඇයගේ හිතවතෙකුගේ මාර්ගයෙන් විදේශ ගතව තිබුනේ ‘සංචාරක වීසා’ බලපත්‍රයක් මතයි.

පසුගිය 23 වන දින ඇය තම සැමියා සමග දුරකතනයෙන් පවසා ඇත්තේ අදාල නිවසේ තමන්ට සේවය කිරීමට නොහැකි බවත් තමන් වෙනත් ස්ථානයක සේවය කිරීමට කටයුතු කරන බවයි.

එවන් පසුබිමක ඊයේ (24) රාත්‍රියේ ඇය සිටි මහල් නිවාසයේ දෙවන (2) මහලේ ජනේලයකින් ඇද වැටි ජිවිතක්ෂයට පත්ව ඇති බවට දැනුම්දී තිබෙනවා. කෙසේ වෙතත්, ඇගේ සැමියා චෝදනා කරන්නේ මෙම මරණය සැක සහිත බවයි.

මීට පෙර ද සිංගප්පූරුවේදී ශ්‍රී ලාංකික කාන්තාවක් මහල් නිවාස සංකීර්ණයකින් ඇද වැටී ජීවිතක්ෂයට පත්වී තිබුණා.

පුත්තලම – මොටැමුල්ල, ඉහලවෙළවත්ත ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව ඊට පෙර ප්‍රකාශ කර තිබුණේ ඇය සේවය කළ නිවසේ පුද්ගලයන්ගෙන් විවිධ කරදර එල්ල වූ බවටයි ෴


ප්‍රවාහනයට නුසුදුසු පාසල් බස් රථ 65 ක් ධාවනයෙන් ඉවතට

(25.05.2023 – 13:18 +0530 – hirunews.lk/sinhala)

පාසල් දරුවන් ප්‍රවාහනය කරන බස් රථ සහ වෑන් රථ ප්‍රවාහනයට සුදුසු තත්ත්වයේ තිබෙනවා ද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා ශ්‍රී ලංකා මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් අනුරාධපුර නගරයේ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා.

මේ සඳහා අනුරාධපුර පොලිස් රථ වාහන අංශය ද සහ‍යෝගය දක්වා ඇති බවයි වාර්තා වන්නේ.

මෙහිදී ධාවනයට නුසුදුසු, කාර්මික දෝෂ ඇති බස් රථ ධාවනයෙන් ඉවත් කිරීමට ද පියවර ගනු ලැබුවා.

ප්‍රවාහනයට නුසුදුසු තත්ත්වයේ බස් රථ 65 ක් සඳහා තහනම් නි‍යෝග ලබා දුන් බවත් වාර්තා වෙනවා.

එමෙන්ම බස් රථවල සවි කර තිබූ අනවශ්‍ය අංගෝපාංග සහ නලා ඉවත් කොට ඒවා අලුත්වැඩියා කොට දින 14 ක් තුළදී පොලිසියේ සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතු බව ද ඔවුනට දැනුම් දී තිබෙනවා ෴


ප්‍රථම වරට රථ වාහන පරික්ෂාවට පොළොන්නරුව දිස්ත්‍රික්කයට කාන්තා පොලිස් නිලධාරීන් 8 ක්

(25.05.2023 – 13:49 +0530 – hirunews.lk/sinhala)

රථ වාහන පරීක්ෂා කිරීම් ඇතුළු පොලිස් රථ වාහන රාජකාරී සඳහා පළමුවරට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කාන්තා පොලිස් නිලධාරිනියන් 8 දෙනෙකු පොළොන්නරුව පොලිස් කොට්ඨාසභාර රථ වාහන සේවයට එක් කිරීමේ පළමු වැඩසටහන ඊයේ (23) සවස පැවැත්වුණා.

පොළොන්නරුව කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩ සටහන පැවැතිවූයේ පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාල පරිශ්‍රයේදී.

මෙම නිලධාරීන් අටදෙනා (8) පොළොන්නරුව කොට්ඨාස භාර යතුරුපැදි ඒකකය හා පොළොන්නරුව රථ වාහන යතුරුපැදි ඒකකයේ සේවයට එක් කර ඇති බව සඳහන්.

මෙලෙස රථ වාහන පරීක්ෂා කිරීම් ඇතුළු අනෙකුත් රථ වාහන පිළිබඳ කටයුතු සම්බන්ධයෙන් පුහුණුවක් ලද මෙම කාන්තා පොලිස් නිලධාරිනියන් සිය රාජකාරී කටයුතු සඳහා නිල වශයෙන් ඊයේ (23) දින සිට එක් වී තිබෙනවා ෴


හඳුන් දිවියෙකුට උපකාර කිරීමට ගිය පුද්ගලයෙක් තුවාල ලබා රෝහලේ

(25.05.2023 – 14:29 +0530 – hirunews.lk/sinhala)

හඳුන් දිවියෙකුට උපකාර කිරීමට ගිය පුද්ගලයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බව දිඹුලපතන පොලිසිය පවසනවා.

කොටගල ප්‍රදේශයේ නිවසක වැසිකිළි වලකට හඳුන් දිවියෙකු ඊයේ (24) රාත්‍රියේ වැටී තිබෙනවා.

එම අවස්ථාවේදී එම ස්ථානයට පැමිණි බීමත් පුද්ගලයෙකු දිවියා වලෙන් ගොඩ ගැනීමටවලට බැස ඇති අතර එම අවස්ථාවේදී කුපිත වී සිටි හඳුන් දිවියාගේ ප්‍රහාරයට අදාළ පුද්ගලයා ලක්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ නුවරඑළිය වනජීවි කාර්යාලය දැනුවත් කිරීමෙන් අනතුරුව එම නිලධාරීන් විසින් හදුන්දිවියා ගොඩ ගෙන රැගෙන ගොස් ඇති බවයි ෴


රුපියල ශක්තිමත් වෙයි

(25.05.2023 – 14:37 +0530 – hirunews.lk/sinhala)

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අද (25) දිනයේදී රුපියල සුළු වශයෙන් ශක්තිමත් වී තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකයන්ට අනුව ඩොලරයක විකුණුම් මිල රුපියල් 310.95 ක් ලෙස දැක්වුණා.

එහි ගැණුම් මිල ලෙස සටහන් වුණේ රුපියල් 297.60 ක් ලෙසින් ෴


මෝසම් වැසි සමඟ ඩෙංගු අධිවසංගතයක් ඇති විය හැකි බවට අනතුරු ඇඟවීමක්

(25.05.2023 – 15:23 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි මෝසම් වැසි ඇති වීමත් සමඟ ඩෙංගු රෝගීන්ගේ අධි වසංගත තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් ඇති බව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසනවා.

IDH රෝහලට දිනකට රෝගීන් 60-70 අතර ප්‍රමාණයක් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන බවත්, එම ප්‍රමාණය සීඝ්‍රයෙන් වර්ධනය වන බවයි
ඔහු ප්‍රකාශ කරන්නේ.

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 36,000 කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර ඉන් වැඩිම ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්තා වනවා.

එම පළාත තුළ ඩෙංගු රෝගීන් 18,000 ක් පමණ හඳුනාගෙන ඇති අතර කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වලින් වැඩිම රෝගීන් ප්‍රමාණයක් හඳුනාගෙන තිබෙනවා.

+


සැමියාගේ වියෝව දරාගත නොහැකි වූ බිරිඳක් සියදිවි හානි කරගනී

(25.05.2023 – 15:23 +0530 – hirunews.lk/sinhala)

සැමියාගේ වියෝවදරාගත නොහැකි වූ බිරිඳක් සියදිවි හානිකර ගැනීමේ පුවතක් කලවාන පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ කලවාන නාවලකන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි කාන්තාවක්.

දීර්ඝකාලීන පිළිකා රෝගයකින් පීඩා විඳි, ඇයගේ සැමියා මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී දින කිහිපයකට ඉහත දී මිය ගිය පුවත ඇයට දැනගැනීමට ලැබී තිබෙනවා.

එම පුවත සැළ වූ ඇය ගම්වාසීන්ට පවසා ඇත්තේ මට සැලකීමට කිසිඳු අයෙකු නොමැති නිසා මම ද සිය දිවි හානි කර ගන්නා බවයි.

ඇයගේ එම කතාවට වැඩි අවධානයක් යොමු නොකළ ගම්වැසියන් සාමාන්‍ය පරිදි ජන ජීවිතය ගත කර ඇති අතර දින දෙකකට (2) පෙර එම නිවසින් දැඩි දුර්ගන්ධයක් හැමූ බැවින් අසල්වාසියකු විසින් එම නිවස පරික්ෂා කර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ඔහු දැක ඇත්තේ ගෙල වැලලාගෙන සිටි එම කාන්තාවගේ නරක් වූ සිරුරයි.

ග්‍රාම නිලධාරිවරයා දැනුවත් කිරීමෙන් අනතුරුව ඔහු පොලීසිය දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෙම අඹු-සැමි යුවළගේ පෙර විවාහයෙන් දරුවන් සිටින අතර ඔවුන් සමඟ දීර්ඝ කාලයක් තිස්සේ සබඳතා පවත්වාගෙන ගොස් නොමැති බවයි පොලිසිය සඳහන් කළේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් පොලිසිය පැවසුවේ සියදිවි හානි කරගත් කාන්තාවගේ සිරුර අධිකරණ වෛද්‍යවරයාට ඉදිරිපත් කිරීමට නියමිත අතර අපේක්ෂා රෝහලේදි මියගිය සැමියාගේ සිරුර මේ වන විටත් අපේක්ෂා රෝහලේ තිබෙන බවයි ෴


හදවතේ සිදුරේ සැත්කම හදවතම නතර කරලා

(25.05.2023 – 15:26 +0530 – hirunews.lk/sinhala)

හදවතේ සිදුරක සැත්කමක් කිරීම සඳහා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කරන ලද අවුරුදු එකහමාරක් (1½) වයසැති ළදරුවෙක් ශල්‍යකර්මය කිරීමට පෙරම මිය ගොස් තිබෙනවා.

ඇය හදවතේ සිදුරේ සැත්කම කිරීම සඳහා වසරක (1) පමණ කාලයක් පොරොත්තු ලේඛනයේ සිට ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය 18 දින ඇය සිය මව සමඟ ළමා රෝහලට ඇතුළත් වූයේ පෙරේදා (23) දින සැත්කම කිරීමේ අරමුණෙන්.

එහෙත් එදිනට සැත්කම් කිරීම සඳහා දින නියම වූ අවුරුදු 12 ක් සහ අවුරුදු 22 ක් වයසැති තවත් දෙදෙනෙකු (2) සිටි බැවින් මෙම සැත්කම කිරීම එදින සිදුවීනැත. එහෙත් ඇය පැය ගණනාවක්ම නිරාහාරව තබා තිබූ බවයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

පසුව ඇය විජලනයට පත් වී දැඩි අපහසුතාවෙන් සිටීම නිසා එදින සවස 5 ට පමණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා.

එහෙත් එදින සවස 6 පමණ වන විට ඇය මිය ගොස් ඇති බවයි සඳහන් වන්නේ ෴


අපොස සාමාන්‍ය පෙළ – 2022 (2023) විභාග ප්‍රවේශපත්‍ර කඩිනමින් අපේක්ෂකයින් අතට

(25.05.2023 – 15:41 +0530 – hirunews.lk/sinhala)

අපොස සාමාන්‍ය පෙළ – 2022 (2023) විභාග ප්‍රවේශපත්‍ර කඩිනමින් අපේක්ෂකයින් අතට ලබා දෙන්නැයි විභාග කොමසාරිස් විදුහල්පතිවරුගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ප්‍රවේශපත්‍ර කිසිදු හේතුවක් මත විදුහල්පතිවරුන් විසින් විභාග අපේක්ෂකයන්ට ලබා නොදී රඳවාගැනීම සිදු නොකළ යුතු බවයි ඔහු සඳහන් කර සිටියේ.

යම් අපේක්ෂකයකුට ප්‍රවේශපත්‍ර නොලැබීමෙන් විභාගයට පෙනී සිටීමට නොහැකි වුවහොත් එහි සම්පූර්ණ වගකීම විදුහල්පතිවරයා විසින් භාරගත යුතු බවයි විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දර සඳහන් කර සිටියේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *