මධ්‍යම තැපල් හුවමාරු නිලධාරීන් විසින් මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

මධ්‍යම තැපල් හුවමාරු නිලධාරීන් විසින් මත්ද්‍රව්‍ය තොගයක් වටලයි


මධ්‍යම තැපල් හුවමාරු නිලධාරීන් විසින් මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

(24.05.2023 – 16:01 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම තැපැල් හුවමාරු අංශයේ නිලධාරීන් විසින් ‘කුෂ්’ මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා.

තැපැල් හුවමාරුව හරහා එවන ලද පාර්සල් පරීක්ෂා කිරීම්වලදී ඒ තුළ තිබී ‘කුෂ්’ නමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3.475 ක් මෙලෙස සොයාගෙන ඇති අතර එහි මුළු වටිනාකම රුපියල් මිලියන 34.75 ක් බව සඳහන්.

පසුගිය කාලය තුළදී අමෙරිකා එක්සත් ජනපදය සහ ඔස්ට්‍රේලියාව යන රටවල්වලින් තැපැල් මගින් බොරලැස්ගමුව, වැල්ලවත්ත, මිනුවන්ගොඩ, වැලිසර, නුවරඑළිය සහ තලංගම යන ප්‍රදේශවල ලිපිනයන් වෙත එලෙස පාර්සල් 10 ක් පමණ එවා තිබුණා.

එම පාර්සල් ලබාගැනීමට ඒවායේ අයිතිකරුවන් ඉදිරිපත් නොවූ බැවින් පසුගිය 16 වනදා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සහ තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉදිරියේ දී ඒවා රේගු නිලධාරීන් විසින් පරික්ෂා කර තිබූ අතර එම පරීක්ෂා කිරීම්වලදී මෙම ‘කුෂ්’ මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබෙනවා ෴


ගුරුවරයෙකුට පහරදුන් පුත්තලමේ පාසල් සිසුන් 04 දෙනා රක්ෂිත බන්ධනාගාර ගතකෙරේ

(24.05.2023 – 16:14 +0530 – hirunews.lk/sinhala)

පුත්තලම ප්‍රදේශයේ පාසලක ගුරුවරයෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම පාසලේ සිසුන් 04 දෙනා අනිද්දා (26) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ ඔවුන් අද (24) පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එහිදී පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ සිද්ධිය සම්බන්ධ තවත් සිසුන් පිරිසක් සොයා විමර්ශන ක්‍රියාත්මක බවයි.

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ එම පාසලේ ඉගෙනුම ලබන මෙවර සමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් පිරිසක්.

මොවුන් ඊයේ (23) පාසලට පැමිණි අවස්ථාවේදී විනයභාර ආචාර්යවරයා පාසලට උචිත අයුරින් පැමිණෙන ලෙස සිසුන්ට අවවාද කර තිබුණා.

පසුව එදින පස්වරුවේ සිසුන් ගුරුවරයාගේ නිවසට ගොස් මෙලෙස ඔහුට පහර දී ඇති බවයි පොලිසිය සඳහන් කළේ ෴


වාහන ආනයනය ගැන සුබ ආරංචියක්

(24.05.2023 – 16:33 +0530 – hirunews.lk/sinhala)

ඉතා ඉක්මනින්ම ශ්‍රී ලංකාවට නැවතත් ජපාන වාහන ආනයනය ආරම්භ කරනු ඇති බවත් ජපානයේ වාහන සමාගම් නියෝජිතයන් විසින් මෙරට වාහන ආනයකරුවන්ට දන්වා ඇතැයි වාර්තා වනවා.

ශ්‍රී ලංකා රජය සමග කරන ලද සාකච්ඡා වලදී මේ සම්බන්ධයෙන් දැනටමත් ධනාත්මක එකඟතාවන්ට පැමිණ ඇති බව ජපාන රජය පාර්ශවයෙන් දන්වා ඇතැයිද ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

ඔවුන් පෙන්වා දී ඇත්තේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන එකඟතාවන් අනුව මෙම අවස්තාව හිමි වනු ඇති බවයි.

කෙසේ වෙතත් මෙරට වාහන ආනයනකරුවන් වාහන ආනයනයට යළි අවස්ථාව ලබා දෙන්නැයි අවස්ථා ගණනාවකදීම මෙරට බලධාරීන්ගෙන් ඉල්ලා සිටියද ඊට නිසි ප්‍රතිචාරයක් ලැබුනේ නැහැ.

මේ අතර කොළඹ සිටින ජපාන තානාපතිවරයාද නිදහස් වෙළඳාම සම්බන්ධයෙන් මෑතක දී කොළඹ පැවති උත්සවයකදී අදහස් පළකර තිබුණා ෴


ඩෙංගු රෝගීන්ගෙන් සියයට 20 ක් ළමයින් බවට අනාවරණයක්

(24.05.2023 – 16:51 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් වාර්තාවන ඩෙංගු රෝගීන්ගෙන් සියයට 20 ක් පමණ ළමයින් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

දැනට බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කය තුළ දැඩි ඩෙංගු ව්‍යාප්තියක් වාර්තා වන බවයි එම ඒකකයේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න කොළඹ අද (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ.

කෙසේ වෙතත් මීට පෙර පැවති දෛනිකව වාර්තාවන රෝගීන් සංඛ්‍යාව මේ වන විට අඩුවෙමින් පවතින බව ඔහු කියා සිටියා ෴


අලි සබ්රි රහීම් පාර්ලිමේන්තුවට

(24.05.2023 – 16:55 +0530 – hirunews.lk/sinhala)

ප්‍රකාශ නොකළ රත්‍රං සහ ස්මාට් ජංගම දුරකථන තොගයක් සමඟ ඊයේ (23) ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන පසුව දඩයක් ගෙවා නිදහස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට පැමිණියා.

එහිදී මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක ඉවත් කරන යෝජනාවට මන්ත්‍රී අලි සබ්රි රහීම් විපක්ෂව සිය ඡන්දය භාවිතා කොට තිබෙනවා.

අත්අඩංගුවට ගත් මන්ත්‍රි අලි සබ්රි රහීම් රුපියල් මිලියන7.5 ක දඩ මුදලක් මත නිදහස් කර තිබුණු අතර ඔහු සන්තකයේ තිබූ රත්‍රං කිලෝ 3.5 ක ප්‍රමාණය සහ ජංගම දුරකථන 91 ඇතුලු සියලු භාණ්ඩ රාජසන්තක කර තිබෙනවා.

ෆ්ලයි ඩුබායි ගුවන් සේවයට අයත් ‘එෆ් ඉසෙඩ් 547’ දරණ ගුවන් යානයෙන් මැදපෙරදිග සිට දිවයිනට පැමිණි අවස්ථාවේ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ ගුවන් තොටුපලේ ප්‍රභූ පර්යන්තයේදීයි ෴


ජනක ඉවත් කරන යෝජනාව වැඩි ඡන්ද 46 කින් සම්මතය

(24.05.2023 – 17:12 +0530 – hirunews.lk/sinhala)

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක එම තනතුරෙන් ඉවත් කිරීමට අදාළ යෝජනාව අද (24) පාර්ලිමේන්තුවේදී විවාදයට ගනු ලැබුවා.

එහිදී පැවති පාර්ලිමේන්තු ඡන්ද විමසුමේදී පක්ෂව ඉදිරිපත් වූ ඡන්ද ගණන 123 කි

එමෙන් ම විපක්ෂව ඉදිරිපත් වූ ඡන්ද ගණන 77 කි.

ජනක රත්නායක එම තනතුරෙන් ඉවත් කිරීමේ තීරණය ගනු ලැබුවේ පසුගිය 11 වන දා පැවති පක්ෂ නායක රැස්වීමේදියි.

මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා එම ධුරයෙන් ඉවත් කිරීමට චෝදනා පත්‍රය සකස් කළ බව අමාත්‍ය කංචන විජේසේකර පළමුව ප්‍රකාශ කළේ පසුගිය ජනවාරි 29 වනදායි.

තමන් ඊට මුහුණ දීමට ඉතා උනන්දුවෙන් සිටින බව සභාපතිවරයා එදිනම ප්‍රකාශ කර තිබුණා.

මේ අතර අධිකරණ නියෝගයක් මත මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායකගේ කොල්ලුපිටියේ කාර්යාලයට මුද්‍රා තැබීමට පෙබරවාරි 16 වන දා පොලිසිය විසින් පියවර ගනු ලැබුවා.

එසේම මෑතකදී විදුලි ගාස්තු සංශෝධනය කිරීමට විදුලිබල මණ්ඩලය ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ඔහු මාර්තු 10 වන දා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ද ගොනු කළා.

එවන් මතවාදී ගැටලු මතු වූ තත්ත්වයක් තුළයි ඔහු තනතුරෙන් ඉවත් කරන යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණේ.

+

අද (24) පැවැති පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී ආණ්ඩු පක්ෂය සමග එක්ව ඡන්දය ලබා දීමට සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් කටයුතු කොට තිබුනා.

කෙසේවෙතත් රාජිත සේනාරත්න ඡන්දය විමසන අවස්ථාවේ සභා ගැබේ සිටියේ නැහැ.

පක්ෂය විසින් මෙම යෝජනාවට විරුද්ධව ඡන්දය දෙන බවට තීරණය කොට තිබියදී වඩිවේල් සුරේෂ් ඊට එරෙහිව යාම සම්බන්ධයෙන් පක්ෂය ගන්නා තීන්දුව කුමක්ද යන්න පිළිබදව මේ වනවිට පක්ෂය ඇතුළේ සංවාදයක් ආරම්භ වී ඇති බවක් දක්නට ලැබෙනවා ෴

+


ජෙරම් ප්‍රනාන්දුට එරෙහි පෙත්සම ට අධිකරණයෙන් ලැබුණු නියෝගය

(24.05.2023 – 20:10 +0530 – hirunews.lk/sinhala)

ජෙරම් ප්‍රනාන්දු සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව නීතිපතිවරයා අද (24) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

ජෙරම් ප්‍රනාන්දුගේ ආන්දෝලනාත්මක ප්‍රකාශයට එරෙහිව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු පාර්ශ්ව කිහිපයක් ගොනුකළ පෙත්සම කැඳවූ අවස්ථාවේදී.

ජෙරම් ප්‍රනාන්දු බුදු දහමට නිගාවන ආකාරයෙන් සිදුකළ ප්‍රකාශයට අදාළව ඔහු අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණා.

පෙත්සම කැඳවුණේ, ප්‍රීති පද්මන් සූරසේන හා අර්ජුන් ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේයි.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා, ජෙරම් ප්‍රනාන්දු විසින් ආගම් අතර නොසන්සුන්තාවක් නිර්මාණය වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කර තිබෙන බවට අධිකරණය හමුවේ චෝදනා කළා.

එම ප්‍රකාශය තුළින් අදාළ දේවගැතිවරයා බෞද්ධ, හින්දු සහ ඉස්ලාම් ආගමික විශ්වාසයන්ට බරපතල අපහාසයක් සිදු කර ඇති බවයි ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේ.

මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් කාදිනල් හිමිපාණන් ඇතුළු ආගමික නායකයින් ද දැඩි විරෝධය පළ කර තිබෙන බවත් ඔහු සඳහන් කළා.

එමෙන්ම එම ප්‍රකාශය පිළිබඳ ආරක්ෂක මණ්ඩල රැස්වීමේ දී ද අවධානය යොමු වී ඇති අතර ජනාධිපතිවරයා මෙන්ම මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඒ පිළිබඳ අවධානය යොමු කර ඇතත්, මේ දක්වා ඵලදායි පරීක්ෂණයක් ආරම්භ කර නොමැති බවටයි ජනාධිපති නීතිඥවරයා චෝදනා කළේ.

ජෙරම් ප්‍රනාන්දු පිටුපස විශාල දේශපාලන හස්තයන් පවතින බැවින් එම පරීක්ෂණ යටපත් වීමේ අවදානමක් පවතින බවත් ඔහු අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට වගඋත්තරකරුවන් කටයුතු කළ යුතු බවත් ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.

එම නිසා සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට පැමිණි බවයි ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ මෙම කරුණට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි ගණනාවක් ලැබී තිබෙන බවයි.

ඒ අනුව ජෙරම් ප්‍රනාන්දුගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර දැනටමත් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව ඔහු දැනුම්දුන්නා.

අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පැවසුවේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ අදාළ විමර්ශන සිදුකරන බවයි.

කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පවත්වන බවට වගඋත්තරකරුවන් අධිකරණයට ප්‍රතිඥාවක් ලබා දිය යුතු බව පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ අවධාරණය කළා.

ඊට ප්‍රතිචාර දක්වමින් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේ මෙම කරුණ සම්බන්ධයෙන් දැනටමත් විමර්ශනයක් ආරම්භ කර පවත්වාගෙන යන බවයි.

ඒ අනුව අදාළ කරුණු සටහන් කරගත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල මෙම පෙත්සම යළි ජුලි මස 28 වනදා කැඳවන ලෙස නියෝග කළා.

පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු 6 දෙනෙකු විසින් ඉදිරිපත් කර ඇති අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබෙන්නේ පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු පාර්ශ්ව කිහිපයක් ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *