‘නවය; සැඟවුණු කතාව’ පොත ගැන විමල් වීරවංශ ඉරානයට කියයි..

‘නවය; සැඟවුණු කතාව’ පොත ගැන විමල් වීරවංශ ඉරානයට කියයි..


‘නවය; සැඟවුණු කතාව’ පොත ගැන විමල් වීරවංශ ඉරානයට කියයි..

(22.05.2023 – 15:50 +0530 – lankacnews.com)

ඉරානයේ ටෙහෙරාන් නුවර පැවැත්වූ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන උත්සවයකදී ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් ලියන ලද ‘නවය: සැඟවුණු කතාව’ විමර්ශනාත්මක ග්‍රන්ථය ලිවීමට හේතු පාදක වූ සන්දර්භය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට ඔහුට අවස්ථාවක් ලැබිණි. ශ්‍රී ලංකාවේ ගරු ඉරාන තානාපති Hashem Ashjazadeh මහතාගේ මුලසුනෙන් යුතුව වෙබිනා දේශනයක් ලෙස විමල් වීරවංශ මහතා එසේ කරුණු දක්වනු ලැබීය.

වෙබිනාව මෙහෙයවීම මෙරට ඉරාන තානාපති කාර්යාලයේ සංස්කෘතික කටයුතු අංශයේ ප්‍රධානියා විසින් සිදු කරනු ලැබීය.

ඉංග්‍රීසි බසින් සිදු කළ එම දේශනයේ සිංහල පරිවර්තනය පහත පරිදි වේ :

“ශ්‍රී ලංකාවේ ගරු ඉරාන තානාපති Hashem Ashjazadeh මහතා ඇතුළු මෙම වෙබිනාවට රැස්ව සිටින සියලුම සම්භාවනීය ආරාධිත මහත්ම මහත්මීන්ගෙන් අවසරයි. 2022 වසරේ ශ්‍රී ලංකාව පුරා හමාගිය දේශපාලන සුළි කුනාටුවේ තීරණාත්මක මංසන්ධීන් වන මැයි 09 සහ ජූලි 09 අතර වූ කාලය තුළ සිදු වූ සිද්ධීන් තුළ වන අමෙරිකානු අධිරාජ්‍යවාදීන්ගේ මෙහෙයුම ශ්‍රී ලාංකික ජනයාට හෙළිදරව් කිරීමේ මූලික වුවමනාව හේතුවෙන් අප මෙම ‘නවය; සැඟවුණු කතාව’ ග්‍රන්ථය එළිදක්වනු ලැබුවා.

ශ්‍රී ලංකාවට එහි පිහිටීම නිසාම භූ දේශපාලනය තුළ අද්විතීය ස්ථානයක් හිමිව තිබෙනවා. එලෙසම ආසියාවේ දොරටුව ලෙස ලෝක ජනයා අපව හඳුන්වන්නේ ආසියාවේ දැවැන්ත උපායමාර්ගික බල අරගලයේ මුවදොර ශ්‍රී ලංකාව වන නිසාමයි. නමුත් ඊනියා අරගලය උත්සන්න වෙමින් පවතින කාලය තුළ ශ්‍රී ලංකාව වර්ෂ 1977 න් පසුව අනුගමනය කළ ණය මත පදනම් වූ ආර්ථික ක්‍රියාදාමය විසින් එහි ආර්ථික දේහය බරපතල ගරා වැටීමකට ලක් වෙමින් තිබුණා.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා 2022 වර්ෂයේ සැප්තැම්බර් 30 වන දින ඔවුන්ගේ පැරණි සමූහ ආණ්ඩුවට අයත් ප්‍රදේශවල ජනයා රුසියාවට එක් වීමට ජනමත විචාරණයකින් කැමැත්ත පළ කළ පසු ඓතිහාසික දේශනයක් කරනු ලැබුවා. එහිදී ඔහු පෙන්වා දුන්නේ අනෙකුත් ජාතීන්ගේ සම්පත් කොල්ලකෑමෙන් තොරව බටහිර ජාතීන්ට පැවතිය නොහැකි බවයි. ඔහු පැහැදිලි කළ සත්‍යය අපේ රට දිනපතා අත්විඳිමින් සිටිනවා.

ලෝක ඉතිහාසයේ රුසියානු විප්ලවය, චීන විප්ලවය, ඉරාන විප්ලවය, කියුබානු විප්ලවය වැනි විප්ලවයන් සමස්ත ලෝකයටම සහ එම රටවල ජනතාවට දැවැන්ත ජයග්‍රහණ අත්කර දුන්නා.

එහෙත් ඇමරිකාව ප්‍රමුඛ බටහිර ජාතීන් හඳුන්වා දුන් ඊනියා විප්ලවයෙන් අප වැනි රටවල ජනතාව දුක්‌ඛිතභාවයට ඇද දමා තිබෙනවා. ඔවුන් විවිධ නම්වලින් සහ වර්ණවලින් ඊනියා ‘විප්ලවය’ වරගන්වනු ලැබුවා. චෙකොස්ලොවැකියාව, ජෝර්ජියාව, යුක්රේනය, ලිබියාව, ඉරාකය සහ යේමනය වැනි රටවල් එම ඊනියා ‘ප්‍රේමයේ විප්ලව’ වලට උදාහරණ ලෙස දැක්විය හැකිය. ඊනියා ‘ප්‍රේමයේ විප්ලවයේ’ නවතම ගොදුර බවට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා. මේ කුමන්ත‍්‍රණය පිටුපස සිටි විවිධ පුද්ගලයන්ගේ, විවිධ කණ්ඩායම්වල සහ ඇමරිකානු ඔත්තු සේවාවල සම්බන්ධය මම මේ කෘතියෙන් හෙළි කරනවා. එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර ජාතීන් විසින් එය ‘අරගලයක්’ ලෙස හැඳින්වුවද එය ශ්‍රී ලංකාවේ ‘පාලන වෙනස් කිරීම’ සඳහා නිර්මාණය කරන ලද්දක් පමණයි.

ඊනියා අරගලය සිදු වූයේ පසුගිය රජයන් ස්වෛරීත්ව බැඳුම්කර ලෙස ලබාගත් අතිවිශාල විදේශ ණය ආපසු ගෙවීමට නව රජය මුහුණ දුන් කාලයේමයි. එහෙත් බලයෙන් පහකළ ජනාධිපතිවරයා ආර්ථික අර්බුදයට තුඩු දුන් තීරණාත්මක ගැටලු විසඳීමට සම්පූර්ණයෙන්ම අසමත් වූවා.

එසේම, ‘කොවිඩ් 19’ වසංගතය හේතුවෙන් ඇති වූ ආර්ථික අර්බුදය නව රජය මුහුණ දුන් ආර්ථික දුෂ්කරතා තවත් තීව්‍ර කළා. එහි ප්‍රතිඵලයක් ලෙස රට තුළට විදේශ විනිමය ගලා ඒම බරපතළ ලෙස පහත වැටුණා. එමෙන්ම පසුගිය රජය විසින් විදේශ විනිමය පනතට ගෙන ආ සංශෝධන තත්වය තවත් උග්‍ර කිරීමට සමත් වූවා. අපනයනයෙන් උපයන විදේශ විනිමය මෙරටට ගෙන ඒම වෙනුවට වෙනත් රටවල තබා ගැනීමට නීතිමය ප්‍රතිපාදන මෙම සංශෝධනයේ තිබෙනවා. ඒ අනුව නව රජය වැඩිවැඩියෙන් විදේශ විනිමය අර්බුදයකට මුහුණ දුන්නා.

වික්ටෝරියා නුලන්ඩ් මහත්මිය මෙම වර්ධනය වන ප්‍රවණතා ඇමරිකානු මූලෝපායික අවශ්‍යතාවලට ගැලපෙන පරිදි, පාලනතන්ත්‍රය වෙනස් කිරීමට මෙවලම් ලෙස භාවිතා කිරීමට සමත් වූවා.

අමෙරිකානු රාජ්‍ය පාලනය තුළ රාජ්‍ය තනතුරු ස්ථානගත කිරීමේදී හතරවන (4) ස්ථානයේ තිබෙන තනතුර ලෙස සැලකෙන දේශපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය ලේකම්වරිය ලෙස වික්ටෝරියා නුලන්ඩ් මැතිනිය 2021 අප්‍රේල් 29 දින සෙනෙට් සභාව විසින් තහවුරු කරන ලද අතර ඇය 2021 මැයි 03 දින සිට වැඩ ආරම්භ කරනු ලැබුවා. ඇය මෙතරම් කඩිමුඩියේ මෙම තනතුරට පත් වන්නේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කිරීමට කියායි අපගේ ගණන් බැලීම.

ගරු තානාපතිතුමනි, නව ලෝක පර්යායක් නිර්මාණය කිරීමේදී රුසියානු සහ චීන මැදිහත්වීම්වල බලපෑම මෙන්ම ඉරානය සහ සෞදි අරාබියේ මිත්‍රත්වය අලුත් කිරීම සඳහා මැදිහත් වෙමින් ආසියානු කලාපය තුළ චීනය විසින් ඉටු කරන ලද කාර්යභාරය ඇමරිකානු ආධිපත්‍ය බල භූමිකාවට තර්ජනයක් බව ඉතා පැහැදිලියි.

ඇමරිකාව මේ වන විට යුක්රේනයේ දියත් කරන ‘නියෝජිත යුද්ධය’ සහ තායිවානය කේන්ද්‍ර කර ගනිමින් චීනය සමඟ අනාගතයේදී පැටලීමට නියමිත යුද්ධය හේතුවෙන් ආසියාවේ දොරටුව ලෙස සැලකෙන අපේ රට ඔවුන්ගේ දඩබිමක් බවට පත් කිරීම අත්‍යවශ්‍ය කරුණක්. වික්ටෝරියා නූලන්ඩ් යුක්‍රේනය ජන සංහාරක බිම් කඩක් කිරීම සඳහා සුවිශාල මෙහෙවරක් කළ තැනත්තියක්. යුක්‍රේනයේ, ලිබියාවේ සහ විනාශ කර දැමූ වෙනත් ආසියාවේ සහ අප්‍රිකාවේ රටවලදී තමා ලබාගත් අත්දැකීම් ප්‍රයෝජනයට ගෙන ශ්‍රී ලංකාවේ ආණ්ඩු වෙනසක් කිරීමට නූලන්ඩ්ගේ මැදිහත් වීම ඉහළ තැනක තිබුණා. නූලන්ඩ්ට සුවිශාල සහයෝගයක් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජූලී චන්ග් මැතිනිය ලබා දුන්නා. ජූලී චන්ග් මැතිනිය තල කිහිපයක ඇයගේ මැදිහත් වීම කරනු ලැබුවා. මූලිකවම ඇය මෙරට හිටපු ජනාධිපතිවරයාට, කුමන්ත්‍රණකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවීම වැළැක්වීමට අවශ්‍ය මානසික බාධක පනවනු ලැබුවා. ඊට සමාන්තරව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ඇතුළු ආරක්ෂක අංශවල ඉහළ නිළධාරින් තමන්ට අවනත වන තත්වයට පත් කරනු ලැබුවා. ඊළඟට නීති ක්ෂේත්‍රයේ ඉහළ සිට පහලට තමන්ගේ අනුදැනුම මත ක්‍රියාත්මක වන විශාල පිරිසක් සක්‍රිය කිරීමට කටයුතු කරනු ලැබුවා. ඊළඟට ඇය කොළඹ කේන්ද්‍රීය මධ්‍යම පාන්තික ජනයාගේ මනස තමන්ට අවනත ලෙස හැසිරවීමට සියුම් මානසික උපක්‍රම යෙදුවා. එම පිරිස තමයි මුල් වකවානුවේ ‘ගෝල්ෆේස් අරගලකරුවන්ට’, තවත් විදියකින් පැවසුවහොත් ‘අමෙරිකානු උපක්‍රමයට අනුව නැටවෙන ඊනියා අරගලකරුවන්’ දෙස බලාපොරොත්තු තබා සිටියේ. නමුත් ජුලි චන්ග් මැතිනිය වඩාත්ම ළඟින් මෙහෙය වූ කොටස වූයේ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන්, යූ ටියුබර්ස්ලා සහ බ්ලොග් අඩවි පවත්වාගෙන යන්නවුන්වයි. එම පිරිසෙහි සමහරුන් සෘජුවම මුදල් ගෙවා පාලනය කළා. තවත් පිරිසක් මුදල් ගෙවූ පිරිසෙහි ක්‍රියාවන්ගේ උත්තේජනය මත ක්‍රියාත්මක වූවා.

කෙසේ වුවත් යම් පමණකට සාමකාමීව ගෙවුණු ගෝල්ෆේස් අරගලය ප්‍රචණ්ඩ මාවතකට හැරවීමට හැකි වන පරිදි ශ්‍රී ලංකා සමාජය තුළ සිටින ප්‍රචණ්ඩකාරීන් යොදවා ගැනීමට ජුලී චන්ග් මැතිනිය සමත් වුණා. ඒ සඳහා සමහර වාමාංශික පක්ෂවල ක්‍රියාධරයින් සක්‍රිය දායකත්වයක් සැපයූවා.

අප මේ කෘතිය ඉතා ඉක්මනින් ඉංග්‍රීසි, චීන, රුසියානු සහ දෙමළ භාෂාවන්ට පරිවර්තනය කිරීමට බලාපොරොත්තු වෙනවා. එමගින් අපගේ ජාත්‍යන්තර වගකීම ඉටු කිරීමට අප කටයුතු කරනවා.

අවසාන වශයෙන් මට මේ අවස්ඨාව ලබා දුන් ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති කාර්යාලයේ ගරු තානාපතිතුමා ඇතුළු මෙම වෙබිනා සමුළුව සංවිධානය කළ සියලුදෙනාටම ස්තුතිවන්ත වෙමින් මගේ කතාව සමාප්ත කරනවා ෴


බිස්කට් මිල අඩු වේ

(22.05.2023 – 14:27 +0530 – hirunews.lk/sinhala)

වෙළදපළේ බිස්කට් මිල අද (22) සිට සියයට 08 ත් 15 ත් අතර අගයකින් පහත දැමීමට බිස්කට් නිෂ්පාදනය කරනු ලබන සමාගම් තීරණය කර තිබෙනවා.

ඒ අනුව නව මිල ගණන් සහිත බිස්කට් අද (22) සිටම වෙළඳපොළට නිකුත් කිරීම ආරම්භ කළ බවයි එම සමාගම් ප්‍රකාශ කළේ.

පසුගිය කාලයේ ප්‍රධාන පෙළේ බිස්කට් සමාගම් සිය නිෂ්පාදනවල මිල ඉහළ දමනු ලැබුවේ ඩොලරයේ අර්බුදය හමුවේ අමුද්‍රව්‍යවල මිල ඉහළ ගොස් ඇති බව පවසමින්.

ඒ අනුව, රුපියල් 30 කට අලෙවි වූ ග්‍රෑම් 80 ක් බරැති කුඩා බිස්කට් පැකැට්ටුවක මිල රුපියල් 100 දක්වා ඉහළ දැමීමට එම සමාගම් පියවර ගනු ලැබුවා.

කෙසේ වෙතත් එය මේ වන විට රුපියල් 80 දක්වා පහළ දමා ඇති බව එම සමාගම් ප්‍රකාශ කළා.

එමෙන්ම , පසුගිය කාලයේ බිස්කට් මිල ඉහළ යාමත් සමඟ පාරිභෝගිකයින් ඒවා මිලදී ගැනීම අවම කළ අතර ඒ හේතුවෙන් ඇතැම් බිස්කට් සමාගම් වට්ටම් ලබාදීමටද පියවර ගනු ලැබුවා.

තවද පැකට්ටුව කුඩා කර අලෙවි කිරීමටයි ඇතැම් සමාගම් කටයුතු කරනු ලැබුවේ.

මේ අතර ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව පසුගිය මාසයේ උද්ධමන සියයට 33.6 දක්වා පහත වැටී තිබෙනවා.

එය මාර්තු මාසයේ පැවතුණේ සියයට 49.2 ක් ලෙසයි. එම මාසයේ සියයට 42.3 ක්ව පැවති ආහාර කාණ්ඩයේ උද්ධමනය පසුගිය මාසයේ සියයට 27.1 දක්වා පහත වැටී ඇති අතර සියයට 54.9 ක්ව පැවති ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය අප්‍රේල් මාසයේ සියයට 39 දක්වා පහත බැස තිබෙනවා.

මේ අතර ඇගලුම් අපනයනය කරනු ලබන මෙරට ප්‍රධාන පෙළේ සමාගමක් වන හයිඩ්‍රාමනි සමාගම මීපේ පිහිටි ඔවුන්ගේ කර්මාන්තශාලාව වසා දැමීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් එම සමාගම කියා සිටියේ මෙය ඇගළුම් සඳහා පවතින ගෝලීය ඉල්ලුම පහළ යාම හමුවේ සිය ධාරිතාවය අඩු කිරීමට ගත් තාවකාලිකව පියවරක් බවයි.

තත්ත්වය සාමාන්‍යකරණය වීමෙන් පසු යලි කර්මාන්තශාලවේ කටයුතු ආරම්භ කරන බවද එම සමාගම ප්‍රකාශ කළා.

මෙම කර්මාන්තශාලාවේ දහසකට (1000) වැඩි පිරිසක් සේවයේ නිරතවන අතර ඔවුන් සමාගමේ වෙනත් කර්මාන්තශාලා වෙත අනුයුක්ත කර ඇති බවද අදාළ ට්විටර් පණිවුඩයේ දැක්වුණා.

කෙසේ වෙතත් ගෝලීය වශයෙන් ඇගලුම් සඳහා පවතින ඉල්ලුම පහළ බැසීම මෙරට සියලුම ඇගලුම් නිෂ්පාදනය කරන සමාගම් වෙත බලපෑම් එල්ලකර ඇති බව ඒකාබද්ධ ඇගළුම් සංගම් සංසදයේ උපසභාපති ෆීලික්ස් ඒ. ප්‍රනාන්දු සඳහන් කළා.

+


ධීවර ජනතාවට නොමිලයේ භූමිතෙල් බෙදා දීම හෙට (23)

(22.05.2023 – 14:59 +0530 – hirunews.lk/sinhala)

පසුගිය දා චීන රජය විසින් මෙරට ධීවර ජනතාවට නොමිලයේ බෙදා දීමට ලබාදුන් භූමිතෙල් එම ජනතාවට බෙදා දීම හෙට (23) උදෑසන 08:00 ට පානදුර ධීවර වරායේදී බෙදා දීමට නියමිත බව ධීවර අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා සහ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත සහ ශ්‍රී ලංකා චීන තානාපති වී ෂෙන් හොන්ගේ ප්‍රධානත්වයෙන් එය සිදුකිරීමට නියමිතයි.

මෙහිදී භූමිතෙල් ඉන්ධන පාවිච්චි කරන බෝට්ටු 26,000 කට භූමිතෙල් ලීටර් 150 බැගින් බෙදාදීමට නියමිත බවත් එම නිවේදනයේ සඳහන් ෴


දරුවා පොළොවේ ගැසූ පියෙකු අත්අඩංගුවට

(22.05.2023 – 15:24 +0530 – hirunews.lk/sinhala)

තම තුන්හැවිරිදි (3) දරුවා පොළොවේ ගැසූ බව කියන පියෙකු පිළිබඳ තොරතුරු අවිස්සාවේල්ල – ඉහළ තල්දූව ප්‍රදේශයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.

සැකකරු දරුවා පොළොවේ ගැසීමෙන් පසු වස පානය කර ඇති අතර පසුව ඔවුන් දෙදෙනාම (2) ප්‍රදේශවාසින් සහ ඥාතීන් විසින් ඊයේ (21) දිනයේදී රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්.

එහිදී පියා ප්‍රතිකාර ගැනීමෙන් පසු රෝහලෙන් පළායාමට උත්සහ කිරීමේදී පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනතුරට පත් දරුවා අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට මාරුකර යැවුණු බවයි පොලිසිය සඳහන් කළේ.

සිය බිරිඳ සමඟ පවතින ආරවුලක් හේතුවෙන් දරුවා පොළොවේ ගැසූ බවටයි සැකකරු පොලිසියට පාපොච්චාරණය කර ඇත්තේ ෴


ව්‍යාජ ගමන් බලපත්‍රයකින් පැමිණි චීන ජාතිකයාගෙන් ප්‍රකාශයක්

(22.05.2023 – 15:34 +0530 – hirunews.lk/sinhala)

ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයකින් ශ්‍රී ලංකාවට පැමිණි චීන ජාතිකයා මේ වන විට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයක් ලබාදෙමින් සිටින බව අමාත්‍ය ටිරාන් අලස් විසින් පවසනවා.

ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් යොදාගනිමින් මෙරටට ඇතුළුවීමට උත්සහ කළ චීන ජාතිකයෙකු ඊයේ (21) දිනයේ දී කටුනායක ගුවන්තොටුපොළ ආගමන විගමන නිළධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

එහිදී චීන ජාතිකයාගේ ගුවන් ගමන් බලපත්‍රය සම්බන්ධයෙන් සැක මතුවී ඇති අතර ඒ අනුව සිදු කළ සොයාබැලීමක දී ඔහු ලඟ තිබී තවත් ගුවන් බලපත්‍රයක් හමුවී තිබෙන බවයි ගුවන්තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කළේ ෴


උද්ධමනයේ වෙනසක්

(22.05.2023 – 16:01 +0530 – hirunews.lk/sinhala)

ජාතික පාරිභෝගික මිල දර්ශකය මගින් මනිනු ලබන සමස්ත උද්ධමනය මාර්තු මාසයේ 49.2% ට සාපේක්ෂව 2023 අප්‍රේල් මාසයේ දී 33.6% ක අගයක් දක්වා අඩු වී තිබෙනවා.

එමෙන්ම ආහාර උද්ධමනය මාර්තු මාසයේ 42.3% සිට අප්‍රේල් මාසයේදී 27.1% දක්වා පහත වැටී ඇති බවයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.

ඔවුන් වැඩිදුරටත් පෙන්වා වෙන්නේ ආහාර නොවන උද්ධමනය මාර්තු මාසයේ 54.9% සිට අප්‍රේල් මාසයේදී 39% දක්වා පහත වැටී ඇති බවයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *