රුපියලේ වටිනාකම 18.7% කින් වැඩිවෙලා

රුපියලේ වටිනාකම 18.7% කින් වැඩිවෙලා


රුපියලේ වටිනාකම 18.7% කින් වැඩිවෙලා

(22.05.2023 – 11:04 +0530 – hirunews.lk/sinhala)

2023 වසරේ ජනවාරි 01 සිට මැයි 19 වන දින දක්වා කාලය තුළ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 18.7 කින් අතිප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

එසේම මෙම වකවානුව තුළ දී අනෙකුත් ප්‍රධාන විදේශ ව්‍යවහාර මුදල් ඒකක කිහිපයකටම සාපේක්ෂව ද ශ්‍රී ලංකා රුපියල අතිප්‍රමාණය වී තිබෙනවා.

එහිදී ජපාන යෙන් මුදල් ඒකකයට සාපේක්ෂව 24.1% කින්, ස්ටර්ලිං පවුමට සාපේක්ෂව 15.4% කින්, යුරෝ මුදල් ඒකකයට සාපේක්ෂව 17.5% කින් සහ ඉන්දියානු රුපියලට සාපේක්ෂව 18.7% කින් 2023 වසරේ මැයි 19 දක්වා කාලය තුළ දී ශ්‍රී ලංකා රුපියල අතිප්‍රමාණය වී තිබෙනවා.

2022 වසරේ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 44.8 කින් අවප්‍රමාණය වී තිබුනා ෴


යළ කන්නයේ පොහොර සහනාධාරය අද (22) සිට

(22.05.2023 – 11:06 +0530 – hirunews.lk/sinhala)

යල කන්නයේ වී වගා කරන ගොවීන්ට අවශ්‍ය පොහොර මිලදී ගැනීම සඳහා අද (22) සිට සහනාධාර වවුචර පත් නිකුත් කිරීම ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

වී වගා කරනු ලබන ගොවීන් 6,50,000 කට පමණ මේ යටතේ ඔවුන්ට අවශ්‍ය රසායනික සහ කාබනික පොහොර මිලදී ගැනීමට මූල්‍ය ප්‍රතිපාදන හිමිවනු ඇති.

මේ යටතේ වී වගා කරන හෙක්ටයාර එකකට (1) රුපියල් විසි දහසක් (20,000) සහ හෙක්ටයාර දෙකක් (2) සඳහා රුපියල් 42,000 ක් වශයෙන් සහනාධාර මුදලක් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය අපේක්ෂා කරනවා.

පොහොර සහනාධාරය ලබාදීම සඳහා රුපියල් බිලියන 10 ක මුදලක් රජය වෙන් කර තිබෙනවා ෴


මගේ ජීවිත ආරක්ෂාවට තර්ජනයක් – ටිරාන් අලස්

(22.05.2023 – 11:10 +0530 – hirunews.lk/sinhala)

තමාගේ ජීවිත ආරක්ෂාවට මේ වනවිට යම් තර්ජනයක් එල්ල වී ඇතැයි බුද්ධි අංශ වාර්තා කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

මේ වනවිට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සඳහන් කළා.

“මට බුද්ධි අංශ වාර්තාවක් ලැබිලා තියෙනවා මෙහෙම තර්ජනයක් තියෙන්න පුළුවන් කියලා. නමුත් ඉතින් එහෙම තර්ජන තිබුණට, මම මේ තනතුර භාර අරගෙන තියෙන්නේ මේ වැඩේ කරන්න නේ. දැන් මම මෙතැන ඉන්නකල් මත්ද්‍රව්‍ය අල්ලන එක පාතාලය නැති කරන එක මම කරන්න ඕනේ. ඒ හින්දා එහෙම තියෙයි. අපි දැනගන්න ඕනේ අපේ ආරක්ෂාව බලාගෙන වැඩ කරන්න. එහෙම තර්ජන තිබුණා කියලා නම් මම අඩියක් පස්සට තියන්නේ නෑ. එහෙම වුණොත් මම තව අඩියක් ඉස්සරහට තියනවා මිසක් පස්සට තියන්නේ නෑ…” ෴


මහේස්ත්‍රාත්තුමාට තර්ජනය කළ පිරිසක් රිමාන්ඩ්

(22.05.2023 – 11:18 +0530 – hirunews.lk/sinhala)

මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්තුමාට බැන තර්ජනය කර එම සිදුවීම වීඩියෝ ගත කර මහේස්ත්‍රාත්වරයා අපහසුතාවයට පත් කළ කාන්තාවන් දෙදෙනෙකු (2) සහ පිරිමි පුද්ගලයෙකු (1) ලබන විසි දෙවැනි දා (22) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහර මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (21) නියෝග කර තිබෙනවා.

මහේස්ත්‍රාත්වරයා සිය බිරිඳ සහ දරුවන් සමඟ රාගම ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණ සිටියදී මෙම පිරිස කලහකාරී ලෙස හැසිරී බැන වැදී ඇති බවයි වාර්තා වන්නේ.

එම සිදුවීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා විසින් රාගම පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන විමර්ශන ආරම්භ කළ බව රාගම පොලිසිය සඳහන් කළා ෴


තරුණියක් පැහැර ගැනීමේ සිද්ධියකට පස්දෙනෙකු (5) අත්අඩංගුවට

(22.05.2023 – 11:26 +0530 – hirunews.lk/sinhala)

හලාවත ප්‍රදේශයේදී 18 හැවිරිදි තරුණියක් පැහැරගැනීමේ සිද්ධියකට අදාළව පස්දෙනෙකු (5) ඊයේ (21) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් දඹුල්ල ප්‍රදේශයේදී මෙම පිරිස අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

අදාළ සැකකරුවන් එම ප්‍රදේශයේම පදිංචිකරුවන් වන බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරුවන් අවුරුදු 21 ත් 40 අතර වයස්වල පසුවන බවයි මූලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

මෙම පැහැරගැනීම පසුගිය 19 වැනිදා සිදු වූ බවයි වාර්තා වී ඇත්තේ ෴


යාපනයේ දී කේරළ ගංජා තොගයක් යුද හමුදා නිලධාරීන් භාරයට

(22.05.2023 – 12:02 +0530 – hirunews.lk/sinhala)

යාපනයේ ඌර්කාවතුරෙයි ප්‍රදේශයේ තිබී කිලෝ හැට පහක (65) කේරළ ගංජා තොගයක් යුද හමුදා නිලධාරීන් විසින් ඊයේ (21) දා සොයා ගෙන තිබෙනවා.

මෙම කේරළ ගංජා තොගය කුඩා පාර්සල් 26 ක අසුරා ළදු කැළයක පදුරු අස්සේ සගවා තිබියදී යුද හමුදාවේ බුද්ධි අංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත ඒවා සොයා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ කේරළ ගංජා තොගය අත්අඩංගුවට ගැනීමට යන අවස්ථාවේදි එම මත්ද්‍රව්‍යවල අයිතිකරු පලා ගොස් ඇති බවයි.

සැකකරු සොයා අත් අඩංගුවට ගැනීම සදහාත් ඉදිරි පරීක්ෂණ කටයුතු සදහාත් කේරළ ගංජා තොගය යුද හමුදාව විසින් ඌර්කාවතුරේ පොලිසිය වෙත බාර දී තිබෙනවා ෴


මැයි මස 09 වන දා සිදුවීමට අදාළව ගොනු කළ පෙත්සම ඉල්ලා අස්කර කර ගැනීමට අවසර

(22.05.2023 – 13:14 +0530 – hirunews.lk/sinhala)

පසුගිය වසරේ මැයි මස 09 වන දා දිවයින පුරා මැති ඇමැතිවරු ඇතුළු දේශපාලකයින්නිගේ නිවාස දේපල ගිනි තබා විනාශ කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඇතුළු පිරිසක් විසින් ගොනුකර තිබූ පෙත්සමක් අද (22) අභියාචනාධිකරණය හමුවේ ඉල්ලා අස්කර ගෙන තිබෙනවා.

එම සිදුවීම් නිසා පීඩාවට පත් බන්දුල ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග, ෂෙහාන් සේමසිංහ, ප්‍රසන්න රණවීර ඇතුළු මැති ඇමැතිවරු සහ දේශපාලකයින් 39 විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබෙන බවයි වාර්තා වී ඇත්තේ.

අදාළ පෙත්සම අද (22) අභියාචනාධිකරණය හමුවේ කැඳ වූ අවස්ථාවේදී මහජන ආරක්ෂක අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉකුත් වසරේ (2022) මැයි මස නව වනදා (09) ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදු කිරීමට පියවර ගන්නා බවට සිය සේවාදායකයා දැනුම් දී ඇතැයි සඳහන්.

එම කරුණ සම්බන්ධයෙන් සෑහීමකට පත්වන බව සඳහන් කළ පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජිව ජයවර්ධන ඒ අනුව අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීම සඳහා අවසර දෙන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා.

එම ඉල්ලීමට අදාළ පෙත්සමේ වග උත්තරකරු වශයෙන් නම් කර සිටි යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා විරුද්ධ වී ඇති බවද සඳහන්.

කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර ලබා දී ඇති බවයි වාර්තා වන්නේ ෴


කැනඩා අගමැතිගේ ප්‍රකාශයට එරෙහිව මෙරට මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතා

(22.05.2023 – 13:18 +0530 – hirunews.lk/sinhala)

නව ජනතා පෙරමුණ අද (22) මෙරට කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලයට සංදේශයක් භාරදුන්නා.

ඒ, එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානයට සහය පළ කරමින් කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ සිදුකළ ප්‍රකාශය පදනම් විරහිත බව සඳහන් කරමින්.

මේ අතර කැනේඩියානු අග්‍රාමාත්‍යවරයාගේ එම ප්‍රකාශයට එරෙහිව ‘ගාලු මුවදොර ජනතා ව්‍යාපාරය’ ද මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට සාමකාමී විරෝධතාවක නිරතවනවා.

මෙරට 14 වන ජාතික රණවිරු සැමරුම යෙදී තිබුණු දින කැනඩාවේදී පවත්වා තිබූ දෙමළ ජන සංහාර අනුස්මරණ දිනය වෙනුවෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ සඳහන් කර තිබුණේ ශ්‍රී ලංකාවේ ජන සංහාරයක් සිදුවූ බවටයි ෴


විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ආචාර්යවරුන්ට පවතින ගැටළු සම්බන්දයෙන් සාකච්ඡා

(22.05.2023 – 13:24 +0530 – hirunews.lk/sinhala)

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග සමඟ මේ වනවිට සාකච්ඡාවක් පැවැත්වෙනවා.

විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සහ ආචාර්යවරුන්ට පවතින ගැටළු එහිදී සාකච්ඡා කිරීමට තීරණය කර ඇති බවයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නැහැක හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ.

එමෙන්ම පසුගියදා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ජනාධිපතිවරයාද හමුවී සාකච්ඡා කළා.

මේ අතර ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ නිලධාරින් හෙට (23) ලෙඩ නිවාඩු දමා එක්දින (1) සංකේත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා.

උසස්වීම්, වැටුප් විෂමතා පවතින ගැටළු ඇතුළු ඉල්ලීම් 09 ක් මුල් කරගනිමින් අදාළ වර්ජනය සිදුකරන බවයි ශ්‍රී ලංකා අධ්‍යාපනඥ සේවා නිලධාරින්ගේ ඒකාබද්ධ වෘත්තිය සමිති සංගමයේ ලේකම් සවනතිලක ගජධීර කියා සිටියේ ෴


එළවළුවලට ස්ථාවර මිලක් ඉල්ලයි

(22.05.2023 – 13:40 +0530 – hirunews.lk/sinhala)

දේශීය එළවළු සඳහා ස්ථාවර මිලක් ලබාදීමට රජය කටයුතු කළ යුතු බව ‘සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂ ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ’ හා ‘නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථාන’ සභාපති අරුණශාන්ත හෙට්ටිආරච්චි පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ නුවරඑළිය ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ෴


“ඔය හතර දෙනා අයින් කරන්න. මට වුණ දේම ඔයාටත් වෙයි” : ගෝඨාභය රනිල්ගෙන් කළ අවසන් ඉල්ලීම (22.05.2023)

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් ‘ගෝල්ෆේස් අරගලයේ ඇතුළාන්තය’ පිළිබඳව පුළුල් අධ්‍යයනයකින් අනතුරුව රචිත ‘නවය; සැඟවුණු කතාව’ විමර්ශනාත්මක කෘතිය පිළිබද සංවාදශීලී සම්මන්ත්‍රණ මාලාවේ දෙවැන්න (2) ඊයේ (21) සවස මතුගම S & A හෝටලයේදී පැවැත්විණි. එහිදී විමල් වීරවංශ මහතා දැක්වූ අදහස් :

+


ජෙරොම් තවමත් ලංකාවට පැමිණ නැහැ

(22.05.2023 – 07:47 +0530 – hirunews.lk/sinhala)

සමාව ඉල්ලූ ජෙරොම් ප්‍රනාන්දු මෙතෙක් ශ්‍රී ලංකාවට පැමිණ නොමැති බව වාර්තාවනවා.

ගුවන් තොටුපල කාර්යභාර නිලධාරීවරයාගෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ ඔහුගේ පැමිණීම සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරක් වාර්තාවී නොමැති බවයි.

මිරිහාන ප්‍රදේශයේ උත්සවශාලාවක ඊයේ (21) පැවති ආගමික දේශනයකට අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙමින් ජෙරොම් ප්‍රනාන්දු කියා සිටියේ තමන් සිදුකළ ප්‍රකාශයකින් බෞද්ධ, හින්දු, ඉස්ලාම් සහෝදර ජනතාවගේ සිත් රිඳවීමක් සිදුවී ඇත්නම් ඊට සමාව ඉල්ලන බවයි.

ජෙරොම් ප්‍රනාන්දු විසින් කරන ලද ප්‍රකාශයකට අදාළ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමඟ එය රට තුළ දැඩි කථාබහට ලක්වුණේ අදාළ ප්‍රකාශය මගින් බුදුන් වහන්සේට සහ අනෙකුත් ආගමික විශ්වාසයන්ට නිගරුවන බවට විවිධ පාර්ශව චෝදනා එල්ල කිරීමත් සමඟයි.

ඒ අනුව ඔහුගේ එම ප්‍රකාශය පිළිබඳ මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්ද පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන අතර, විදෙස් ගමන් තහනමක්ද පනවා තිබෙනවා. එසේම ඔහුගේ වත්කම් සම්බන්ධයෙන්ද විමර්ශනයක් ක්‍රියාත්මකයි.

එවන් පසුබිමක් තුළ කටුනායක පිහිටි ‘මිරැකල් ඩෝම්’ සම්මේලන මධ්‍යස්ථානයේ ඊයේ (21) ආගමික දේශනයක් පැවැත්වෙන බවට ඔහු මීට පෙර සිය සමාජ මාධ්‍යවල සටහනක් පළ කර තිබුණා.

කෙසේ වෙතත් ඔහු එම රැස්වීම අවලංගු කර තිබූ අතර, ඉන් අනතුරුවයි එය දෙහිවල පැවැත්වෙන බවට සටහනක් තබා තිබුණේ.

එහෙත් එයද අවලංගු කර පසුව අදාළ ආගමික දේශනය මිරිහාන ප්‍රදේශයේ ස්ථානයක පැවැත්වීමට කටයුතු යොදා තිබුණා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *