‘හිරු CIA’ වැටලූ ‘මුව අං’ ජාවාරම – සැකකරු නිලධාරීන් ඉදිරියේ හඬා වැළපෙයි

‘හිරු CIA’ වැටලූ ‘මුව අං’ ජාවාරම – සැකකරු නිලධාරීන් ඉදිරියේ හඬා වැළපෙයි


‘හිරු CIA’ වැටලූ ‘මුව අං’ ජාවාරම – සැකකරු නිලධාරීන් ඉදිරියේ හඬා වැළපෙයි

(21.05.2023 – 20:06 +0530 – hirunews.lk/sinhala)

රටක, වන සතුන් හා වෘක්ෂලතා යනු ඒ රටේ අභිමානය ලොවට කියා පාන සාධකවලින් ප්‍රධාන ස්ථානය ගන්නා ක්ෂේත්‍රයක්.

දේශගුණ විපර්යාසවලට දරුණු ලෙසින් මුහුණ දෙමින් සිටින ලෝකය අද වනවිට ඉන් ආරක්ෂා වීම සඳහා ගස් කොළන් වගා කිරීමටත් වන සතුන් ව්‍යාප්ත කිරීමටත් පෙළැඹී සිටින්නේ, පාරිසරික සමතුලිතතාවේ වැදගත්කම ගැඹුරින් අවබෝධ කරගෙනයි.

ශ්‍රී ලංකාවේ අපට ස්වභාවයෙන්ම උරුම වී ඇති වනාන්තර සහ ඒවායේ සිටින වන සතුන් ආරක්ෂා කර ගැනීම සඳහා වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනත ස්ථාපනය කළේද ඒ අරමුණ සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන්.

සත්ත්ව කොටස් ළඟ තබා ගැනීම, අලෙවිය සඳහා ප්‍රදර්ශනය කිරීම, අලෙවි කිරීම වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනත අනුව දඩුවම් ලැබිය හැකි වරදක්.

එහෙත්, මෙම නීති තඹයකට මායිම් නොකරන ජාවාරම්කරුවන් විශාල පිරිසක්, වටිනා පැළෑටි සහ වන සතුන්ගේ ශරීර කොටස් අලෙවි කරමින් සිටිනවා.

‘හිරු CIA’ වෙත ලැබුණු එවැනි තොරතුරත් මත ක්‍රියාත්මක වූ CIA කණ්ඩායම අත්තිඩිය වනජීවි කාර්යාලයේ නිලධාරීන් සමග එක්ව මෙහෙයුමක් දියත් කළේ, උපාය දූතයෙකු ලවා තවත් ‘මුව අං’ ජාවාරම්කරුවෙකු නීතියේ රැහැනට කොටු කර ගැනීම සඳහයි.

උපාය දූතයා ලවා දුරකතනය මාර්ගයෙන් අදාළ ජාවාරම්කරු කොටුව බස් නැවතුම්පොළ දක්වා ගෙන්වා ගෙන වනජීවි නිලධාරීන් සහ CIA කණ්ඩායම එහි ගියා.

අප එහි යනවිටත් අදාළ ජාවාරම්කරු පැමිණ සිටි අතර, ඔහු වාහනයේ නංවාගෙන වනජීවි නිලධාරීන් ඔහු පාරීක්ෂා කළ අතර, ‘මුව අං’ යොදාගෙන නිපදවූ නළා 10 ක් සහ කළුවර ලීයෙන් නිපදවූ නළාවක් ඔහු රැගෙන විත් තිබුණේ අලෙවි කිරීම සඳහායි.

එක් නළාවක් රුපියල් 11,000 ක පමණ මුදලකට අලෙවි කිරීමට සැරසී පැමිණි ජාවාරම්කරු, වනජීවී නිලධාරීන් සිය භාරයට ගෙන අත්තිඩිය වනජීවී කාර්යාලය වෙත රැගෙන ගියා.

තඹුත්තේගම – මකුලෑවේ පදිංචිකරුවෙකු වන ජාවාරම්කරු අන්තර්ජාලය හරහා ලැබෙන ඇණවුම් අනුව ‘මුව අං’ යොදා ගනිමින් මෙම නළා නිෂ්පාදනය කරනවා.

අධි සංරක්ෂිත සත්ත්ව ගණයට වැටෙන මුවාගේ අං සොයා දිවයිනේ විවිධ ප්‍රදේශවල සැරිසරන මෙම ජාවාරම්කරු මෙම නළා 10 නිපදවීම සඳහා මුව අං 8 ක් පමණ යොදාගෙන ඇති බව විමර්ශන නිලධාරීන් සොයා ගත්තා.

එක් ඇණවුමක් වෙනුවෙන් මුව අං 8 ක් යොදා ගන්නේ නම්, මොහු සහ මොහුට මුව අං සපයන සෙසු ජාවාරම්කරුවන් අත කොපමණ ප්‍රමාණයක් තිබේදැයි යන්න සැක සහිතයි.

මොහුට ‘මුව අං’ සපයන සෙසු ජාවාරම්කරුවන් සොයා විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක අතර, සියලුම ආකාරයේ නීති විරෝධී ජාවාරම් සහ ඒවායේ නිරතවන්නන් සොයා ‘හිරු CIA’ නිරන්තර අවධානයෙන්.

+


කටුනායක ගුවන් තොටුපොළේ දී කැනේඩියානු යුවළක් අත්අඩංගුවට

(21.05.2023 – 21:01 +0530 – hirunews.lk/sinhala)

කටුනායක ගුවන් තොටුපොළෙන් සාජා බලා පිටත්ව යාමට පැමිණි කැනේඩියානු යුවළක් අද (21) ගුවන්තොටුපොළ පරිශ්‍රයේ දී අත්අඩංගුවට ගෙන තිඛෙනවා.

ඒ අදාළ යුවල ලඟ තිබී පතොරම් කොපුවක් හමුවීමත් සමඟ බවයි වාර්තා වී ඇත්තේ.

එම හිස් පතොරම් කොපුව කාම්බෝජයේ කළ සංචාරයක් අතර තුර ඇහිඳගත් එකක් බව අත්අඩංගුවට ගත් කැනේඩියානු යුවළ ගුවන්තොටුපොළ ආරක්ෂක අංශ වෙත පවසා තිබෙනවා.

කෙසේ වෙතත් කාම්බෝජයට පැමිණෙන ඕනෑම අයෙකුට එවැනි පතොරම් කොපු අහුලා ගත හැකි බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ෴


හම්බන්තොට ප්‍රදේශයේ වෙඩි තැබීමක්

(21.05.2023 – 22:38 +0530 – hirunews.lk/sinhala)

හම්බන්තොට සුචි ගම්මානයේදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු (2) විසින් වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා.

වෙඩි තැබීමෙන් අදාළ පුද්ගලයා එම ස්ථානයේදීම මිය ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 38 ක් වන පුද්ගලයෙක් බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

එම පුද්ගලයා ද යතුරු පැදි‍යකින් ගමන් කරමින් සිටින විටදීයි වෙඩි තැබීම සිදු කර ඇත්තේ ෴


බො‍රැල්ලේදී සැකකරුවන් 07 දෙනෙක් අත්අඩංගුවට

(21.05.2023 – 22:51 +0530 – hirunews.lk/sinhala)

බොරැල්ල – වනාතමුල්ල කාදර් නානාවත්ත ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් හා කොළඹ දකුණු කොට්ඨාසයේ නිලධාරීන් එක්ව සිදු කරන ලද අපරාධ නිවාරණ විශේෂ සෝදිසි මෙහෙයුමක දී අන්තරාදායක වරදක් කළ හැකි ආයුධ (කඩු, කිණිසි, මන්නා) සමඟින් සැකකරුවන් 04 දෙනෙකුද, ගංජා ග්‍රෑම් 02 මිලි ග්‍රෑම් 740 හා අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 183 සමඟින් සැකකරුවන් 03 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 24 ත් 49 ත් අතර වයස්වල පසුවන බොරැල්ල හා දිවුලපිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

සැකකරුවන් හෙට (22) දින මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

බොරැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා ෴


ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

(21.05.2023 – 12:11 +0530 – hirunews.lk/sinhala)

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට නාය යාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ඒ ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම, ඇල්පිටිය, නාගොඩ සහ යක්කලමුල්ල යන ප්‍රදේශවලටයි.

මෙම අනතුරු ඇගවීම හෙට (22) පෙරවරු 8 දක්වා බලාත්මක වන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කරන්නේ.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි.

සබරගමුව, මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් නොහ වැසි හෝ ගිගුරුම සහිත වැසි ඇති වනවා.

උතුරු සහ උතුරු මැද පළාත් හරහා මෙන්ම පුත්තලම දිස්ත්‍රික්කයේ විටින් විට හමන පැයට කිලෝමීටර් 40 ක පමණ තද සුළං බලාපොරොත්තු විය හැකියි.

ගාල්ල, මාතර , රත්නපුර යන දිස්ත්‍රික්කවලට සහ බස්නාහිර පළාතට ඉදිරි පැය කිහිපය තුළදී මිලි මීටර 100 ඉක්මවූ තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

හිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති වන අතර අකුණු මඟින් සිදු වන හානි අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ෴

මේ අතර හෙට (22) උදෑසන 08 දක්වා බලපැවැත්වෙන පරිදි ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද (21) නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කළා.

ඒ ගාල්ල දිස්ත්‍රික්කයේ යක්කලමුල්ල, බද්දේගම, ඇල්පිටිය සහ නාගොඩ යන ප්‍රදේශවලටයි.

අද (21)) දිනයේදී මාතර දිස්ත්‍රික්කයට ඇඳ හැලුණු වර්ෂාපතනය හේතුවෙන් පහත්බිම් කිහිපයක් සුළු වශයෙන් ජලයෙන් යටවී තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ මාලිම්බඩ – කද්දූව මාර්ගය ස්ථාන කිහිපයකින් ජලයෙන් යටවී ඇති බවයි.

එහෙත් ඉන් ගමනාගමනයට බාධාවක් වී නැහැ.

මීට අමතරව දික්වැල්ල බතීගම ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා ගිය ධීවරයෙකු අතුරුදන්ව තිබෙනවා ෴


ජෙරම් ප්‍රනාන්දු අද (21) දිවයිනට (?)

(21.05.2023 – 13:08 +0530 – hirunews.lk/sinhala)

ජෙරොම් ප්‍රනාන්දු විසින් දෙහිවල පිහිටි හෝටලයකදී අද (21) රැස්වීමක් පැවැත්වෙන බවට සිය ඉන්ස්ටර්ග්‍රෑම් පිටුවේ සටහනක් තබා තිබෙනවා.

ආගමික සංහිඳියාවට බලපෑම් එල්ල වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීම හේතුවෙන් විදෙස් ගමන් තහනමකට ලක්ව සිටින ජෙරම් ප්‍රනාන්දු අද (21) රාත්‍රියේ යළි දිවයිනට පැමිණීමට නියමිත බව ගුවන්තොටුපළ ආරංචි මාර්ග පවසනවා.

ජෙරම් අද (21) පෙරවරුවේ ඔහුට අයත් කටුනායක ‘මිරැකල් ඩෝම්’ ශාලාවේ රැස්වීමක් පවත්වන බවට මීට පෙර ප්‍රකාශ කර තිබුණත්, පසුව පියවර ගෙන තිබුණේ එය අවලංගු කිරීමටයි.

ජෙරම් ප්‍රනාන්දු විසින් කරන ලද ප්‍රකාශයකට අදාළ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමග එය රට තුළ දැඩි කතාබහට ලක්වුණේ, අදාළ ප්‍රකාශය මගින් බුදුන් වහන්සේට සහ අනෙකුත් ආගමික විශ්වාසයන්ට නිගරුවන බවට විවිධ පාර්ශ්ව චෝදනා එල්ල කිරීමත් සමගයි.

ඒ අනුව ඔහුගේ ප්‍රකාශ පිළිබඳව මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්ද පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඔහුට එරෙහිව විදෙස් ගමන් තහනමක්ද අධිකරණය විසින් පනවා තිබෙන අතර ඔහුගේ වත්කම් සම්බන්ධයෙන්ද විමර්ශනයක්ද ක්‍රියාත්මකයි.

මේ අතර, ජෙරම් ප්‍රනාන්දුට අයත් කටුනායක පිහිටි ‘මිරැකල් ඩෝම්’ සම්මේලන මධ්‍යස්ථානයේ අද (21) රැස්වීමක් පැවැත්වෙන බවට ඔහු සිය සමාජ මාධ්‍යවල සටහන් පළ කර තිබුණත්, පසුව එය අවලංගුකර තිබෙනවා.

ඔහු ඊයේ (20) පස්වරුවේ සිය ඉන්ස්ටග්‍රෑම් පිටුවේ සටහන්කර තිබුණේ දෙහිවල පිහිටි හෝටලයකදී එම රැස්වීම පැවැත්වෙනු ඇති බවයි.

කෙසේවෙතත්, ජෙරම් ප්‍රනාන්දු දිවයිනට පැමිණ ඇති බවට මෙතෙක් තොරතුරු වාර්තා වී නැහැ.

ගුවන්තොටුපළ ආරංචි මාර්ග සඳහන් කළේ, ජෙරම් අද (21) රාත්‍රියේ මැලේසියාවේ සිට දිවයිනට පැමිණීමට නියමිත බවයි.

කෙසේවෙතත්, ජෙරම් දිවයිනට පැමිණි වහා අත්අඩංගුවට ගත යුතු බවට සිවිල් සංවිධාන නියෝජිතයින්, දේශපාලනඥයින් ඇතුළු බොහෝ පාර්ශව අදහස් පළකර තිබුණා.

+++++++++

ජෙරොම් ප්‍රනාන්දු ගෙන් ප්‍රකාශයක්

(21.05.2023 – 18:37 +0530 – hirunews.lk/sinhala)

තමන් සිදුකළ ප්‍රකාශයකින් බෞද්ධ, හින්දු, ඉස්ලාම් සහෝදර ජනතාවගේ සිත් රිඳවීමක් සිදුවී ඇත්නම් ඊට තමන් සමාව ඉල්ලන බව ජෙරොම් ප්‍රනාන්දු පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද (21) පස්වරුවේ මිරිහාන ප්‍රදේශයේ උත්සවශාලාවක පැවති ආගමික දේශනයකට අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙමින්.

ජෙරොම් ප්‍රනාන්දු විසින් කරන ලද ප්‍රකාශයකට අදාළ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමඟ එය රට තුළ දැඩි කථාබහට ලක්වුණේ අදාළ ප්‍රකාශය මගින් බුදුන් වහන්සේට සහ අනෙකුත් ආගමික විශ්වාසයන්ට නිගරුවන බවට විවිධ පාර්ශව චෝදනා එල්ල කිරීමත් සමඟයි.

ඒ අනුව ඔහුගේ එම ප්‍රකාශය පිළිබඳ මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්ද පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන අතර, විදෙස් ගමන් තහනමක්ද අධිකරණය විසින් පනවා තිබෙනවා.

එසේම ඔහුගේ වත්කම් සම්බන්ධයෙන්ද විමර්ශනයක් ක්‍රියාත්මකයි.

එවන් පසුබිමක් තුළ කටුනායක පිහිටි ‘මිරැකල් ඩෝම්’ සම්මේලන මධ්‍යස්ථානයේ අද (21) ආගමික දේශනයක් පැවැත්වෙන බවට ඔහු මීට පෙර සිය සමාජ මාධ්‍යවල සටහනක් පළ කර තිබුණා.

කෙසේ වෙතත් ඔහු එම රැස්වීම අවලංගු කර තිබූ අතර, ඉන් අනතුරුවයි එය දෙහිවල පැවැත්වෙන බවට සටහනක් තබා තිබුණේ.

එහෙත් එයද අවලංගු කර පසුව අදාළ ආගමික දේශනය මිරිහාන ප්‍රදේශයේ ස්ථානයක පැවැත්වීමට කටයුතු යොදා තිබුණා.

එහිදී ආගමික දේශනයට ජෙරොම් ප්‍රනාන්දු අන්තර්ජාලය ඔස්සේ එක්ව සිටියා.

එහිදී ඔහු කියා සිටියේ තමන් අනිවාර්යයෙන්ම මෙරටට පැමිණෙන බවත් ඊට අදාළව තම නීතිඥවරුන් ඉදිරි කටයුතු සිදුකරමින් පවතින බවයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *