යතුරුපැදිය හප්පා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට තැත් කළ පිරිසක් රිමාන්ඩ්

යතුරුපැදිය හප්පා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට තැත් කළ පිරිසක් රිමාන්ඩ්


යතුරුපැදිය හප්පා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට තැත් කළ පිරිසක් රිමාන්ඩ්

(21.05.2023 – 07:08 +0530 – hirunews.lk/sinhala)

අතුරුගිරිය – මයිලංගම මාර්ගයේ ක්‍රීඩාංගණය අසලදී ඊයේ (20) සවස් කාලයේ මෝටර් රථයකින් යතුරුපැදියේ ගමන්කළ පුද්ගලයෙකු සහ කාන්තාවක් හප්පා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට තැත් කිරීමක් හේතුවෙන් තුවාල ලැබූ කාන්තාවක් කොළඹ ජාතික රෝහලට ඇතුලත්ව සිදුකල ප්‍රකාශයක් මත අතුරුගිරිය පොලිස් ස්ථානය විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මෙම තුවාලකාරිය ගණිකා වෘත්තියේ යෙදෙන බවට ඇයගේ දුරකථන අංකය සහ වෙනත් කානතාවකගේ ඡායාරූපයක් යොදා ගනිමින් අන්තර්ජාලයේ දැන්වීමක් පළකර තිබෙනවා.

එහිදී එම ඡායරූපයේ සිටින කාන්තාවගේ පෙම්වතා විසින් ඒ බව නොහඟවා මෙම කාන්තාවගේ දුරකථන අංකයට ඇමතුමක් ගෙන ගණිකා වෘත්තියේ යෙදීම සඳහා තමන් හමුවීමට පැමිණෙන ලෙස දැනුම් දී තිබෙනවා.

එහිදී මෙම තුවාලකාරිය තවත් පුද්ගලයෙකු සමඟ යතුරුපැදියෙන් එම ස්ථානයට පැමිණ ඇති අතර, දුරකථන ඇමතුම ලබා දුන් පුද්ගලයා මෝටර් රථයකින් තවත් පුද්ගලයින් දෙදෙනෙකු (2) සමඟ එම ස්ථානයට පැමිණ තිබෙනවා.

මෙම අවස්ථාවේ කරුණු හෙලිවීමෙන් අනතුරුව දෙපිරිස අතර නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවී තිබෙන බවත්, යතුරුපැදියෙන් පැමිණි තුවාලකාරිය සහ අනෙකුත් පුද්ගලයා පලා යාමට උත්සාහ කිරීමේ දී මෙම මෝටර් රථයේ පැමිණි පිරිස යතුරුපැදිය හප්පා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට තැත් කර මොවුන් අල්ලා ගැනීමට උත්සාහ කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙම සිදුවීමෙන් තුවාල ලැබූ කාන්තාව වයස අවුරුදු 26 ක් වන හෝමාගම ප්‍රදේශයේ පදිංචිකාරියක්.

මෙම සිදුවීමෙන් අනතුරුව සැකකරුවන් තිදෙනෙකු (3) සහ එම සැකකරුවන් පැමිණි මෝටර් රථය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පවසන්නේ අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 21 සහ 22 වයස්වල පසුවන අතුරුගිරිය සහ හෝමාගම ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි.

එම සැකකරුවන් ඊයේ (20) දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා ෴


මාස හතරකදී (4) විදෙස් ශ්‍රමිකයන්ගෙන් ඩොලර් බිලියන දෙකක් (2)

(21.05.2023 – 07:54 +0530 – hirunews.lk/sinhala)

මේ වසර ආරම්භයේ සිට ගෙවුනු මාස හතරක (4) කාලය තුළ විදේශ ශ්‍රමික ප්‍රේෂණවලින් ඩොලර් බිලියන දෙකක් (2) ලැබී ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසනවා.

ගාල්ලේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටියේ මසකට ඩොලර් මිලියන 500 ක විදේශ ප්‍රේෂණ මෙරටට ලැබෙන බවයි ෴


වනඅලි පහරදීමකින් අසරණ වූ පවුලක්

(21.05.2023 – 08:09 +0530 – hirunews.lk/sinhala)

වනඅලියෙකුගේ පහර කෑමට ලක්ව සැමියා මිය යාම හේතුවෙන් අසරණ වු මවක් පිළිබද තොරතුරු දඹුල්ල – දිගම්පතහා ප්‍රදේශයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුනා.

මෙම අනතුරෙන් ඇගේ කුඩා දියණියද බරපතල තුවාල ලබා තිබුණා.

33 හැවිරිදි සන්ධ්‍යා සංජීවනිගේ ස්වාමි පුරුෂයා වන අලි පහරදීමකින් මෙලෙස මියගොස් තිබුණේ මීට වසර 3 කට පෙරයි.

ඉන් අනතුරුව සිය දස (10) හැවිරිදි පිරිමි දරුවා සහ වන අලි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පස් (5) හැවිරිදි දියණිය සමඟ ඇය කුඩා පැල්පතක දිවි ගෙවමින් සිටින්නේ මහත් ආර්ථික අපහසුතා මැදයි.

මෙම කාන්තාව මේ වනවිට දඹුල්ල – හබරණ ප්‍රධාන මාර්ගයේ දිගම්පතහා පන්සල හංදිය ආසන්නයේ මාර්ගය අසළ බඩ ඉරිගු තම්බා අලෙවි කරමින් ජීවත් වනවා.

එලෙස උපයා ගන්නා මුදල්, අසනීප තත්වයෙන් පසුවන දියණියගේ ප්‍රතිකාර සහ තම දෛනික අවශ්‍යතා සපුරා ගැනීමටද ප්‍රමාණවත් නොවන බවයි සන්ධ්‍යා සංජීවනී කියා සිටියේ ෴


අනියම් පෙමක් නිසා ගිලන් රථ රියදුරෙකුට තියුණු ආයුධයකින් පහරදෙයි

(21.05.2023 – 08:14 +0530 – hirunews.lk/sinhala)

හම්බන්තොට කටුවැව ප්‍රදේශයේ දී ගිලන් රථ රියදුරෙකුට තියුණු ආයුධයකින් පහරදීමෙන් බරපතළ තුවාල ලබා තිබෙනවා.

ඔහු හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මේ වනවිට කරාපිටිය ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇති බවයි වාර්තාවන්නේ.

ඊයේ (20) පස්වරුවේ මෙම පුද්ගලයා කාන්තාවක් සමග කටුවැව ඔහුගේ නිවසේ සිටින අවස්ථාවේ දී එම කාන්තාවගේ නීත්‍යානුකුල ස්වාමිපුරුෂයා එම ස්ථානයට පැමිණ මෙලෙස මන්නා පිහියකින් පහරදී ඇති බව සඳහන්.

පහරකෑමට ලක්වූ ගිලන් රථ රියදුරා හම්බන්තොට මහ රෝහලේ සේවය කරන අතර කාන්තාව ද එම රෝහලේම රෙදි පිරිසුදු කරන්නියක් ලෙස සේවය කරන බවයි පොලීසිය සදහන් කළේ.

තුවාල ලැබු අදාල ගිලන්රථ රියදුරා තිස්සමහාරාම – ගඟසිරිපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, කාන්තාව අම්බලන්තොට – අක්කරකාල්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

රියදුරුට පහරදුන් පුද්ගලයා හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද (21) හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි ෴


පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ දේපල සොරකමකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට

(21.05.2023 – 08:19 +0530 – hirunews.lk/sinhala)

බුත්තල පොලිස් ස්ථානයේ රාත්‍රී සංචාර සඳහා යොදා සිටි පොලිස් නිලධාරියෙකුට යකඩ ඉන්නකින් පහරදී තුවාල සිදුකළ තැනැත්තෙකු ඊයේ (20) බුත්තල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම නිලධාරීන් දෙදෙනා (2) ඊයේ (20) අළුයම් කාලයේ දී බුත්තල ජල සම්පාදන මණ්ඩලය අසල දී සැකකටයුතු යතුරුපැදිකරුවෙකු නවතා පරීක්ෂා කිරීමට යාමේ දී එම සැකකරු සන්තකයේ තිබූ යකඩ ඉන්නකින් පොලිස් කොස්තාපල්වරයාගේ හිසට පහර දී තිබෙනවා.

එහිදී පොලිස් නිලධාරීන් දෙදෙනා (2) විසින් සැකකරුව මෙල්ල කර අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරු සන්තකයේ තිබූ යකඩ ඉන්න සහ සිල්ලර බඩු මල්ලක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

එම පහරදීමෙන් කොස්තාපල්වරයා පැළඳ සිටි යතුරු පැදි හිස් ආවරණය බිඳී ගොස් ඇති අතර, නිලධාරියා තුවාල හේතුවෙන් බුත්තල රෝහලට ඇතුලත්ව නේවාසික ප්‍රථිකාර ලබමින් පසුවන බවයි පොලිසිය පවසන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 39 ක් වන කටුගහගල්ගේ, බුත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම සැකකරු බුත්තල නගරයේ පිහිටි සිල්ලර භාණ්ඩ වෙළඳසැලක ඉබි යතුරු කඩා වෙළඳසැලේ තිබූ මුදල් සහ භාණ්ඩ තොගයක්ද සොරකම් කර ඇති බවට එම වෙළඳසැලේ හිමිකරු විසින් ඊයේ (20) උදෑසන පොලිසියට පැමිණිල්ලක්ද සිදු කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

එහිදී සැකකරු සන්තකයේ තිබූ දේපල එම වෙළඳසැලෙන් සොරකම් කරන ලද භාණ්ඩ බවට පොලිසිය විසින් හඳුනාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (20) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බුත්තල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සඳහා පැය 48 ක රැඳවුම් නියෝගයක් ලබාගෙන ඇති බවයි සඳහන් ෴


ඊශ්‍රායලයේ රැකියා ලබාගැනීමේදී ජාවාරම්කරුවන්ට හසු නොවන ලෙසට දැනුම්දීමක්

(21.05.2023 – 08:32 +0530 – hirunews.lk/sinhala)

ඊශ්‍රායලයේ රැකියා ලබාගැනීම සඳහා කිසිඳු බාහිර පුද්ගලයෙකුට මුදල් හෝ ගමන් බලපත්‍රය ලබාදීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ ශ්‍රී ලාංකිකයන්ට ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා සඳහා යාමට අවස්ථාව උදාවන අතර, එම අවස්ථාව හිමිවන්නේ තම කාර්යාංශයෙන් පමණක් බවයි.

ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා හිමිවූ 57 වන කණ්ඩායම ලෙස රැකියාලාභීන් විසිතුන් (23) දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් ප්‍රදානය ද ඊයේ (20) සිදුවුණා.

මෙම පිරිසට කාන්තාවන් 19 දෙනෙකු හා පිරිමි ශ්‍රමිකයින් 04 දෙනෙකු අයත්.

අප්‍රේල් 28 දින සිට මේ දක්වා ශ්‍රී ලාංකික සාත්තු සේවා වෘත්තිකයින් 319 දෙනෙකු ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටව ගොස් තිබෙනවා ෴


ජිවත්විමට ස්ථිර නිවහනක් නොමැති කමින් පවුලක් අසරණ වේ

(21.05.2023 – 08:58 +0530 – hirunews.lk/sinhala)

ජිවත්විමට ස්ථිර නිවහනක් නොමැති කමින් තනාගත් කටුමැටි බිත්තිද ඇඳ හැලෙන වර්ෂාපතනයට සේදී යාම නිසා මවත්, පියත් කුඩා දරුවෙකු අසරණ වූ පුවතක් වැලිගම මිදිගම වෑකඩ ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

මිදිගම වෑකඩ පුහුලංගහහේන ලිපිනයේ පදිංචිව සිටින එල්.ජි. චින්තක සහ ඩබ්ලිව්.පි . දිල්කි වාසනා සහ වයස 6 වන පුංචි පුතා ජිවත්වන නිවස කටුමැටි බිත්ති වලින් තනා ටකරන් සෙවිලි කොට තිබෙනවා.

කෙසේ නමුත් වහල සෙවිලි කළ ටකරන් දිරා යාම නිසා ඇදහැලෙන වර්ෂාපතනයෙන් මුළු නිවසම තෙත්වී හමාරයි.

වසර ගණනාවක් තිස්සේ නොයෙකුත් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කළත් ඔවුන්ට පිළිසරණක් නොවුණු බව ඔවුන් පවසා තිබෙනවා.

කෙසේ නමුත් මෙම තත්ත්වය සමග අධ්‍යාපනය ලබන දරුවාගේ පොත්පත් ද ඇද හැලෙන වර්ෂාපතනයෙන් විනාශ වෙමින් තිබෙනවා.

මෙම අහිංසක මිනිසුන්ගේ හඩට ඇහුම්කන් දෙන ලෙස ඔවුන් බලධාරීන්ගෙන් සහ දානපතියන් ගෙන් ඉල්ලා සිටිනවා ෴


සම්බාහන මධ්‍යස්ථානවලට ඇතුළු වී කොල්ලකෑ නඩයක් මාට්ටු

(21.05.2023 – 09:20 +0530 – hirunews.lk/sinhala)

කොළඹ අවට සම්බාහන මධ්‍යස්ථාන වලට ඇතුළු වී එහි කාන්තාවන්ට තියුණු ආයුධ පෙන්වා බිය ගන්වා ඔවුන් සන්තකයේ තිබූ ජංගම දුරකථන, මුදල් හා රන් භාණ්ඩ සොරා ගැනීමෙහි නිරත වූ 05 දෙනෙකු ඊයේ(20) කොට්ටාව පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරුවන් කොල්ලකෑම සඳහා භාවිතා කළ මෝටර් රථයක්, ජංගම දුරකථන හයක්, අත් ඔරලෝසුවක්, කඩුවක්, උල් පිහියක්, නියනක්, රන්මාල දෙකක් (2), කරාබු දෙකක් (2), අත් පළඳනාවක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඇඹිලිපිටිය – තෝරකොලයාය පදිංචි මෙම සැකකරුවන් වයස අවුරුදු 20 ක සහ 25 ක වයස් සීමාවල පසුවන අතර, ඔවුන් විසින් කුලියට ලබාගත් මෝටර් රථයකින් කොළඹට පැමිණ මෙසේ ‘ස්පා’ මධ්‍යස්ථාන වලට ඇතුළු වී කොල්ලකෑම සිදුකර තිබෙන බවයි පොලිසිය පවසන්නේ.

එලෙස මහරගම සම්බාහන මධ්‍යස්ථාන තුනක (3), කොට්ටාව, බොරලැස්ගමුව, තලංගම හා කිරිබත්ගොඩ යන ප්‍රදේශවල සම්බාහන මධ්‍යස්ථාන කිහිපයකට ගොස් තියුණු ආයුධ පෙන්වා කාන්තාවන් සන්තකයේ තිබූ රන් භාණ්ඩ මුදල් හා ජංගම දුරකථන කොල්ලකා පලාගොස් තිබෙනවා.

මෙම පිරිස විසින් කොල්ලකන ලද භාණ්ඩ වල වටිනාකම රුපියල් ලක්ෂ පනහකට (50) අධික බවයි වාර්තා වෙන්නේ.

එමෙන්ම මෙම සැකකරුවන් අධික ලෙස ‘අයිස්’ මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූවන් බවත් පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (21) දින හෝමාගම අධිකරණයට ඉදිරිපත් කොට හඳුනා හඳුනාගැනීමේ පෙරට්ටුවකට යොමු කිරීමට නියමිත බවයි කොට්ටාව පොලීසිය පවසන්නේ ෴


‘අයිස්’ මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ජල සම්පාදනයේ රියදුරෙකු හසුවේ

(21.05.2023 – 09:40 +0530 – hirunews.lk/sinhala)

රුපියල් ලක්ෂ 45 ක් වටිනා ‘අයිස්’ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 365 ක් සමඟ ජලසම්පාදන මණ්ඩලයේ රියදුරෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 37 හැවිරිදි මග්ගොන – පයාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදියි පයාගල – මග්ගොන ඉන්ධන පිරවුම්හල අසළදී ඊයේ (20) අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ ෴


මන්නාරමේදී අතුරුදහන් වූ පාසල් දැරියක් පුත්තලමේදී හමුවේ

(21.05.2023 – 09:48 +0530 – hirunews.lk/sinhala)

මන්නාරමේදී අතුරුදහන් වූ දාහතර හැවිරිදි පාසල් දැරියක් පුත්තලමේදී හමු වීමෙන් පසුව ඇයව පාලාවිය පොලිසිය වෙත පෙරේදා (19) දින බාර දී තිබෙනවා.

මන්නාරම, මුසලි – බණ්ඩාරවේලී ප්‍රදේශයේ ජීවත් වූ මුසලි පාසලේ 10 වන වසරේ ඉගෙණුම ලැබූ මෙම ශිෂ්‍යාව මීට දින හතරකට (4) පමණ පෙර නිවසින් අතුරුදහන් වී ඇති බවට මන්නාරම සිලාවතුර පොලීසියට ඇයගේ දෙමව්පියන් විසින් පැමිණිලි කොට ඇති බවයි අප වාර්තා කරු සඳහන් කරන්නේ.

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය සියලුම පොලිස් ස්ථාන වලට මේ බව දැණුම් දීමෙන් පසුව ඇයව පුත්තලමේදී සොයා ගැනීමට හැකි වී ඇති අතර ඇයව මන්නාරමට රැගෙන විත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.

පොලිසිය කළ ප්‍රශ්න කිරීම් වලදී ඇය නිවසින් පැන යන ලද්දේ කවර හේතුවක් නිසාදැයි අනාවරණය වී නොමැත.

මන්නාරම සිලාවතුර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *