වැලිකඩ පොලීසියේ කාන්තාවක් මිය යාමේ සිද්ධියට හතරකගේ (4) වැඩ තහනම් – තුන්දෙනෙකුට (3) ස්ථාන මාරු

වැලිකඩ පොලීසියේ කාන්තාවක් මිය යාමේ සිද්ධියට හතරකගේ (4) වැඩ තහනම් – තුන්දෙනෙකුට (3) ස්ථාන මාරු


වැලිකඩ පොලීසියේ කාන්තාවක් මිය යාමේ සිද්ධියට හතරකගේ (4) වැඩ තහනම් – තුන්දෙනෙකුට (3) ස්ථාන මාරු

(20.05.2023 – 19:16 +0530 – hirunews.lk/sinhala)

වැලිකඩ පොලිසිය අත්අඩංගුවට ගත් කාන්තාවක් මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබෙනවා.

ඒ, පොලිස්පතිවරයාගේ උපදෙස් මත අද (20) සිට ක්‍රියාත්මක වන පරිදියි.

එමෙන්ම වැලිකඩ පොලිසිය අත්අඩංගුවට ගත් එම කාන්තාව මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් එම පොලිසියේ නිලධාරීන් හතර (4) දෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

තවත් නිලධාරීන් තුන් (3) දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කිරීමට පියවර ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ.

එමෙන්ම වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කරන්නේ ද නැතහොත් ස්ථාන මාරු සිදුකරන්නේ ද යන්න සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා වන නිර්දේශ ලබාදෙන ලෙස මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.

පසුගිය 11 වනදා ආර්. රාජකුමාරි නම් මෙම කාන්තාව වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ ඇය සේවය කළ නිවසේ රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන්.

ඒ, අදාළ නිවසේ හිමිකාර කාන්තාව වන ටෙලිනාට්‍ය හා චිත්‍රපට නිෂ්පාදිකාවකගේ පැමිණිල්ලකට අනුවයි.

අත්අඩංගුවට ගත් දින රාත්‍රියේදී වැලිකඩ පොලිස් ස්ථානය තුළදී ඇය රෝගාතුරවී ඇති අතර, පසුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමටයි පොලිසිය පියවරගෙන තිබුණේ.

එහෙත් රෝහල් ගතකරන විටත් එම කාන්තාව ජීවිතක්ෂයට පත්ව සිටි බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

කෙසේ වෙතත් අදාළ කාන්තාවගේ නම වැලිකඩ පොලිසියේ රඳවා තබාගැනීමේ නාමලේඛනයට ඇතුළත් කර නොමැති බව ඊයේ (19) වැලිකඩ පොලිසිය අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල වෙත දැනුම්දුන් බවයි අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

මියගිය කාන්තාවගේ සැමියා තම බිරිඳගේ මරණය සැක සහිත බවත්, ඒ පිළිබඳ විමර්ශනයක් පවත්වන ලෙසත් ඉල්ලා මෝසමක් ගොනු කර තිබූ අතර, එය කැඳවූ අවස්ථාවේ වැලිකඩ පොලිසිය සිද්ධිය පිළිබඳ අධිකරණයට කරුණු දක්වා සිටියා.

මියගිය කාන්තාව වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ සිද්ධිය පිළිබඳ විමර්ශන වෙනත් උසස් පොලිස් නිලධාරියෙකුට යටතට භාර කරන ලෙසයි.

එමෙන්ම සැකකරුවන් අත්අඩංගුවට ගෙන රඳවා තබන්නේ නම් පොලිසිය විසින් ඒ පිළිබඳ නාමලේඛනයක් පවත්වාගෙන යන අතර, එම නාමලේඛනය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසද නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එහිදී වැලිකඩ පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ එම නාමලේඛනයේ අදාළ කාන්තාවගේ නම ඇතුළත් නොවන බවයි.

+


බීමත්ව බැණ වැදුනු මස්සිනාට නෑනාගෙන් දරුණු කැති ප්‍රහාරයක්

(20.05.2023 – 18:50 +0530 – hirunews.lk/sinhala)

බීමත්ව පැමිණ තමන්ට බැන වැදී පහර දීමට තැත් කරන සිය මස්සිනාට කැත්තකින් කොටා බරපතල තුවාල සිදු කළ බව කියන 59 හැවිරිදි කාන්තාවක අලවතුගොඩ පොලීසිය මගින් අද (20) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස කැති ප්‍රහාරයට ලක්ව ඇති 58 හැවිරිදි මෙම පුද්ගලයා සිය මවගේ නිවසේ පදිංචිව සිටින බවත් එම නිවසට ආසන්නව ඔහුගේ සහෝදරයා සහ ඔහුගේ බිරිඳ පදිංචිව සිටින බවත් මෙම පුද්ගලයා නිතරම බීමත්ව පැමිණ සිය සහෝදරයාට සහ ඔහුගේ භාර්යාවට බැන වදින බවත් පොලිස් පරීක්ෂණවලදී හෙළිව තිබෙනවා.

මෙලෙස පහර කෑමට ලක්වූ පුද්ගලයා විවාහ තුනක් (3) කර ගෙන තිබූ අයෙක් බවත්, මේ වන විට එම විවාහ තුනෙන්ම (3) දික්කසාද වී මවගේ නිවසේ පදිංචිව සිටින බවත් අප වාර්තාකරු සඳහන් කරනවා.

සිද්ධිය වූ ඊයේ (19) සවස මෙලෙස බීමත්ව පැමිණ ඇති මෙම පුද්ගලයා සිය නෑනාට බැණ වැදී පහර දීමට උත්සාහ කර තිබෙන අතර එම අවස්ථාවේදී ඇය විසින් ඔහුට කැත්තකින් කොටා තිබෙනවා.

මෙම ප්‍රහාරයට ලක්වී පැය කිහිපයක් නිවස තුල වැටී සිටි ඔහු පසුව පොලීසිය මැදිහත්ව සුවසැරිය ගිලන් රථ සේවාව මගින් මාතලේ මූලික රෝහලට ඇතුලත් කරනු ලැබ තිබෙන බවයි වාර්තා වෙන්නේ.

මෙම සිදුවීමෙන් බරපතල තුවාල සිදු ව ඇත්තේ අලවතුගොඩ, විලාන ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි අයෙක්.

මෙම කැති ප්‍රහාරය එල්ල කිරීම සම්බන්ධයෙන් තුවාලකරුගේ සහෝදරයාගේ භාර්‍යාව වන 58 හැවිරිදි කාන්තාව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඇයව අද (20) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ඇප මත නිදහස් කර තිබෙනවා ෴


රෝස මල් වගාවට වැඩි ඉල්ලුමක්

(20.05.2023 – 18:53 +0530 – hirunews.lk/sinhala)

රෝස මල් වගාව සඳහා මේ දිනවල විශාල ඉල්ලු‍මක් පවතින බව මල් වගාකරුවන් පවසනවා.

වැලිමඩ, ඌව පරණගම, කැප්පෙටිපොල, බොරලන්ද , දියතලාව , බණ්ඩාරවෙල සහ නුවරඑළිය ප්‍රදේශයන්හි රෝස මල් වගා කරනු ලබනවා.

කොරෝනා තත්ත්වය හේතුවෙන් පසුගිය වසරවල දී මල් වගාකරුවන් දැඩි අර්බුදයකට මුහුණදී සිටියා.

කෙසේ වෙතත්, වගාකරුවන් කියා සිටියේ රෝසමල් වගාව සදහා භාවිත කරන රසායනික පොහොර සහ අනෙකුත් යෙදවුම් වල මිල පහළ යන්නේ නම් තමන්ගේ ආර්ථික තත්ත්වයට එය යහපත් ලෙස බලපානු ඇති බවයි ෴


‘මොස්කිටෝ ඩන්ක්ස්’ වැඩ අරඹයි

(20.05.2023 – 19:19 +0530 – hirunews.lk/sinhala)

ප්‍රවේශවීමට අපහසු ස්ථානවල මදුරු කීටයන් විනාශ කිරීම සඳහා ‘මොස්කිටෝ ඩන්ක්ස්’ නැමති කැටයක් ආකාරයෙන් සකස් කළ රසායනිකය යොදාගැනීම අද (20) සිට ආරම්භ කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ප්‍රවේශය අපහසු ස්ථානවල මදුරු කීටයන් විනාශ කිරීම සඳහා ‘ඩ්‍රෝන’ යානා යොදාගැනීම දැනටමත් සිදු කෙරුණද, ඊට අමතරව මෙම නව ක්‍රමවේදය භාවිත කිරීම සිදුකරන බවයි බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉන්දික එල්ලාවල කියා සිටියේ.

වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 35,283 ක් වාර්තා වී තිබෙනවා.

ඉන් සියයට 50 ට වැඩි සංඛ්‍යාවක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන්.

දිනකට රෝගින් 400 ට ආසන්න සංඛ්‍යාවක් හඳුනාගන්නා අතර, දිවයිනේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොට්ඨාස 370 න් 39 ක්ම අධි අවදානම් කොට්ඨාශ ලෙස හදුනාගෙන ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න කියා සිටියේ.

පසුගිය වසරේ ඩෙංගු මරණ 72 ක් මෙරටින් වාර්තාවුණා. මේ වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 23 ක්.

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වත්තල, මීගමුව, කැළණිය, මහර, අත්තනගල්ල සහ ජාඇළ යන ප්‍රදේශවලින් වාර්තාවී ඇති බවයි ගම්පහ දිස්ත්‍රික් ලේකම් සමන් පාඬිකෝරාල සඳහන් කළේ.

එමෙන්ම ජාතික බෝවන රෝග විද්‍යායතනය හෙවත් අයි.ඩී.එච්. උණ රෝහලට මේ දිනවල ඩෙංගු රෝගීන් ඇතුළත්වීමේ වර්ධනයක් දක්නට ලැබෙන බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය දිනේෂ් කොග්ගලගේ ද සඳහන් කළා.

+


ගැබ්බර තිත් මුව දෙනෙක ඝාතනය කළ දෙදෙනෙකු (2) අල්ලයි

(20.05.2023 – 19:21 +0530 – hirunews.lk/sinhala)

ගැබ්බර තිත් මුව දෙනක ඝාතනය කළ සැකකරුවන් දෙදෙනෙකු (2) පොල්පිතිගම – කිරිබමුණේගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හේරත්ගම අඩවි වන කාර්යාලයට ලද තොරතුරක් මත වනජීවී නිලධාරීන් විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

සැකකරුවන්ගේ නිවසේ ශීතකරණයක සඟවා තිබූ තිත් මුව මස් කිලෝ 9 ක්ද එහිදී සොයාගෙන තිබෙනවා ෴


දියේ ගිලී මිය ගියා යැයි සැකකළ කාන්තාව ජීවතුන් අතර

(20.05.2023 – 20:03 +0530 – hirunews.lk/sinhala)

කටුපොත – පොල්පිටිය ප්‍රදේශයේ පදිංචි 79 හැවිරිදි කරුණාවතී නම් කාන්තාවක් අද (20) පෙරවරුවේ හදිසියේ නිවසින් අතුරුදන් වී තිබූ අතර නිවැසියන් ප්‍රදේශවාසීන් හා එක්ව ඇය සෙවීමට කටයුතු කර තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ පැය ගණනක් යන තුරුත් ඇයව සොයා ගැනීමට නොහැකි වූ බවයි.

වැඩිදුරටත් කළ සොයා බැලීමේ දී නිවස ඉදිරිපිට පිහිටා ඇති පොල්පිටිය වැවේ පා වෙමින් තිබියදී තිබී ඇයගේ අත්වාරුව සහ පාවහන් යුගලය හමුවුණා.

කෙසේ වෙතත් ඇගේ බෑනා වැවට ගොස් සොයා බැලීමේදි කරුණාවතී මව වැවේ ගිලී සිටින අයුරු දැක තිබෙනවා.

ඔහු ඇගේ හිසට අත තබා කතා කර ඇතත් ඇය කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැහැ.

ඒ අනුව ප්‍රදේශවාසීන් 200 ට අධික පිරිසක් මෙලෙස බලා සිට ඇත්තේ මරණ පරීක්ෂකවරයා එම ස්ථානයට පැමිණෙන තුරුයි.

කෙසේ වෙතත් පසුව එම මවගේ හිස මෙන්ම ඇය සිටි ස්ථානයේ ගස් සෙළවෙන ආකාරය ප්‍රදේශවාසීන් දැක තිබෙනවා.

නමුත් එය පරීක්ෂා කිරීමට කිසිවෙකුත් ඉදිරිපත් වී නොතිබූ පසුබිමක පොලීසියද දැනුවත් කිරීමෙන් අනතුරුව ප්‍රදේශවාසීන් දෙදෙනෙකු (2) ඒ සඳහා ඉදිරිපත් වී තිබුණා.

කිඹුලන් ද ගහණ එම ස්ථානයට ඔවුන් දෙදෙනා (2) ලඟා වී තිබුණේ ඉතා අසීරුවෙන්.

ප්‍රදේශවාසීන්ගේ ද සහය ඇතිව ඇය කටුපොත ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙනවා.

මෙම කාන්තාවගේ තත්ත්වය බරපතළ නොවන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

කෙසේ වෙතත් එම මවගේ නිවස අවමංගල්‍ය උත්සවයකට සූදානම් කර තිබුනා.

+


පාසල් සිසුවියක් ජීප් රථයකට යටවීමෙන් ජීවිතක්ෂයට

(20.05.2023 – 20:24 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල, උහුමීය, ඩී.එස්. සේනානායක විදුහල ඉදිරිපිටදී බස් නැවතුම්පොළක රැඳී සිටි 17 හැවිරිදි පාසල් සිසුවියක් අද (20) සිදු වූ රිය අනතුරකින් යටවීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ ඇය රැදීසිටි ස්ථානයට එකවරම කඩාවැදුණු ජීප් රථයක් ඇයව යට කරගෙන ගොස් සිදුවූ අනතුරක් හේතුවෙන්.

අනතුරෙන් සිසුවිය එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එම අනතුරෙන් මියගොස් ඇත්තේ, ඩී.එස්. සේනානායක මැදි විදුහලේ 11 වසරේ ඉගෙනුම ලබමින් සිටි අමෝද්‍යා සිතුමිණි රාජගුරු නමැති 17 හැවිරිදි සිසුවියක්.

ඇය උහුමීය පිදුරුවැල්ල, රත්මලේ උයනේ පදිංචිව සිටි දරුවන් තිදෙනෙකු (3) ගෙන් යුත් පවුලක දෙවැනි (2) දරුවායි.

සිසුවිය පෞද්ගලික පන්තියකට සහභාගී වීම සඳහා කුරුණෑගලට යාම සඳහා බසයක් එන තුරු බස් නැවතුම්පොලේ රැඳී සිටියදීයි මෙම අනතුර සිදු වී ඇත්තේ.

මාර්ගයේ ගමන් කළ ජීප් රථය රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට ලිස්සා යාමෙන් අනතුරුව අසල සිටි සිසුවියද යට කරගෙන ගොස් දුරකථන රැහැන් කණුවක ද ගැටී නතර වී ඇති බවයි පොලිසිය පවසන්නේ.

පොලීසිය සැක කරන්නේ රියදුරාට නින්ද යාම හේතුවෙන් අනතුර සිදුවන්නට ඇති බවටයි.

මෙම අනතුර සම්බන්ධයෙන් ජීප් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු පිළියන්දල ගෝනමඩිත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය පවසනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *