අධ්‍යාපන අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි විදුහල්පති පුරප්පාඩු පිරවීමට කඩිනම් පියවර

අධ්‍යාපන අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි විදුහල්පති පුරප්පාඩු පිරවීමට කඩිනම් පියවර


අධ්‍යාපන අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි විදුහල්පති පුරප්පාඩු පිරවීමට කඩිනම් පියවර

(20.05.2023 – 15:18 +0530 – hirunews.lk/sinhala)

පාසල් පද්ධතියේ කාලීන තත්වය පිළිබඳ සලකා බැලෙන පුළුල් සාකච්ඡාවක් අද (20) දින අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්තගේ ප්‍රධානත්වයෙන් අදාළ සියලු මාණ්ඩලික නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.

තවද මේ සඳහා අමාත්‍යාංශ නිලධාරීන් හා විභාග කොමසාරිස්වරයා පැමිණ සිටි අතර විද්‍යාපීඨ කොමසාරිස්වරයා සහ ප්‍රකාශන කොමසාරිස්වරයා ඇතුළු සියලු ම පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහභාගී වී සිටියේ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ යි.

මෙම සාකච්ඡාවේ දී පාසල් පෙළපොත් හා නිල ඇඳුම් ඛෙදා දීම පිළිබඳ ව කරුණු සාකච්ඡා වූ අතර ඩෙංගු වසංගත තත්වය පාලනය කිරීමේ ක්‍රමවේදයන් සම්බන්ධයෙන් ද පුළුල් අවධානයක් යොමු කෙරුණු බවත්, ඒ අනුව 2023 මැයි මාසයේ 29 සිට ජූනි 08 දක්වා අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන විභාග මධ්‍යස්ථාන 3568 ක් සහිත පාසල් පරිශ්‍රයන්හි මදුරු පාලන ධූමායන කටයුතු සිදු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ සෘජු මැදිහත්වීම මත සෞඛ්‍ය අංශ හා ඒකාබද්ධ ව කටයුතු කඩිනම් ව සිදු කිරීමට නියමිත යි.

එසේ ම පාසල් දිවා ආහාර වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන ආකාරය සම්බන්ධයෙන් ද මෙහි දී විමසා බැලුණු අතර ඉදිරියටත් එම පෝෂණ වැඩසටහන අඛණ්ඩ ව සිදු කරගෙන යන බව ප්‍රකාශ කළා.

තවද මෙම සාකච්ඡාවේ දී මත් උවදුරට පාසල් දරුවන් ගොදුරු වීම වලක්වාගැනීමට මේ වන විටත් අනුගමනය කෙරෙන ක්‍රියාමාර්ග එලෙසින් ම ක්‍රියාවට නැංවීමටත් සිසු, ගුරු, දෙගුරු දැනුම්වත්කිරීම් තවදුරටත් පුළුල් කිරීමටත් අමාත්‍යවරයාගේ අවධානය යොමු වුණා.

මෙම සාකච්ඡාවේ දී පුළුල්ව අවධානය යොමු කරනු ලැබුවේ විද්‍යාපීඨ පුහුණුව අවසන් කළ ශික්ෂණලාභීන් 7800 කට ගුරුපත්වීම් ලබාදීම සම්බන්ධයෙන් ලබන ජූනි මස 15 දින සිට පාසල්වල ගුරු පුරප්පාඩු පිරවීමට අවශ්‍ය කටයුතු සම්බන්ධයෙනි.

එහි දී උපාධිධාරී ගුරුපත්වීම් හා විදුහල්පති පත්වීම් ලබා දීම සම්බන්ධයෙන් ද විදුහල්පති පුරප්පාඩු පිරවීම සඳහා ඉදිරියේදී පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණ කඩිනමින් අවසන් කර අදාල පත්වීම් ඉක්මනින් ලබා දෙන ලෙස අමාත්‍යවරයා අදාල නිලධාරීන් වෙත උපදෙස් ලබා දෙන ලදී ෴


ප්‍රමාණවත් පොහොර නොලැබීමෙන් ගොවීන් දුෂ්කරතාවයට

(20.05.2023 – 14:13 +0530 – hirunews.lk/sinhala)

මෙවර වී වගාව ඇරඹූ මහවැලි එච් කලාපයේ උක් ගොවීන් පිරිසක් ප්‍රමාණවත් පොහොර නොලැබීම හමුවේ දුෂ්කරතාවට පත්ව තිබෙනවා.

මහවැලි එච් කලාපයේ කටියාව, යාය 6 ගොවි සංවිධානයේ උක් ගොවීන් මෙවර යල කන්නය සඳහා අක්කර දහස් ගණනක වී වගාව ආරම්භ කර තිබෙනවා.

මේ වන විට ගොයමට දින ගණනාවක් ගතවී ඇතත් ඒ සඳහා අවශ්‍ය මූලික පොහොර සහ යූරියා ලැබී නොමැති බවයි ඔවුන් පවසන්නේ.

වෙනත් කන්නවලදී රජය මගින් ගොවි සංවිධාන හරහා මුදලට සහ සහනාධාර ක්‍රමය යටතේ ඔවුන්ට අවශ්‍ය පොහොර ලබා දුන්නද මෙවර එසේ සිදු නොවුණු බවටයි ගොවීන් මැසිවිලි නගන්නේ.

ගොවීන් පවසන්නේ ඇතැම් වෙළඳසැල් තුළ යූරියා පොහොර තිබෙන බවට ප්‍රකාශ කළ ද මිලදී ගැනීමට ගිය විට ඔවුන් පොහොර නොමැති බව පවසන බවයි.

ඇතැම් වෙළෙඳසැල් තුළ පොහොර තිබුණද ඒවා අධික මිලකට අලෙවි කරන බවටයි ගොවීන් චෝදනා කරන්නේ.

මේ අතර මහා වාරි ගොවි සංවිධානය පවසන්නේ ගොවීන් සඳහා රජයෙන් පොහොර ලබාදීම තුළින් තමන්ට විශාල සහනයක් ලැබී ඇති බවයි.

මේ අතර සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය පවසන්නේ වී මිළදී ගැනීමට රජය විසින් යම්කිසි සහනයක් ලබා දෙන්නේ නම් සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 160 කට ජනතාවට ලබා දිය හැකි බවයි ෴


ගිරිඋල්ලේ පුද්ගලයෙකු ඝාතනය කෙරේ

(20.05.2023 – 14:15 +0530 – hirunews.lk/sinhala)

ගිරිඋල්ල පොලිස් වසමේ ඉහළ නාරන්ගමුව ප්‍රදේශයේ ඊයේ (19) දින කළුගල් වළක පුද්ගලයෙකු ඝාතනය කර ඇති බවට ගිරිඋල්ල පොලිස් ස්ථානයට කරන ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 48 ක් වූ හමන්ගල්ල, නාරන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඝාතනය සිදු කිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණය සඳහා පොලිස් ආරක්ෂාව යටතේ සිද්ධිය වූ ස්ථානයේ ඇති බවයි වාර්තා වන්නේ.

ඝාතනයට සම්බන්ධ සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන කටයුතු ගිරිඋල්ල පොලිසිය සිදුකරනු ලබනවා ෴


රජයේ මුද්‍රණාලය දැඩි ආර්ථික ගැටලුවක

(20.05.2023 – 14:36 +0530 – hirunews.lk/sinhala)

පළාත් පාලන මැතිවරණයේ ජන්ද පත්‍රිකා ඇතුළු ලියකියවිලි මුද්‍රණය සඳහා වැය කෙරුණු රුපියල් කෝටි 20 කට වැඩි මුදලක් මැතිවරණ කොමිසම රජයේ මුද්‍රණාලයට මෙතෙක් පියවා නොමැති බව වාර්තා වී තිබෙනවා.

රජයේ මුද්‍රණාලායධිපතිනි ගංගානි ලියනගේ කියා සිටියේ මේ හේතුවෙන් දැඩි ආර්ථික ගැටලුවකට මුහුණ දි ඇති බවයි.

පළාත් පාළන මැතිවරණයට අදාළ තැපැල් ජන්ද පත්‍රිකා සහ අනෙකුත් ලියකියවිලි මුද්‍රණයට දායක වු සේවකයින්ට ගෙවිය යුතු දීමනාවලට අදාළ රුපියල් කෝටි තුන (3) කට වැඩි මුදලක් ද මහා භාණ්ඩාගාරයෙන් ගෙවා නොමැති බව වාර්තා වනවා.

පළාත් පාලන මැතිවරණයේ ජන්ද පත්‍රිකා ඇතුළු ලියකියවිලි මුද්‍රණය සඳහා වැය කෙරුණු රුපියල් කෝටි 20 කට වැඩි මුදලක් මැතිවරණ කොමිසම රජයේ මුද්‍රණාලයට මෙතෙක් ලබා දී නොමැති බව වාර්තා වෙයි ෴


මියගිය ඇත් පැටවෙකුගේ දළ යුගලය කපාගෙන ගිය පුද්ගලයින් සොයා විමර්ශනයක්

(20.05.2023 – 14:43 +0530 – hirunews.lk/sinhala)

හුරුළු වන රක්ෂිතයේ අඹගස්වැව අසල මියගොස් සිටි ඇත් පැටවෙකුගේ දළ යුගල කපාගෙන ගිය පුද්ගලයින් සොයා මේ වනවිට පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

රිටිගල වනජිවි කාර්යාලය විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුවයි හබරණ පොලීසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත්තේ.

ඊයේ (19) මෙලෙස මියගොස් තිබුණේ අවුරුදු 8 ක් වයසැති ඇත් පැටවෙක්.

එසේම, මෙම ඇත්පැටවාගේ මරණයට හේතුව ස්වභාවික මරණයක් ද නැතහොත් වෙඩි තබා ඝාතනය කිරීමක් ද යන්න සම්බන්ධයෙන් පොලීසිය සහ රිටිගල වනජිවි කාර්යාලය විමර්ශන ආරම්භ කර තිබෙනවා ෴


දෙබරවැව ජාතික පාසලට සිසුන් ඇතුළත් කිරීමේදී අසාධාරණයක්

(20.05.2023 – 14:57 +0530 – hirunews.lk/sinhala)

දෙබරවැව ජාතික පාසලට සිසුන් ඇතුළත් කිරීමේදී ප්‍රදේශයේ පහ (5) වසර ශිෂ්‍යත්වය සමත් දරුවන්ට අසාධාරණයක් සිදුව ඇති බවට හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටුවෙි දී අනාවරණ වුණා.

දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ එහිදී සදහන් කළේ මෙම ගැටලුව පිළිබඳව අධ්‍යාපන බලධාරින්ගේ අවධානයට යොමු කරවන බවයි.

හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටුව, එම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුනේ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ ප්‍රධානත්වයෙන්.

මෙහිදී දෙබරවැව ජාතික පාසලට සිසුන් ඇතුළත් කිරීමේදී එහි පෝෂිත පාසල යැයි පවසමින් යටාලතිස්ස ප්‍රාථමික විද්‍යාලයේ ශිෂ්‍යත්වය අසමත් සිසුන් වැඩි වශයෙන් ඇතුළත් කරගන්නා බවට අනාවරණ වුණා.

මේ අතර අනුරාධපුර නිරවි ප්‍රදේශයේ අල් අක්ෂා මුස්ලිම් පාසලේ දරුවන් සහ මව්පියන් අනුරාධපුර කළාප අධ්‍යාපන කාර්යාලය අසළ විරෝධතාවයක නිරතවුනා.

ඒ, එම පාසල 09 වසර දක්වා පමණක් ක්‍රියාත්මක වීම හේතුවෙන් 10 වසරෙන් ඉහළ දරුවන්ට කිලෝමිටර් ගණනක් දුර අනුරාධපුර නගරයට යාමට සිදුවන බව පවසමින්.

පැය හයක (6) පමණ කාලයක් පැවති විරෝධතාව අතර සිසුවියක සිහිසුන්ව ඇද වැටී ඇති බව ද අප වාර්තාකරු සඳහන් කළා ෴


බුලත් යොදාගනිමින් ටොෆියක් නිෂ්පාදනය කෙරේ

(20.05.2023 – 15:46 +0530 – hirunews.lk/sinhala)

අතුරු වගා, බුලත් පරීක්ෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ප්‍රවීනා දිසානායක පවසන්නේ බුලත්කොළ යොදා ගනිමින් ටොෆි නිෂ්පාදනය කිරීමට හැකියාව පවතින බවයි.

බුලත් යොදා ගනිමින් අගය එකතු කළ නිෂ්පාදන හඳුන්වා දීමට සිදුකළ පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස ‘බුලත් ටොෆී’ නිෂ්පාදනය කිරීමේ පර්යේෂණ සාර්ථක වී ඇති අතර හුනු සහ දුම්කොළ සමග බුලත් විට හැපීමට පුරුදුව සිටින පුද්ගලයන්ට එයට ආදේශකයක් ලෙසද වෙළෙඳපොළේ ඇති අධික සීනි සහ ආහාර වර්ණක යෙදූ ටොෆී වර්ග වෙනුවට කුඩා දරුවන්ට ලබා දිය හැකි ටොෆි වර්ගයක් ලෙසද මෙය හඳුන්වා දී ඇති බවයි වාර්තා වන්නේ.

බුලත් නිස්සාරණය කර ලබාගන්නා තෙල්, සීනි, ග්ලූකෝස් සහ වතුර වැනි ද්‍රව්‍ය කිහිපයක් යොදා ගනිමින් මෙය නිෂ්පාදනය කළ හැකි බවත්, දියවැඩියාව සහ කොලෙස්ටරෝල් මෙන්ම පිළිකා වැළැක්වීමේ ගුණයක් බුලත්වලට පවතින බැවින් මෙම ටොෆි භාවිතයෙන් සෞඛ්‍යමය වාසිද පවතින බව අධ්‍යක්ෂවරිය සඳහන් කළා.

සීනි සහ ජලය යොදා මදගින්නේ හැඳිගාමින් සීනි හොඳින් දියකර ගත් පසු ග්ලූකෝස් එක්කර එම මිශ්‍රණය නූල් ඇදෙන පදමට පත් වූ පසු සිට්‍රික් ඇසිඩ් සහ නිස්සාරණය කරගත් බුලත් තෙල් යොදා මිශ්‍ර කර ටොෆි අච්චුවක දමා නිවුණු පසු ටොෆි කොළවල එතීම කළ හැකි බවයි අධ්‍යක්ෂවරිය පවසන්නේ.

අමුද්‍රව්‍ය කීපයක් භාවිත කර අවම වේලාවකින් සැකසිය හැකි බැවින් මෙය ස්වයං රැකියාවක් ලෙස ඕනෑම අයකුට කළ හැකි බවත්, ඒ සඳහා උනන්දුවක් දක්වන්නේ නම් තම ආයතනය හරහා අවශ්‍ය දැනුම සහ පුහුණුව දීමට හැකි බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළා ෴


පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රක්ෂණ ප්‍රතිලාභය සිව් (4) ගුණයකින් ඉහළට

(20.05.2023 – 16:52 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුට මෙතෙක් වසරකට ලබාදුන් රුපියල් ලක්ෂ දෙකක (2) රක්ෂණ ප්‍රතිලාභය රුපියල් මිලියනයක් (ලක්ෂ 10) දක්වා ඉහළ දැමීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන ඇමැතිවරයා ලෙස අගමැති දිනේෂ් ගුණවර්ධන කැබිනට් මණ්ඩලයට යෝජනා කර තිබෙනවා.

මෙම වසරේ අගෝස්තු මස 20 වැනිදා සිට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට මෙම නව ප්‍රතිලාභය හිමිවිය යුතු බව ද අගමැතිවරයා එම යෝජනාවෙහි සඳහන් කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට දැනට වසරකට රුපියල් ලක්ෂ දෙකක (2) රක්ෂණාවරණයක් හිමි වනවා.

වෛද්‍ය පහසුකම් සඳහා වර්තමානයේ අයකරන ගාස්තු සහ ඖෂධවල මිල ගණන් සලකා බලා දැනට පවතින රක්ෂණාවරණයේ සීමාව කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බැවින් එය මිලියනයක් දක්වා වැඩි කළ යුතු බවයි අගමැතිවරයා පවසන්නේ.

ඉකුත් වසරේ (2022) නොවැම්බර් මස 21 වැනිදා මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට කර තිබූ අතර ඊට අනුමැතියද හිමි වුණා.

ඉකුත් වසරේ (2022) අගෝස්තු මස 20 වැනිදා සිට මේ වසරේ (2023) අප්‍රේල් මස 30 වැනිදා දක්වා වූ කාලසීමාව තුළදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් රක්ෂණ බිල්පත් 57 ක් ලැබී ඇති අතර, ඒ සඳහා ගෙවීමට නියමිත මුදල රුපියල් අනූහත් ලක්ෂ හැත්තෑ පන්දහස් හාරසිය හැට එකක් (9,775,461.64) බවයි සඳහන්.

මෙලෙස රක්ෂණාවරණය ප්‍රමාණවත් නොවීම මත ඇතැම් අවස්ථාවලදී පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ජනාධිපති අරමුදලින්ද වෛද්‍යාධාර සලසා දී තිබුණා ෴


ළඟදීම Facebook වෙතින් අලුත් ‘ඇප්’ එකක්

(20.05.2023 – 17:12 +0530 – hirunews.lk/sinhala)

ඉන්ස්ටග්‍රෑම් විසින් ට්විටර් සමග තරග කිරීම වෙනුවෙන් නවතම ඇප් එකක් නිකුත් කිරීමට සැලසුම් කර තිබෙනවා.

මෙටා (Meta) සමාගම තීරණය කර ඇත්තේ එය ඉන්ස්ටග්‍රෑම් සමග ඒකාබද්ධ වන යෙදවුමක් ලෙස හඳුන්වා දීමටයි.

එම යෙදවුම එළඹෙන ජුනි මාසය වන විය බොහෝ දුරට හඳුන්වාදීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම යෙදවුම මේ වනවිට පරීක්ෂා කරබැලීම සඳහා විවිධ ප්‍රසිද්ධ පුද්ගලයින් සම්බන්ධ කර ගනිමින් වැඩිදියුණු කිරීම් සිදුවෙමින් පවතින බවද විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කළා ෴


බොරැල්ලේ වෙඩි තැබීමක්

(20.05.2023 – 07:16 +0530 – hirunews.lk/sinhala)

බොරැල්ල ප්‍රදේශයේ අද (20) පෙරවරුවේ සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

පොලීසිය පැවසුවේ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු (2) මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇති බවයි.

බොරැල්ල ලෙස්ලි රණගල මාවතේ දුම්රිය හරස් මාර්ගය අසළ දි අද (20) පෙරවරු 05:50 ට පමණ මෙම වෙඩි තැබීම සිදු කර තිබුණා.

පොලීසිය පැවසුවේ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු (2) ටි 56 ගිනි අවියකින් වෙඩි තැබීම සිදු කර පළා ගොස් ඇති බවයි.

වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා කඩිනමින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් නමුත් එහිදි ඔහු මියගොස් තිබෙනවා.

මියගිය පුද්ගලයා කැලණිය ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙක් බව පොලීසිය සදහන් කළා.

මෙතෙක් කරන ලද විමර්ශනවලදි අනාවරණ වි ඇත්තේ ඝාතනයට ලක් වු පුද්ගලයා ‘මේජර් මුතාලිෆ්’ ඝාතනයේ සැකකරුවෙකු ලෙස අත්අඩංගුවට ගෙන නිදහස් වු අයෙක් බවයි.

ඔහු පුද්ගලික ආයතනවලට සේවකයින් සැපයීමේ සේවාවක් පවත්වාගෙන යන අයෙක්.

එම පුද්ගලයින්ට වැටුප් ලබාදීම සඳහා රණගල මාවතේ පිහිටි සිය සහෝදරියකගේ නිවසකට අද (20) පෙරවරුවේ ඔහු පැමිණ තිබුණා.

ඔහුත් සමඟ ඔහුගේ දියණියත් පැමිණ තිබු අතර, එම දියණිය මුදල් රැගෙන සහෝදරියගේ නිවසට ගිය අවස්ථාවේදි යතුරු පැදියෙන් පැමිණි දෙදෙනා (2) මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පරීක්ෂණවලින් අනාවරණ වි තිබෙනවා.

කෙසේ වෙතත් මෙම වෙඩි තැබීමට හේතුව මෙතෙක් හඳුනාගෙන නොමැති අතර, සැකකරුවන් සොයා පොලීසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වනවා.

2005 වසරේ මැයි මස 31 වනදා මේජර් තුවාන් මුතාලිෆ් ඝාතනයට ලක්වූයේ නාරාහේන්පිට ප්‍රදේශයේදීයි.

+

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *