විදේශ කටයුතු අමාත්‍යවරයා කැනේඩියානු මහ කොමසාරිස් විදේශ කටයුතු අමාත්‍යාංශයට කැඳවයි

විදේශ කටයුතු අමාත්‍යවරයා කැනේඩියානු මහ කොමසාරිස් විදේශ කටයුතු අමාත්‍යාංශයට කැඳවයි


විදේශ කටයුතු අමාත්‍යවරයා කැනේඩියානු මහ කොමසාරිස් විදේශ කටයුතු අමාත්‍යාංශයට කැඳවයි

(20.05.2023 – 11:25 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ යුද ගැටුම් පැවති සමයේ දෙමළ ජන සංහාරයක් සිදු වූ බවට කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ විරෝධය ඉදිරිපත් කිරීම සඳහා මෙරට කැනඩා මහකොමසාරිස්වරයාව විදේශ කටයුතු අමාත්‍යාංශයට කැඳවා තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි ඊයේ (19) දිනයේ මෙම කැඳවීම සිදුකර තිබූ බවයි.

මෙරට තුළ තිස් (30) වසරක් පුරා ක්‍රියාත්මකව පැවති රුදුරු ත්‍රස්තවාදය නිමා කිරීමේ විජයග්‍රහණ සැමරුම යෙදී තිබූ මැයි 18 වනදා දිනය සම්බන්ධයෙන් කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ නිවේදනයක් නිකුත් කර තිබුණා.

එහි දැක්වුණේ මැයි 18 වනදා යනු දෙමළ ජන සංහාරයක් සිදු වූ දිනයක් බවයි.

14 වසරකට පෙර දෙමළ ජනතාව දහස් ගණනකට දිවි අහිමි වූ බවත් මුල්ලි වයික්කාල් හි සමූල ඝාතන ඊට නිදසුනක් බවත් කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ එම නිවේදනයේ සඳහන්.

දෙමළ වැසියන් තවමත් අතුරුදන්ව සිටින බව පවසන කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මානව හිමිකම්, සාමය සහ ප්‍රජාතන්ත්‍රවාදය කිසිවිටෙකත් ඉවත දැමිය නොහැකි බවයි.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය දැඩි ප්‍රතිචාරයක් දක්වා තිබූ අතර සාමය සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම වෙනුවට රටක ප්‍රමුඛ පෙළේ නායකයෙකු මෙවැනි වගකීම් විරහිත සහ පක්ෂග්‍රාහී ප්‍රකාශ කිරීම හෙළා දැක තිබුණා.

එමෙන්ම මෙරට කැනේඩියානු මහකොමසාරිස් එරික් වොල්ෂ් මහතාව ඊයේ (19) දිනයේ විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත කැඳවා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සිය විරෝධය පළ කර තිබෙනවා.

දේශපාලන නැඹුරුවක් සහිත මෙම ප්‍රකාශය මතභේදාත්මක ප්‍රකාශයක් බවත්, ඒය කැනඩාවේ අභ්‍යන්තර දේශපාලන අවශ්‍යතා සඳහා නිකුත් කළ නිවේදනයක් බවත් අමාත්‍යවරයා මෙහිදී පවසා තිබුණා.

ජන සංහාරයක් පිළිබඳව ඉදිරිපත්ව ඇති මෙම පදනම් විරහිත චෝදනාව ශ්‍රී ලංකා රජය තරයේ ප්‍රතික්ෂේප කරන බව පවසා ඇති අමාත්‍යවරයා මෙම සාවද්‍ය චෝදනා මෙහෙයවනු ලබන්නේ ඩයස්පෝරාවේ සිටින බෙදුම්වාදී න්‍යාය පත්‍රයක් සහිත සහ දේශපාලනික වශයෙන් පොළඹවන ලද ශ්‍රී ලංකා විරෝධී සුළුතරයක් විසින් බවද අවධාරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා රජය ආර්ථික ස්ථාවරත්වය, සාමය සහ ප්‍රතිසන්ධානය ස්ථාපිත කිරීම සඳහා කටයුතු කරමින් සිටින මෙම සුවිශේෂී අවස්ථාවේ කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා කළ ඇති මෙම චෝදනා හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් ධ්‍රැවීකරණයට ලක්විය හැකි බවද පවසා තිබුණා.

+


සංචාරකයින් 2,197 ක් රැගත් නෞකාවක් කොළඹ වරායට

(20.05.2023 – 10:44 +0530 – hirunews.lk/sinhala)

සංචාරකයින් 2,197 දෙනෙකු රැගත් ‘Mein Schiff 5’ මගී ප්‍රවාහන නෞකාව අද (20) උදෑසන කොළඹ වරායට සේන්දු වුණා.

කාර්ය මණ්ඩලය 916 දෙනෙකුගෙන් යුත්, මෝල්ටා රාජ්‍යයට අයත් මෙම නෞකාව පෙරේදා (18) හම්බන්තොට වරායට පැමිණි අතර අද (20) උදෑසන කොළඹ වරායට සේන්දු වූ බවයි වරාය අධිකාරිය ප්‍රකාශ කළේ.

නෞකාව අද (20) රාත්‍රියේ ඕමනයේ – මස්කට් නුවර බලා පිටත්ව යාමට නියමිතයි ෴


පුතා විසින් පියා ඝාතනය වෙයි (ආනන්තරිය පාපකර්මයක්)

(20.05.2023 – 10:49 +0530 – hirunews.lk/sinhala)

= පුතා විසින් පියා ඝාතනය වෙයි =

වැලිපැන්න හිරිවැද්දල නිවෙසක දී 32 හැවිරිදි පුතා 73 හැවිරිදි පියාට පහරදී මරාදමා ඇති බව පොලිසිය පවසනවා.

මෙලෙස තම නිවසේදීම ඝාතනය වී ඇත්තේ කත්‍රිආරච්ච්ගේ ලයනල් සිරිවර්ධන නැමැති පුද්ගලයෙක්.

පියා ඝාතනය කළ බව කියන පුතා සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙන බව සඳහන්.

වැලිපැන්න පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත කළ විමර්ශනයයෙන් අනාවරණය වී ඇත්තේ පිය පුතු දෙදෙනා (2) බීමත්ව සිට බහින් බස් වීමක් දුරදිග යාම හේතුවෙන් මෙය සිදුවී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ ෴


ථෙරවාදී බුදුදහම හැදෑරීම සඳහා මහා විහාර විශ්වවිද්‍යාලයක්

(20.05.2023 – 11:49 +0530 – hirunews.lk/sinhala)

ථෙරවාදී බුදුදහම හැදෑරීම සඳහා මහා විහාර විශ්වවිද්‍යාලයක් පිහිටුවීම සඳහා ජපානයේ සහය ලබාගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

එළඹෙන ජපාන සංචාරයේදී මෙය ප්‍රකාශ කිරීමට බලාපොරොත්තුවන බවයි ඔහු පවසා සිටියේ.

ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ අද (20) පෙරවරුවේ මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීමට ගිය අවස්ථාවේදීය ෴


තරුණියකට අතවර කළ පූජකයෙකු අත්අඩංගුවට

(20.05.2023 – 12:11 +0530 – hirunews.lk/sinhala)

අසනීපයකට ප්‍රතිකාර කරන මුවාවෙන් තරුණියක් දූෂණය කළ කෝවිලක පූජකයෙකු ඔඩ්ඩුසුඩාන්පොලීසිය විසින් ඊයෙ (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ තරුණිය වයස අවුරුදු 20 ක් වන එම ප්‍රදේශයයේ පදිංචිකාරියක්.

ඇයට තිබූ අසනීප තත්ත්වයක් පූජකයාට පැවසීමෙන් අනතුරුව එයට ප්‍රතිකාර ලෙස ගංජා මිශ්‍ර රොටි ආහාරයට ලබාදී මත්වතුර පොවා අදාළ තරුණිය දූෂණයට ලක්කර ඇති බවයි මූලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

සිදුවීමට සම්බන්ධ පූජකයාට ආධාර අනුබල දුන් කාන්තාවක් (1) හා පිරිමින් දෙදෙනෙකු (2) ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ ෴


පරිභෝජනයට නුසුදුසු සැමන් තොගයක් වටලයි

(20.05.2023 – 13:12 +0530 – hirunews.lk/sinhala)

කල් ඉකුත් වු සැමන්, දිනය වෙනස් කර විකිණීමේහි යෙදී සිටි චීන ජාතිකයකු ඇතුළු හය (6) දෙනෙකු පෑලියගොඩ පොලිසිය විසින් ඊයේ (19) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැමන් ටින්වල වටිනාකම රුපියල් ලක්ෂ 80 ඉක්මවන බවයි පොලිසිය සඳහන් කළේ.

එමෙන්ම අදාළ සැකකරුවන් මෙම සැමන් අලෙවි කිරීම සඳහා වෙනත් සමාගමක නාමය ද භාවිතා කර ඇති බව මූලික පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වී තිබෙනවා.

පෑලියගොඩ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා ෴


ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළට

(20.05.2023 – 13:17 +0530 – hirunews.lk/sinhala)

ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වත්තල, මීගමුව, කැලණිය, මහර, අත්තනගල්ල හා ජාඇළ යන ප්‍රදේශවලින් වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් සමන් පාඬිකෝරාල පවසනවා.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න පැවසුවේ, දිනකට ඩෙංගු රෝගීන් 400 කට අධික සංඛ්‍යාවක් මෙරටින් වාර්තා වන බවයි.

පවතින වැසි සහිත කාලගුණයත් සමග දිනෙන් දින හිස ඔසවන ඩෙංගු මදුරු ගහණය පාලනය සඳහා මේ වනවිට දිවයින පුරා වැඩසටහන් ක්‍රියාත්මකයි.

මෙරට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 370 න් 59 ක් ඩෙංගු අධි අවදානම් කොට්ඨාස ලෙස හඳුනාගෙන ඇති බවයි ජාතික ඩෙංගු මර්දන වැඩසටහන උපුටා දක්වමින් ජනාධිපති ලේකම් කාර්යාලය පැවසුවේ.

මෙරට ඩෙංගු රෝගීන්ගෙන් සියයට 50 ක්ම වාර්තා වී ඇත්තේ, බස්නාහිර පළාතෙන්.

ගම්පහ දිස්ත්‍රික් ලේකම් සමන් පාඬිකෝරාල මහතා පැවසුවේ, බස්නාහිර පළාතේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තම දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර, වත්තල, මීගමුව, කැලණිය, මහර, අත්තනගල්ල හා ජාඇළ ඉහළම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වූ ප්‍රදේශ බවයි.

බස්නාහිර පළාතේ ඩෙංගු සංඛ්‍යාව අරගෙන බලනකොට සියයට 42 ක් ගම්පහ දිස්ත්‍රික්කයට ඩෙංගු රෝගීන් වාර්තා වෙනවා.

මේ වෙනකොට ඩෙංගු රෝගීන් 7,800 සීමාව ජනවාරි ඉඳලා අද (20) දක්වා වැඩි වෙලා තියෙනවා ගම්පහ දිස්ත්‍රික්කේ.

මේ වෙනකොට අපි ගෙවල් එක්ලක්ෂ තිස් පන්දහසකට (1,35,000) අධික ප්‍රමාණයක් පරීක්ෂණයට භාජනය කර ඇති බවත් ගම්පහ ගත්තහම වත්තල, මීගමුව, කැලණිය, මහර, අත්තනගල්ල, ජාඇල යන ප්‍රදේශවල වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවත් රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළා.

අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ද ඉහළගොස් ඇතැයි ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

මේ අතර, දිවයින පුරා ක්‍රියාත්මක ඩෙංගු මර්දන ව්‍යාපාරයට සමගාමීව කොටුව මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණේ, කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන්.

බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය බණ්ඩාරගම, කිඳෙල්පිටිය නැගෙනහිර හා අලෝතියාව ග්‍රාම නිලධාරී වසම්වල ඩෙංගු කීට පරීක්ෂාවක් ක්‍රියාත්මක කළා.

මෙහිදී ඩෙංගු කීටයින් බෝ වීමේ අවදානමක් සහිත බොහෝ ස්ථාන හඳුනාගෙන ඇති අතර, දින කිහිපයක් තුළ එම ස්ථාන පවිත්‍රකර ලිපියක් මගින් දැනුම්දෙන ලෙසටයි එම පරිශ්‍ර හිමියන්ට බලධාරීන් දැනුම් දී ඇත්තේ.

+


බඔරගල රජමහා විහාරයේ නිධන් හාරලා

(20.05.2023 – 13:53 +0530 – hirunews.lk/sinhala)

මහනුවර ඓතිහාසික බඔරගල රජමහා විහාරය යළිත් වතාවක් නිධන් සොරුන්ගේ ග්‍රහණයට ලක්ව තිබෙනවා.

බුදු මැදුරට පිවිසෙන පියගැටපෙළ පාමුළ සඳගල හාරා නිධන් සොයා ඇති බවයි වාර්තා වන්නේ.

පොලීසිය සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවයි.

මහනුවර යුගයේ ක්‍රි.ව. 1747–1780 වකවානුවෙහි බඹරගල රජමහා විහාරය ඉදි කළ බවටයි ඉපැරැණි ශිලාලේඛන සාක්ෂි දරන්නේ විහාර භූමිය වටා දැවැන්ත ගල්ලෙන් විශාල සංඛ්‍යාවක් පිහිටා තිබෙන අතර අතිතයේ එහි ආරණ්‍යවාසී භික්ෂූන් වහන්සේ භාවනානුයෝගිව වැඩ විසූ බවත් සඳහන්.

මෙවන් ඓතිහාසික උරුමයකට හිමිකම් කියන බඔරගල රජමහා විහාරය නිරතුරුවම නිධන් හොරුන්ගේ ග්‍රහණයට ලක් වෙමින් තිබෙනවා.

චෛත්‍යරාජයාණන් වහන්සේ, විහාරය ඇතුලු පැරණි ස්ථාන රැසකටම මීට පෙර විවිධ අවස්ථාවලදි නිධන් හොරුන් විසින් හානි කර තිබෙනවා.

එම විහාරස්ථානය සිව්වැනි (4) වතාවටත් නිධන් හොරුන්ගේ ග්‍රහණයට හසුව ඇත්තේ පෙරේදා (18) යි.

විහාරස්ථානයේ බුදු මැදුරට පිවිසෙන පඩිපෙල ආරම්භයේ ඇති සඳගල ඉවත්කර හාරා නිධන් සොයා ගෙන තිබෙන බවයි වාර්තා වී ඇත්තේ.

+


දරුවෙක් අපයෝජනය කල ත්‍රිරෝද රථ රියදුරකු අත්අඩංගුවට

(20.05.2023 – 14:11 +0530 – hirunews.lk/sinhala)

තුන් (3) හැවිරිදි පිරිමි දරුවකු අපයෝජනයට ලක් කළ ත්‍රිරෝද රථ රියදුරකු බොක්කාවල පොලීසිය විසින් ඊයේ (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති ත්‍රීරෝද රථ රියදුරා 38 හැවිරිදි වෑවල හරංකහව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

මෙම ත්‍රීරෝද රථ රියදුරු දරුවන් පෙර පාසල් වලට ප්‍රවාහනය කිරීම සිදුකරන අයෙකු බව පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකරු අද (20) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *